මහ රෑ බොරැල්ලේ මොනවද මේ වෙන්නෙ | Page 2 | සිළුමිණ

මහ රෑ බොරැල්ලේ මොනවද මේ වෙන්නෙ

 

රාත්‍රියේ මතු වන සුරූපී තරුණියන් ත්‍රිවිල් සහ මෝටර් රථවලට අත දමනවාලු

මහ රෑ අවතාර රැස්වීම් තියනවලු

හොල්මන් අභියෝගයට ලක් කළ ‘රැඩිකල්’ තරුණයන්ට ගල්මුල් ප්‍රහාරයක්

 

දෘෂ්‍යමාන ලෝකය මෙන්ම පියවි ඇසට නොපෙනෙන අදෘෂ්‍යමාන ලෝකයේ ගතසිත කිලිපොළා යන පුදුම සහගත සිදුවීම් ගැන අප කොතෙකුත් අසා ඇත. විවිධ හේතූන් නිසා මරණයට පත්වූ සුගතිගාමී නොවූ ආත්මයන් එහේමෙහේ සැරිසරමින් සරණ සොයති.

වසර 155 වඩා ඈත අතීතයකට හිමිකම් කියන අක්කර 50 වපසරියකින් යුතු ශ්‍රී ලංකාවේ විශාලතම සොහොන් බිම වන බොරැල්ල කනත්ත 1866 වර්ෂයේ ස්ථාපිත කරන ලද අතර, දෙවැනි ලෝක යුද සමයේ මිය ගිය සොල්දාදුවන්ගේ මෘත දේහ මිහිදන් කෙරුණි. මේ වන විට බෞද්ධ හින්දු, කතෝලික හා වෙනත් ආගම්වල ලක්ෂ 30කට වැඩි පිරිසක් තම අවසන් නිද්‍රාව සඳහා තෝරාගෙන ඇති අතර, මසකට 450ක පමණ පිරිසක් බොරැල්ල කනත්තේ අවසන් නින්දට යති.

බොරැල්ල කනත්තේ මුල් යුගයේ පටන්ම දිවා හා රාත්‍රී කාලවල ආරක්ෂාව සඳහා යොදවා තිබුණේ මුරකරුවන්ය. ඉන් ඇතැමුන් මේ වන විට මිය පරලොව ගොස්ය. තවත් සමහරු විශ්‍රාම ගොස් ඇත. වසර 30කට ආසන්න කාලයක් රාත්‍රී මුරකරුවකු ලෙස සේවය කරන එම්.ඒ. සරත් (59) නොහොත් ‘ඩාලින්’ එදා මෙදාතුර ඇසින් දුටු ඇඟ කිලිපොළා යන සත්‍ය සිදුවීම් රැසක් ‘සිළුමිණ’ට හෙළි කළේය. සරත්ගේ ගම වනාතමුල්ල ය. ඔහුගේ දරුවන් හතරදෙනාම මේ වන විට විවාහකය.

බොරැල්ල කනත්තේ මුරකරුවකු ලෙස මුලින්ම ඔහු සේවයට බැඳී ඇත්තේ 1980 ගණන්වලය. දැන් මෙන් නොව ඒ කාලයේ බොරැල්ල කනත්තේ එකම කැලෑරොදකි. කොස්, පොල්, කිතුල්, තැඹිලි, අලිගැටපේර, කොහොඹ, තේක්ක, අරලිය, මැයි, මාර, ඉන්දියන් විලාස්, පුවක්, ටර්පන්ටයින්, බෙහෙත් එඬරු, සල් මෙකී නොකී පලතුරු, මල්, බෙහෙත් හා වටිනා දැව ගස් රාශියකි. දණක් උසට වැවුණු මහා කැලයකි. රාත්‍රී මුරයට ඔහුගේ තනියට තවත් අයකු ද සිට ඇත.

ඔවුන් මුර කරන්නේ නාරාහේන්පිට පාරට මුහුණලා පිහිටි ප්‍රධාන ගේට්ටුවයි. මහ රෑ ජාමෙට හාත්පස කිසිවකුත් නොමැත. සමහර දිනවලට ඔවුන් පිවිසුම ඇතුළත සිමෙන්ති පොළොවේ දිගාවී ගිමන් හරිති. ඇතැම් දිනවල වෙහෙස මහන්සියටම නින්ද යයි. මේ එහිදී ලැබූ අත්දැකීම් ගැන කියන සරත්ගේ හඬයි.

“මීට අවුරුදු ගානකට කලින් දවසක් කනත්තේ ප්‍රධාන ගේට්ටුව ඇතුළේ බිම නිදාගෙන හිටියා. අනිත් කෙනා හිටියේ ළඟම කොට බිත්තය උඩ නිදාගෙන. මහ රෑ සද්දයක් ඇවිත් මම ඇහැරිලා බලද්දි එයා මගේ ළඟ බිමට වැටිලා. කවුද එයාව තල්ලු කළාලු. ඊට පස්සේ එයත් බිම නිදා ගත්තා.

