මේ ආර්ථික අර්බු­ද­යට දේශ­පා­ලන පිළි­තු­රක් නැහැ; ඇත්තේ ආර්ථික විස­ඳු­මක් පම­ණයි | සිළුමිණ

මේ ආර්ථික අර්බු­ද­යට දේශ­පා­ලන පිළි­තු­රක් නැහැ; ඇත්තේ ආර්ථික විස­ඳු­මක් පම­ණයි

 

පසුගිය රජයන් ගත් විවිධ තීන්දු තීරණ, රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම් මෙන්ම විශ්‍රාම වැටුප් බර දරන්න සිදු වෙලා තියෙන්නේ රටට බදු ගෙවන ජනතාවට. එසේ වූයේ ඇයි..?

මේ දැවැන්ත ආර්ථික අර්බුදය අද ඊයේ ඇති වූවක් නෙමේ. 1977න් පසුව කවුරු ආණ්ඩු කළත් ඒ ආණ්ඩුව පවත්වා ගෙන යෑමට ආදායමක් තිබුණේ නැහැ. එනම් පුනරාවර්තන වියදම් දැරීමට ප්‍රමාණවත් ආදායමක් තිබුණේ නැහැ. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා රාජ්‍ය ණය සඳහා ගෙවන පොලී, සමෘද්ධි සහනාධාර ඇතුළු අනිකුත් වියදම් මේ පුනරාවර්තන වියදම්වලට ඇතුළත්. මේ තුළ වංචාවක් දූෂණයක් නැහැ. කුමන පක්ෂයක් රාජ්‍ය කළත් මේ වියදම් අනිවාර්යයෙන්ම දැරිය යුතුයි. මේ සඳහා ප්‍රමාණවත් ආදායමක් ලැබුණේ නැතිනම් ඕන ආණ්ඩුවක් ගන්න ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. ඒ දේශීය හා විදේශීය ණය ගැනීම් හා මුදල් අච්චු ගැසීම්. නිවසක් තුළට වුවත් මේ ක්‍රමය පොදුයි. රජය මහජනයාගෙන් බදු අය කරලා ඒ වියදම් දැරීමට ප්‍රමාණවත් මුදලක් නැතිනම්, ඉතිරිය ණයක් වශයෙන් ගත නොහැකි නම් ඔවුන්ට සිදු වෙනවා මුදල් අච්චු ගැසීමට. එසේ දීර්ඝ කාලයක් මුදල් අච්චු ගහලා දැන් ලෝකයට කියලා තියෙනවා අපිට මෙතැනින් එහාට ණය ගෙවිය නොහැකි බව. එවිට තවදුරටත් ණය ගන්න බැහැ. මුදල් අච්චු ගහන්නත් බැහැ. මෙය දේශපාලනඥයන්ට තේරෙන්නේ නැහැ. මේ ඇති වී ඇති ආර්ථික අර්බුදයට දේශපාලන පිළිතුරක් නැහැ. ආණ්ඩු, පළාත් සභා, ප්‍රාදේශීය සභා වෙනස් කළත් මේ ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. මෙයට ඇත්තේ ආර්ථික විසඳුමක් පමණයි.

ඔබ එසේ කීවත් විපක්ෂය චෝදනා කරන්නේ මේ තත්ත්වය ඇති වුණේ ගෝඨාභය රාජපක්ෂ වකවානුවේ බව?

