කොළඹ නීති පීඨයෙන් බිහිව, ළාබාලම කැබිනට් ඇමැති වී පස් වරක් අගමැති වූ හේ රනිල් වික්‍රමසිංහ නම් විය! | Page 2 | සිළුමිණ

කොළඹ නීති පීඨයෙන් බිහිව, ළාබාලම කැබිනට් ඇමැති වී පස් වරක් අගමැති වූ හේ රනිල් වික්‍රමසිංහ නම් විය!

 

කෘතහස්ත දේශපාලඥයකු වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් මාර්තු 24 වැනිදා සිය 73 වැනි ජන්ම දිනය සමරනු ලැබිණි. කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවකු වන රනිල් වික්‍රමසිංහ අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයකු ලෙස දිවුරුම් දෙනු ලැබිණි. 1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත්වී, 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත්විය. ජේ. ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ළාබාලතම අමාත්‍යවරයා ලෙස තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරය දැරීය. පස් වතාවක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ පළමුවරට අගමැති ධුරයට පත්වන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු 1993 මැයි 07 වැනිදාය. එතැන් සිට 1994 අගෝස්තු 19 දක්වාත් ඉන් අනතුරුව 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්, 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් ඔහු අග්‍රමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබිණි. යළිත් වරක් 2018 දෙසැම්බර් මස 16 වැනිදා පස්වැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. මෙරට බිහිවූ විශිෂ්ට දේශපාලඥයකු ලෙස සැලකෙන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයන් සමඟ ඉකුත් දිනෙක මාධ්‍ය‍ෙව්දිනී භාෂිණි සමරසිංහ විසින් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

 

කුඩා කාලයේ සිටම දේශපාලනයට සම්බන්ධ වීමට අනාගත බලාපොරොත්තුවක් තිබුණාද?

එහෙම විශේෂ බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ. පසුකාලීනව තමයි මම යන්න ඕනෙ මාර්ගය තීරණය කළේ.

 

කුඩා කාලයේ විශේෂයෙන් ප්‍රිය කළේ මොනවටද?

ඉගෙනීමට අමතරව ක්‍රිකට්වලට විශේෂයෙන් ප්‍රිය කළා. ඊට අමතරව පාසලේ ඉතිහාසය සංගමය, විවාද සංගමය වැනි දේවල්වල කටයුතු කළා.

 

දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

කැලණිය ආසනයෙන් දේශපාලනයට සම්බන්ධ වෙන්න කියලා මුලින්ම ආරාධනා කළේ ජේ. ආර් ජයවර්ධන මැතිතුමා. මං මුලින්ම ඒක ප්‍රතික්ෂේප කළා. පසුව තමයි එකඟ වුණේ.

 

තරුණ කාලයේදිම දේශපාලනයට සම්බන්ධවීමත් සමඟ තරුණයෙක් වශයෙන් ජීවිතේ විඳින්නට තිබූ කාලය අහිමි වුණා කියලා හිතෙන්නෙ නැද්ද?

නැහැ, ඒක හොඳ අත්දැකීමක්. අනිත් අයට වඩා අත්දැකීම් මට හම්බවුණා. රටට අලුත් ක්‍රමවේදයක් දෙන එක සතුටක්.

 

රටේ තරුණයන් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන හිතන්නෙ මොනවාද?

තරුණයන් වෙනුවෙන් තව අවුරුදු විස්සක්වත් ඉදිරියට සැලසුම් කරපු ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍යයි. අපි තරුණසේවා සභාව හරහා වැඩපිළිවෙළක් කළා. පසුව පාසල් මට්ටමින් ශිෂ්‍ය නායක සමුළු කළා. තෙවැනුව යොවුන් පාර්ලිමේන්තුව හරහා තරුණයන් වෙනුවෙන් වැඩපිළිවෙක් සකස් කළා.

 

කොහොමද බිරියගෙන් ඔබට ලැබෙන සහයෝගය?

ඇයගෙන් ලැබිය යුතු සහයෝගය ලැබෙනවා. ඒ වගේම ඇයගෙ වැඩ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් වැඩකොටසක් කරගෙන යනවා.

