චැනල් අයි සිද්ධියේ නොකියූ කතාව මුල සිට අගට මෙන්න | සිළුමිණ

චැනල් අයි සිද්ධියේ නොකියූ කතාව මුල සිට අගට මෙන්න

චැනල් අයි ගුවන් කාලය දුන්නේ වෘත්තීය සමිති එකඟතාවයෙන් 
- ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

පසුගිය දිනවල බොහෝ සමාජ මාධ්‍යවලත් දේශපාලනයේත් කතාබහට ලක් වූවේ රූපවාහිනියේ චැනල් අයි නාළිකාව විකිණීමට රූපවාහිනී සංස්ථාව කටයුතු කරමින් සිටින බවයි. තවත් පිරිසක් පැවසුවේ එය කුලියට ලබා දී ඇති බවයි. මේ හා සම්බන්ධ විවිධ කතාන්දර මාධ්‍ය ලෝකයේ කැරකෙමින් තිබියදී එහි සත්‍යතාව කුමක්ද යන්න විමසා බැලිය යුතුය.

අද සිදුවන්නේ ඇතැම් වෙබ් අඩවිවලට යම් තොරතුරක් ලැබුණේ ද, එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් එය තමන්ට ‘ඇදගෙන යන්නට‘ හොඳ ප්‍රවෘත්තියක් නම් අනිවාර්යෙන්ම පාඨකයාගේ හෝ ප්‍රේක්ෂකයාගේ අවධානයට එය යොමු කිරීමයි.

අයි නාළිකාව සම්බන්ධ කතාව ද එවැන්නකි 

මෙහි සත්‍යතාව අපට දැනගන්නට ලැබුණේ පසුගිය 22 වැනිදාය. එයට මුල්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරන ලද ප්‍රශ්නයකි. ඒ චැනල් අයි නාළිකාව ගැනය.

එයට පිළිතුර ලබා දුන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ අයි නාළිකාවේ ගුවන් කාලය කුලී පදනම මත ලබා නොදුන්නා නම් අද වන විට රූපවාහිනී සංස්ථාවක් නොමැති බවය.

රූපවාහිනී සංස්ථාවේ මූල්‍ය අර්බුදය ගැන සොයා බැලූ අපට වාර්තා වූයේ එහි රුපියල් ලක්ෂ 520ක විදුලි බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමේ තත්ත්වයක් තිබුණු බවයි.

එවන් දැඩි මූල්‍ය අර්බුදයක් තිබුණු රූපවාහිනියට එයින් මිදීමට කටයුතු කළ යුතුව තිබුණි. එහි යම් වංචාවක් දූෂණයක් සිදුව තිබුණහොත් උසාවි යාමට හැකි බවත් එවැන්නක් සිදුව ඇතැයි ඔප්පු කරන්නේ නම් තමන් ඇමැති ධුරයෙන් ඉවත් වන බව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඇමැතිවරයා එසේ පැවසීමෙන් පසුව ඒ සම්බන්ධ කරුණු දැක්වූ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසා සිටියේ චැනල් අයි ගුවන් කාලය කුලියට දුන්නේ සියලු සේවකයන්ගේ එකඟතාව මත බවයි.

සිළුමිණ ඇමැතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ චැනල් අයි නාළිකාවේ ගුවන් කාලය කුලී පදනම මත ලබා දීමට ඇතැම් වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටි බවයි. මෙහිදී මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට විෂය භාර කැබිනට් අමාත්‍යවරයාට එල්ල කරන චෝදනා හා දෝෂාරෝපණ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

චැනල් අයි නාළිකාවේ ගුවන් කාලය කුලී පදනම මත ලබා දීමට තීරණය කළේ ජාතික රූපවාහිනියේ පාඩුව අවම කර ජාතික වගකීම ඉටුකිරීම වෙනුවෙන් බවත් සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සම්බන්ධ තීන්දු ගැනීමේ බලයක් ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම එය කැබිනට් අනුමැතිය ගත යුත්තක් නොවන බවත් ජාතික රූපවාහිනියේ අයි නාළිකාව වෙන නාළිකාවකට අවශ්‍ය නොවූ බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේ දින 30ක කාලයකදී එය ආපසු ලබා ගත හැකි බවට ගිවිසුමේ පැහැදිලි කොන්දේසියක් ඇති බවයි. එහෙත් එසේ දින 30ක කාලයක් පූර්ව දැනුම්දීමක් සිදු කර ගිවිසුම අවලංගු කළහොත් එහිදී ආදායම අහිමි වන බවත් මේ අවස්ථාවේදී සිදු කළ හොඳම දෙය ආයතනය විසින් සිදු කර ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක අදහස් විමසුවෙමු.

රූපවාහිනී සංස්ථාවේ විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති කපිල දසනායක මෙසේ පැවසීය. චැනල් අයි නාළිකාව පවත්වා ගෙන යන්නේ විශාල අලාභයක් මැද. අපට 1980 /90 වකවානුවේ මිලියන 300ක් නැත්නම් 400ක් වගේ ආදායමක් ලැබුණත් දැන් ආදායම ලෙස ලැබෙන්නේ මිලියන 75ක් 80ක් වගේ ප්‍රමාණයක්.

