IMF නොමැති විකල්පයක් තිබේද? | සිළුමිණ

IMF නොමැති විකල්පයක් තිබේද?

ට පත්ව ඇති ආර්ථික අවපාතයෙන් ගොඩඒමේ ප්‍රධාන විසඳුම වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය සහනාධාරය ලබා ගැනීමේ අවසන් අදියරේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතියි. මේ අවස්ථාවේ ඇති එකම විසඳුම IMF ණය සහනාධාරය ලබා ගැනීමද? නැතිනම් රට ගොඩගැන්මට වෙනත් විකල්ප මාර්ග තිබේද? යම් හෙයකින් තමන්ට රාජ්‍ය බලය ලැබුණොත් IMF යාවිද? IMF සහාය නොමැති වුවහොත් ණය නොගෙවා ඉන්නවාද? එසේ හෝ කෙසේ හෝ මෙයට තිබෙන විකල්ප විසඳුම පිළිබඳව අදහස් දක්වන්නට පක්ෂ නායකයන් සිළුමිණ හා එක්වූයේ මෙසේය.

විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් මේ සම්බන්ධව අදහස් ලබා ගැනීමට දින කිහිපයක් තිස්සේ උත්සාහ කළ ද එය අසාර්ථක විය.

හොඳම හා එකම විසඳුම IMF 
- මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

මේ වගේ අවස්ථාවක හොඳම හා එකම විකල්පය IMF පමණයි. මීට වඩා වෙනත් විකල්පයක් සොයා ගැනීම පහසු නැහැ. මෙයින් අපට මූල්‍ය පහසුකම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබද නැවත ගොඩනැඟීමේ සහතිකය ලැබෙනවා. ඒ නිසාIMF වලට සමාන වූ වෙනත් විකල්පයක් තවත් නැහැ. නමුත් IMF යන්න ප්‍රමාද වුණා කියන කරුණ ඉතා පැහැදිලියි. අපිට IMF යන්න තිබුණේ මීට වසර 2 කට පෙරයි. එදා කැබිනට් ඇමැතිවරු පවා IMF යන්නේ නැහැ කියා විශාල සම්ප්‍රදායික තර්කවල සිටියා. IMF දාලා තියෙන්නේ කොන්දේසි නෙමෙයි, මඟ පෙන්වීම පමණයි. එය දා ඇත්තේ අපි නැවත ශක්තිමත් කරවීමේ අරමුණිනුයි. මේ අවස්ථාවේ IMF නොගිහින් ගොඩ එන්න නම් රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කරන්නට නම් බදු වැඩි කළ යුතුයි. උද්ධමනය වැඩි වූ අවස්ථාවක එසේ කිරීමෙන් ජනතාව පීඩාවට පත්වෙනවා. නමුත් මෙතැනින් ගොඩ එමටත් අපි යම් පීඩාවකට මුහුණ දෙන්න සිදු වෙනවාමයි. මේ වන විට IMF සාකච්ඡා අවසන් අදියරට පැමිණ හමාරයි. අපි බලාපොරොත්තු වූ තැනට ඉක්මනින්ම යා හැකි වෙනවා. මීට පෙර අපි 16 වතාවක් උදවු ගත්තේ ශක්තිමත් ආර්ථික පසුබිමක සිටයි. මෙවර ඊට මුහුණ දෙන්නේ ආර්ථික අවපාතයක සිටයි. ඒ නිසයි යම් ප්‍රමාදයක් සිදුවුණේ. කෙසේ වෙතත් නුදුරේදීම කොළ එළියක් දැල්වේවි යැයි අපේක්ෂා කරනවා.

IMF සහාය අවශ්‍යම නැහැ 
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන

 වර්තමානයේ අපේ රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩඒමට IMF සහ­ායම අවශ්‍යයම නැහැ. මේ සඳහා උදවු උපකාර ලබා ගැනීමට නම් ලොව ඕනැ තරම් රාජ්‍යයන් තියෙනවා. නමුත් ප්‍රශ්නයක්ව තියෙන්නේ මේ ආණ්ඩුවට කිසිවකුත් උදවු නොකිරීමයි. රාජපක්ෂලා නොමැති රජයකට ඕනෑ තරම් උදවු කරන්න අය ඉන්නවා. මුලින්ම දූෂණයෙන් තොර රටක් ඇතිවිය යුතුයි. දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. රටේ ජනාධිපති, අගමැති සිට ඇමැතිවරු දක්වා පිරිසුදු සද්භාවයෙන් කටයුතු කරන අය සිටිය යුතුයි.

