මානව හිමිකම් කවුන්සිලයේදී බහුතර රටවල සහාය ශ්‍රී ලංකාවට | Page 4 | සිළුමිණ

මානව හිමිකම් කවුන්සිලයේදී බහුතර රටවල සහාය ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ සංගමයේ මහා මහා මණ්ඩල රැස්වීමට සමගාමීව පැවැත්වෙන වාර්ෂික මානව හිමිකම් කවුන්සිල රැස්වීම මේ දිනවල ජිනීවාහිදී පැවැත්වේ. මෙවරද ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් වාර්තාවක් සභාගත කළ අතර, එම වාර්තාව පදනම් කර ගනිමින් සාමාජික රටවල් අතර අන්තර් ක්‍රියාකාරී සංවාදය ද පසුගියදා පැවැත්වීය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය වරෙක ශ්‍රී ලංකාව සංහිදියාව ඇති කිරීමෙහිලා මේ වන විට ගනිමින් පවතින ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සතුට ද පළ කර සිටියාය.

එමෙන්ම තවදුරටත් රට තුළ සංහිඳියාව වර්ධනය විය යුතු බව මානව හිමිකම් කවුන්සිලයේ අදහස බව පැවසූ ඇය, ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පවසා සිටියාය.

ශ්‍රී ලංකාව සම්බන්ධව පසුගිය මාර්තු 4 වැනිදා සභාගත කරන ලද වාර්තාවට අදාළව ඉදිරිපත් කරන ලද අන්තර් ක්‍රියාකාරී සංවාදයට අදාළ ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 45න් 31ක සහාය ශ්‍රී ලංකාවට හිමිවීම මෙවර සුවිශේෂ කරුණක් විය.

මෙවර ශ්‍රී ලංකාවට සහාය පළ කළ රටවල් 31 අතරට සෞදි අරාබිය, ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියාව, වියට්නාමය, වෙනෙසියුලාව, නයිජීරියාව, පාකිස්තානය, කාම්බෝජය, රුසියාව, ලෙබනනය, උගන්ඩාව, බෙලරූස, සිම්බාබ්වේ, එරිත්‍රියාව, දකුණු සූඩානය, ලාඕසය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය, අසර්බයිජානය සහ උතුරු කොරියාව අයත් වේ.

දැනට ශ්‍රී ලංකාව තුළ ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට නීතිමය රාමුවක් තුළ රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බව මේ රටවල් එක්සත් ජාතීන්ගේ මනාව හිමිකම් කවුන්සිලයේදී දැනුම්දීමට කටයුතු කර ඇත.

Comments