මේ ඡන්දය උඩ බල‍ාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක් | සිළුමිණ

මේ ඡන්දය උඩ බල‍ාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක්

 

මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන මොහොතක පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ලැබුණ කෙටි නිවාඩුව ගැන අපි කතා කළොත්,

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියටත්, වගකිවයුතු අමාත්‍යවරයෙක් හැටියටත්, වගකීම් රැසක් හිස මත පැවරිලා තියෙන මේ මොහොතේ රටට කිසිසේත් ඔරොත්තු නොදෙන, අත්‍යවශ්‍ය නොවන, මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබීම මම දකින්නේ මුළු රටේම ඛේදවාචකයක් හැටියට. ඒ අතරෙදි පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා හැටියට මැතිවරණ කටයුතු මෙහෙයවීමට කාලය කැප කිරීමට සිදුවීම මම රටේ පැත්තෙන් දකින්නේ අභාග්‍ය සම්පන්න සිදුවීමක් හැටියට.

 

ඔබ එහෙම ප්‍රකාශ කරන්නේ මැතිවරණයේ පරාජය අබියස ඉඳගෙන ඉන් අත්විඳීමට සිදුවිය හැකි අමිහිරි අත්දැකීම් නිසා කියලා මම කිව්වොත්?

දේශපාලනඥයකුට මැතිවරණ ජයග්‍රහණය හා පරාජය කියන්නේ අමුතු අත්දැකීම් නොවෙයි. අපේ රට මේ වෙලාවේ අර්බුද රාශියකට මුහුණ දීල තියෙන්නේ. එවැනි මොහොතක විශාල මුදලක් වියදම් කරල මැතිවරණයක් පැවැත්වුවහොත් එයින් පරාජයට පත්වන්නේ රට හා ජනතාව.

අපි මේ වෙලාවේ ඉන්නේ තීරණාත්මක සන්ධිස්ථානයක. අපි කවුරුත් දන්නවා අපට ජාත්‍යන්තර සහාය නැතුව මේ වෙලාවේ තනියම දෙපයින් හිටගන්න බැහැ. IMF සංවිධානයෙන් අපේක්ෂා කරන මූල්‍ය ආධාර ලබාගැනීමේ අවසාන අදියරේ අපි මේ මොහොතේ ඉන්නේ. ලෝකයේ අපිට උදව් කරන්න බලන් ඉන්න තවත් රටවල්, සංවිධාන ඉන්නවා. ඒ වගේම ආයෝජකයෝ ඒ දෙස බලාගෙන ඉන්නවා.

 

ඔය IMF කතාව කියන්නේ මැතිවරණ පරාජයට ඇති බිය නිසා නේද? අපි ඇත්ත කතා කරමුකෝ ඇමතිතුමා.

මම කතා කරන්නෙ ඇත්ත තමයි. මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් එය භාර ගන්න අපි සූදානම්. මම කියන්නේ ඒ ගැන නෙවෙයි. මේ වෙලාවේ රටේ ජනතාව ඉන්නේ දරිද්‍රතාවෙන් මිරිකිලා. ළමයින්ගේ කන්වල කරාබු නෑ. අතට වළලු නෑ. බෙල්ලෙ මාලේ නෑ. ඒ සේරම උගස් තියලා. මේ ප්‍රශ්න අපේ ගෙවල්වල කතා නොකෙරෙනව කියලා හිතන්න එපා. අපිත් මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු. මසෙ පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. හංගල කතා කරන්න අවශ්‍ය නැහැ. අපි මහ පොළවේ යථාර්ථය ගැන කතා කරමු. හැබැයි මේ සියලු ප්‍රශ්න එකපාරට අහසින් කඩා වැටුණු දේවල් නොවෙයි.

අපේ රටේ ඡන්දදායකයෝ මැතිවරණවලදී බොහෝ වෙලාවට ඡන්දය පාවිච්චි කරන්නේ හැඟීම්වලට වහල් වෙලා. වෙලාවකට අනුකම්පාවට ඡන්දය දෙනවා. තවත් වෙලාවක යුතුකම් ඉටු කරන්න ඡන්දය දෙනවා. ඇතැම් වෙලාවක වෛරය පිරිමහන්න පළිගන්න ඡන්දය දෙනවා.