IMF යා යුතු වුණත්, දැන් එහෙයියන් වෙලා
- පොදු ජන පෙරමුණේ සභාපති, නිදහස් ජනතා සභාවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්

IMF යා යුතුද නැද්ද යන්න විමසීමෙන් දැන් පලක් නැහැ. රජය දැන් IMF ගිහින් තියෙන්නේ. නමුත් රජයට IMF සාකච්ඡා මෙහෙයවන්න තිබුණේ මීට වඩා වෙනස් ආකාරයට. අනිකුත් රාජ්‍යයන් IMF ගිහින් කටයුතු කළා සේ, අපේ රටේ ඇත්ත තත්ත්වය පවසා මෙම ණය ලබා ගත යුතුව තිබුණා. රජය IMF එහෙයියන් නොවිය යුතුව තිබුණා. අපිට කළ හැකි දේ, අපේ ස්ථාවරය IMF ගිහින් නොබියව පැවැසිය යුතුව තිබුණා. ණය කොන්දේසිවලට යටත් වීමෙන් සිදුවුණේ දරුණු ඛේදවාචකයක්. මේ IMF දැඩි කොන්දේසි අපි ප්‍රතික්ෂේප කරනවා. ජනතාව මේ තරම් පීඩා විඳින්නේ IMF කොන්දේසි නිසා කියලා රජය පවසනවා. එහෙම වෙන්නේ කොහොමද? මේ IMF ගිය පළමු වතාව නෙමෙයි. විදුලි ඒකකයක මිල වැඩි කරන්නේ, පොලී අනුපාතය වැඩි කරන්නේ, බදු වැඩි කරන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ රැකියා අහිමි කරන්නේ IMF නිසාද? මේ සියල්ලම IMF ගොඩට දාලා. IMF නිදහසට කරුණක් වෙලා. රජය ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වෙනවා වැඩියි. IMF යායුතු වුණත් ඒ කොන්දේසිවලට එහෙයියන් නොවිය යුතුයි.

රට තුළ නිෂ්පාදන දියුණු කරන්නට කැප විය යුතුයි
- ශ්‍රී ලංකා මහජන පක්ෂ නායක කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න

රජය මේ අවස්ථාවේ බලා ඉන්නවා IMF ණය සහනාධාරය ලැබෙනකම්. නමුත් මේ IMF ණය ලබා ගන්නවා වගේම රට තුළ නිෂ්පාදන දියුණු කරන්නටත් රජය කැප විය යුතුයි. ඊට මාර්ග තියෙනවා. ඒත් රජයේ සහයෝගය ලැබෙන්නේ නැහැ. විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඒවාට රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් අඩුයි. IMF ගන්න රජය දක්වන උනන්දුව සේම රට තුළ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන යාමට කැප විය යුතුයි. ඒ සඳහා බාධක ඉවත් කළ යුතුයි. අපි කාලයක් තිස්සේ විදේශ ණය ලබා ගනිමින් සංවර්ධන කටයුතු රාශියක් සිදු කළා. නමුත් ණය මතම රට ගොඩනැඟීමේ සංකල්පයේ නොසිටිය යුතුයි. අපිට දියුණු කළ හැකි වෙනත් මාර්ග තියෙනවා. උදාහරණයක් ලෙස අපේ රට සංචාරක කර්මාන්තයෙන් දියුණු කළ හැකි රටක්. තවමත් ඒ සඳහා වූ මැදිහත් වීම කරන්නට නොහැකි වෙලා.

සංචාරක කලාප නම් කර විදේශිකයන්ට අවශ්‍ය පහසුකම් දිය යුතුයි. රටේ දේශිය නිෂ්පාදන වෙළෙඳපොළට ගෙනියන මාර්ග විවර කළ යුතුයි. ණය සහන ලබා දිය යුතුයි. වර්තමානයේ වක්‍ර බදු හරහා ජනතාවට දැනෙන පීඩනය විශාලයි. එය ඉවත් කර සෘජු බදු ක්‍රමයක් ඇති කර ජනතාවට තමන් උපයන ආදායමට සාපේක්ෂව වියදමකට ගැළපෙන සරල බදු ක්‍රමයක් ඇති කළ යුතුයි. ඒ සඳහා සහාය දීමට අපි සූදානමින් සිටිනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගෙන් මේ සම්බන්ධව අදහස් ලබා ගැනීමට ඔහුගේ දුරකතන අංකයට, පක්ෂ කාර්යාලයට හා පෞද්ගලික ලේකම්ට අවස්ථා කිහිපයකදීම කතා කළ ද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන වට්ටෝරුවෙන් රට ගොඩගන්න බැහැ
- ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

