
දේශපාලන ක්ෂේත්‍රයේ තුළ පසුගිය සතියේ දී වැඩිපුරම අවධානයට ලක්වූයේ පසුගිය 05 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව ගැනය. රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධූරයට මන්ත්‍රීවරයකු පත්කිරීම අවශ්‍ය වී තිබුණි.
නව නියෝජ්‍ය කථානායකවරයකු පත් කිරීමේ දී තම බලය පෙන්වීමට ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් මාන බලමින් සිටි නිසා මෙම කාරණය දෙස බොහෝ දෙනකුගේ වැඩි අවධානය යොමු වී තිබුණි.
05 වැනිදා පාර්ලිමේන්තුව රැස්වී නව නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීමට නියමිතව තිබූ තිබූ නිසා එදින උදෑසන 9.00 සිට පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාන කිහිපයකම විශේෂ සාකච්ඡා සිදුවිය.
අගමැතිවරයාගේ පරිණතභාවය
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එදින ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ කෙරුණේ උදෑසන 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණය කමිටු ශාලා අංක 1 දී ය.
නියෝජ්‍ය කථානායකධූරය සඳහා කුමක්ද කරන්නේ යනුවෙන් මෙහිදී සාකච්ඡා වූ අතර විරුද්ධ පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් වුවහොත් පොහොට්ටුවෙනුත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව ද සාකච්ඡා කෙරිණ.
"සමගි ජනබලවේගයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළොත් අපිත් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රකාශ කරන්නට වූහ.
"පොහොට්ටුවෙන් මන්ත්‍රීවරයකු නියෝජ්‍ය කථානායක ධූරය සඳහා යෝජනා කරනවා නම් අපේ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරමු." යනුවෙන් සමන්ප්‍රිය හේරත් යෝජනා කරන ලද අතර එය ස්ථිර කරන ලද්දේ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයාය.
"විරුද්ධ පක්ෂයෙන් එක්කෙනකුගේ නමක් යෝජනා වුණොත් අපිට ඊට සහයෝගය ලබාදීලා ආණ්ඩු පක්ෂයට යම් ආදර්ශවත් සහයෝගයක් ලබාදිය හැකියි." යනුවෙන් ද ආණ්ඩු පක්ෂයේ තවත් කතාබහක් කතාබහක් ඇති වී තිබුණි.
"ඉමිටියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයාට අමතරව රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ නමත් යෝජනා වුණොත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට සහයෝගය ලබා දෙමු." යනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ද සිය එකඟතාව පළ කළේය.
එම තීරණය අග්‍රාමාත්‍යවරයා ගත්තේ බොහෝ දේශපාලන අත්දැකීම් සහ පරිණතභාවය හේතු කොටගෙන බව පැය කිහිපයක් යනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැකගත හැකි විය.
පොහොට්ටුවේ ස්ථාවරයෙන් සජබ කලබල වෙයි
නියෝජ්‍ය කථානායකධූරය සඳහා මුලින්ම නම යෝජනා කරන ලද්දේ හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේය. ඒ නම යෝජනා කරන ලද්දේ නිමල් සිරිපාල ද සිල්වා විසිනි. සුසිල් ප්‍රේමජයන්ත විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.
මේ සමඟ ම නැඟී සිටි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පිරිස් කියා සිටියේ රංජිත් සියඹලාපිටියට මුළු ආණ්ඩු පක්ෂයේම පූර්ණ සහාය හිමිවන බවයි.
ඒ සමඟ ම විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තරමක් කලබල වී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දෙස බැලූ අතර ඒ සමඟ ම නැඟී සිටි රංඡිත් මද්දුමබණ්ඩාර ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස ඉමිටියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කළේය. එය ස්ථිර කරන ලද්දේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි.
ඉන්පසුව ඡන්ද විමසීම සිදු කෙරුණේ මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කරන සාමාන්‍ය ඡන්ද විමසීමක් පරිදිය. ඡන්ද පෙට්ටිය සභා ගර්භය මැද මේසයක තිබූ අතර ආවරණය කරන ලද තිර රෙදි යොදා තිබූ ස්ථාන 02 ක ඡන්දය සලකුණු කිරීම සිදු කෙරුණි.