ඉස්සර නම් අයි නාළිකාවට ක්‍රීඩා තරග ලබා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් දැන් තරග ලබා ගන්නත් අතිවිශාල මුදලක් ගෙවන්න වෙලා. උදාහරණයක් ලෙස පෙන්වා දෙනවා නම් එල්පීඑල් විකාශය කරන්න අපට මිලියන 750ක් ගෙවන්න වෙනවා.

එවන් තත්ත්වයක් මත අපට අලුතින් නිෂ්පාදන කරන්න හැකියාවකුත් නැහැ. මොකද අයි නාළිකාවේ එක් නිෂ්පාදකවරයෙක් පමණයි ඉන්නේ. විකාශනාගාරවල නඩත්තු කටයුතු කිරීම අපහසු වෙලා. වායුසමන ක්‍රියාත්මක නොවුණහම බැට්රි ආයුකාලය අඩු වෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ ඇති අවදානම ගැන මම පාලනාධිකාරිය දැනුවත් කළා. පසුව ගුවන් කාලය විදේශ වැඩසටහන් ප්‍රචාරය කිරීමට ලබා දීමේ යෝජනාවක් තිබුණා. එය සාර්ථක වුණේ නැහැ.

පසුව තමයි බදු දීමේ ක්‍රමවේදය ආවේ. අපි කරන්නේ කෙටි කලකට බදු දීමක් පමණයි. ආයතනය ගොඩ ගන්න මීට වඩා විකල්පයක් අපට නැහැ‘‘

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රූපවාහිනී සංස්ථා ශාඛාවේ ලේකම් දිනේෂ් ගුණරත්න අදහස් මෙසේ දැක්වීය.

‘‘රූපවාහිනි සංස්ථාවේ සේවකයක් 800කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ආයතනයේ ආර්ථික අර්බුදය තිබුණත් අපට වැටුප් ලැබුණා.

ඒත් ආයතයේ කටයුතු සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතු වෙලා තිබුණෙ. ආයතනයේ මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙසින් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් මේ වන විට ක්‍රියාත්මකයි. ඇත්තෙන්ම අපට පක්ෂ පාට වැඩක් නැහැ. අපි කටයුතු කරන්නේ සේවක පොදු ප්‍රශ්න ගැනයි.

වෘත්තීය සමිති එකමුතුවක් ලෙසින් අප සංගම් 5ක් හා ඒකාබද්ධව වැඩ කරන්නේ. 

සභාපතිවරයා අපෙන් මේ සම්බන්ධව විමසූ අවස්ථාවේත් අපි එයට වෘත්තීය සමිතියක් ලෙස එකඟ වුණේ ක්‍රීඩා කටයුතු විකාශය සඳහා පමණක් මේ නාළිකාව ලබා දීමට කටයුතු කරන බව අපව දැනුවත් කළ නිසයි.

ජනමාධ්‍ය ඇමැතිවරයා විදේශගතව සිටි නිසා අප ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමැතිතුමා හමු වුණා. ඔහු සභාපතිතුමා හමුවට පැමිණ මේ ගැන කතා කළා පසුව ජනාධිපති ලේකම්වරයාටත් මේ ගැන දැනුවත් කළා.

අපට තියෙන්නේ ආයතනය රැක ගැනීමේ ගැටලුවක්. ඒ සඳහා සභාපතිවරයා ඉදිරිපත් කරපු විසඳුමට ඒ කියන්නේ අයි නාළිකාවේ ගුවන් කාලය ක්‍රීඩා කටයුතු සඳහා බදු දීමට අපි එකඟ වුණේ මේ අවස්ථාවේ හැටියට ආයතයත් සේවකයනුත් බේරා ගැනීමට ඇති හොඳම ක්‍රමය එය නිසයි.‘‘

සමගි සේවක සංගමයේ සභාපති තුසිත හේමන්ත මෙසේ පැවසීය.

‘ජාතික රූපවාහිනිය මේ වන විට විශාල මූල්‍ය අර්බුදයකට පත් වෙලා තියෙන්නෙ. ඒ තත්ත්වයෙන් ගොඩ එන්න අනිවාර්යෙන්ම කුමන හෝ ක්‍රමවේදයක් අවශ­්‍යයි. 2013 වසරේ සිටම මේ තත්ත්වය ක්‍රමයෙන් ඇති වුණා. අපට තිබුණු ක්‍රීඩා අපට අහිමි වුණේ ඒ කාලෙ ඉඳන් ඒ වගේම 2019 ඉදල ලොතරැයි දිනුම් ඇදීමෙන් හිමිවුණු මිලියන 37ක් අපට අහිමි වුණා. මේ වගේ අර්බුද හමුවේ අපට ඇතිවුණු තත්ත්වය උඩ සේවකයන් දැඩි අපහසුතාවට පත් වෙලා තියෙන්නෙ.