 

අද උද්ගත වෙලා තියෙන තත්ත්වය තුළ ජනතාව රජය එක්ක දැඩි කලකිරීමෙන් ඉන්නෙ. ඒ නිසා ජනතාවගේ පිළිතුර දැඩි වෙයි කියන බය නේද ඔය තියෙන්නෙ.

මෑත කාලය තුළ රජයට ගන්න සිදු වුණේ අප්‍රසන්න, අමිහිරි තීරණ. ඒවා ජනප්‍රිය තීරණ නොවෙයි. මේ වෙලාවේ අපිට හිතන්න සිද්ධ වෙලා තියෙන්නේ රට ගැන මිසක් අපේ පක්ෂ දේශපාලනය ගැන නොවෙයි. අවාසනාවකට මේ ප්‍රශ්න ගැන යථාර්ථවාදීව හිතලා පුළුල් සංවාදයක් ඇති කරල සියලු දෙනාගේ සහභාගීත්වයෙන් රට මේ ව්‍යසනයෙන් මුදවා ගන්නවා වෙනුවට හැමදෙනාම බලන්නේ ඇවිළෙන ගින්නට පිදුරු දාන්න. රත්වුණු කබලේ තමන්ගේ රොටිය පුච්ච ගන්න. මේ මැතිවරණය ඉල්ලා කෑ මොර ගහන සියලු දෙනාගේම සැඟවුණු න්‍යායපත්‍රය ඒක.

මේ වෙලාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් එහි ප්‍රතිඵල තුළට මම මුලින් කිව්ව ජනතාවගේ හැඟීම්වල ප්‍රකාශනයන් එකතු වෙන එක වළක්වන්න බෑ. ඒ තත්ත්වය මේ වන විට IMF සංවිධානය තුළ සහ ජාත්‍යන්තරය තුළ නිර්මාණය වෙමින් පවතින විශ්වාසයට යම් අහිතකර බලපෑම් ඇති කළ හැකියි. එහි ප්‍රතිඵලය වෙන්නේ අමාරුවෙන් දොවා ගත් කිරි කළයට ගොම එකතු කර ගැනීමක් කියලයි මට දැනෙන්නේ. එහෙම වුණොත් අපට ලැබීමට අත්‍යාසන්න ව පවතින ජාත්‍යන්තර මූල්‍යාධාර සහයෝගය ලැබීම තවදුරටත් පමා වෙන්න පුළුවන්. එහෙම වුණොත් දිනෙන් දින ප්‍රපාතයට යන්නේ රට සහ රටේ ජනතාව. ඒ නිසා මම නොබියව කියනවා මේ මැතිවරණය උඩ බලාගෙන කෙළ ගහ ගන්නවා වගේ වැඩක්. ඒකයි මම කිව්වේ මේකෙන් මොන පක්ෂය දිනුවත් රටත්, ජනතාවත් අවසානයේ පරදිනවා කියලා.

 

මේ තත්ත්වයට රට ඇද දැමුවේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ කියලයි චෝදනා කරන්නේ. ඒ නිසා ජනතාව මැතිවරණයකදී ඊට ප්‍රතිචාර දැක්වීම වැරැදියි කියලද ඔබ කියන්නේ?

නෑ, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. අපි ඒකට ගරු කරනවා. නමුත් මම ප්‍රශ්න කරන්නෙ රට ‍දැඩි අර්බුධයකට මුහුණදී තිබියදීත් මැතිවරණ පවත්වන එක සුදුසුද කියලයි. අපි වරදක් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් විඳින්න පුද්ගලිකව මම සූදානම්. ඒත් ඔබ හිතනවද වසර තුනකින් මුළු රටක් බංකොළොත් කරන්න පුළුවන් කියලා.