මේ වන විට ක්‍රියාත්මක වන්නේ. පොලි අනුපාතය 30 % ක් දක්වා ගෙනැවිත්. බදු ප්‍රතිපත්තිය තීරණය කරන්නේ IMF. රුපියල් 45,000 වැටුප ගන්න අයටත් බදු ගසන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසු බව රජය පවසනවා. මේ ප්‍රතිකාරයෙන් කොහොමද රටක් ගොඩයන්නේ. පීඩනය වැඩි කිරීමෙන් වන්නේ ව්‍යාපාර තව තවත් වැසී යාම. එතකොට විරැකියාව වැඩි වෙනවා. අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ උද්ධමනය, විරුකියාව වැඩි කිරීමෙන්ද? කර්මාන්ත වසා දැමීමෙන්ද? මහ බැංකු අධිපතිවරයා කියන්නේ ආර්ථිකය හකුළුවන බව. මේ හැකිළ වීමේ ඉම කොහොද? අපි පිළිගන්නේ නැහැ,, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වට්ටෝරුවෙන් මේ අර්බුදයෙන් ගොඩ ආ හැකි බව.

IMFපවා එක් අවස්ථාවකදී ලංකා රජයට පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කරවලින් ණය ගන්න කියා. යහපාලන රජය කාලයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ණය ගත්තා, ඩොලර් බිලියන 16 කට වඩා. ඒ ණයවලින් ආ පොලී පීඩනයටයි, දැන් එකවර මුහුණ දීමට සිදුව ඇත්තේ. විකල්පය වන්නේ අපේ රටේ දේශීය නිෂ්පාදන කර්මාන්ත බල ගන්වන මූලෝපායකට යා යුතු වීම.

අපි කර ඇත්තේ දේශීය නිෂ්පාදනවළ පල්ලට යවා විදේශීය නිෂ්පාදන මානසිකත්වයකට රට ගෙන ඒම. අපි අපේ නිෂ්පාදන ඉදිරියට කර ගෙන ආපු රටක්. දේශීය නිෂ්පාදන කර්මාන්තය මුහුකුරා යාමට මත්තෙන් ඒ ගමන පාවා දුන්නා. 1977 ට කලින් වෙළෙඳ පරතරයක් තිබුණේ නැහැ. අතිරේක ඩොලර් බිලියන 1 ක අතිරික්තයක් තිබුණේ. 1977 න් පසුවයි මේ වෙළෙඳ පරතරය වැඩි වුණේ. ඉන්දියාව, පකිස්තානය ආදී රාජ්‍යයන් සමඟ ගැසූ වෙළෙඳ ගිවිසුම්වලින් පසුව මේ පරතරය තවත් වැඩිවුණා. දේශීය නිෂ්පාදන වළපල්ලට යන ගමන වෙනුවට දේශීය නිෂ්පාදන බලගන්වන ගමනකට අවතීර්ණ විය යුතුයි.

ආණ්ඩුවට යන්න තියෙන එකම දේවාලය IMF විතරයි
- නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

 IMF යෑම වරදක් නැහැ. නමුත් වරද ඔවුන්ගේ කොන්දේසි තර්කයකින් තොරව පිළිගැනීමයි. ආණ්ඩුව සියලු මිත්‍ර රාජ්‍යයන් තරහ කරගෙන තියෙනවා. ඉස්ලාම් සංස්කෘතියට පහර දී අරාබි රාජ්‍යයන් තරහ කර ගත්තා. ඉන්දියාව, චීනය, ජපානය තරහකර ගත්තා. අපි බංකොළොත් රාජ්‍යයක් බවට නිවේදනය කර තියෙනවා. IMF යාමට වඩා වැදගත් වන්නේ බංකොලොත්භාවය අවසන් කිරීමේ මුද්‍රාව තබා ගැනීමයි. ආණ්ඩුව කරන වැරැද්ද, IMF කොන්දේසිවලට දණ නමලා දොහොත් මුදුනින් පිළිගැනීමයි. යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ, මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා පැවැති වකවානුවකත් IMF ගිහින් ගනුදෙනු කරගත්තා. අද IMF එකෙන් ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 යි. ඒ වසර 4 කදී. වසරකට ලැබෙන්නේ ඩොලර් මිලියන 725 යි. මාසයකට ඩොලර් මිලියන 60ක්. ඩොලර් මිලියන 60 ක් කියන්නේ ආර්ථික ප්‍රශ්නයකට විසඳුමක් නෙමෙයි. ගෑස්වලටත් ඒ හා සමාන මුදලක් යනවා. ප්‍රශ්නයකදී දේවාල ඉදිරියේ යාතිකා කරන මට්ටමට වර්තමාන රජය පත් වෙලා. IMF නොයා විශ්වාසනීයභාවය යන සංකල්පයෙන් පමණක් මේ රට ගොඩනැඟිය හැකියි. නමුත් මේ ආණ්ඩුවට යාමට ඇති එකම තැන IMF පමණයි. අනිකුත් දේවාල ඔවුන්ට වැහිලා. අපි කියන්නේ දේවාලවලට ගිහින් පාලකයෝ කටු ගහගන්නේ නැතුව පුරවැසියන්ට කටු ගහන්න එපා කියලයි.