මෙය අමූලික අසත්‍යක්. මේ ප්‍රශ්නයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මම මුදල් අමාත්‍යාංශයේ සිටින කාලයේ 2003 මූල්‍ය වගකීම් කළමනාකරණ පනත ගෙනාවා. එහි පරමාර්ථ තුනක් තියෙනවා. 2006 වන විට ලංකාවේ අයවැය පරතරය දළ දේශීය නිශ්පාදිතයෙන් 5%ක් විය යුතු අතර දිගටම එම ප්‍රමාණයට වඩා අඩුවෙන් පවත්වා ගෙන යා යුතු වීම, 2013 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 65% දක්වා අඩුවිය යුතු වීම හා ඒ මට්ටම පවත්වා ගෙන යාම, රජය ණය සඳහා ඇප වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ට වඩා ඇප නොවිය යුතු වීම. මීට වසර 20කට පෙරයි මේ පනත ගෙනාවේ. එදා නිවැරදි බෙහෙත දුන්නා. නමුත් මුදල් අමාත්‍යාංශය හසුරවපු පණ්ඩිතයන් සියලු දෙනා පාර්ලිමේන්තුවට දුන්නේ වැරදි උපදෙස්. මේ පනත තුන් වතාවක් සංශෝධනය කළා. මේ නිසා අද වන විට ණය දළ දේශීය නිෂ්පාදිතය මෙන් 120 ගුණයක් වෙලා. අය වැය පරතරය 12%ත් පැනලා. ණය සඳහා ඇප වන ප්‍රමාණය 15%ක් වෙලා. සම්පූර්ණයෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කඩා වැටිලා. 2013 කළ රාජ්‍ය මූල්‍ය අපරාධය තමයි අද මේ පඩිසන් දීලා තියෙන්නේ. යහපාලන රජය කාලයේ මෙය උග්‍ර වුණා. එවකට මුදල් ඇමැතිව සිටි රවි කරුණානායක, මහ බැංකු අධිපතිව සිටි කුමාරස්වාමි වියදම් වැඩිකර ණය ගැනීමට බැරි වන විට ගිනි පොලියට ස්වෛරීත්ව බැඳුම් කර ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් නිකුත් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ලෙස 2005-2014 වසර තුළ ස්වෛරීත්ව බැඳුම්කර ලබා ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 6.5 යි. නමුත් යහපාලන රජය වසර 5 කදී පමණක් ඇමෙරිකන් ඩොලර් බිලියන 12.12 කට වඩා වැඩි ප්‍රමාණයක් ගත්තා. 2019 අන්තිම වසරේදි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කළා; ඇමෙරිකන් ඩොලර් බිලියන 4කට වඩා වැඩියෙන්. ඒවා 2029 දක්වා ගෙවීමට තියෙනවා. ඒ නිසා කාගේ හෝ රජයක් ආවත් අපිට 2029 දක්වා ඔළුව උස්සන්න බැහැ.

ඔබත් පසුගිය රජයන්වල ප්‍රබල ඇමැතිවරයෙක්. ඒ වගේම ආර්ථික විශ්ලේෂකයෙක්. ඇයි අනතුරු හැඟවීමක් කරන්න බැරි වුණේ?

ඔව්. මම ඇමැතිවරයෙක් වගේම විපක්ෂයෙත් හිටියා. 2003 මම ඇමැතිවරයෙක් ලෙස සිටියදී නිවැරදි පිළිතුරු දුන්නා. ඒ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතකින්. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විෂයානුබද්ධ අය නෙමේ. මුදල් ඇමැතිත් විෂයානුබද්ධ නැහැ. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ හා වෙනත් නිලධාරි පණ්ඩිතයින්ගේ උපදෙස් අනුවයි කටයුතු සිදු වුණේ. හිටපු ජනාධිපතිවරු, මුදල් ඇමැතිවරු මේ පණ්ඩිතයන් කියූ දේ ඇහුවා මිසක් පාර්ලිමේන්තුව, කැබිනට් එක කියන දේ මායිම් කළේ නැහැ. දේශපාලනඥයන්ට පවා මේ දේ තේරුම් කර දුන්නේ මේ නිලධාරීන්. එදා ඔවුන් කියන දේ බොරු බව කියා මම පොතක් ලිව්වා. ඒ පාර්ලිමේන්තුවේ හා පිටත කතා කර වැඩක් නැති නිසා. පාර්ලිමේන්තුව බොරුවෙන් නොමඟ යැවීම් ගැන වූ මේ පොත ‘ අයවැය මිථ‍යාව හා යථාර්ථය‘. පාර්ලිමේන්තුවට බොරු තොරතුරු දුන් බව කියමින් කථානායකට පැමිණිලි කළා. කවුරුත් ඇත්ත ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැත්තේ ජනතාව වගේම ඔවුන් ද නොදන්නා නිසයි. නමුත් තමන් නොදන්නා බව ඔවුන් පිළිගත්තේ නැහැ. ලංකාවේ ඇත්ත ප්‍රශ්නය සොයා විසඳුම් ඉදිරිපත් කිරීමට දන්න ආර්ථික විද්‍යාඥයන් පිරිසක් හිටියේ නැහැ.

