පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සිදුවෙන කතාබස් හේතුවෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්රය උණුසුම්ය.
ෆොන්සේකා - මෛත්‍රී ගැටුම එළියට
කාලයක් අළුයට ගිනි මෙන් තිබුණු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර පැවති ගැටුම එළියට ආවේ 18 වැනිදා පාර්ලිමේන්තුවේදීය. එකිනෙකාට විවිධ චෝදනා කරගනිමින් දෙදෙනාම මැතිසබය තුළ අදහස් ප්‍රකාශ කළ අතර, එම දබරය අනෙකුත් ජනතා නියෝජිතයෝ හැඳින්වූයේ එකිනෙකාගේ ඇඳුම් ඔවුන් විසින්ම මාරුවෙන් මාරුවට උනා දමන බවයි.
ජනපති පාර්ලිමේන්තු එනවට අකමැති කවුද?
“ජනපති පාර්ලිමේන්තුවට එන්නේ නෑ කියා අඬපු විපක්ෂයේ අය අද ජනපති රනිල් පාර්ලිමේන්තුවට එද්දී විධායකයෙන් පාර්ලිමේන්තුව යටපත් කරන්න හදනවා කියා බෙරිහන් දෙනවා.” මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර වූ සංවාදයකි.
ජනපති රනිල් පාර්ලිමේන්තුවට පැමිණිම ගැන විපක්ෂය චෝදනා කරද්දී පාර්ලිමේන්තු ලොබියේ වූ මේ කතා බහ ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමැති ප්‍රසන්න ජනපතිගේ කනේ තැබූවේය.
“හැමෝම ඉල්ලුවේ පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙක්. මම ඇවිල්ලා පාර්ලිමේන්තුවේ උත්තර දුන්නාම ඒකත් වැරදි කියනවා නම් මම ඒකට මොනවා කරන්න ද”. ජනපති රනිල් කීවේ සිනහ සෙමිනි.
ජනපති ඉකුත් අඟහරුවාදා සහ බදාදා යන දෙදිනම පාර්ලිමේන්තු පැමිණියේ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටය. ඔහු ජනපති වූ දා සිටම පාර්ලිමේන්තු පැමිණීම මඟ හැරියේ නැත. පසුගිය වසරේ ජුලි 20 දා සිට ඉකුත් ජනවාරි 18 දා දක්වා කාලය තුළ දින 29 ක් ඔහු පාර්ලිමේන්තු පැමිණ තිබුණි.
“සර් ජනාධිපති වුණ දවසේ ඉඳලා අද වෙනකම් දවස් 29 ක් පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙනවා. මේක වාර්තාවක් වෙන්න ඕනේ.” මන්ත්‍රී සහන් ප්‍රදීප් කියද්දී සැවොම හිස සැලූහ.
ජනපති පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී ලොබියේ මුණ ගැසුණු විපක්ෂ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු විමසා සිටියේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැතිද යන්න ගැනය.
“මම ඉතින් ඡන්දයට මැදිහත් වෙන්නේ නෑ. ඡන්දය පවත්වනවා කියලා මැතිවරණ කොමිසම කියලා තියෙනවානේ .” ජනපති කීවේ සැහැල්ලුවෙනි.
“නෑ සර් විපක්ෂය ඡන්දයක් ඉල්ලුවාට අපිත් කැමති නෑ ඡන්දයකට යන්න.” විපක්ෂ මන්ත්‍රීවරුන් කියද්දී ජනපති සිනාසී හිස සැලුවා මිස කිසිවක් කීවේ නැත.
මුජිබර්ගේ ඉරණම ගැන වජිර කියයි
මෙහිදි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විමසා සිටියේ මුජිබර් මන්ත්‍රීතුමා කොළඹට එන්න මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන්නේ කවදා ද යන්නයි. “තාම හරියට දිනයක් කියන්න දන්නේ නෑ.” යැයි ඔවුන් කියද්දී වජිර මතු කළේ කවුරුත් නොසිතූ කාරණයකි.
“එතුමා දැන් ලොකු ප්‍රශ්නයක නේද ඉන්නේ. ඉල්ලා අස්වුණාට පස්සේ ඡන්දය නිකමට හරි කල් ගියොත් එතුමාගේ දේශපාලන දිවියට ප්‍රශ්නයක්. හැබැයි ඉල්ලා අස් නොවුණොත් බයේ අස්වුණේ නෑ කියලා මතයක් හැදෙනවා.”