මෙන්න මේ දේශපාලන සංස්කෘතිය තමයි අපේ රට මෙතනට ගෙනාවේ. යම් පක්ෂයක් පාලනය කරන කොට විපක්ෂය හැමදාම පුරුදු වුණේ කෙසේ හෝ පාලක පක්ෂය අපකීර්තියට පත් කරලා රජය පෙරළන්න. බලය තමන්ගේ අතට ගන්න. එතැනදි බොරුවයි, ඉටු කරන්න බැරි පොරොන්දු යි සමාජය තුළ වපුරනවා. මැතිවරණවලදී ජනතාව පුරුදු වුණා වැඩියෙන් සහන දෙන පක්ෂයට ඡන්දය ලබා දෙන්න. ඒ නිසා ලබා දීපු පොරොන්දු ඉටු කරන්න ණය ගන්න පාලකයන්ට සිද්ධ වෙනවා.

ඔබ හිතලා බලන්න පොහොර මිටියක් රුපියල් 1500/= ට ගොවියට දෙනකොට ඒකට රජය කීයක් වියදම් කරනවද? අන්තිමට ගොවියා සහනාධාරය යටතේ පොහොර ලබාගෙන අස්වැන්න පුද්ගලික ව්‍යාපාරයන්ට විකුණනවා. ව්‍යාපාරිකයා පාරිභෝගිකයාව හැමදාම සූරාගෙන කනව. අන්තිමට රජය ලෝකෙට ණය වෙලා පොහොර ගේනවා. ඒකෙ නියම ප්‍රතිලාභය ගොවියටවත්, ජනතාවටවත් ලැබෙන්නේ නෑ. ඩීසල්, පෙට්‍රල් අපි හැමදාම ජනතාවට දුන්නේ පිරිවැයවත් අය කරගෙන නොවෙයි. ඒවා සහන මිලට ලබා දෙන කොට හිඟ මුදල එක්කෝ බදුවලින් අය කරන්න වෙනවා. නැත්නම් ඒ සඳහා ණය ගන්න වෙනවා. ඒත් ඒවා වැඩියෙන් පරිභෝජනය කරන්නේ රටේ ජනතාවගෙන් සියයට කී දෙනෙක් ද කියලා හිතලා බලන්න. ඒ නිසා මේ රටේ පුරවැසියෙක් විදිහට මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ විදියට අපිට තවදුරටත් ඉදිරියට යන්න බැහැ කියලා.

 

ඔබ කියන ඔය සහන පැකේජ රට තුළ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණත් රටට මේ තරම් අමාරු කාලයක් උදා වුණේ නැහැ. ජනතාව චෝදනා කරන්නේ හොරකම, දූෂණය නිසා රටට මෙහෙම වුණා කියලා.

ඔබ විශ්වාස කරනවද හොරකම් කරලා රටක් බංකොළොත් කරන්න පුළුවන් කියලා. එහෙනම් ඒ කාලය තුළ රටේ වෙනත් කිසිම දෙයක් සිදු නොවී තිබිය යුතුයි. මම කියන්නේ නැහැ හැම දෙනාගේම දෑත් පිරිසිදුයි කියලා. ඒත් අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරලා ප්‍රශ්න යථාර්ථවාදීව දකිනකම් ඔය කියන හොරකම්, දූෂණ, වංචා, සිදු වී ඇත්දැයි හෙළිදරව් කර ගන්න පහසු නැහැ. හොරකම ගැන කතා කරන තැන්වලත් බොරුව, අතිශයෝක්තිය වැඩිවෙන තරමට හොරුන්ට රැකවරණය ලැබෙනවා.

යහපාලන ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලියගහ මන්දිරය ඇතුළේ අනුර කුමාර දිසානායකට හොරකම් හොයන්න වෙනමම කාර්යාලයක් දාලා දීලා තිබුණා. දැන් බලයට ඇවිල්ල හොරු අල්ලනවා කියන මනුස්සයා එදා අවුරුදු 5ක් තිස්සේ අල්ලපු හොරකමක් නැහැ.

