ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පසුගිය සතියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර 09 වැනිදා වඩිවේල් සුරේෂ් සමගි ජන බලවේගයේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වුයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරමිණි.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ අනෙක් ජනරැළිවලට සහභාගිවෙමින් තමන් සංවිධානය කළ රැලියට සජිත් නොපැමිණීම පිළිබඳව වඩිවෙල් සුරේෂ්ට යකා නැඟ තිබුණි.
පක්ෂයේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වූ පසුව වඩිවෙල් සුරේෂ් දුරකතනයට සම්බන්ධ කර ගැනීමට පක්ෂයේ දේශපාලඥයින් පිරිසක් උත්සාහ කළද වඩිවෙල් සුරේෂ් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
සජිත්ගේ තීන්දුවට පිටුපාමින් පිරිසක් රනිල් හමුවෙති
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වර්ජනය කිරීමට සජිත් ප්‍රේමදාස තීරණය කළද රවුෆ් හකීම්, පී. රාධක්‍රිෂ්ණන්, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක ඇතුළු සමගි ජනබලවේගයේ පක්ෂ නායකයන් රැසක් ජනපතිගේ කතාවට සවන් දුන්නා පමණක් නොව ඉන් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහයටද සහභාගී වීම විශේෂත්වයකි.
නිල නොවන සාක් සමුළුවක්
නිල නොවන මට්ටමේ සාක් සම්මේලනයක් ඉකුත් සතියේ කොළඹ නගරයේදි පැවැත්විණි. ඒ දකුණු ආසියානු කලාපයේ ඇමැතිවරුන් විශාල පිරිසක් මෙරටට පැමිණ සිටීම නිසාවෙනි. මෙරට 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් දකුණු ආසියානු කලාපයේ මෙන්ම ලෝකයේ රටවල් බොහෝ ගණනක රාජ්‍ය නායක කාරකාදීන් මෙරටට පැමිණ සිටියෝය.
ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, භුතානය, මාලදිවයින වැනි දකුණු ආසියානු කලාපයේ රටවල අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙහි පැමිණි සිටියේ ජනපති රනිල්ගේ ආරාධනාවෙනි. ජපාන රාජ්‍ය ඇමැතිවරයෙකු හා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් ද මෙරටට පැමිණ සිටියේ නිදහස් උළෙලට සහභාගීවීමටය.
මෙරටට පැමිණි දකුණු ආසියානු කලාපයේ ඇමැතිවරුන් ජනපති මුණ ගැසුණේ ඉකුත් ඉරිදාය. රාජ්‍යයන් අතර පවතින මිත්‍රත්වය ගැන මෙන්ම කලාපය මුහුණ දෙන ගැටලු ගැන ද මෙහිදි ඔවුන් සාකච්ඡා කළේය. කණ්ඩායම් වශයෙන් හා තනි තනිව පැවැති මෙම හමුවෙන් පසු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල කීවේ “සර් කොහොම හරි නිල නොවන සාක් සමුළුවක් පැවැත්වූවා නේද” යනුවෙනි.
නිදහස් උත්සවයට සාමාන්‍ය මෝටර් රථයකින් පැමිණි අමුත්තා
මෙරට 75 වැනි නිදහස් උළෙල ඉතා ගාම්භීර හා චාම් ලෙස පැවැතියේ ගාලුමුවදොරදී ය. නිදහස් උත්සවය පැවැති භූමියට ආරාධිතයන් රැගත් නවීන රථ පැමිණෙද්දී සාමාන්‍ය කාර් රථයක් පැමිණෙන අයුරු දැක බොහෝ දෙනෙක් ඒ කවුදැයි සොයන්නට වූවේ හුන් තැනින් නැගිටය. සාමාන්‍ය රථය ප්‍රධාන අමුත්තන්ගේ පීඨිකාව අසල නතර කළ පසු සැවොම මවිත කරමින් ඉන් බැස ආවේ ජනපති ලේකම් සමන් ඒකනායකය.