අගමැතිට අත්පොළසන්
පළමුවෙන්ම ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසිනි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඡන්දය සලකුණු කළේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේය. "අගමැතිතුමා ජයවේවා" යනුවෙන් ඔවුහු ප්‍රකාශ කළහ.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෑගැසීම නිසා ඒ දෙසට ද මැතිසබයේ අවධානය යොමු විය.
"ආ.. අගමැතිතුමා.. දිවුරුම් දෙනවාද? කවද්ද දිවුරුම් දෙන්නේ?" යනුවෙන් එස්.එම්. මරික්කාර්, චමින්ද විජේසිරි, හේෂා විතානගේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් කෑගසන්නට වූහ.
සියඹලාපිටියගෙන් යළිත් ඉල්ලීමක්
විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තම ඡන්දය සලකුණු කර සිය ඡන්දය ප්‍රකාශ කර තිබූ පත්‍රිකාව සිය මන්ත්‍රීවරුන්ට අත්දෙක ඔසවා ප්‍රදර්ශනය කළේය.
මෙය දුටු මුලසුනේ සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධනට තරමක් කේන්ති ගියේය.
"විපක්ෂ නායකතුමා කරපු ඒ වැඩේ වැරදියි. මේක රහස් ඡන්දයක්. ඒක නිසා ඡන්ද පත්‍රිකාව වෙන අයට පෙන්වීම වැරදියි. ඔබතුමා විපක්ෂ නායක. විපක්ෂ නායකවරයකුට ඔය වැඩේ ඔබින්නේ නැහැ." යනුවෙන් කථානායකවරයා තරමක් අප්‍රසාදයකින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ප්‍රකාශ කළේය. ඒ සමඟ ම ආණ්ඩු පක්ෂයේ පසුපෙළ දෙසින් ද සජිත් ප්‍රේමදාස වෙත දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීමත් සමඟ ම මැතිසබය උණුසුම්කාරී විය.
ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. රංජිත් සියඹලාපිටියට ඡන්ද 148 ක් හිමිව තිබුණු අතර ඉමිටියාස් බාකීර් මාකර්ට හිමිව තිබුණේ ඡන්ද 65 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 83 කින් රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධූරයට පත්විය. නමුත් සිකුරාදා රාත්‍රිෙය් ඔහු යළිත් එම තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිතුමාට දන්වා ඇතත් එය ජනාධිපතිතුමා විසින් පිළිගෙන නොමැත.
ඉන්පසුව මැතිසබය උණුසුම් වූයේ විරුද්ධ පක්ෂයේ ම එකිනෙකා චෝදනා කර ගැනීමත් සමඟය.
"විරුද්ධ පක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විරුද්ධ පක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන තමා බලවත් කනගාටුව පළ කරනවා." යනුවෙන් රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.
තමාට සහයෝගය ලබා නොදී සමගි ජන බලවේගයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන රංජිත් සියඹලාපිටිය මෙසේ තම අප්‍රසාදය පළ කළේය.
මොහොමඩ් මුසම්මිල් ප්‍රකාශ කළේ මෙම නියෝජ්‍ය කථානායක ධූරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඩීල් දමා ඇති බවයි.
සජිත් ප්‍රේමදාසගේ මව හේමා ප්‍රේමදාස ඩීල් සාකච්ඡාවක් සඳහා සහභාගි වී ඇති බවට ද චෝදනා කළේය.
රනිල්ට, ඩයනා හමු වෙයි
එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ සජිත් ප්‍රේමදාස කියා සිටියේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් තාමත් ආණ්ඩුවත් සමඟ සිටින බවයි. ඔවුන් ස්වාධීන වී සිටින්නේ බොරුවට බවට ද ඔහු චෝදනා නැඟීය.
ඡන්ද විමසීම අවසන් වී පාර්ලිමේන්තුවේ දී පිරිසක් හමු වූහ. සනත් නිශාන්ත, අනුරාධ ජයරත්න වගේම ඩයනා ගමගේ මෙම ස්ථානයේ සිටියහ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ස්ථානයට පැමිණියේය. "ආ දැන් ඩයනා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනේ. පක්ෂයක අයිතිකාරියක්නේ." ඩයනා ගමගේට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීවේය. "සර් මේ වෙලාවේ අපිට ඇවිල්ල තියෙනවා ආයෝජන ව්‍යාපෘති කිහිපයක්ම.
ඒවගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 06 ක් විතර. රුසියාවෙන් තමයි මේ ආයෝජන ව්‍යාපෘති ලැබිලා තියෙන්නේ." ඩයනා ගමගේ මේ වෙලාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පැවසුවාය. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊට ප්‍රතිචාර දැක්වීය.
"ඔව් මේ වෙලාව තමයි අපි රට ගොඩගන්න ඕනේ"
ගෙවුණු සතිය පාර්ලිමේන්තු සතියක් බැවින් එක්සත් ජාතික පක්ෂ නායකයාට කාර්යබහුල සතියක් විය. පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල ඔහු වැඩි කාලයක් ගත කරන්නේ පාර්ලිමේන්තු සංකිර්ණයේය. ආර්ථික අර්බුදය හමුවේ දේශපාලනය ද උණුසුම් මුහුණුවරක් ගෙන ඇති නිසා එ.ජා.ප. නායකයා වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ සිටිමින් මන්ත්‍රීවරුන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නේය.
නියෝජ්‍ය කථානායක තනතුරට නම් දෙකක්
නියෝජ්‍ය කථානායක ධූරය සඳහා ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් නැවත රංජිත් සියඹලාපිටියම පත් කරන්නට යන සුදානම හා සජබයෙන් ඉම්තියාස් බාකිර් මාකාර් යෝජනා කිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් බදාදා හා බ්‍රහස්පතින්දා යන දින දෙක තුළ නායකයා හා මන්ත්‍රීවරු අතර කතා බහ ඇතිවිය.
"නියෝජ්‍ය කථානායක ධූරයට රංජිත් සියඹලාපිටියගේ නමයි ඉමිතියාස් බාකිර් මාකාර්ගේ නමයි දෙකම යෝජනා වෙලා තියෙනවා නේද?" ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරයකු නායකයාගෙන් විමසා සිටියේය.
"මෙතනදි බලන්න වෙන්නේ ආණ්ඩුවේ හැසිරීම ගැනයි. පොදුජන පෙරමුණ රංජිත් සියඹලාපිටියට සහාය දෙන බවට තමයි ආරංචි එන්නේ. ඔවුන් එය ප්‍රකාශ කළොත් විපක්ෂයෙන් කෙනෙක් නොදා සිටීම තමයි කාලෝචිත." එ.ජා.ප. නායකයා කීවේය.
"ස.ජ.බ. යේ විශ්වාසභංගයට ස්වාධීන කණ්ඩායම සහාය දෙන නිසා ආණ්ඩුව සියඹලාපිටියට දෙන එකක් නෑ." විපක්ෂයේ මන්ත්‍රීවරයකු කීය.
"ආණ්ඩුවට අවශ්‍ය ස්වාධීන කණ්ඩායම එයාලගේ යටතට ගන්නයි. එතනදී ඔවුන් රංජිත් සියඹලාපිටියට සහාය දෙන්න පුළුවන්. එය විශ්වාසභංගයටත් අවාසියක් වෙන්න පුළුවන්. ඒ් නිසා හොඳම දේ පොහොට්ටුව රංජිත්ට සහාය දුන්නොත් විපක්ෂය ඉමිතියාස්ව නොදා ඉන්න ඒකයි." එ.ජා.ප. නායකයා කීවේය.
සජබ මන්ත්‍රී පිරිසක්, ස්වාධීන මන්ත්‍රී පිරිසක්, දෙමළ සන්ධානයේ පිරිසක් හා එ.ජා.ප. නායකයා ද සම්බන්ධ වූ සාකච්ඡාවක් බදාදා සවස පැවැති අතර එහිදි පොදු සම්මුතිකයකට පැමිණියේ රංජිත් සියඹලාපිටියට සහාය දීමටය. විපක්ෂයේ අපේක්ෂකයා ලෙස රංජිත් සියඹලාපිටිය යෝජනා කිරීමට එහිදී එකඟ විය. ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පසුව තීරණය කළේය.