මේ අර්බුදය IMF වලින්ම විසඳා ගන්න බැහැ 
- කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර

අපි ලබාගෙන ඇති විදේශීය ණය තුන් වර්ගයකට අයිතියි. ද්වි පාර්ශ්වීය ණය, බහු පාර්ශ්වීය ණය හා ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළින් ලබාගත් ස්වෛරි බැඳුම්කර ණය. ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළින් ලබාගත් ණය සියයට 40 ක්. ඉතිරිය බහු හා ද්වි පාර්ශ්වීය ණය. අපේ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 52 ක්. දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15 ක්. බහු හා ද්වි පාර්ශ්වීය ණය ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළින් ලබා ගත් ණය සම්බන්ධවයි. සැබෑ ප්‍රශ්නය ඇත්තේ මේ තුළයි. මේ ණය ලබා ගෙන ඇත්තේ 2007/8 වසරවලදි. මේ ණය උගුල් අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම පොදු දෙයක් බවට පරිවර්තනය වෙලා. මේ වන විට IMF වලින් අපිට ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 ක්. එයත් ලැබෙන්නේ වාර 4 කින්. නමුත් අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 52 ක මේ ඩොලර් බිලියන 2.9 න් පියවන්න බැහැ. නමුත් ලැබෙන දේ අපි අගය කළ යුතුයි. මේ අර්බුදය IMF වලින්ම විසඳා ගන්න බැහැ. අපිට දීර්ඝකාලීන දැක්මක් තිබිය යුතු වෙනවා. ඩොලර් ප්‍රමාණය රුපියල් ප්‍රමාණය වැඩි කළ යුතු වෙනවා. රාජ්‍ය ආදායම වැඩි කළ යුතු වෙනවා. ඒ නිසයි පසුගියදා රජය බදු ආදායම් වැඩි කළේ. නමුත් ඒ වැඩි කිරීම නිසා විවිධාකාර විරෝධතා මතු වුණා. මේ ප්‍රශ්නයේදි රජය පමණක් නොව පෞද්ගලික අංශයත් වගකිව යුතුයි.

ධනේෂ්වරයට වුවමනා සම්පත් අපේ රටවලින් ඇදගෙන යෑමට ඔවුන් කොන්දේසි පනවනවා
- ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

IMF ලොව ප්‍රධාන මූල්‍ය ධනවතුන්ගේ බලය තහවුරු කරන ආයතනයක්. අපි වගේ රටවල අර්බුදවලට මැදිහත් වී, මූල්‍ය ධනේෂ්වරයට උවමනා සම්පත් අපේ රටවලින් ඇදගෙන යාමට ඔවුන් කොන්දේසි පනවනවා. එසේම අර්බුදයේ බර ජනතාවට මත පටවනවා. ඒ නීති වැහෙන්න ඉහළ පන්තියෙනුත් බදු අය කළත්, ඉහළ පංතිය බදු ගෙවීම මඟහරිනවා. මහ බැංකු අධිපති කියන්නේ අමාරු වේදනාකාරී තීන්දු කරා යන්න වෙන බව. මේවා දැනෙන්නේ සාමාන්‍ය ජනතාවට. අපේ රටේ ණය හිමියන්ගේ එකඟත්වයක් ලබා ගනිමින් ණය බේරුම් කිරීම සඳහා සංවිධානයක් හදා ගෙන ණය ගෙවීම් පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. ආර්ථික අර්බුදයෙන් මිදෙන හැටි ණය හිමියන්ට කිව යුතුයි. රජය සතු දේපළවලින් වැඩි ආදායමක් ගන්නා ආකාරය පෙන්වා දිය යුතුයි. සේවකයන් කළමනාකරණයට එකතු කළ යුතුයි. රේගුව, ආදායම් බදු, සුරාබදු දෙපාර්තමේන්තු නව පරිවර්තනයකට ගෙන ආ යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. රටට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන ආ යුතුයි. අපනයනය වැඩි කළ යුතුයි. ඉහළ ධනේෂ්වර පන්තියේ ආදායම් වැඩි කර ඔවුන්ගෙන් අයකරන බදු වැඩි කළ යුතුයි. කර්මාන්ත හා අපනයනකරුවන්ට රජයේ පිටුබලය ලබා දිය යුතුයි. IMFවලට යටත් වීම වෙනුවට අපේම වැඩ පිළිවෙළක් ගොඩනැඟිය යුතුයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන්

(දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ . සුමන්තිරන්ගේ පෞද්ගලික දුරකතනයට අවස්ථා කිහිපයකදීම ඇමැතුම් ලබා ගත්තද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.)

Comments