නිදහස් දිනයත්, රාජාසන කතාවත් හේතුවෙන් ජනපති රනිල් ට සතියේ මුල් දින කිහිපය ඉතා කාර්යබහුල විය. ඉරුදින ඉන්දියානු රජයෙන් නොමිලයේ ලැබෙන බස් රථ පිළිගත් ජනපති එදිනම ජපන් රජයෙන් පොලිසියට පිරිනැමුණු වාහන ද භාර ගත්තේ ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදීය.
ගංගාරම විහාරස්ථානය වෙත ජනපති ගියේ නවම් පෙරහැරේ මංගල හස්තිරාජයා පිට සධාතුක කරඬුව තැන්පත් කිරීමටය. එම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද ඇරයුම් ලැබ පැමිණ සිටි අතර ජනපතිවරුන් දෙපළටම අසුන් පනවා තිබුණේ ද එකම ස්ථානයක ය.
බෑන් කී මුන් ආවේ ඇයි?
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බැන් කි මූන් සඳුදා මෙරටට පැමිණියේ ගෝලීය හරිත වර්ධන ආයතනයේ සභාපතිවරයා ලෙසය. මෙරට හරිත ආර්ථිකයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර බොහෝ කරුණු සාකච්ඡා කෙරුණි.
පරිසර අමාත්‍යාංශය සමඟ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමෙන් පසු ජනපති හමුවූ බැන් කී මූන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ලෙස මෙරටට පැමිණි අවස්ථා ද සිහිපත් කරමින් ජනපති හා සාකච්ඡා කළේය. මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට දකුණු කොරියාව උපකාර කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ජනපති රනිල් ඉදිරියේය. සියලු සාකච්ඡා අවසානයේ බෑන් කී මූන් ජනපතිට හොඳ සහතිකයක් ද ලබා දී ගියේය. ඒ මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩගත හැකි නායකයා රනිල් බව කියමිනි.
පාර්ලිමේන්තුවේදී ජනපතිගේ කතාවට බාධා කළේ කවුද?
ජනපති බදාදා පාර්ලිමේන්තු පැමිණියේ රාජාසන කතාව කිරීමටය. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ඔහුට රට දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවය තිබුණි. නිදහස් දිනයේදී ද රාත්‍රියේ ඔහු ජාතිය අමතා ප්‍රකාශයක් කළ අතර බදාදා පාර්ලිමේන්තුවේදි රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ජනපතිගේ කතාව අසන්නට සභාවට නොපැමිණි නමුත් පැමිණ සිටි පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම් ජනපති සභාවට පැමිණෙද්දී හූ කියමින්, කෑ කෝ ගසමින් සභාවෙන් පිටව ගියහ. ජනපති සිය කතාව අවසන් කොට තේ පැන් සංග්‍රහ පැවැති පාර්ලිමේන්තු භෝජනාගාරය වෙත ගියේ ආරාධිතයන් ද සමඟිනි.
තානාපතිවරු බොහෝ දෙනෙකු ජනපතිගෙන් විමසු පැනය
මෙහිදි ජනපතිගෙන් බොහෝ දෙනෙක් විමසා සිටියේ මෙවැනි ජනප්‍රිය නොවන තීන්දු ගන්නේ කෙසේද කියාය. මෙය ඔබගේ දේශපාලන ආනාගතයට සුබදායි නැහැ නේදැයි එහි පැමිණි තානාපතිවරුද විමසා තිබුණි.
“මම හැමදාම තිත්ත ඇත්ත කතා කළා. මම ඇත්ත කතා කරන්න ගිය නිසා තමයි හැමදාම පරාජය වුණේ. මට දැන් අවුරුදු දෙකහමාරක කාලයක් ලැබිලා තියෙනවා. මගේ වගකීම ඇත්ත කතා කරලා රටට හරි දේ කරන එකයි. එය බොහෝ අප්‍රසන්න වේවි. ඒත් අනාගතයේදි සැවොම මම කළ දේ හරි කියාවි.“ ජනපති කීවේ එවැන්නති.
