බඩ ගෙඩි ගැටුමක් වූ වෝන්- අර්ජුන විරසකය | Page 4 | සිළුමිණ

බඩ ගෙඩි ගැටුමක් වූ වෝන්- අර්ජුන විරසකය

මට අර්ජුනව දිරවන්නෙ නැහැ. මිනිහා පුංචි නැපෝලියන් කියපු කතාවට ඇඳ ගත්තා
- ෂේන් වෝන්

වෝන් කියන්නේ බොරුවට උඩ දාපු පන්දු යවන්නෙක්.මිනිහාට කවදාවත් රොල් මොඩ්ල් එකක් වෙන්න බෑ
- අර්ජුන රණතුංග

මොන තරම් වැඩ තිබ්බත් වෝනි ගැන නොලියා ඉන්න බැහැ. ඒ ඔහු අපේ පරම්පරාවේ ක්‍රිකට් ඇම්ම විචිත්‍රවත් කළ පුරාවෘත්තයක් නිසා. කාලයක් තිස්සේ ක්‍රිකට් පිටියට ජීවය දුන් මේ අහංකාර, ජේත්තුකාර සුද්දා නික්ම ගිය බව දැන ගත්ත ගමන්ම ක්‍රිකට් ලෝකය ම මොහොතකට කඩා වැටුණා.

වෝන්ගේ හදිසි වියෝවත් එක්ක අපට අර්ජුනව සිහිපත් වුණා. මොකද අර්ජුනයි, වෝනියි කියන්නේ කවදාවත් අමතක කළ නොහැකි පටලැවිලි ඇති කරගත් දෙන්නෙක් නිසයි.

ඉතිහාසය පුරා මේ දෙන්නා දිගටම කොක්ක එල්ලන් හිටපු හැටි ඉතිහාසයේ ලියැවී තිබෙනවා. පිටියේ දී හා ඉන් පිටත දී පවා තමන් හා වෝන් අතර ඒ තරම් ඇයි හොඳැයියක් නොතිබුනත් වෝන් කියන්නේ අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක් බව අවසානයේ අර්ජුන පිළිගෙන තිබුණා. 

දැන් කාලෙ අපේ ක්‍රිකට් ගැන ලියන්න ගියොත් වැඩිමනත් කරන්න වෙන්නේ නරි නාව‍න එක. උන්දැලා බියර් ගහපුවා, කොටු පැනපුවා, ගෑණු ගෑණු කෙහෙවලු පටලවගත්තුවා ගැන. ඒත් අර්ජුනලා, වෝන්ලා අතර තිබුණු පටලැවිලි ගැන ලියන එක තවමත් හරිම සුන්දරයි. මෙම ලිපියේ දී අපි එවැනි කතා කීපයක් සිහිපත් කරන්න කැමතියි.

වෝන් කියන්නේ උපායශීලි පන්දු යවන්නෙක්. වරක් ඔහු අර්ජුනට එරෙහිව පන්දු යවමින් සිටියා. ඉක්මනින්ම අර්ජුන ක්‍රීඩාගාරයට යවන්න හිතපු වෝන් පෙරළා උඩපන්දුවක් ලබා ගැනීමේ බලා-පොරොත්තු ඇතිව ක්ෂණිකව කෙටි පන්දුවක් යොමු කළා. අර්ජුනත් වෝන් වගේම හිතුවා. ඔහු එසැණින් ඉදිරියට පැනලා බුලට් එකක් වගේ පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැව්වා. වෝන්ගේ සුදු මූණ කළු වුණා. ඊළඟ පන්දුව අර්ජුනගෙ පපුවටත් උඩින් එවපු Full toss එකක්. අර්ජුන ඉදිරි පාදයට ඇවිත් ඒකට දැවැන්ත හයේ පහරක් එල්ල කළා.

වෝන් මේ පන්දුවාරය යැව්වේ එසේ මෙසේ තරගයක නෙවෙයි. ඒක 1996 ලෝක කුසලානයේ අවසාන මහා තරගයේ දී යි. අර්ජුන ඒ හයේ පහර ගහලා ඔලොක්කුවට දිවත් දික්කරපු බව වෝන් පසුව කියා තිබුණා.