පනත කල්දැමීම ගැන ජනපති විමසයි
ජනපති රනිල් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටය. ඔහු එදින පාර්ලිමේන්තුවෙන් නික්මව ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙද්දී දැනගත හැකිවූයේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත ගැන විවාදය මාසයකින් කල් ගොස් ඇති බවය. එය 18 දින විවාදයට ගැනීමට තිබුණ ද අධිකරණ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදි එය මසකින් කල් ගොස් ඇති බව දැනගන්නට ලැබුණි.
ජනපති වහාම අගමැතිට හා අධිකරණ ඇමැතිට කතා කොට මේ ගැන විමසූහ. “සිවිල් සමාජයේ ඉල්ලීමක් වූ මේ පනත කල් දාන්න දෙන්න බෑ. මේ ගැන කතා කරලා තීන්දුවක් ගන්න. පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න“ ජනපති අගමැතිට උපදෙස් දුන්නේය.
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමට විපක්ෂයේ පක්ෂ කිහිපයක් හැර සෙසු පක්ෂ පැමිණ සිටි බැවින් පනත 19 දා විවාදයට ගෙන සම්මත කිරීමට තීන්දු කෙරිනි.
“මේ පනත ඉතාම හොඳ පනතක්. මැතිවරණයේදි අපේක්ෂකයාට, පක්ෂයට මුදල් දුන්නේ කොහොමද කියලා මෙතනදි සොයා ගන්න පුළුවන්. ” පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් වූ බහුතර මතය එය විය.
යාපනයේ සංස්කෘතිය විනාශ කිරීම ගැන ඩග්ලස් කට අරී
ජනපති රනිල් ඉකුත් සතියේ ඉරුදින යාපනයේ ගත කළේ තෛපොංගල් උත්සවයට සහභාගීවීම වෙනුවෙනි. මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එක්ව සිටියේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
තවත් පිරිසක් එදින විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර ඒ ගැන ජනපති දැනුම්වත් කළේ ඇමැති දේවානන්ද විසිනි.
“සර් තෛපොංගල් කියන්නේ අපේ ඉහළම උත්සවයක්. මේ වගේ දවසක විරෝධ කරන්නේ නෑ. හැබැයි එක් කණ්ඩායමක් දේශපාලනය ඉස්සරහට දාලා අපේ සංස්කෘතියත් විනාශ කරනවා.” දේවානන්ද කියද්දී ජනපති සිනාසී හිස සැලූවේය.
ජනපති දුන් සහන සමඟ ගමට යන්නේ කවුද?
බදාදා පාර්ලිමේන්තුවේදි ජනපති රනිල් හමුවූ මැති ඇමැතිවරු රටේ ආර්ථිකය ගැන කතා බහ කරන්නට වූහ.
“පොහොර දුන්නා වගේම වී කිලෝවකට රුපියල් 100 ක සහතික මිලක් අපි දෙනවා. ඒ වගේම සහල් අතිරික්තයක් ඇති වෙන නිසා අපි දිළිඳු පවුල් ලක්ෂ 20 කට මසකට කිලෝ 10 බැගින් කිලෝ 20 ක් දෙනවා. ඒ වගේම ඉන්දියාව, චීනය, ජපානය අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සහාය දෙන්න එකඟ වෙලා ඉන්නේ. ඉතින් මේ ඔක්කොම කරන්නේ අයි.එම්.එෆ් එකඟතාවයන්ට අනුවයි.” ජනපති කරුණු පැහැදිලි කළේය.
“අපි වී ගන්න බිලියන 10 ක් වෙන් කරනවා. ඒක ඡන්දෙට දීලා වී මිල අඩු කර ගන්නවාද කියලා ගොවියෝ තීරණය කරන්න වෙයි.” ඇමැති සියඹලාපිටිය ද ජනපති කතාවට ඌණපූරණයක් එක් කළේය.
“ඔන්න දැන් ඔයාලටත් ගමට ගිහින් ජනපතිතුමා ජනතාව වෙනුවෙන් දෙන සහන ගැන මැතිවරණ වේදිකාවේ දි කියන්න පුළුවන්.” ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග කීවේ මන්ත්‍රීවරුන් දෙස එක එල්ලේ බලමිනි.