ජනපතිට බාධා කළ මන්ත්‍රීවරුන්ට දැඩි විරෝධය
“ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්න පාර්ලිමේන්තුවට එන කොට ඒක අහන්න එන්න බෑ. හැබැයි විවාදයට එන්න ඒ අයට පුළුවන්. අැත්තටම මේ දේශපාලනය ගැන ලැජ්ජයි.” ඇමැති ප්‍රසන්න කීවේ එතන සිටි මන්ත්‍රීවරුන්ටය.
“රාජාසන කතාව කරන්න ජනපති පාර්ලිමේන්තුවට එන කොට හූ කියලා කෑ කෝ ගහලා ලෝකයටම අපේ පාර්ලිමේන්තුව ගැන වැරදි පණිවුඩයක් දුන්නා. තානාපතිවරුත් ඒ වෙලාවේ ගැලරියේ හිටියා.” මධුර විතානගේ ද පිළිතුරු දුන්නේ කනගාටුවෙනි..
වියත් මඟත් බාධා කරයි
“අපේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන ජනතාවගේ විශ්වාසය ගිලිහිලා ගිහින් තියෙන්නේ මේ වගේ වැඩ හින්දා තමයි.” දොලවත්ත මන්ත්‍රීවරයාගේ අදහස එය විය.
“වියත්මඟ කියාගෙන එකක් අටවගෙන හිටපු ජනාධිපතිතුමාව අමාරුවේ දාලා දැන් මේ අය සුදනෝ වෙන්න හදනවා. රටේ අද තියන සියලු ප්‍රශ්නවලට වගකියන්න ඕනේ මේ අයම තමයි.” වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කියද්දී එහි සිටි මන්ත්‍රීවරු හිස සැලූහ.
මේ අතර ජනපතිට එහි සිටි නිලධාරියෙකු කීවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණයක නිතරත වන බවය. එම භික්ෂූන් වහන්සේලාට ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු මුණ ගැසී ලේඛනයක් භාරදිය යුතු බවට දැනුම් දෙන බව පොලිස් නිලධාරීන් විසින් එහි සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක දැනුම්වත් කළේය. ඔහු වහාම පාර්ලිමේන්තු නිලධාරියෙකු එම ස්ථානය වෙත පිටත් කර හැරියේය.
හාමුදුරුවරුන් ඉදිරිපත් කර ඇත්තේ පැරණි ලිපියක්
ඔහු රැගෙන ආ ලිපිය මුලින්ම දුටු මන්ත්‍රී වජිර කීවේ මේ ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන් ප්‍රසිද්ධ කළ පැරණි ලිපියක්නේ කියාය. එහි සිටි සියලු මන්ත්‍රීවරුන් එය දුටුවේ එවිටය. උද්ඝෝෂණයට පැමිණි භික්ෂූන් වහන්සේලා ජනපතිට භාර දෙන ලෙස දී තිබුණේ ඔවුන් සැකසු ලිපියක් නොව මහනාහිමිවරුන් මාධ්‍යයට නිකුත් කර තිබු නිවේදනය ය.
“මහනායක හාමුදුරුවරු කතිකාවත් පනත ගෙනාපු වෙලාවේ විරුද්ධ වුණා. මේ හාමුදුරුවරු අද මහනායක හමුදුරුවන්ගේ ලිපියක් අරගෙන ඇවිල්ලා 13 එපා කියනවා. ජනාධිපතිතුමා පොලිස් බලතල දෙන්නේ නෑ කියලා රාජාසන කතාවේදි ප්‍රසිද්ධියේ කිව්වානේ.” ඇමැති බන්දුල ද කතාවට එකතු වූවේය.