පසුගිය රජයන් සමයේ සිදු කළ අසීමාන්තික බඳවා ගැනීම්, වැටුප් වැඩි කිරීම් මෙන්ම මුදල් අච්චු ගැසීම් නිසා මේ තත්ත්වය ඇතිවූ බව ඔබ පවසනවා. තිස්ස දේවේන්ද්‍ර කොමිසමේ පවා පැහැදිලිව පවසා තියෙනවා 2001 රාජ්‍ය සේවයේ සිටිය යුත්තේ ලක්ෂ 6ක් කියා. නමුත් 2021 වන විට රාජ්‍ය සේවක පිරිස් ප්‍රමාණය ලක්ෂ 12.5ත් පැනලා?

රාජ්‍ය වියදම් අසාමාන්‍ය ලෙස වැඩි කර ගෙන තියෙන්නේ විවිධ රජයන් බලය ලබාගැනීම් සඳහා ජනතාවට බොරු කීමෙන්. 1977 සිටම මේ බොරු කීම වැඩි වුණා. බොරු කිය කියා ඡන්ද අරගත්තට පස්සේ ලංකාවේ වැටුප් හා විශ්‍රාම වැටුප් බිල වැඩිවුණේ අහස ‍උසට. 2000 වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම රුපියල් බිලියන 152ක, 2005 දී රුපියල් බිලියන 185ක්. 2021 වියදම රුපියල් බිලියන 478යි. 2015 දී වියදම දෙගුණයකින් එනම් රුපියල් බිලියන 716ක් වුණා. 2020 වියදම රුපියල් බිලියන 1051යි. 2021 වියදම රුපියල් බිලියන 1115ක්. එනම් 633% කින් වැටුප් හා විශ්‍රාම වැටුප් බිල වැඩි වුණා.

ඊට හේතු දෙකක් බලපෑවා. ඒ රාජ්‍ය සේවයට දේශපාලන හේතු මත තොග වශයෙන් බඳවා ගැනීම හා ඡන්ද දිනවීමට විශාල ලෙස වැටුප් වර්ධක ලබා දීම. මම කිසි දවසක අසාමාන්‍ය ලෙස මගේ ආයතනවලට පුද්ගලයන් බඳවා ගෙන නැත්තේ මේ ආර්ථික තත්ත්වය මම දන්නෙ නිසා. රූපවාහිනියට, ලේක්හවුස්, ස්වාධීන රූපවාහිනියට, තැපැල් හා දුම්රිය දෙපාර්තමේන්තුවට මගේ කියලා තොගයට පිරිස් ඇතුළු කළේ නැහැ. නමුත් එක්තරා ඇමැතිවරයෙක් ඛණිජ තෙල් සංස්ථාවට පමණක් 6000ක් එකවර බඳවා ගෙන තියෙනවා. මේවාට හවුල් වෙන්නේ රාජ්‍ය සේවයේ නිලධාරීන්. හැමෝම නෙමෙයි. සෑම රජයකටම මේ තීන්දු තීරණ ගැනීමේදි සම්බන්ධ වෙන්නේ ඉහළ සිටින තමන් හරි යැයි අනුමානයේ සිටින රාජ්‍ය නිලධාරීන් 10 කට වඩා අඩු ප්‍රමාණයක්. මුළු රාජ්‍ය සේවයේම නිලධාරීන් මීට වග උත්තරකරුවෝ නෙමෙයි. මේ සුළු පිරිස විෂයානුබද්ධ දැනුමක් ඇති කෙනෙක්ට කිට්ටුවටවත් යන්න දෙන්නේ නැහැ. මට කිසිම ආණ්ඩුවක් විහිළුවකටවත් මුදල් ඇමැත­ිකම දෙන්නේ නැහැ. මම මේ සාස්තරේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උගන්වලා තියෙනවා. හැබැයි මට මේක කියලා දෙන්න බැරි පාර්ලිමේන්තුවට පමණයි. ඒ වගේම අපේ පාර්ලිමේන්තුව මූල්‍ය බලය පාවිච්චි කරන්න දන්නේ නැහැ.

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධව රජයේ ඉදිරි වැඩපිළිවෙළ කුමක්ද?