සීයා,තාත්තා,පුතා රනිල් සමඟ
පොදුජන පෙරමුණේ හා ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධානීහු බදාදා සවස මුණ ගැසුණු ජනපති ඇමැතිධුර දෙකක් පත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණියේය. ඒ අනුව බ්‍රහස්පතින්දා පෙරවරුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පවිත්‍රාදේවි වන්නිආරච්චි හා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් ජීවන් තොණ්ඩමන් කැබිනට් ඇමැතිවරු ලෙස දිවුරුම් දුන්හ.
දිවුරුම අවසානයේ ජීවන් තොණ්ඩමන් ජනපති අසලට ගොස් ස්තූතිය පුද කරද්දී ජනපති අපූරු ඉතිහාස කතාවක් සිහිපත් කළේය. “ඔයාගේ සීයා සෞම්‍යමූර්ති ඇමැතිතුමා මම අගමැති වෙද්දී මගේ කැබිනට් එකේ හිටියා. ඔයාගේ තාත්තා ආරුමුගම් මම අගමැති වූ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියා. දැන් පුතා මම ජනාධිපති හැටියට මගේ ඇමැති මණ්ඩලයේ ඉන්නවා.” ජනපති කියද්දී ඇමැති ජීවන් තොණ්ඩමන් හිස නවා ජනපතිට ගෞරවය පුද කළේය.
ජනපති මාධ්‍ය ප්‍රධානීන්ට කියූ කතාව
ඇමැති දිවුරුම අවසන්වී පිටතට පැමිණෙද්දී ජනපතිට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක හා මාධ්‍ය අධ්යක්ෂ ශානුක කරුණාරත්න මුණ ගැසුණේය. ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විමසා සිටියේ ඇමැතිවරු දෙදෙනාගේ දිවුරුම ගැනය.
“ඔයාලා කිව්වානේ ඇමැති මණ්ඩලයේ කාන්තාවෝ නෑ කියලා. ඔන්න 75 වෙනි නිදහසට කලින් ඇමැතිතුමියක් ඉන්නවා. ඒ වගේම ඉන්දියානු සමභවයක් තියෙන කෙනෙකුත් ඇමැති මණ්ඩලයේ ඉන්නවා.” යැයි කියමින් ජනපති පිටව ගියේය.
මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් ජනපති මුණ ගැසුණේ සිකුරාදා ය. පැරණි මිතුදම් ගැන මෙන්ම ඉන්දීය හා ශ්‍රී ලංකා ආර්ථික කටයුතු ගැන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාවේ එකඟතාවය ගැන එහිදි සාකච්ඡා කරනු ලැබීය. මීට අමතරව වෙළෙඳ ගිවිසුම් කිහිපයක් ද එහිදි අත්සන් කරන ලදි.
පළාත් පාලන මැතිවරණයේදී සියලු පළාත් පාලන ආයතනවලට තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කළ අතර නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක හා මහලේකම් රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතිය පුරා පැවැත්විණි.
වෙල්ගම, මහින්දට හෙළි කළ රහස
පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පැමිණෙන විට ඔහු පිළිගැනීම සඳහා පොහොට්ටුවේ මහලේකම්, නීතීඥ සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, සුදර්ශන දෙනිපිටිය, ජගත් කුමාර, මධුර විතානගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොස් සිටියහ.
මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම මන්ත්‍රීවරු පිරිසක් සමඟ කතාබස් කරමින් ඉදිරියට පැමිණෙන විට ඔහුගේ ඉදිරියට පැමිණියේ නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමයි.
මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා දුටු කුමාර වෙල්ගම ඉදිරියට පැමිණ ආචාර කරමින් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අත්දෙකින් අල්ලාගෙන සුහදතාවය පළ කළේය.
“වෙල්ගම මන්ත්‍රීතුමාගේ අලුත් සන්ධානය කොහොමද? “යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා විමසීය.
ඊට පෙර දින කුමාර වෙල්ගමගේ නව ලංකා නිදහස් පක්ෂයේත්, පාඨලී චම්පික රණවකගේ 43 වැනි සේනාංකයත් සන්ධාන ගතවී තිබුණි. මෙම තොරතුරු දැනගෙන සිටි මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මේ ගැන තොරතුරු විමසීය.
“සන්ධානයේ කටයුතු හොඳින් සිදුකරගෙන යනවා” යනුවෙන් කුමාර වෙල්ගම පිළිතුරු දුන්නේය.
“අලුත් සන්ධානෙට සර්ට ආරාධනා කරන්නේ නැත්ද” යනුවෙන් මධුර විතානගේ කුමාර වෙල්ගමගෙන් විමසීය.