ජනපතිගේ කතාවට මනෝ ගනේෂන්ගෙන් සුබ පැතුම්
ජනපති රනිල් ළඟට එම අවස්ථාවේ පැමිණි මන්ත්‍රී මනෝ ගනේෂන් ජනපතිගේ ප්‍රකාශයට සුබ පැතුවේය.” මොන අභියෝග ආවත් ඔබතුමා එක ප්රතිපත්තියක හැමදාම හිටපු එක ගැන අපි ආඩම්බර වෙනවා.” මනෝ කීවේ ජනපතිගේ කනට ලංවෙමින්ය.
බදු වැඩිවීමත් සමඟ වෘත්තීයවේදීන්ගේ උද්ඝෝෂණ ගැන මාතෘකාව ඇදී ආවේ එවිටය. මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා විමසුවේ බදු බර වැඩිවීම ගැනය.
“අපි බදු අය කරන ක්රමයේ වෙනසක් කරනවා. නිලධාරීන්ගේ වාහනයට, රියැදුරාට හා නිල නිවාස වෙනුවෙන් වටිනාකමක් සකසා බදු අය කළ ක්‍රමය වෙනස් කරනවා.” එහි සිටි රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා කීවේ සැමට සුබ පණිවුඩයක් දෙමිනි.
බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපතිට දුරකතන ඇමතුමක් දෙමින් මහාචාර්ය ආශූ මාරසිංහ කීවේ මැතිවරණ කොමිසමේ කාර්යභාරය ගැන සොයා බලන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකට ලිපියක් භාරදී ඇති බවයි. “ඒ ගැන කථානායකතුමා පිළිතුරක් දෙයි අපිට ඒකට කරන්න දෙයක් නැහැනේ.” කියමින් ජනපති ඇමතුම විසන්ධි කළේය.
එදින මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මුණ ගැසුණු ජනපති රනිල් ඔවුන්ට උපදෙස් දුන්නේ හැකි තරම් වියදම් සීමා කරමින් ආර්ථිකය පවත්වාගෙන යන ලෙසයි.
තුර්කියට මුලින්ම කෘතගුණ දැක්වීමට ජනපති රනිල් මැදිහත් වෙයි
තුර්කියේ භූ කම්පනය ගැන දැනගත් වහාම ජනපති දැඩි කනගාටවුට පත්වූවේය. වහාම එරට තානාපති කාර්යාලය වෙත දැනුම් දුන්නේ ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් අවශ්‍ය හමුදා සෙබළු එවීමේ හැකියාව පවතින බව එරට රජයට දැනුම් දෙන ලෙසටය.
ඉන් පසු අසල සිටි පිරිස හමුවේ ජනපති කීවේ සුනාමි වෙලාවේ අපිට මුලින්ම උදව් කළේ තුර්කි රජය කියාය. ඔවුන් සුනාමියෙන් විනාශ වුණ ගම්මානයක් වෙනුවෙන් නව ගම්මානයක් ඉදි කර දුන් බවද ඔහු සිහිපත් කළේය.
විපක්ෂය මග හරිනවාට ප්‍රසන්නගේ අකමැත්ත
නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පසුගිය 9 වැනිදා ආරම්භ විය. ඊට පෙරදින සැන්දෑවේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති හා අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
“හෙට පාර්ලිමේන්තු විවාදය පටන් ගන්නවා. ඒකට ඔබතුමන්ල සියලුම දෙනා සහභාගී වෙන්න” ජනාධිපතිවරයා පළමුව කීය.
“සර්.. විපක්ෂය විවාදයට එන්නෙ නෑ. අපිට විතරයි කතා කරන්න වෙන්නේ” මන්ත්‍රීවරයකු පැවසීය.
“විපක්ෂයත් මේ විවාදයට එනවනම් අපි කැමතියි. එතකොට එයාලටත් කියන්න තියෙන දේවල් කියන්න පුළුවන්. අපිට ඒවට උත්තර දෙන්න පුළුවන්. විපක්ෂය විවාදයෙන් පැනල යන එක අනුමත කරන්න බෑ” ඒ ඇමැති ප්‍රසන්නය.