 

එහෙනම් ඔබ දකින විදිහට වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී රට මේ තරම් ප්‍රපාතයකට ඇද වැටෙන්න මොකක්ද හේතුව?

කොරෝනා වසංගතය නිසා වසර දෙකක් පමණ මුළුමනින්ම රටට විදේශ විනිමය අහිමි වුණා. මම එවකට සංචාරක ඇමැතිවරයා වශයෙන් හිටපු නිසා දන්නවා අපිට සංචාරක කර්මාන්තයෙන් අපේක්ෂිත ආදායම් ලැබුණේ නෑ. විදේශගත ශ්‍රමිකයන් රස්සාවලින් අස්වෙලා ලංකාවට ආව මේ රට සුරක්ෂිතයි කියලා. අපනයන ක්ෂේත්‍රය කඩා වැටුණා. මේ නිසා අපිට ආනයනය සඳහා අවශ්‍ය කරන විදේශ විනිමය ලැබෙන මූලාශ්‍ර ඇහිරිලා ගියා. තිබුණු ඩොලර් ටික වියදම් කරලා කොරෝනා රෝගයෙන් ජනතාව මුදවා ගන්න එන්නත් ගේන්න සිද්ධ වුණා. ලෝකෙ දියුණු වූ රටවල්, මහා බලවතුන් කොරෝනා රෝගය හමුවේ අන්ත අසරණ වෙලා ඉන්නකොට අපි සුරක්ෂිත රටක් විදිහට ලෝකෙම පැසසුමට ලක් වුණා. මේ සමස්ත සිදුවීම්වල අවසාන ප්‍රතිඵලය විදියට තමයි අද පවතින මෙම අර්බුදය උත්සන්න වුණේ.

 

නමුත් මේ සියලු තත්ත්වයන් හමුවේ ආර්ථිකය කළමනාකරණය කර නොගැනීම, පොහොර තහනම වැනි අදූරදර්ශී තීරණ නොවෙයිද රට මේ තරම් අර්බුදකට ඇද දැමුවේ?

අමතක කරන්න එපා ගෝඨාභය ජනාධිපතිවරයාට පාලනය කරන්න වුණේ ඇඳිරි නීතිය දාලා වහපු රටක්. ඔහු දිගින් දිගටම කිව්වා රට වැහුවොත් ආර්ථිකය කඩා වැටෙනවා කියලා. පාරේ පෙට්ටි කඩ දාගෙන ජීවත්වන මිනිස්සු අසරණ වෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. එදා වෛද්‍යවරු ඇතුළු සියලු දෙනා එතුමට චෝදනා කරා රට වහන් නැතුව මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරනවා කියලා. ඉතා කෙටි කාලයක් ඇතුළත අපට සියල්ල අමතක වුණා. ඒකයි ජීවිතය ඉල්ලගෙන, රැකවරණය පතා ගෙන, විදේශ රටවල ඉඳලා මේ රටට ආපු පිරිස්ම පාරට බැහැලා ගෝඨාභය ජනාධිපතිතුමාව බලයෙන් පහ කරන්න පෙළ ගැහුණේ. ඔවුන්ම තමයි තමන් විදේශ රැකියාවලින් උපයා ගත් මුදල් මේ රටට එවන්නේ නැතුව රටේ විදේශ ආදායම් මාර්ග අහුරලා දැම්මෙ.

කාබනික පොහොර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මගේ ස්වාධීන අදහස කියනවා නම් ඒක රට සහ ජනතාව ගැන හිතලා යහපත් චේතනාවෙන් පටන් ගත්ත හොඳ වැඩක්. හැබැයි ඒක කරපු විදිහ වැරදියි. නුසුදුසු වෙලාවක, නුසුදුසු විදිහට ක්‍රියාත්මක කරපු නිසා ඒ ව්‍යාපෘතිය අසාර්ථක වුණා විතරක් නෙවෙයි ඒ හේතුවෙන් මුළු රටම අර්බුදයකට තල්ලු කරා.