“මොකද නැත්තේ වෙලාව ආවම ආරාධනා කරනවා” වෙල්ගම ප්‍රතිචාර දැක්විය.
“ඒ කියන්නේ නව දේශපාලන රහසක්ද?” යනුවෙන් විමසුවේ ජගත් කුමාරය.
“ඔව්.ඔව්. මෙතුමා හැමදාම මගේ නායකයා. මෙතුමාගේ නායකත්වය යටතේ ඕනෑම දේශපාලනයකට මං කැමතියි. මං විතරක් නොවෙයි පාඨලී චම්පික රණවක මැතිතුමාත් කැමතියි” යනුවෙන් කුමාර වෙල්ගම යම් දේශපාලන රහසක් හෙළි කළේය.
“වෙල්ගම මගේ ඥාති. අපේ අම්මගෙ ගම පාලටුවේ. වෙල්ගමගේ අම්මගේ ගමත් පාලටුවේ.” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඩබ්ලිව්.ඒ. සිල්වා අරලියගහ මන්දිරයට
"මොකද්ද මේ සංකථන මණ්ඩපයක් කියන්නෙ" අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයට ඉකුත් සතියේ පැමිණි දුරකතන ඇමතුම් බොහෝමයක් විමසුවේ ඒ සම්බන්ධයෙනි.
සුපෝෂීත අනාගත පරපුරක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ඇරඹි සංකථන මණ්ඩපයේ සමාරම්භක විද්වත් කතිකාවේ පළමුවැන්න "ඩබ්ලිව්. ඒ සිල්වා නිර්මාණ විමසුම" මැයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණේ ඒ අනුවයි.
මෙම විද්වත් කතිකාවේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනය අංශයේ අංශාධිපති මහාචාර්ය සඳගෝමී කෝපරහේවා විසින් පැවැත්විණි.
අනුශාසනාව අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් අනුශාසනාවක් කරමින් " මේ ශාලාව නිර්මාණය කළාට පස්වන විධායක ජනාධිපතිවරයාට පිං. මේ ශාලාවේ මෙවැනි සාහිත්‍යමය කටයුත්තක් සිදුවන්නේ පළමු වතාවටයි. මිනිසා හදා රට හැදීමට මෙවැනි සංකථන මණ්ඩප අවශ්‍යයි" කීහ.
චීනය වෙනුවෙන් පිලිප් පෙනී සිටි හැටි අගමැති දිනේෂ් කියයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික චෙන් සූ චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිතයෙක් ලෙස මෙරටට පැමිණියේය.
ඔහු හා අගමැතිවරයා අතර හමුවක් ඒ අනුව සංවිධානය කෙරිණි.
" චීනයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීමට මේ කුඩා ශ්‍රී ලංකාව විශාල මෙහෙයක් කළා." අගමැතිවරයා කීය.
අග්‍රමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ අතීත සිදුවීමක් සම්බන්ධයෙනි.
1956 කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි පිලිප් ගුණවර්ධන ටෝකියෝ හි පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සමුළුවට සහභාගි වෙමින් ලෝකයේ විශාලම සහල් නිෂ්පාදකයා වන චීනය නොමැතිව මෙවැනි සමුළු පැවැත්වීමෙන් පලක් නැති බවයි. වසරක කාලයක් තුළ සේවයට එක්සත් ජාතීන්ගේ එම සමුළුවේ සාමාජිකත්වය හිමිවිය.
අග්‍රාමාත්‍යවරයාගේ කතාව අවසානයේ නැගිටි චෙන් සූ අගමැතිවරයාගේ දෑතම අල්ලා "ඔබ රටේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන හොඳ පුවතක් ළඟදීම ලැබෙයි " කීය.
ප්‍රසන්නගේ හා අනුර කුමාරගේ හබය
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත නිසාවෙන් පසුගිය සතියේදී දේශපාලනය උණුසුම් විය.
“ විපක්ෂය මේ පනතට මොකද බය” ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තැන තැන කතාවිය.
“ඒක තමයි. හරිනම් මේ වගේ පනතක් එනකොට විපක්ෂය අත්දෙකම උස්සන්න ඕන. ඒත් අපේ විපක්ෂය කොරහෙ කිඹුල්ලු දකිනවා” ඇමති ප්‍රසන්න ඒ ගැන විමසූ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය.