“ඒකට කමක් නෑ.. ඔයාල කතා කරන්න. මේ විවාදයට ඇවිල්ල තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න බැරි ඇයි කියල ඔයාල විවාදයෙදි විපක්ෂයෙන් ප්‍රශ්න කරන්න.” ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
“විපක්ෂයටත් මේ ගැන මතයක් ඇති. ඇයි ඒක එයාලට කියන්න බැරි. අපේ විපක්ෂය කැලේ ඉන්න නරි වගේ. ප්‍රශ්නයක් ආවම හූ කියල කෑගහල පැනල යන විපක්ෂයකින් ඇති වැඩේ මොකද්ද?.” තවත් අයකු කීවේය.
“අද ස.ජ.බ - ජ.වි.පෙට ගහනව, ජ.වි.පෙ- ස.ජ.බට ගහනවා. ඕක නෙමෙයි මේ වෙලාවේ තියෙන ප්රශ්නය. මොකද්ද රටට තියෙන විකල්පය කියන එකයි.” ජනාධිපතිවරයා නැවත පැවසීය.
සරත් වීරසේකර මන්ත්‍රීවරයා මෙහිදී අයි.එම්.එෆ් අරමුදල් ගැන කළ කතාවට ජනාධිපතිවරයාට තරමක කේන්තියක් ඇතිවිය.
“ඕව ගැන කතාකරල විපක්ෂයට මාතෘකා හදල දෙන්න එපා මන්ත්‍රීතුමා.” ජනාධිපතිවරයා කීය. මන්ත්‍රී සරත් එතකින් නිහඬවිය.
“සර්.. ඔබතුමාගේ වැඩපිළිවෙළ හොඳයි. අපි ඒක අගය කරනවා. මේ විදියට ගියොත් සංචාරක කර්මාන්තය ගොඩ ගන්න පුළුවන්. ඒත් කඩාකප්පල්කාරීන් තැන් තැන්වල උද්ඝෝෂණ පටන් අරගෙන තියෙනවා. මේක සංචාරක කර්මාන්තයට වගේම අපිට ආධාර දෙන අයි.එම්.එෆ් ඇතුළු අනෙකුත් ආයතනවලට ප්‍රශ්නයක් වේවි.ඒක නිසා දැන්ම මේක කඩා ගන්න ඕන” ඒ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනය.
“මම මොකද්ද කරන්න ඕන. ඒකට මැදිහත් වෙන්න ඕන සංචාරක කර්මාන්තයෙන් යැපෙන අයයි” ජනාධිපතිවරයා කීය.
“සර් ඡන්දය තියනවද? නැද්ද?. අපිටනම් ඡන්ද කරන්න සල්ලිත් නෑ”
මන්ත්‍රී මිලාන් ජයතිලක කතාව වෙනතකට හරවමින් පැවසීය.
“ඔබතුමාට සල්ලි තියෙනවද? නැද්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි ඡන්ද කරන්න මටනම් සල්ලි නෑ.” ජනාධිපතිවරයා කී කතාවට මන්ත්‍රීවරුන් කොක්හඬ ලෑවේය.
ෆේස් බුක් ජනපති කවුද?
පසුගිය ඉරිදා දිනය පොහොය දිනයක් වුවත් ඇමැති ප්‍රසන්නට නිවාඩුවක් නොවීය. ඔහු එදින කුරුණෑගල හා හලාවත පැවති පොහොට්ටුවේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගේ ජනහමු කිහිපයකට එක්විය. කුරුණෑගල ජනහමුව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සංවිධානය කර තිබුණි
“ ජ.වි.පෙයි - ස.ජ.බෙයි බලාගෙන ඉන්නේ අපි පැරදෙනකම්. මම කැට තියල තියන්නේ මේ ඡන්දයෙන් දිනන්නෙ අපියි. 2018 ගත්ත ප්‍රතිඵලයම අපිට ගන්න බැරි වේවි. හැබැයි ජ.වි.පෙයි - ස.ජ.බයටයි වඩා වැඩි ප්‍රතිඵලයක් අපි ගන්නවා.”