වෝන් හා අර්ජුන ගැටුම ඒ දෙන්නාට පෞද්ගලික වූ බවත් දෙදෙනා එකිනෙකාට

මුලිච්චි වෙන්න ඒ තරම් කැමැත්තක් දක්වා තිබුණේත් නෑ.

1999 දී Time සඟරාව හා සංවාදයක නිරත වන වෝන් අර්ජුන ගැන තමන්ගෙ හැඟීම් කෙළින්ම කියා තිබුණා.

“මට මිනිහව දිරවන්නෙ නැහැ. කොහොමටත් අපි අතරෙ ඇයි හොඳැයියක් නෑ. අපි එකට කන්නෙ බොන්නෙත් නෑ.” ඒ වෝන්.

“වෝන් කියන්නෙ නිකම් බොරුවට උඩ දාපු (Overrated) පන්දු යවන්නෙක්. එයාට කවදාවත් Roll model කෙනෙක් වෙන්න බැහැ.” එහෙම කිව්වේ අර්ජුන.

පසු කාලයක ෂේන් වෝන් Shane Warne's Century කියල පොතක් ලියනවා. එහි දී ඔහු තමන් කැමැති පිළිවෙළට ක්‍රීඩකයන් 100 දෙනෙකු ලැයිස්තුගත කරනවා. හැබැයි ඒකෙ 93 වැනි ස්ථානය දීලා තියෙන්නේ අර්ජුනට.

"මට අර්ජුනයව අල්ලන්නෙ නැති බව ඇත්ත. ඒ නිසා දත්මිටි කා ගෙන මිනිහව 100 ඇතුළෙ තිබ්බා. හැබැයි 101 ට දාන්න ක්‍රමයක් තිබ්බනම් මම ඕකව තියන්නෙ එතැන." පොත ලියලා වෝන් කිව්වා.

“අර්ජුන ගැන මට තිබුණ මූලික ගැටළුව තමයි ක්‍රිකට් ක්‍රීඩාව ගැන මිනිහගෙ තිබුණු ආකල්පය. ඒ මනුස්සයා ක්‍රිකට් නීති රීති කැඩුවා කියලා මම කියන්නෙ නෑ. හැබැයි ඔය මනුස්සයා ඒවා තමන්ට ඕනෑ ඕනෑ විදියට නැව්වා.”

“මට මතකයි මිනිහ එක පාරක් Umpire ගෙ තීරණයකට එකඟ නොවී Team එක අරන් පිටියෙන් එළියට යන්න හැදුවා. තව පාරක් වැරැදි තැනක හිටන් ඉන්නවා කියල Umpire ට බාල්දියක් ඇද්දා. බොරු ලෙඩ පෙන්නලා එයා වෙනුවට දුවන්න Runners ලා ගෙන්නනවා. ඒ විතරක් නෙවෙයි මිනිහ බැටළුවෙක් ගිලලා වගේ ඉන්න ගමන් Team එකේ අනිත් කොල්ලන්ට කියනවා අපිට අතට අත දෙන්න එපැයි කියලා.”

"Captaincy එකට ආපු කාලෙම සමහරු අර්ජුනව පුංචි නැපෝලියන් කෙනෙකුට සමාන කළා. මං හිතන්නෙ මිනිහ ඒක ඔලුවට ගත්තා. ඒකනේ හොස්ස ළඟින් මැස්සො යන්න බැරි ගාණට ඉන්නේ. ලංකාවෙන් පිට එක ජාත්‍යන්තර ක්‍රීඩකයෙක්වත් එයා ගැන හොඳක් කියනවා මං අහල නැහැ." වෝන් වරින් වර අර්ජුන ගැන චෝදනා කර තිබුණේ එහෙමයි.

අර්ජුනට බැටළුවෙක් ගිල්ලා වගේ මහතයි කිව්වාට වෝනුත් පඟරනැට්ටෙක් නෙවෙයි. තමන්ගේ ක්‍රිකට් කැරිස්මාව පාවිච්චි කරලා පිටියෙන් පිටත දී අර්ජුනව බාල්දු කරන්න තමයි වෝන්ට උවමනා වුණේ.