දෙසැම්බර් මස දරපු වියදම මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දෙසැම්බර් මස සමස්ත රජයේ ආදායම වෙලා තියෙන්නේ රුපියල් බිලියන 141ක්. එයින් රුපියල් බිලියන 88ක් රාජ්‍ය හා විශ්‍රාම වැටුප්වලට. විමධ්‍යගත හා සමෘද්ධි සඳහා රුපියල් බිලියන 30ක්. පොහොර සඳහා රුපියල් බිලියන 6.5 යි. අත්‍යවශ්‍ය ඖෂධ සඳහා රුපියල් බිලියන 8.7යි. ඉතිරි පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 21ක්. මේ සියල්ලටම පමණක් රුපියල් බිලියන 154ක් යනවා. නමුත් රුපියල් බිලියන 141ක ආදායමෙන් මේ වියදම් පියවන්න බැහැනේ. මීට අතිරේකව ගත්තු ණය සඳහා පොලී වශයෙන් රු. බිලියන 182ක් දෙසැම්බර් මාසයේ අනිවාර්යයෙන් ගෙවිය යුතු වුණා. දෙසැම්බර් මාසයේ මේවා ගෙව්වෙත් මුදල් අච්චු ගහලයි. මේ නිසා අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක්විය යුතුමයි. මේ පිළිබඳ ඉන්දියාව කැමති බවට සුබ ආරංචියක් ලැබෙමින් පවතිනවා. පැරිස් ආධාර කණ්ඩායම කැමැති බව කියනවා. ජපානය කැමැති වෙලා. චීනය සමඟ මේ දිනවල සාකච්ඡා කරමින් යනවා. මෙයින් තොරව කිසිම ජගතකුටවත් මේ රට ඉදිරියට ගෙනියන්නට බැහැ. ණය ප්‍රතිව්‍යුගතකරණයත් සමඟ IMF හි මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයේ ගිවිසුම අත්සන් කොට මුදල් කොටස ලබාගත යුතු වෙනවා. ඉන්දියාව අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැමැත්ත දුන් බව ප්‍රකාශ වීමත් සමඟම කොටස් වෙළෙඳපොළ නඟිනවා. මේ විශ්වසනීය බව තාක්ෂණික ක්‍රියාවලියක් හරහාම සිදු විය යුතුයි.

IMF ණය පොලි එකඟතාවේ වර්තමානය තත්ත්වය කොහොමද? ඩොලර් බිලියන 2.9 කවදා ලැබෙයිද?

පළමුවැනි කාර්තුවේදී එය ඉෂ්ට වෙයි.

විපක්ෂය චෝදනා කරනවා රජය කළ නොහැකි ප්‍රතිසංස්කරණ කරා පිවිස ඇති බව?

මුලින්ම විපක්ෂය තමන්ට කරන්න පුළුවන් මොනවද කියා කිව යුතුයි. IMF එපා කියන මේ අයගේ කතාවලින් තේරෙන්නේ මේ අය බලයට පත් වූ පසු වැටුප්, සමෘද්ධි ලබා දීමට බැරි වන බවයි. ඔවුන් මේ ප්‍රශ්නයේදී කියන දේ කරන්නේ කොහොමද කියා කිව යුතුයි.

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදිරියේදී වැටුප් මෙන්ම විශ්‍රාම හා සමෘද්ධි දීමනා ගෙවීමේ වෙනසක් සිදු වන බව පවසනවා?

හැම අවස්ථාවේදීම ආවස්ථික පිරි වැය එනම් එක් තීන්දුවක් ගැනීමේදි තවත් දෙයක් කැප කිරීමට සිදුවීම තමයි කළේ. සියලු ප්‍රාග්ධන වියදම් කපා හැරලා තමයි වැටුප් ගෙව්වේ. වැටුප් ගෙවීම කවදාවත් නතර වෙන්නේ නැහැ. ප්‍රමුඛතාව අනුව මුලින්ම තියෙන්නේ විශ්‍රාම වැටුප්වලට. අනතුරුව සේවක, මාණ්ඩලික වැටුප්, සමාද්ධිය ගෙවීමට මේ ආදායම හොඳටම ප්‍රමාණවත්. නමුත් අනිකුත් දේවල් කරන්න බැහැ. දේශපාලනඥයෝ පවා වේදිකාවල කියන්නේ කිසිදු ආවස්ථික පිරිවැයක් නැතුව මේ දේවල් කරන්න පුළුවන් බව. මේ දේශපාලන බොරුව නවතින තාක් කල් මේ රටට වගතුවක් වෙන්නේ නැහැ.

කවුරු කෙසේ කිව්වත් නියමිත පරිදි නියමිත වැටුප ලැබෙයි කියන විශ්වාසය ජනතාවට තියෙනවා. ඔබ පවසන පරිදි මේ වෙනස්වීම් සිදුවන්නේ ජනවාරි මස වැටුපේ සිටද?