ඇමැති ප්‍රසන්න කී කතාවට අපේක්ෂකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් හිමිවිය.
“අපේ පැත්තෙ ඉන්න ජ.වි.පෙ අපේක්ෂකයා තමන්ගෙ කොට්ඨාසයේ හතර මායිම දන්නේ නෑ” අපේක්ෂකයකු කීවේය.
“ගම්පහත් එහෙමයි. මිනුවන්ගොඩ කොට්ඨාසයක ජ.වි.පෙ අපේක්ෂකයා ගමට ඇවිල්ල තියෙන්නෙ මාස හතරකට කලින්. එයා අඩුම තරමේ ගමේ මළ ගෙදරකටවත් ගිහිල්ල නෑ. ” ඒ ඇමැති ප්‍රසන්නය.
“අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ඉන්නෙ. ෆේස්බුක් එකෙත් ජනාධිපති එයා. ඇවිදින්නෙ, කතා කරන්නෙ තමන් ජනාධිපති කියල හිතාගෙන. හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ..”
ඇමැති ප්‍රසන්න යළි කීවේය.
ප්‍රසන්නගේ නිවසට ජ.වි.පෙ. ක්‍රියාකාරීන්
පසුගිය සතියේ දිනයක බත්තරමුල්ල පිහිටි නිවසට ජ.වි.පෙ ක්‍රියාකාරීන් පිරිසක් පැමිණියේ අහම්බෙනි. ඔවුන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවෙමින් ගෙයින් ගෙට ඇවිද යද්දි ඇමැති ප්‍රසන්නගේ නිවසටද පැමිණියේය.
“ මේක ප්‍රසන්න ඇමතිතුමාගේ ගෙදර” ඇමතිවරයාගේ නිවසේ ආරක්ෂක නිළධාරීයා කීවේ එම ක්‍රියාකාරීන් පිරිස නිවසට වැද්ද නොගන්නා අදහසිනි.
මේ සද්දය ඇසී ඇමතිවරයාද නිවෙසින් එළියට පැමිණි අතර ඇමැතිවරයා ආරක්ෂක නිළධාරීයට පැවසුවේ ජ.වි.පෙ ක්රියාකාරීකයන්ට නිවසට පැමිණීමටද ඉඩ දෙන ලෙසයි.
“ මේක සර්ගෙ ගෙදර කියල අපි දන්නෙ නෑ. අපි යන්නම් සර්” ජ.වි.පී ක්‍රියාකාරීන් පිරිස කීය.
“ඒකට කමක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන එක තමයි ලොකුම දේ.ගෙවල් ගිනි තියල මිනිස්සු මරල දේශපාලනය කරන්න එපා” ඇමැතිවරයා සුහදව පැවසීය.
ජ.වි.පෙ. නායකයාගේ පුතා ශ්‍රී ලංකන් එයා ලයින් එකට ගිය හැටි
“ඔයාල මෙහේ නොකා නොබී අනුර කුමාර ජනාධිපති කරන්න කැන්වසින් යනවා. එයා ලොකු ලොක්කො එක්ක ඩීල් දාල තමන්ගෙ පවුල ගොඩ දාගන්නවා.”
ඇමැති ප්‍රසන්න කී කතාවෙන් අන්දුන් කුන්දුන් වූ ජ.වි.පෙ ක්‍රියාකාරීන් පිරිස උඩබිම බලන්නට විය.
“ඔබතුමන්ලගෙ නායකතුමාගේ පුතා වැඩ කළේ මිහින් ලංකා එකේ. ඒ කාලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ.
ඒක වහල දාන කොට අනුර කුමාර කළේ නායකයෝ එක්ක ඩීල් දාල තමන්ගේ පුතා විතරක් ශ්‍රී ලංකන් එකට දාගත්තා. රස්සා නැතිවුණ වෙන එක මිනිහෙක් ගැන කතා කළේ නෑ”
ඇමැතිවරයා පැහැදිලි කළේය.