2003 දී තහනම් උත්තේජක භාවිත කිරීමක් නිසා වෝන් ට අවුරුද්දක් විතර ගෙදර තපින්න වුණා. වෝන් ඒ ගැන කිව්වේ තමන්ගෙ මූණෙ Double chin අයින් කරලා ලස්සන කරන්න අම්මා මොකද්දෝ පෙත්තක් දීපු බවයි. කොහොම හරි මේ උන්දැලා දෙන්නටම තමන්ගේ බඩගෙඩි ක්‍රීඩාවට බාධාවක් වුණේ නෑ.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳවැට්ටවීමට නොහොබිනා වචන (Sledging) කියනවා. ෂේන් වෝන් මේ සෙල්ලමේ කෙළපැමිණියෙක්. වෝන් ගේ මේ උප්පරවැට්ටිවලට තිතටම අහුවුණ ක්‍රීඩයෙක් තමයි දකුණු අප්‍රිකාවේ ඩැරිල් කලිනන්. ඔහුට ඒ නිසාම මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නත් සිදු වුණා. ඉන්දියාවෙ සව්රව් ගංගුලි, එංගලන්තයේ නසාර් හුසේන් වගේ බලකණුත් වෝන්ගෙ Sledging හමුවේ කඩා වැටුණා.

ඒත් අර්ජුන නම් තමන්ට කොකා පෙන්නන්න ආපු වෝන්ට හැරෙන තැපෑලෙන්ම ලුණු ඇඹුල් ඇතිව කිව්වා. වෝන් තහනම් උත්තේජක පෙති ගත්තා කියලා තරග තහනමකට ලක්වුණාට පස්සේ යළි 2004 වසරේ දී ශ්‍රී ලංකා සංචාරයකට පැමිණියා.

ඒ වෙන කොට අර්ජුන අවුරුදු 4 කට ඉස්සර ජාත්‍යන්තර ක්‍රිකට්වලින් ඉවත් වෙලා පාර්ලි-මේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත්වෙලා.

තරග සංචාරයට පැමිණි වෙලාවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පරණ හතුරා හමුවෙන්න අදහසක් නැද්දැයි මාධ්‍යවේදියෙක් වෝන්ගෙන් ඇහුවා.

"ආ අර්ජුන... එයා මේ වෙන කොට කිලෝ 150 ක් වත් වෙලා ඇති. අනිවාර්යයෙන්ම මිනිහා බැටළුවෙක් හරි එළුවෙක් හරි ගිලලා !!" වෝන් ඇඟට පතට නොදැනී කිව්වා.

අර්ජුනට මේ කතාව ආරංචි වුණා විතරයි AP මාධ්‍යවේදියකුට කතා කළා. කතා කරලා තමන්ගේ ගෙදරටම ගෙන්න ගෙන හතර අතේ නෙළන්න ගත්තා.

"මං බැටළුවෙක් ගිල්ලත්, එළුවෙක් ගිල්ලත් එයාට මොක ද? හැබැයි මම එයාට එකක් කියන්න ඕනෑ. අපි ඔය කොහෙවත් තියෙන පෙති ගිලලා වැඩේ පත්තුවුණාම ඒක අම්මගෙ පිටින් යවන එව්වො නෙවෙයි"

එතැනින් පස්සේ වෝන් අර්ජුන ගැන කියපු කතාවක් මාධ්‍යයට ආවේ නෑ. ඉතින් ඒ සිද්ධිය එතැනින් අවසන් වුණා.

කොහොම හරි ලාංකිකයන් වෝන් ගැන හරියටම දැනගත්තේ සුනාමිය ආවට පස්සේ. මේ අහංකාර ක්‍රීඩකයා ඇතුළේ හිටපු මනුස්සයා එළියට ආවෙ ඒ මොහොතෙයි. ඔහු අපට අත දිගහැරලා ආධාර කරන්න ඉදිරිපත් වුණා. තමන්ගේ 500 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්ත ගාලු පිටිය සුනාමියෙන් විනාශ වුණාට පස්සේ ඒක යළි හදන්න වෝන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බව කියැවුණා. ඒ ෂේන් වෝන් අද වන විට මතක පමණක් ඉතිරි කර යන්නම ගිහින්. මේ ඔක්කොම අතර අද අර්ජුන වෝන් ගැන දරන්නේ මෙවැනි අදහසක්. ‘ඔහු විශිෂ්ට පන්දු යවන්නෙක්. ඒකෙ කිසිම තර්කයක් නැහැ.’ කියායි

ශානක ලියනගම

Comments