පසුගිය (17) වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශන කාරක සභා රැස්වීම පැවැත්විණි. එහිදීද විපක්ෂය පැත්තෙන් ඉල්ලීම් ආවේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන ලෙසය. එමෙන්ම පාර්ලිමේන්තු සභා කටයුතු පිළිබඳ කාරක සභාවේදීද මේ ඒ ඉල්ලීමම ඉදිරිපත්විය.
මේ විරෝධයන් උත්සන්න වන විට ජනාධිපතිවරයා තීරණය කළේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන් හමුවන්නය. ඒ පාර්ලිමේන්තුවේදීය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ හා සමඟි ජන බලවේඟය මෙම හමුව වර්ජනය කළහ.
මේ මොන විරෝධතා එල්ල වුවත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒ හමුවේදී රජය තීරණය කළහ.
අනතුරුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් පක්ෂනායක රැස්වීමක් පැවැත්විණ.
“ආණ්ඩුව හදන්නේ පනතට මුවාවෙලා පළාත් පාලන මැතිවරණය කල් දමන්නයි. අපි මේ ගැටේට අහුවෙන්නෙ නැහැ” අනුර කුමාර දිසානායක එහිදී කීවේය.
“අපිට මේක තව දුරටත් අධ්‍යයනය කරන්න ඕන” ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරද ජ.වි.පෙ නායකයාගේ කතාවට පෝර දැම්මේය.
මේ කතා බහ දිගින් දිගටම ඇදී යද්දි අනුර කුමාර, ඇමැති ප්‍රසන්න සමඟ හබයක් ඇති කරගත්තේය.
“ඔයාලයි මිනිස්සු තමයි මගේ ගේ ගිනි තිබ්බේ” ඇමැති ප්‍රසන්න කීය.
“අපේ මිනිස්සු වෙන්නෙ කොහොමද? අපි ඕවට සම්බන්ධ නෑ” අනුරද කීය.
“මම ඔප්පු කරන්නම්”ඇමැතිවරයා කීය.
පනත පරාජය කිරීමට අනුර කුමාරගෙන් සැලසුම්
පක්ෂ නායක රැස්වීම අවසන් කර සභාවට යෑමට පැමිණි ඇමැති ප්‍රසන්නට අනුර කුමාර හමුවුණේ විදුලි සෝපානය අසලදීය.
“ඕව ගණං ගන්න එපා. හැබැයි ඉතිං ගේ ගිනි තිබ්බේ ඔයාලගේ කට්ටිය තමයි” මුහුණ එල්ලාගෙන සිටි අනුර කුමාරගේ පිටට තට්ටුවක් දමමින් ඇමැති ප්‍රසන්න කීය.
අනුර අහක බලාගත්තා මිස කිසිවක් කීවේ නැත.
මේ අතර වාරයේදී පුනරුත්ථාපන පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයද පැවැත්වෙමින් තිබුණි.
ඇමැති ප්‍රසන්න සමඟ කේන්තියෙන් පැමිණි අනුර කුමාර එම පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් ඉල්ලීය. ඒ වනවිට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණි. අනුරගේ අදහස වූයේ එහි වාසිය ගනිමින් පුනරුත්ථාපන පනත පරාජය කිරීමය.
නමුත් වූයේ අනෙකකි.
අනුරගේ සැලසුම ප්‍රසන්න පරාජය කළ හැටි
අනුරගේ ඉල්ලීම අනුව කථානායකවරයා විසින් මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කළේය. ඒ සමඟම පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටි ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් සභා ගර්භයට පැමිණියහ. ඇමැති ප්රසන්නද දුරකතන ඇමතුම් දෙමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සභාවට කැඳවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.
එහෙත් ඒ වනවිටත් විපක්ෂයේ සිටියේ මන්ත්‍රීවරුන් දහ දෙනෙකුටත් අඩු පිරිසකි. විපක්ෂයට වඩා ආණ්ඩු පක්ෂයේ පිරිස වැඩිවීමෙන් පුනරුත්ථාපන පනතට ඡන්දයක් ඉල්ලූ අනුර කුමාර අසරණව සිටිනු දක්නට ලැබුණි.
අජිත් රාජපක්ෂට දෙපැත්තෙන්ම ඇමතුම්
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට පසුගිය සතියේ කිසිදු විවේකයක් නොවුණි.
එකක් පාර්ලිමේන්තුව රැස්වීමයි. අනෙක අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව පළ වූ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමසීම්වලට පිළිතුරු ලබාදීමටයි.