 

එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන මොනවද හිතන්නෙ?

2019දී අපට තිබුණු ඡන්ද පදනම දැන් කිසිම පක්ෂයකට නැහැ. අපේ පක්ෂය අලුත් තත්ත්වයන්ට අනුව, අලුත් කණ්ඩායම් එක්ක, අලුත් අදහස් එක්ක ඉස්සරහට එනවා.

 

ඒ කියන්නෙ පක්ෂය ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා?

පැහැදිලිවම... 21 වැනි සියවසට ගැළපෙන වැඩපිළිවෙළක් එක්ක තමයි ඉස්සරහට යන්න තියෙන්නෙ. එහෙම නැතුව විවේචනයෙන් විතරක් රට ගොඩනඟන්න බෑ.

ලංකාවෙ දේශපාලනය තුළ හොරකම මේ තරම් දුරට සුලබ වෙලා තිබෙන්නෙ ඇයි? ‍

ඡන්දදායකයා එය ප්‍රතික්ෂේප කරලා නැහැ. ඡන්ද දායකයාම තමයි දූෂණයට සම්බන්ධ පිරිස් තෝරගන්නෙ. මේ තත්ත්වය නැති කරන්න එක රැයකින් බෑ. ඒකට මොකද කරන්නෙ කියලා අපි අලුතෙන් හිතන්න ඕනෙ.

 

ඔබගේ පාලන කාලයේ පාලනයට සම්බන්ධ ඇතැම් පිරිස්වලටත් දූෂණ චෝදනා එල්ලවෙලා තිබුණා. ⁣ඒ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නෙ?

මේ තත්ත්වයන් අඩු කරන්න තමයි අපි ස්වාධීන කොමිෂන් සභා ගෙනාවෙ. ඒවගෙන් යම්තාක් දුරට එවැනි තත්ත්වයන් පාලනය වුණා. නමුත් 20 වැනි සංශෝධනයෙන් ඒ ස්වාධීනත්වය අහිමි කළා. දැන් එතන තියෙන්නෙ තනිකරම දේශපාලන මණ්ඩලයක්.

 

එක්සත් ජාතික පක්ෂයට සිටින ස්ථාවර ඡන්දදායකයන් පිරිස ගැන අතීතයේ සිටම කියවෙනවා. ඒ ‘කැපුවත් කොළ‘ කියන කණ්ඩායමට මොකද වුණේ?

1946 සිට එහෙම පක්ෂය වෙනුවෙන් ස්ථාවර ඡන්ද දායකයන් පිරිසක් සිටින සම්ප්‍රදායක් තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. අලුත් අදහස් සහ සමාජ මාධ්‍යයන් එක්ක දැන් සිටින තරුණ පරපුර එක පක්ෂයක අනුගාමිකයන් වීමේ සම්භාවිතාව අඩුයි.

 

වර්තමානයේ සමාජ මාධ්‍ය හැසිරීම ගැන තිබෙන්නේ කුමන අදහසක් ද?

ඒකෙ දෙපැත්තක් තියනවා. ත්‍රස්තවාදී අදහස් හුවමාරු වෙනව වගේ දේවල් වෙනවා නම්, විවිධ රටවල්වල අන්තවාදී තත්ත්වයන් ඇති වෙන දේවල් වෙනවනම් ඒව පාලනය කළ යුතුයි. ජාත්‍යන්තර, නැත්තම් කලාපීය වශයෙන් සමාජ මාධ්‍ය, සමාජයට හානියක් නොවන අයුරින් පාලනයක් ඇතිව පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතුයි. ඇමරිකාවෙත් සෙනෙට් එකෙන් දැනට මේ පිළිබඳ විභාග කරගෙන යනවා.

 

ලංකාවෙ කලා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද ?