“ඔබතුමාට ඒක ඔප්පු කරන්න පුළුවන්ද?” අයෙකු ඇසීය.
“මම මොකටද බොරු කියන්නේ. ඒ කාලේ මගේ සහෝදරය මිහින් ලංකා එකේ සභාපති.” ඇමැති ප්‍රසන්න කීය.
“හැබැයි මල්ලි මම අනුර කුමාරට දොස් කියන්නෙ නෑ. තාත්ත කෙනෙක් විදියට එයා හරි. හැබැයි තමන්ගෙ එකාට සුර සැප දෙන ගමන් දුප්පත් අම්මල තාත්තලගේ දරුවෝ පාරට බස්සල දස වධ දෙන එකට මම විරුද්ධයි. ගිරිය පුප්පගෙන යටිගිරියෙන් නිර්ධන පංතිය ගැන කතාකරන ඔයාලගේ නායක සහෝදරයගේ වැඩ ඔහොමයි.”
ඇමැතිවරයා කී කතාවට ජ.වි.පෙ ක්‍රියාකාරීන්ට උතුර දකුණ මාරුවිය.
කෙසේ වෙතත් ඇමැතිවරයා අවසානයේදී ජ.වි.පෙ ක්‍රියාකාරීන් පිරිසට සීතල බීම වීදුරු කිහිපයකින්ද සංග්‍රහ කළේය.
සජිත්ලා රාජාසන කතාව වර්ජනය කළ හැටි
ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමට සමගි ජනබලවේගය තීන්දු කළේ මන්ත්‍රී කණ්ඩායම රැස් වූ අවස්ථාවේදී ය.
"මේ වෙලාවේ රාජාසන කතා කරලා විහිළු සපයමින් ඉන්න වෙලාවක් නෙවෙයි. රට මේ තරම් බරපතළ අර්බුදයක තියෙද්දිත් රාජාසන කතාවලින් ඇති පලක් නැහැ."මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර කීවේය.
"ඔව්,මගේ අදහස අපි පාර්ලිමේන්තුව වර්ජනය කරමු කියලා" විපක්ෂ නායක සජිත් කීවේය.
ඒ පිළිබඳව සෙසු මන්ත්‍රීවරුන්ගේ කරුණු විමසූ අතර,ඔවුන් ගේ අදහස වුණේ ද ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළ යුතු බවය.
සජිත් පසුගිය සතියම යොදා ගත්තේ ජන රැලි සඳහා සහභාගි වන්නටය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන සියල්ල ආවරණය කිරීමට සජිත් කටයුතු කළ අතර ඔහු නොනැවතී රැස්වීම්වලට සහභාගි විය.
තමා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළේ ජනතාවට දිගින් දිගටම එල්ල කරන පීඩනයට විරුද්ධව බව සජිත් ප්‍රකාශ කළේ මහියංගණයේ පැවති රැලියේ දී ය.
ජනතාවගේ ජන ජීවිත විනාශ කරන රාජාසන කතාවලට නොරැවටී ජන ජීවිත විනාශ කරන වත්මන් පාලනයට එරෙහිව නුදුරේදීම කොළඹට ජන ගඟක් සමඟ පැමිණෙන බවත් සජිත් සඳහන් කළේය.
ඕනෑම ජන්දයකට සූදානම් බව වජිර කියයි
එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල නගර සභා අපේක්ෂක රාසික් අන්වර්ගේ පක්ෂ කාර්යාලය විවෘත කිරීම පසුගිය සඳුදා උදෑසන එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
කන්දේවත්ත කොට්ඨාසය නියෝජනය කරමින් මැතිවරණයට තරග කරන ඔහුගේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම්ව ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සංවිධානය කර තිබිණි.
පීත්ත පටිය කපමින් පක්ෂ කාර්යාලය විවෘත කළ එජාප සභාපති වජිර අබේවර්ධන පැමිණ සිටි ජනතාවත් සමඟම පක්ෂ කාර්යාලය තුළට පිවිසි අතර පැමිණ සිටි ජනතාවට කැවුම්, කිරිබත් සංග්‍රහයක්ද කාර්යාලය තුළ සූදානම් කර තිබිණි.