ඒක නිසා මේ තත්ත්වයට විසඳුමක් ලෙස ආයතනය ආරක්ෂා කරන ඕනෑම විසඳුමකට අපිත් සහාය දෙනවා.

නමුත් මෙහිදී අපට ගැටලුවක් මතු වෙනවා. ඇත්තටම චැනල් අයි එක බදු දුන්න ද නැත්නම් වෙනත් ක්‍රමවේදයක් ද කියන එක. මොකද මේ ගිවිසුම ඉරිදා දිනයක අත්සන් කරල තියෙන්නෙ. සභාපතිවරයාගේ වගකීම වෙන්නෙ දැන් හරි සේවකයො රැස් කරලා ඒක පැහැදිලි කිරීමයි. එවිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.“

රූපවාහිනී සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති චම්පික නරසිංහ මෙසේ අදහස් දැක්වීය. 

‘‘සංස්ථාවට මෑත කාලයේ සභාපති තනතුරුවලට පත්ව ආපු ගොඩක් අය මාසයෙන් දෙකෙන් ගියා. ඒ අයට ස්ථිර වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. ඒක නිසා මේ වෙනකොට මිලියන 1500ක් 2000ක් විතර ආයතනය ණය වෙලා තියෙන්නෙ.

අපේ ගෙදරක දරන්න බැරි විදිහට ණය බරින් මිරිකුණොත් ගෙදර බඩු මුට්ටු විකුණලා හරි අපි ජීවත් වෙන්න ඕන. ඒක හරි. අපි මේ වෙනකොට බිත්තියටම හේත්තු වෙලා ඉන්නෙ. ආයිත් වැටෙන්න තැනක් නැහැ. අර්බුදය ඒ තරමට උග්‍රයි. නමුත් මෙහිදී මතුවන ගැටලුව වෙන්නේ සාමාජිකයො අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අපි දන්නෙ නැති වීමයි.

සභාපතිවරයා සද්භාවයෙන් කරන දේවල් පවා එළියට යන්නෙ වැරදි විදිහට. ඒක නිසා මේ වෙලාවෙ හොඳම දේ තමයි සභාපතිවරයා විසින් පැහැදිලිවම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීම.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති නලින් මාපිටිය මෙසේ අදහස් දැක්වූවේය.

‘‘මේ ගැටලුව අද ඊයෙ ඇති වුණ ප්‍රශ්නයක් නෙමෙයි. අතීතයේ ඉඳල ආපු ප්‍රශ්නයක වර්තමාන ස්වරූපය තමයි අපට මේ දකින්න තියෙන්නෙ. ඒ ප්‍රශ්නයට ගෙන ආපු විසඳුමක් ලෙස තමයි අපි මේ බදු දීම දකින්නේ.

පාර්ලිමේන්තුවේ කතා කරද්දි එක එක්කෙනා මේ ගැන කෑ ගැහුවත් අපි ගැන ඇත්තටම හොයල බලන්න කවුද එන්නෙ. කවුද මේ සංස්ථාවෙ විදුලි බිල ගෙවන්නේ‍්, සේවක වෙද්‍ය රක්ෂණය අඩපණ වුණා. කවුද ඒ ගැන හෙව්වෙ.

අපි සාමූහික වෘත්තීය සමිත් 5ක් එකතුව ඉන්නවා. 

වෘත්තීය සමිත එකතුවක් ලෙසින් තමයි අප කටයුතු කරන්නේ. මේක විකිණීමක් නොවන බව අපට තේරුම් ගියා. ඒ වගේම වත්මන් සභාපතිවරයා අපට කතා කරලා විමසුව අයි නාළිකා ගුවන් කාලය බදු දෙන්න තීරණය කළා. ඒ සඳහා සහාය ලබා දීමට කටයුතු කරන්න කියලා.

ඒ අනුව තමයි මාස 6ක කාලයකට ආයතනයේ අයි නාළිකාව බදු දීමක් කර තියෙන්නේ.

මේ වෙලාවෙ සේවකයන්ගේ පාරිතෝෂිත දීමනා ගෙවා ගන්න බැහැ. විදුලි බලය විසන්ධි කරා එක්වරක්. තවත් අවස්ථා ගණනාවකදී මණ්ඩලයෙන් ආවා විසන්ධි කරන්න. අපට වාද භේද තියෙන්න පුළුවන්. මොනව වුණත් අපි පළමුව ආයතනය රැකගත යුතුයි’.

පුංචි තිරයේ ඇත්තන්ගේ කතාබහ එසේය. චැනල් අයි ගුවන් කාලයේ බදුදීම ගැන ඇතිවුණු වාද විවාද මේ වන විට යම් ප්‍රමාණයකට යටපත්ව ගොස් ඇතත් එහි සත්‍යය සියලු දෙනා දැනගත යුතුය. ඒ සදහාද පැහැදිලි ක්‍රියා මාර්ගයක් කඩිනමින් අනුගමනය කිරීමට කටයුතු කළ යුතුය.

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්නෙ

Comments