මගේ වසර 32 විතර සේවා කාලය තුළදී මම පුදුම සහගත දේවල් අත්දැකලා අත්විඳලා තියෙනවා. මුල් යුගයේ හොඳටම බයවෙලත් තියනවා. රස්සාවට ආපු මුල් යුගයේ ත්‍රාසයෙන් භීතියෙන් ඇලළුණු සිදුවීම් රාශියක් සිදු වුණා. ඒ කාලේ දවල් 12.00 ඉඳලා පහුවදා උදේ 7.00 තුරු මගේ සේවා මුරය තිබුණේ. ඉස්සරහා ප්‍රධාන පිවිසුම ළඟ කාර්යාලයට පිටුපස ඇති සල් ගහ කිට්ටුව වතුර ටැප් එකත් තිබුණා. දවසක් රෑ මට වතුර තිබහ හැදිලා කෝප්පයකට වතුර ගන්න ටැප් එක ළඟට ගිහාම සුදු සාරියක් ඇඳගත් කොණ්ඩය කඩලා සිටි ගෑනු කෙනෙක් මට කථා කරලා වතුර ඉල්ලුවා. මම බයවෙලා ඉස්සරහට දිව්වා. අනිත් මුරකරු එක්ක ඇවිත් බලද්දි කවුරුත් හිටියේ නැහැ. එතකොට වෙලාව පාන්දර 3.00 යි.”

තවත් දිනක් තමාගේ රාත්‍රී මුර සගයාට සිදුවූ ඇබැද්දියක් ඩාලින් මෙසේ විස්තර කළේය.

“මාත් එක්ක මුරට ඉන්න කෙනා දවසක් වැඩකට ඇතුළට ගියා. එන්න පරක්කු වූ නිසා මම ඔහුව බලන්න යද්දි කනත්තෙ බිම තැනක එයාගේ ටෝච් එක පත්තු වෙමින් තිබුණා. තව ටිකක් ඉස්සරහට යද්දි ඔහු බිම වැටිලා හිටියා. මම ඔහුව කරේ තියාගෙන ඇවිත් වතුර ඉහළා සෙලෙව්වා. ඔහු කිව්වා මම වගේ කෙනෙක් එයාට කථා කළාලු. පිටුපස හැරිලා බැලුවාම කවුරුත් හිටියෙ නැහැලු. ඒකට බයවෙලයි ඔහුට සිහිය නැතිවෙලා තියෙන්නේ.

බොරැල්ල කනත්තේ මහ රෑට තනියම විතරක් නෙමෙයි දෙන්නෙක් එක්ක ගියත් හරිම පිළිකුල් සහගත අරුම පුදුම අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදුවෙනවා.

එදා අමාවක දවසක්. කනත්තේ පාරවල් දුරයිනේ. අපි ගමන් පහසුවට පාපැදියක් පාව්චිචි කරනවා. අපි දෙන්නා පාපැදියෙන් කනත්ත මැදින් වැටුණු විශාල පාර දිගේ මැදට ගිහින් බයිසිකලය නැවැත්තුවා. එකපාරටම බයිසිකලය පෙරළුවා. නමුත් පෙරළපු කෙනෙක් හිටියෙ නැහැ. එතකොට වෙලාව රෑ 12.45යි.”ඔහු කීවේය.

බොරැල්ල කනත්ත වටා සතර පැත්තෙන්ම ප්‍රධාන පාරවල්ය. කනත්තේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුවට අමතරව ගේට්ටු 07ක් පමණ ඇති අතර, කනත්තට පිවිසීමට හා පිටවීමට ගේට්ටු 04ක් පමණ භාවිතා කරයි. දිනක් රාජගිරිය පාර පැත්තේ ගේට්ටුව අසල සිටියදී රාත්‍රී 1.00 පමණ සිදුවූ ත්‍රාසජනක සිදුවීමක් සරත් විස්තර කළේ මෙසේය.

“එදත් අපි දෙන්නෙක් හිටියා. ඈත ඉඳලා ඉතා උස කෙනෙක් ඉස්සරහට ආවා වගේ දැක්කා. අපි ළඟට එද්දී ආපු කෙනා ටික ටික ක්‍රම ක්‍රමයෙන් කුඩා වෙලා බල්ලෙක් බවට පත්වුණා. පස්සේ ඒ බල්ලත් අතුරුදහන් වුණා.