අපිට මුලින්ම අපේ කලාව තියන තැන ගැන කියවීමක් තියෙන්න ඕනෙ. ලංකාවෙ කලාව වැටිල තියන තැන ගැන අදහසක් නැතුව අපිට ඉදිරියට යන්න බෑ. ජාත්‍යන්තරයේ කලාව තියන තැන සහ ලංකාවේ කලාව තියන තැන ගැන විශාල ගැටලුවක් තිබෙනව. ලංකාවෙ කලාව මීට වඩා යාවත්කාලීන විය යුතුයි. ලෝකෙත් එක්ක මීට වඩා මුහුවිය යුතුයි. ඒ හරහා වාණිජමය වශයෙන් මීට වඩා දියුණු තැනකට යා යුතුයි.

 

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඔබේ කියවීම කෙබඳුද?

දැන් මේ රටේ ආර්ථිකය තියෙන්නෙ සම්පූර්ණ අවුලක. රජයට ආදායම් නෑ. මහ බැංකුවට මුදල් නෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. 2017 අපි රුපියල ශක්තිමත් කරලා, ප්‍රාථමික අයවැය අතිරික්තයක් ආවා. ඒත් ඊට පස්සෙ මොකද වුණේ?

 

චිත්‍රපට සහ ගීත පිළිබඳ ඔබේ රසවින්දනය කෙබඳුද?

චිත්‍රපට නම් දැන් ගෙදර ඉඳන් බලන්න පුළුවන්නෙ. Netflix බලන්න පුළුවන්, වෙනත් ඒවා බලන්න පුළුවන්. දැන් මුළු ලෝකෙම වගේ, හෝල්වලට ගිහින් බලනවට වඩා ගෙදර ඉඳන් චිත්‍රපට බලන ප්‍රවණතාවක් තියෙන්නේ. කොවිඩ් තත්ත්වයත් එක්ක විශාල වෙනසක් වෙලා තිබෙනවා.

 

ඔබ කුමනාකාර ගීත රසවින්දනයටද කැමති?

වර්ගයක්, භාෂාවක් කියලා නෑ ඕනෙම ගීතයක් අහන්න කැමතියි. හිතට විවේකයක් ගේන, සතුටක් ලබන්න පුළුවන් ඕනෙම සංගීතයකට සවන් දෙන්න කැමතියි.

මේ කාලසීමාවේදී හිතට ආ නව අදහස් මොනවාද?

රටේ දේශපාලනය අලුතෙන් නිර්මාණය කළ යුතුයි. රටේ පාලනය, ආර්ථික තත්ත්වය ඉදිරි වසර 30කට පමණ ඉදිරියට සරිලන පරිදි සැලසුම්සහගතව සකස් කළ යුතුයි. මොකද කොවිඩ් නිසා ගැටලු ඇතිවුණාට ලෝකෙ රටවල් වැටුණෙ නැහැ. බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින වගේ රටවල් මේ කාලසීමාව තුළ දියුණු වුණා. ඉතින් අපේ රටත් එකතැනක පල් වෙන්නැතුව ඉදිරියට යා යුතුයි.

 

ඔබ කැමති චරිත කතාවක් ගැන කිව්වොත්?

විවිධ චරිතවලින් ගන්න වැදගත් දේවල් තිබෙනවා. මේ පුස්තකාලයේ විවිධ පුද්ගලයන්ගේ අදහස් තිබෙන පොත් තිබෙනවා. උදාහරණයක් විදිහට එක තැනක ලී-ක්වාන් යූ ඉන්නව, තවත් තැනක ට්‍රොස්කි ඉන්නවා, තවත් තැනක ලොයිඩ් ජෝර්ජ් ඉන්නවා. අනිත් පැත්තෙන් මාවෝ සේතුං ඉන්නවා. මේ විදිහට විවිධ චරිතවල වැදගත් අදහස් වල එකතුවක් තිබෙනවා.

 

අවසාන වශයෙන් ඔබට කියන්න තිබෙන්නේ මොනවාද?

අපි අලුතෙන් හිතන්න ඕනෙ. අලුතෙන් හිතන්නෙ නැතුව ඉදිරියට යන්න බැහැ. බය නැතුව තීරණ ගන්න ඕනෙ. ජනතා අභිලාෂයන් සහ සමාජ, ආර්ථික තත්ත්වයන්ට අනුව, අපි කරන දේශපාලනය වෙනස් කළ යුතුයි.

 

 

Comments