අගමැතිකම ගැන රනිල් දුන් පිළිතුර
බදාදා හා බ්‍රහස්පතින්දා යන දෙදින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සිටි රනිල් සවස් කාලයේ සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට පක්ෂයේ මාධ්‍ය කටයුතු පැවැරීමෙන් පසු ඔහු රටේ සති අන්ත සිංහල, දමිල හා ඉංග්‍රීසි පුවත්පත් කර්තෘවරුන් සමඟ කතාබහ කිරීමෙන් අනතුරුව පුවත්පත් වෙත නායකයාගේ සම්මුඛ සාකච්ඡාවක් ලබාදීමට දින වෙන් කර ගැනිණ. බදාදා සවස මේ වෙනුවෙන් දින වෙන් කෙරුණු අතර සති අන්ත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත් වෙත ඔහු සම්මුඛ සාකච්ඡා ලබා දුන්නේය.
පැමිණි මාධ්‍යවේදීන් රටේ පවතින ආර්ථික අර්බුදය ගැන විමසීමෙන් පසු අසා සිටියේ අගමැතිධූරය බාරගෙන රට දියුණු කරන්නේ කවදා ද යනුවෙනි. ඊට සිනහවෙන් පිළිතුරු දුන් නායකයා අගමැතිධූරය බාර ගැනීමට හැකියාවක් නැතැයි ප්‍රකාශ කළේය.
පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුව ඉන්පසුව පැවැති අතර එහි ප්‍රධාන මාතෘකාව වූයේ ජ.වි.පෙ. නායකයා මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළ ලිපි ගොනු සම්බන්ධයෙනි. මෙහිදී නායකයා පිරිසට උපදෙස් දුන්නේ ජ.වි.පෙ. සමඟ ගැටීමකට නොගොස් යහපාලන ආණ්ඩුවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙන ලෙසය.
දිනේෂ්ට පොහොට්ටුවෙන් චරිත සහතිකයක්
මහජන එක්සත් පෙරමුණේ නායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉතා ඉහළ චරිත සහතිකයක් හිමි විය.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1 දී පැවැත්විය.
මෙහිදී අදහස් දැක්වූ මැති ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු කියා සිටියේ මෙම අභියෝගවලට ශක්තිමත්ව මුහුණදීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවයි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ධුරයේ සිටිය යුතු බවත් මීට වඩා බරපතළ අභියෝගවලට අග්‍රාමාත්‍යවරයා මීට පෙර මුහුණ දී සිටින බවත් එම පිරිස විසින් පෙන්වා දුන්හ.
සමහර අවස්ථාවලදී ඇතැම් පිරිස් නීතිය අතට ගැනීමට කටයුතු කරන බවත් එම තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා නොකළහොත් එය වැරදි පූර්වාදර්ශයක් බවත් තවත් අමාත්‍යවරු කීපදෙනෙක් ප්‍රකාශ කළහ.
ජනතාව මුහුණ පා තිබෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙමින් ඉවසිලිවන්තව කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
"දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට විශේෂ ස්තුතියක් පිරිනමන්න ඕන. කෙතරම් අභියෝග පැමිණියත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව අතහැර යාමට දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කටයුතු කළේ නැහැ. ඒක නිසා මුළු ආණ්ඩු පක්ෂයේම ගෞරවය දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට හිමිවෙනවා." යනුවෙන් රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේය.
රෝහිත අබේගුණවර්ධනගේ කතාවට සියල්ලෝම අත්පොළසන් දී අනුමත කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරාගේ පුතාගේ විවාහ මංගල උත්සවය පසුගිය දා පැවැත්වුණේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක. මනමාලියගේ පාර්ශ්වයෙන් ආරාධනා කර තිබුණේ ඉරාන් වික්‍රමරත්නට. මේකෙදි ඉරාන් වික්‍රමරත්න සහ රේණුක පෙරේරා මුණගැසී කතාබහ කර ඇත. රේණුක පෙරේරා කියනවා "දැන් ඔය ඔයාලගේ සටන් පාඨය මොකක්ද? Gota go home නේද? දැන් හරිනේ. දැන් ඒකනේ වෙලා තියෙන්නෙ. දැන් ඔය ගෝඨා ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ ගෙදරට. ඒ කියන්නේ ජනාධිපති මන්දිරයට. ඒකනෙ එයාගේ ගෙදර. හරිනේ දැන් ඉතින් home එකට ගිහින් තමයි ඉන්නේ." රේණුක පෙරේරා එසේ ප්‍රකාශ කර තිබේ. ඔළුවෙ අත ගහගත්තු එරාන් වික්‍රමරත්න කියනවලු
"ඔව් ඒකත් ඇත්ත තමයි"
රනිල් හා අලි සබ්රි හමුවක්
මාතලේ හිටපු නගරාධිපති හිල්මි කරිම්ගේ නිවස පිහිටා තිබෙන්නේ කොල්ලුපිටියේ. ඉකුත් දා රාමසාන් උත්සවයක් මෙහිදී පැවැත්විණි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය අලි සබ්රි ඇතුළු පිරිසක් මීට සහභාගී වුණි. හිටපු අග්‍රාමාත්‍යවරයා අලි සබ්රිව තමන්ගේ ළඟට අරගෙන රටේ ආර්ථික ප්‍රශ්නය සම්බන්ධයෙන්, රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන්, මේ ආර්ථීකයෙන් රට ගොඩගන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
සජිත්ට ගහන්න හදන්නේ කවුද?