“මොකක්ද මේ කංසා කතාව” යනුවෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයින් රැසක්ම නියෝජ්‍ය කථානායකවරයාගෙන් විමසා තිබුණි.
ඊට අමතරව විදෙස් රටවල සිටින හිත මිත්රයින් රැසක් ද දුරකතන ඇමතුම් ලබාදෙමින් අජිත් රාජපක්ෂගෙන් මේ ගැන විමසා තිබුණි.
“මේක සම්පූර්ණයෙන්ම මඩක්. ඔය කියන ඉඩම මගේ නෙවෙයි. ඔය පැත්තේ ඉඩමක් නැහැ. කිසිම මාධ්‍ය ආචාර ධර්මයක් නැතුව මෙහෙම මඩ ගහන්නේ කොහොමද? කියලා මට හිතාගන්න බැහැ” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය කථානායකවරයාට දුරකතනයෙන් කතාකළ සියලුම දෙනා කියා සිටියේ මෙම මඩ ප්‍රහාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
සජිත් කියන VIP සමාජවාදීන් කවුද?
විපක්ෂ නායක සජිත් පසුගිය සතියේ හොරව්පතාන ආසන බල මණ්ඩලයට සහභාගි විය. මෙය සංවිධානය කොට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ය.
අප රටේ මේ වන විට වීඅයිපී සමාජවාදීන් කොට්ඨාසයක් සිටින බවත් ඔවුන් ගමට පැමිණ නිර්ධන පන්තිය, සමාජවාදය ගැන කතා කළත් ඔවුන්ගේ ළමයින් විදෙස් රටවල හොඳ අධ්‍යාපනයක් ලබන බවත් එහෙත් අප රටේ නිදහස් අධ්‍යාපනයක් පැවැතියත් එහි බෙදීමක් පවතින බවත් එම බෙදීම තුරන් කිරීමට සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් සජිත් එහිදී පැවසීය.
VIP සමාජවාදින් දෙනෙකුගේ පාසලට තමා බස් රථයක් නොමිලේ ලබා දුන් නිසා එම වී.අයි.පී සමාජවාදීන්ට තරහ ගොස් ඇති බවත් මහ ලොකුවට නිර්ධන පන්තිය ගැන කයිවාරු ගහන ඔවුන්ට අවම වශයෙන් පාසල් සිසුන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි වුවත් මෙම බස් රථය ලබා දීම නිසා අපහාස, උපහාස ආදිය කරන බවත් සජිත් කීවේය.
සිස්ටම් චේන්ජ් කරන හැටි වජිර කියයි
නවීකරණය කරන ලද ගාල්ල නගර සභා පුරහල පසුගිය සෙනසුරාදා සවස ජනතා අයිතියට පත් කිරීම සිදුවිය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ වැවිලි හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන අයගේ ප්‍රධානත්වයෙන් නගර සභා පුරහල ජනතා අයිතියට පත්කළ අතර මහ සංඝරත්නය, නාගරික මන්ත්‍රීවරු, ගාල්ල නගර සභාවේ නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.
ගාලු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා අතීතයේ පටන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ගත්, ඒවායේ ප්‍රගතියත්, අඩුපාඩු ගැනත් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් වජිර විසින් මෙහිදී සිදුකරන ලදී.
එසේම වර්තමානයේ රට වැටී ඇති තත්ත්වයෙන් ජනතාව ගොඩගෙන රට ලෝකය හමුවේ ඔසවා තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවත් රැස්ව සිටි ජනතාව දැනුම්වත් කිරීමට වජිර අමතක නොකළේය.
උත්සවය අවසන් වූ පසු මෙම අවස්ථාවට පැමිණ සිටි ප්‍රදේශවාසීන් සමඟ වජිර සුහද කතා බහක නිරත විය.
පසුගිය මාස කිහිපයට වඩා මේ වනවිට ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් වැඩි සංචාරක පිරිසක් පැමිණෙන බවත්, සංචාරකයන් වැඩි වශයෙන් ලංකාවට ගෙනඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙළත් ඔවුන්ගේ අගය කිරීමට ලක් විය.
“සංචාරක ව්‍යාපාරයේ ලොකු පිබිදීමක් ඇති වෙලා තිබෙනවා. මේ වනවිටත්, ඉදිරියේදීත් තව විශාල සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ වගේ වෙලාවක නැවත රට අරාජිකත්වයට යන්න දෙන්න හොඳ නැහැ.” යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.