රැස්ව සිටි ජනතාව කැවුම්, කිරිබත් සංග්‍රහය භුක්ති විඳින අතරතුරම වජිර අබේවර්ධන ඔවුන් සමඟ සුහද කතා බහක නිරත විය.
“කොහොමද ඉතින්?
දැන් කට්ටිය අද ගෙයින් ගෙට යන්න ලෑස්ති වෙලාද ඉන්නේ?” වජිර පිරිසගෙන් විමසීය.
“ඔව් ඇමැතිතුමා,
අපි ඉතින් ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ ගැන ජනතාව දැනුම්වත් කරන්න එපැයි. ඒක අපේ යුතුකමක්නේ.” යැයි අයෙක් පැවසීය.
ඒත් සමඟම තවත් අයෙක් වජිරගෙන් ප්‍රශ්නයක් ඇසීය.
“ඇමැතිතුමා විපක්ෂයේ අය කියනවා මම දැක්කා ප්රවෘත්ති පත්තරවල එහෙම, එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට බය වෙලා ඡන්දය කල් දාන්න උත්සාහ කරනවා කියලා.
ඇත්තටම ඡන්දය කල් යයිද ඇමැතිතුමා?”
“අපි ලංකාවේ තිබෙන ප්‍රධානම දේශපාලන පක්ෂයක්. දේශපාලන පක්ෂයක් වුනාම ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ හැකියාව තිබිය යුතුයි.
එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේත් ඕනෑම මැතිවරණයකට සූදානම්. නමුත් රට සූදානම්ද කියලා ඔය වැඩිපුර කියවන උදවිය හොඳ කල්පනාවෙන් සොයා බැලිය යුතුයි. පසුගිය කාලය තුළ ජනතාව කොයි තරම් නම් දුක් වින්ඳද? .” යනුවෙන් වජිර ප්‍රකාශ කළේය.
ෆවුසිට තව පොඩ්ඩෙන් පැත්ත මාරු වේ
කොළඹ පුරපති අපේක්ෂකය විදිහට තරග කරන්න මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේන් ඉල්ලා අස් වුණාට පස්සෙ කොළඹ මනාප ලයිස්තුවෙ ඊළඟට හිටියේ ඒ එච් එම් ෆවුසි .
ෆවුසි අලුත් මන්ත්‍රී කෙනෙක් විදිහට දිවුරුම් දීමෙන් අනතුරුව මැති සභයට පැමිණ අසුන් ගැනීමට යද්දී වැරදිමකින් අසුන් ගන්නට සැලසුනේ ආණ්ඩු පක්ෂය පැත්තේය..චම්පික රණවක " ඇමැතිතුමා විපක්ෂය තියෙන්නෙ මේ පැත්තෙ කියල කිව්වට පසුව තමයි ෆවුසි විපක්ෂයට ගමන් කළේය.
ෆවුසිගෙ අලුත් මන්ත්රීකමට ආණ්ඩුව වෙනුවෙන් මුලින්ම සුබ පැතුවෙ සංජීව එදිරිමාන්න. " ඔබතුමා ඇමැතිවරයෙක් විදිහට ගොඩාක් වැඩ කරපු කෙනෙක්.
ප්‍රවාහන ඇමැති කාලේ ඔබතුමා දාපු බඩී බස් වල ඉස්කෝලෙ ගිය මිනිහෙක් මම.අපි ඉස්කෝලේ කාළේ ඒ බස් වලට කිව්වෙ ෆවුසි බඩී කියල. එළ ෆවුසි කියල තමයි අපි ඒ බස් වලට නැග්ගෙ. සංජීව එදිරිමාන්න එහෙම කියද්දි ෆවුසි ආසනයෙන් නැගිට පපුවට අත තියල ඒ සුබ පැතුම භාරගත්තේය.