නියොජ්‍ය කථානායක ධූරය සදහා පැවති ඡන්දය අවසන්වූ වහාම සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගෙන මඬ ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව සමගි ජනබලවේගය ප්‍රකාශ කරයි. එහි වගකීම පවරා තිබුණේ විමල් වීරවංශටය. තිරු නඩේසන්ව හේමා ප්‍රේමදාස ගෙදර දී හමුවූ බවට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කර තිබුණේ ඒ අනුවය.
"සර් මේක ඇත්ත කතාවක්ද?" සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු සජිත්ගෙන් විමසුවේය.
"මේක කොච්චර බොරුවක් ද කිව්වොත් අම්මා, තාත්තාගේ ගුණ සමරුවට ආවෙත් පරක්කු වෙලා. ඉක්මනට ගියා. ඒ අසනීප තත්ත්වයෙන් සිටින නිසා. මේ වගේ තුට්ටු දෙකේ බොරුවලින් මඬ ගහන එක එයාලගෙ ජීවිතේ කොටසක්." සජිත් කීවේය.
"තිරු නඩේසන් එක්ක ඉන්නේ රනිල්ලා. රාජපක්ෂලා ආරක්ෂා කරන ඩීල් දැම්මේ ඒ අය. 2015 ඡන්දෙ වෙලාවේ දී වුණ දේවල් අපිට අමතක නැහැනේ" එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කීය.
"ඔව්. 2015 මැතිවරණය ඉවර වුණ ගමන් ජනවරම උස්සලා පොළොවේ ගැහුවේ රනිල්. රනිල් මහින්ද හමුවට ගියේ තිරුගේ වාහනේ. තිරු එක්ක ගනුදෙනු තියෙන්නෙ රනිල්ට සහ මහින්දට" හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැවසුවේය.
"අනිත් එක සජිත් නායකතුමාට බැසිල් එක්ක ඩීල් තියෙනවා කියලා කියන්නේ රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදන්නෙ නෑ කියලා පොළොවෙ පස් කතා දිවුරලා, ඊයේ රෑ ගිහින් බැසිල් හම්බවෙච්ච විමල්."
මේ අතර විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් සජීවීව විකාශය කළේය. ඒ දෙස මන්ත්‍රීවරු බලා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටමය.
"පක්ෂය භේද බින්න කළා කියලා විමල් දැන් කියනවා. විමල් ජවිපෙන් ගැලවිලා ඇවිත් පක්ෂයක් හැදුවා. එදා ඉදපු 16න් ඉන්නේ මුසම්මිල් විතරයි. අනික් හැමෝම ආපහු ගියා" ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා අතීතය සිහිපත් කළේය.
"විමල්ට - ගම්මන්පිලට ලැජ්ජාවක් නෑනේ. අවලස්සන ඇමරිකානුවා කියලා ඇවිත් අනෙක් පැත්තෙන් රාජපක්ෂලා එක්ක රෑට ඩීල් දානවා. දවස් දෙකකට කලින් විමල් ගිහින් බැසිල් හමුවෙලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි රංජිත් සියඹලාපිටියට පොහොට්ටුවේ සහාය දෙනවා කියලා තීරණය කරලා තියෙන්නේ" මුජිබර් රහුමාන් කීවේ තමන්ට ලැබුණ අභ්‍යන්තර තොරතුරක් අනාවරණය කරමිනි.
