ජෙනරේටයක් බිලිගත් එකම පවුලේ දෙදෙනෙක් | Page 2 | සිළුමිණ

ජෙනරේටයක් බිලිගත් එකම පවුලේ දෙදෙනෙක්

 

 

ඉකුත් මාර්තු 29 වන දින රාත්‍රි 7.30ට පමණ නි‍ෙවසේ තිබූ විදුලි ජනක යන්ත්‍රය පිපිරීමට ලක්වීමෙන් කැප්පෙටිපොළ ප්‍රදේශීය සභා උපකාර්යාලයේ සේවය කළ 38 හැවිරිදි ඩබ්ලිව්. ඇම්. වසන්තා හේමමාලි හා ඇගේ නව හැවිරිදි වියේ පසුවූ කවිෂා හසිනි රත්නායක දැරිය මරණයට පත්ව සිටින්නීය. ප්‍රභුෂිත පුතු දැනට කොළඹ රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාරයේ මරුවා සමග සටන් වදිමින් සිටියි.

 

කැප්පෙටිපොළ නගරයට ආසන්නයේ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික මධුර ප්‍රියන්තගේ නිවසේදි මෙම අනතුර සිදුව තිබේ. පසුගිය මාර්තු මස 29 වන දින සවස විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කර තිබේ. එම නිසා නිවසේ සිටි වසන්තා විසින් කාමරයක සවිකර තිබුණ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කර ඇත. එහෙත් රාත්‍රි 7.30ට පමණ නිවසේ ක්‍රියාත්මක විදුලි ජනක යන්ත්‍රය හදිසියේ අක්‍රියවී තිබේ. එමඟින් නිවෙසේ ඇතිවූ කළුවරින් බියට පත් ප්‍රභූෂිත පුතා හා කවිෂා දියණිය හැඩීමට පටන්ගෙන තිබේ.

මේ නිසා වසන්තා ජංගම දුරකථන ආලෝකයෙන් දරුවන් සමඟ විදුලි ජනකය පැවති කාමරයට යෑමට උත්සාහ දැරුවත් අවසනාවට එය බිම වැටීමෙන් අක්‍රියවී ඇත. එනිසා නිවසේ තිබුණ ඉටිපන්දමක් දල්වාගත් කවිෂා දියණිය තම මවට, මල්ලිත් සමඟ විදුලි ජනක යන්ත්‍රය තබා තිබුණ නිවසේ කාමරය තෙක් පියමැන තිබේ.

වසා තිබුණ කාමරයේ දොර විවෘත කිරිමත් සමඟම ගිනි ජාලාවක් ඇතිවී මව හා දරු දෙදෙනාත් වෙළාගෙන තිබේ. නොසිතු ලෙසින් ගිනි රකුසාගේ ග්‍රහණයට මවත් දරුවනුත් නතුවෙද්දි ජෙනරේටරයද මහ හඩින් පුපුරා ගොස් තිබේ. පිපිරිම් හඬක් අසල්වැසි නිවසින් ඇසිමත් සමඟම අවට නිවැසියන් එද්දි සිදුවිය යුතු විනාශය සිදුවී හමාරය. රැස්වූ පිරිස් ගින්න නිවා බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි මවත් දරුවනුත් වැලිමඩ මුලික රෝහලට රැගෙන ගොස් තිබේ. වැලිමඩ මුලික රෝහලෙන් තුවාලකරුවන් බදුල්ල මහා රෝහලට මාරුකර යවා තිබේ. පසුව බරපතළ තුවාල සහිතව සිටි දරුවන් දෙදෙනා කොළඹ රිජ්වේ ළමා රෝහලට මාරුකර යැවිණි.