රටේ අද පවතින මේ අර්බුදයට දිර්ඝ කාලීන ඉතිහාසයක් මම දකිනවා. ඒකට පාලකයෝ විතරක් නෙවෙයි රටේ ජනතාවත් වගකිව යුතුයි. අපේ ජනතාව හැමදාම කැප කිරීම්වලට මැළිකමක් දැක්වූවා.

72 මැතිනිගේ පාලන සමය තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් හදන්න දරපු උත්සාහය ට මොකද වුණේ කියලා අපි කවුරුත් දන්නවා. ඒක ඉවසන්න බැරිව 78 පාලනය වෙනස් කරලා විවෘත ආර්ථිකයට ගියා. අන්තිමට අද වෙනකොට රටට අපේ කියලා දෙයක් අපට ගොඩනඟා ගන්න බැරි වෙලා තියෙනවා.

 

මේවට කවුද වගකියන්න ඕන ඔබ ඇතුළුව රට පාලනය කරපු පාලකයෝ නොවෙයිද? මාලිමාව අද කියන්නේ ඔවුන් මුල සිටම මේ බව කිව්වා ඒත් ජනතාව පිළිගත්තේ නෑ කියලා?

ඔවුන්ගේ කතා ආකර්ෂණීයයි. නමුත් ඒ තුළ ප්‍රායෝගික වැඩපිළිවෙළක් නෑ. හිතේ ආවේගයට කරන කතාවලින් රටක් පාලනය කරන්න බැහැ. රට හදනවා කිය කියා රට වටේ ගියාට ඇයි මාලිමාව රට හදන විදිහ නොකියන්නේ.

ඔවුන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න ජනතාවට දරාගත නොහැකි තරමට දැඩි කැපකිරීම් කරන්න වෙනවා. ඔවුන් ඒකයි රට හදන ක්‍රමය හංගගෙන රට හදන්න බලය ඉල්ලන්නේ. ජ.වි.පෙ කියන තරම් සුජාත දේශපාලන පක්ෂයක් නෙවෙයි. 71/88/89 යුගයේ ඔවුන්ගෙ කෙරුවාවල් අපිට මතකයි. සහරාන්ගේ ඝාතන කල්ලියේ අය ජ.වි.පේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෝ වෙලා හිටියා. ඔවුන් මුව හම පොරවාගෙන ඉන්න වෘකයො රැලක්. අරගලය මගදි හයිජැක් කරල ඒක තමන්ගේ අතට අරගෙන රට පුරා ගෙවල් ගිනි තිව්වෙත් ඔය සුජාත ජේ.වි.පී මහත්තුරුම තමයි.

 

පළාත් පාලන මැතිවරණයේ දී ඔබේ පක්ෂයේ ප්‍රධාන අභියෝගය ජවිපෙ ද, සමගි ජන බලවේගය ද කියලා මම ඇහුවොත්?

දේශපාලනඥයෙක් හැටියට නොවෙයි මේ රටේ පුරවැසියෙක් හැටියට මට පුද්ගලිකව තියෙන ප්‍රශ්නය පක්ෂය දිනනවද කියන එක නෙමෙයි. මම මුලින්ම කිව්වා වගේ මේක කිසිසේත්ම මැතිවරණයකට යන්න සුදුසු මොහොතක් නෙමෙයි. මුහුණ එක්ක තරහා වෙලා නහය කපා ගත්තොත් අවලස්සන වෙන්නෙ තමන්ගෙ මුහුණමයි.

මැතිවරණ ඉල්ලන කිසිම පක්ෂයවත් රට වැටුණු වළෙන් ගොඩ ගන්න අත දෙන්න කියලා අපි ආරාධනා කරන කොට අත දුන්නේ නැහැ.

අන්තිමට තමන්ගේ දැනුම, අත්දැකීම්, රට වෙනුවෙන් යොදවන්න ඉදිරියට ආවේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. මම දකින්නේ ඒක රට වෙනුවෙන් කරපු දැවැන්ත ආයෝජනයක් විදිහට. මම මේ රටේ පුරවැසියෙක් විදිහට එතුමා සිදු කළ ඒ කැපකිරීමට ගෞරව කරනවා.