"අපි මෙතැන දී හරිම තීරණය ගත්තා. ස්වාධීන වුණා කියන අයගේ දේශපාලන ඩීල් එක අපිට හෙළි කරන්න පුලුවන් වුණා. සර්ව පාක්ෂික ඩීල් තමයි මේවා එක්ක එන ඒවා" හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවේය.
"සජිත් ගෝ ගමක්" ගැන විමල් කියයි
මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී විමල් පැවසුවේ සජිත් ගෝ ගම යනුවෙන් ගමක් ආරම්භ කිරීමට සිදුවන බවය.
"මම සජිත් ගෝ ගම කියලා ගහනකම් ඉන්නේ නැ. මට මන්ත්‍රීකම් ලොකු නෑ. අද රාජපක්ෂලා හොඳ නෑ කියන එක රටම දන්න කියන කාරණයක්. රාජපක්ෂලා එක්ක තුට්ටුවකවත් ගනුදෙනු නෑ. රාජපක්ෂලා එක්ක රෑ දවල් ඩීල් දාන අය අපිට චෝදනා කරනකොට අනුකම්පා කරන එක විතරයි අපිට කරන්න පුළුවන්. රෑට බැසිල්, උදේට මහින්ද, දවල්ට ගෝඨා හමුවන අය කරන චෝදනා අහන්න අපිට වෙලාවකුත් නෑ" සජිත් කීවේ තරමක ආවේගයකිනි.
"මේ රටේ මිනිස්සු, අරගලය කරන මිනිස්සු ඉල්ලන දේවල් ඒකමතිකව අනුමත කරන කණ්ඩායම සමගි ජනබලවේගය. ඒ අය රාජපක්ෂලා ගෙදර යන්න කියන විට අපිත් රාජපක්ෂලා සියලුදෙනාම ගෙදර යන්න කියලා කිව්වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, සංවරණ තුලන ක්‍රමයක් යන්න කියන සටන් පාඨ අරගෙන ආවේ අපි. ඒ වගේ විපක්ෂ නායකයෙක්ට තමයි මේ ගහන්නේ" රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.
"දැන් මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව වගේම අසූචි වළක් බවට පත් කිරීමට කොන්ත්‍රාත්තුව විමල්ට දීලා තියෙන්නේ. අවලස්සන ඇමරිකානුවා මන්ත්‍රීවරු ස්වාධීන කරලා විපක්ෂයත් අවුල් කරන එක කරන්න ගියේ. ඒකයි විමල් සජිත්ට මඬ ගහලා කරන්නේ" ජේ.සී. අලවතුවල කීය.
"විමල්ට ඒ වැඩේ දීලා තියෙනවා. රනිල්ගේ දේශපාලනයේත් හැම වෙලාවකටම සජිත් එලවන්න තමයි වැඩ කරන්නේ. සජිත් විපක්ෂ නායක විදියට කරන වැඩ ටික නතර කරන්න තමයි හදන්නේ" බුද්ධික පතිරණ කීය.
අනුරගේ ෆයිල් ගැන සජිත් කියපු කතාව
"නායකතුමාගේ ෆයිල් එකක් අනුර ළඟ තියෙනවා කියලා අනුර කිව්වා" තලතා අතුකෝරළ මන්ත්‍රීවරයා අනුරගේ කතාව සිහිපත් කළේය.
"ඒ ෆයිල් එක මම ළඟත් තියෙනවා. විගණකාධිපති ළඟත් තියෙනවා. රජයේ විගණන නිලධාරීන් ළඟත් තියෙනවා. ඒවායේ සතපහක වංචාවක් වෙලා නෑ කියලා විගණන තුනකින් හෙළිදරව් වෙලා තියෙනවා.
මම කියන්නේ අනුර දිසානායක ළඟ තියෙන සියලුම ෆයිල්වලට කලින් මගේ ෆයිල් එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි අල්ලස් එකට දෙන්න" සජිත් පැවසුවේය.
"මේක සම්පූර්ණයෙන්ම විහිලුවක්. මේ පනතේ කොතනවත් අගමැති ලෙස සභාපතිවරයා අනුමත කළ යුතු දෙයක් නෑ. අනුරලා ළඟ තියෙන්නේ පොටෝ කොපිය. අමිල හාමුදුරුවෝ අත්සන් කරලා තියෙනවා කියලා කිව්වානේ" ගයන්ත කීවේය.