අනතුර සිදුවී දින 15ක් පමණ කාලයක් මරුවා සමඟ දැඩි සටනක නියැළුණු කවිෂා දියණිය ඉන් පරජයට පත්වුවාය. අප්‍රියෙල් 15වන දින කවිෂා දියණිය දිවිගමනට සමුදුන් බවට රිජ්වේ ළමා රෝහලෙන් පියා මධුර ප්‍රියන්තට පණිවිඩයක් ලැබී තිබේ. ඒ අතර බදුල්ල මහා රෝහලින් අසුබ ආරංචියක් ලබා දුන්නේ වසන්තා ද මෙලොව හැරගිය බවය.

වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය වන එම්. ඩී. ප්‍රියන්තා තමන් යටතේ සේවය කළ නිලධාරිනියගේ අවාසනාවත්ත ඉරණම ගැන මෙසේ පැසුවාය. වසන්තා හේමමාලි කැප්පෙටිපොළ උපකාර්යාලයේ ඉතාමත් යහපත් මහජන සේවයක් සිදුකළා. ඇය තම පවුලට ඉතාමත් ආදරයෙන් කටයුතු සිදුකළ අකාරය අපි දන්නවා. මෙම අවාසනාවන්ත තත්වයට මෙම දරු පවුල මුහුණ දීම ගැන සභාවේ අපි බලවත් ශෝකයට පත්ව සිටිනවා.

වැලිමඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්. ඇම්. ඩබ්ලිව්. හේරත් පැවසුවේ මෙවැන්නකි. කැප්පෙටිපොළ නගරයට ආසන්නයේ පිහිටි මධුර ප්‍රියන්තගේ නිවසේ මාර්තු 29 වන දින රාත්‍රි 7.30ට පමණ ජෙනරේටරයක් පිපිරුණ බවත් පිළිස්සීමට ලක්වුණු මවත් දියණිය හා පුතාත් වැලිමඩ මුලික රෝහලට ඇතුළු කළ බවටත් තොරතුරු ලැබුණා. මෙම විදුලි ජනක යන්ත්‍රය තබා තිබුණ කාමරයේ දොර ජනෙල් වසා තිබු බව දැනගත්තා.

එසේ කාමරයේ දොර ජනෙල් වසාදමා ඇත්තේ විදුලි ජනක යන්ත්‍රයෙන් නිකුත්වන ශබ්දය පිටවීම අවම කිරීමටලු. එම විදුලි ජනක යන්ත්‍රය තබා තිබුණ කාමරයේ විශාල පොත් ප්‍රමාණයක් සමඟ වී මලු හා ජෙනරේටරය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පැට්ට්‍රල් අඩංගු බඳුනක්ද තිබුණ බවට නිරික්ෂණය වුණා.

ඇය දොර විවෘත කිරිමත් සමඟම කාමරයේ පැතිරි තිබුණ පැට්ට්‍රල් මිශ්‍ර වාතය සැණෙන් ඉටිපන්දමේ ගින්දර කරා ඇදී ඇති බවට බණ්ඩාරවෙල පොලිස් නොවිසුදුණු අපරාධ කොට්ටාශය (සොකෝ) සිදුකර ඇති ස්ථාන පරික්ෂණ වලින් තහවුරු වුණා.

ඒ සමඟම පැට්ට්‍රල් අඩංගු ප්ලාස්ටික් කෑන්එක සැණෙන් ගිනි ගැනීමත් සමඟම ජෙනරේටරය පිපිරිමට ලක්වූ බවට ස්ථානීය පරික්ෂණයේදී තහවුරුවී තිබෙනවා.

ඉන්ධන, විදුලිය, ගින්න හරහා ඇතිවන විනාශ පිළිබඳව ජනතාව එතරම් තැකීමක් නෑ. මෙම අවධානම ගැන දැඩි අවධානයක් තිබිය යුතුයි. ජෙනරේටරය පරිහරණය නොකරන විට නිවසේ කාමරයක තබා ගෙන විදුලිය ලබා ගන්න අවශ්‍ය යවන විට පමණක් නිවසින් පිටත තබා පණ ගැන්වීමෙන් මෙවන් විනාශන් වලකා ගතහැකි යැයි ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඇම්. ඩබ්ලිව්. හේරත් වැඩිදුරටත් පැවසිය.

 

Comments