අපි මුළු වැටුපම ගෙවනවා. නමුත් දින කිහිපයක් පමා වෙනවා. පළමු මාස තුනට පමණයි. ඒ මුල් මාස තුනට බදු මුදල් අඩුවෙන් ලැබීම නිසා. වැටුප් ගෙවන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලයි, වැටුප් ගෙවීමට ණය ගන්නේ. ඊට 30%කට වඩා වැඩි පොලියක් ගෙවනවා. එය ගෙවන්නේ මහජනතාවයි.

පසුගියදා උද්ධමනයේ යම් අඩුවීමක් පවතින බව ප්‍රකාශ කළා. එය කොයි ආකාරයෙන්ද?

දැන් උද්ධමනය 50%ට වැඩියි. යම් ප්‍රමාණයකට අඩු වුණා කියලා බඩු මිලේ අඩුවීමක් නැහැනේ. හැමදේම එකට තුන් ගුණයක් වැඩි වෙලා. සාධනීය තත්ත්වයක් දකින්න නම් රටක උද්ධමනය, ණය පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් විය යුතුයි.

විදුලිබල මණ්ඩලය ගෙවීමට ඇති ණය ප්‍රමාණය විශාලයි. එය බැංකුවකින් හෝ ණය නොදෙන තත්ත්වයක්. ජනතාවක් දැඩි අපහසුකාරී යුගයක් පසු කරන්නේ. මේ අවස්ථාවේ විදුලි බිල වැඩි කළ යුතුද?

රුපියල් බිලියන 325ක් විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු වෙනවා. ගල් අඟුරු නැව එනවා. ඒත් නිදහස් කර ගන්න මුදල් නැහැ. පෙට්ට්‍රෝලියම් සඳහා රුපියල් බිලියන 106ක්. පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 50ක්. වහල මත සූර්ය බලශක්ති සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 5ක්, පුද්ගලික විදුලි බලාගාර සඳහා රුපියල් බිලියන 90ක්, ජනවාරි මස ගුල් අඟුරු සඳහා රුපියල් බිලියන 38.45ක් හා පෙබරවාරි ගත් අගුරු සඳහා රුපියල් බිලියන 31.6ක්. මේ තත්ත්වය මත ලංකාවේ කිසිදු බැංකුවකින් මේ ආයතනයට ණය දෙන්නේ නැහැ. විදුලිබල මණ්ඩලය මුදල් සොයා ගත්තේ නැතිනම් ටික වේලාවක් අපිට ආවස්ථික පිරිවැයක් දරන්න වෙනවා.

බැංකු ස්ථාවර හා ණය පොලී යම් අඩුවීමක් සිදුවී ඇත්ද?

ණය පොලී අනුපාත අඩු විය යුතුයි. වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට නිසා ඒ අය කියන දේ අකමැත්තෙන් හෝ අපි පිළිගත යුතුයි.

දුම්රිය, බස්රථ සේවාව කාර්යක්ෂම හා විධිමත් සේවාවක් බවට පත් කිරීමේ මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහන් කළොත්?

මේ කාර්යක්ෂමතාව ඇති කරන්න අපි ණය ආධාර හා විදේශාධාර හොයනවා. පෙබරවාරි බස් 1000ක් පොදු ප්‍රවාහනයට යොදවනවා. රුපියල් කෝටි 3500කට වඩා විශාල ව්‍යාපෘතියක් ආරම්භ කළා, දුම්රිය මාර්ග සකස් කිරීමට. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා, විදුලි දුම්රිය විදුලි බස්රථ ආයෝජකයෝ ලංකාවට පැමිණෙනු ඇති බවට. මීට අමතරව තවත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා, විදේශ ආධාර ඇතිව.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන බවට විපක්ෂය චෝදනා කරනවා? මෙය පවත්නා ආර්ථික අර්බුදයට බරක් නෙමෙයිද?

රටේ පවතින තත්ත්වය මැතිවරණ කොමිසමට හෝ අනිකුත් තැනැත්තන්ට තේරෙන්නේ නැතිනම් ඒ වියදම් දරා ගනිමින් මැතිවරණය තියන්න අපි ලෑස්තියි. නමුත් ආර්ථික අර්බුදයට මේ සියල්ලෙන්ම පිළිතුරක් ලබෙන්නේ නැහැ. හැමෝම හිතන්නේ තමන්ගේ නැණ පමණටයි.

 

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

Comments