"මම පන්සල් වෙහෙර විහාර, ආගමික ස්ථාන හදන්න උදව් කරපු එක කළේ. ඒකට නීත්‍යානුකුලව මුදල් වියදම් කළා හැරෙන්න වෙන කිසිම දෙයක් කළේ නෑ. මම සියලුම ආගම්වලට සංස්කෘතික අරමුදලේ මුදල් නීත්‍යානුකූලව යොදවපු එක වැරදි නම් ඕනෑම දඩුවමක් විඳින්න සූදානම්. හොරකම් කළ අයත් නිර්දෝෂයි කියනවා. ඒක ලැජ්ජයි. අනුර ළඟ ෆයිල් 500 ක් තියෙනවා නම් එයින් මට විරුද්ධව මුල් එක දාන්න.
මේක දුන්නා නැතා මම නඩුවක් දානවා. නඩුව දිනුවම ඒ ටිකත් සංස්කෘතිය නංවන්න හරි කඩා වැටිලා තියෙන රෝහල් පද්ධතිය හදන්න හරි දානවා. අපහාස නඩුවක් දානවා. මේ මුදල් වියදම් කිරීමේදී කිසිම වංචාවක්, අනවශ්‍ය වියදම් කිරීමක්, අක්‍රමිකතාවක් වෙලා නෑ කියලා රජයේ විගණන නිලධාරියා තෙවරක් සහතික වී තිබෙනවා" සජිත් පැහැදිලි කළේය.
අගමැතිකම ගැන වජිරගෙන් රනිල්ට ඉල්ලීමක්
එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සහ නිර්මාණාත්මක වෘත්තිකයන්ගේ සංගමය (ACP) හා රකිමු ජයතු ලංකා සංවිධානයට අයත් වෘත්තීයවේදීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සඳුදා කොළඹ දී පැවැත්විණි.
"ඇමතිතුමනි, අපි මේ සාකච්ඡාව ඔබතුමාගෙන් ලබාගත්තේ ඉතා වැදගත් කාරණයක් පිළිබඳව සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගැනීමටයි. අද මේ රට ඉතා භයානක තත්ත්වයකට පත්ව තිබෙනවා.
වත්මන් පාලනය තුළින් ඇති වී තිබෙන මේ අර්බුධයට විසඳුමක් සෙවිය නොහැකියි. ඒ නිසා තවදුරටත් රට විනාශ වන තෙක් වෘත්තීයවේදීන් ලෙස අපට බලා සිටින්න බැහැ. මේ නිසා පත්ව තිබෙන තත්ත්වයෙන් රට මුදාගත හැකි නායකයෙක් මේ රට බාරගත යුතුයි. එය කළ හැක්කේ ඔබේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බව අපේ විශ්වාසයයි.
ඒ නිසා තමයි අපි පසුගිය සතියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී රට බාරගන්නා ලෙස එතුමගෙන් විවෘත ඉල්ලීමක් කළේ. නමුත් ඊට අද වනතෙක් පිළිතුරක් ලැබී නැහැ. මේ ගැන කඩිනමින් පැහැදිලි පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා." යැයි ඉහත සංවිධාන දෙකට අයත් වෘත්තීයවේදී නායකයෙක් ප්‍රකාශ කළේය.
ඒ මොහොතේම දුරකථන මාර්ගයෙන් රනිල් වික්‍රමසිංහව සම්බන්ධ කරගත් වජිර ඉහත සංවිධානවලට අයත් සාමාජිකයන්ට ඔබතුමා හමුවී සාකච්ඡා කිරීමට දිනයක් සහ වේලාවක් ලබාදිය හැකිදැයි විමසා සිටියේය.
ඒ අනුව තමා යොදාගෙන ඇති ඉදිරි වැඩකටයුතු පරීක්ෂාකර බැලු රනිල් වෘත්තීයවේදීන්ට ලබන 13 වෙනිදා සවස 5.00 ට සාකච්ඡාවක් ලබාදිය හැකි බව වජිරට දැනුම් දුන්නේය. සිය නායකයාගෙන් ලැබුණු එම සතුටුදායක පණිවුඩය සාකච්ඡාවේ නියැළි සිටි වෘත්තීයවේදීන්ට වජිර දැනුම් දුන්නේ එම සාකච්ඡාවට ස්ථානයක් සහ ඊට සහභාගීවන පිරිස කඩිනමින් දැනුවත් කරන ලෙස ඉල්ලමිනි.