මේ වෙලාවේ වැටුණේ අපේ රට. දුක් වින්දේ අපේම මිනිස්සු. ඒ මිනිස්සු පෝලිම්වල හාමතේ මියැදුණා. අව්වේ පිච්චිලා, වැස්සට තෙමෙන කොට ඔය මහ ලොකු සමාජවාදීයො ඒ කඳුළු මතින් බල අරගලයක් සංවිධානය කළා මිසක් ඒ කඳුළු පිහදාන්න කිසිම කැප කිරීමක් කළේ නෑ.

නමුත් එ.ජා.ප.ය සහ රනිල් වික්‍රමසිංහ කියන්නේ ඔබේ පක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා වෙලා හිටියා. දැන් ඔබේ පක්ෂයේ ගැලවුම්කාරයා ඔහු වීම දෛවයේ සරදමක් නොවෙයි ද?

අපි මේ මොහොතෙදි පක්ෂ දේශපාලනය අමතක කරමු කියල මම කලිනුත් කිව්වා. දේශපාලනඥයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මගේ බරපතළ විවේචනයක් තිබුණා. නමුත් එතුමා එක්ක එකට වැඩ කරන කොට තේරෙනවා එතුමාගෙන් මේ රට ප්‍රයෝජන ගත්තා මදි කියලා. මම ගෝඨාභය ජනාධිපතිතුමා සමඟිනුත් ළඟින් වැඩ කළා. ඒ කාලය තුළ ජාත්‍යන්තරයෙන් අපිට බලපෑම් නොතිබුණා නොවෙයි. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වගකීම භාර ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තරයෙන් තිබුණ පීඩනය නැති වුණා කියලා මට හිතෙනවා. එතුමාගේ පරිණත කෘතහස්ත නායකත්වයෙන් රටට වැඩ ගන්න සුදුසුම කාලය එළඹිලා කියලා මම විශ්වාස කරනවා. මේ මොහොතෙදි රටේ ගැලවුම්කරුව ඔහුයි.

 

ජනතාව ඉල්ලපු system change එකට මොකද වෙන්නෙ?

මේ වෙලාව රටේ දැවැන්ත ප්‍රතිපත්තිමය වෙනස්කම් වලට ගමන් කළ යුතු මොහොතක් නොවෙයි. අපි ඇතුළුව සියලුම දෙනා වෙනස් විය යුතුයි. ඒකෙ කිසිම විවාදයක් නැහැ. හැබැයි system change වලට මේ වෙලාවෙ කිසිසේත්ම නොයා යුතුයි. මේ වෙලාවේ system change එකකට ගියොත් වෙන්නේ නුසුදුසු වෙලාවක කාබනික පෝර ව්‍යාපෘතිය හඳුන්වල දීල වුණු විනාශයටත් වඩා ලොකු විනාශයක්. අපි වෙනස් වෙමු. මේ ක්‍රමය වෙනස් කරමු. රට වෙනස් කරමු. ඒත් ඊට කලින් අපි දෙපයින් හිට ගමු. දෙපා වාරු නැතිව ගොඩනඟන්න යන ඕනම සිස්ටම් එකක් කඩා වැටෙන එක නවත්තන්න කාටවත් බෑ.

 

ඔබ විශ්වාස කරනවද ,ඔබට සහතිකයක් තිබෙනවාද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ සටන ජය ගන්න පුළුවන් කියලා?

ඔහු මේ රටේ තියෙන සෑම ප්‍රශ්නයකටම එකම විසඳුම කියලා මම කියන්නේ නැහැ. එහෙත් අද අපි මුහුණ දීලා තියෙන මේ අවදානම් තත්ත්වයට, දේශීය වශයෙන් සියලු ජාතීන්, එවගේම ජාත්‍යන්තරය, සමතුලිත කරගෙන අපේ ඉලක්ක කරා යන්න ඔහුගේ පරිණත,කෘතහස්ත අත්දැකීම් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මොකද ඔහු ජාත්‍යන්තරය තුළ ප්‍රචලිත වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදිහට.

 

Comments