ඒ විතරක් නෙවෙයි මහ රෑට විලාප හඬවල් ඇහෙනවා. තව එක එක භයංකර ශබ්ද ඇහෙනවා. ඇතැම්විට ඉවසන්න බැරි දුර්ගන්ධයක් හමනවා. යටිගිරියෙන් කෑගසන ශබ්ද ඇහෙනවා. සමහර වෙලාවට ඉකි ගසමින් හඬනවා. වෙලාවකට බිහිසුණු විදිහට සුළං හමනවා. මේ හැම දෙයක්ම හුඟාක් වෙලාවට සිද්ධ වෙන්නේ රෑ ජාමෙට. සමහරදාට මහ දවාලේ වුණත් යම් යම් සිදුවීම් සිදුවෙනවා. කනත්තේ වැඩට කාන්තාවෝ යොදවන්නෙ නෑ. බය වෙන නිසා. ඉස්සර තණකොළ ගලවන්න කාන්තාවෝ හිටියා. දැන් එහෙමත් නෑ. ඒ කාලේ කනත්ත මහ ඝන කැලෑව. නයි පොළොංගු විමානේ. තණකොළ කපලා ලස්සනට මල් වවලා තියෙන්නේ දැන්නේ.”

එසේ කියූ සරත් ඔහු මුහුණ දුන් තවත් සිදුවීමක් අප සමඟ කීවේය.

“ඒ සෙනසුරාදා කෙම්මුර දවසක්. වෙලාව හරියටම රෑ. 12.00යි. ගස් කොළන් අඹරාගෙන මහා සුළඟක් ආවා. ඒක අපිවත් ගහගෙන යන්න තරමේ හුළඟක්. කනත්තේ පැති පාරක හාවෙක් මැරිලා හිටියා. හාවා ගල්වෙලා. සීතලම සීතලයි.

තව දවසක් මම රෑ 10ට විතර වළක් ළඟින් යද්දි කවුදෝ පස්සෙන් එනවා වගේ දැනුණා. විලාප හඬකුත් ඇහුණා. අනිත් වළ ළඟට ඇවිත් හැරිලා බලද්දි කවුරුවත් හිටියේ නැහැ.”

බොරැල්ල කනත්තේ ආදාහනාගාර කීපයක් ඇත. ඒ බෞද්ධ, රෝමානු කතෝලික, හින්දු, ඇන්ග්ලිකන්, පෙන්තකොස්ත ආදී ආගමිකයන් වෙනුවෙනි. දිනක් ආදාහනාගාරයක රාත්‍රී සේවා මුරයේදී මුහුණපෑමට සිදුවූ ත්‍රාසජනක සිද්ධියක් ඩාලින් සිළුමිණට අනාවරණය කළේ මෙසේය.

“මමයි තව කෙනෙකුයි ආදාහනාගාරයේ දොර ළඟ හිටියා. වෙලාව රෑ 12.10 යි. ඇතුළේ ඉඳලා කවුරු හරි දොරට ගැහුවා. ඒත් එක්කම ඔළුවට පාරක් වැදුණා. තව දවසක් එතන රාත්‍රී තනියම මුර කරද්දි කවුරුහරි මගේ බෙල්ල මිරිකගෙන මට ගහනවා. කෑගැහුවට සද්දේ පිටවෙන්නෙත් නෑ. මම පුදුම විදිහට බයවුණා. ඇඟේ ලේ වතුර වුණා. කටේ කෙළත් හිඳුණා.”

දිගුකාලීන මුර සේවයේ යෙදුණු එම්.ඒ. සරත් (ඩාලින්) ඇසින් දුටු එකී සත්‍ය සිදුවීම්වලට අමතරව බොරැල්ල කනත්තේ හොල්මන්, අවතාර පිළිබඳව තවත් කීප දෙනෙකුම අපට කරුණු අනාවරණය කළහ.

වසර 10ක් පමණ මුරකරුවකු ලෙස සේවය කළ මෝදර ජූඩ් සිල්වා (53) තමා මුහුණ දුන් ත්‍රාසජනක සිදුවීම් පිළිබඳව මෙසේ කීවේය. “මහ රෑ ජාමෙට කනත්තේ තනියම නෙමෙයි දෙතුන් දෙනෙක් එකට හිටියත් බය වෙනවා. එක එක සද්ද ඇහෙනවා ජාමෙට. නින්ද යන්නෙත් නෑ බයට. මෑතක හරි අපූරු සිද්ධියක් වුණා. විද්යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට ඕනෑ වුණා මහ රෑ ජාමෙට බොරැල්ල කනත්තේ ඇතුළේ වටේම ඇවිදින්න තනියම. ඔහු ඒ සඳහා නගර සභාවෙන් මුදල් බැඳලා අවසර අරගෙන දින නියම කර ගත්තා. නියමිත දිනයට දින තුනකට කලින් ඔහුට සහලෝලා උණ ගත්තා. එදාට එන්න බැරිවූ නිසා වෙන දිනයක් යොදාගෙන ආවා. අපේ ආරක්ෂක අංශයේ අය එයාට තනියම යන්න දෙන්න බෑ කියලා. ආරක්ෂක නිලධාරීන් එක්ක මාධ්‍යවේදියා රෑ 12ට කනත්ත මැදට එද්දි මහ හයියෙන් හුළඟක් හැමුවා. එකපාරටම සද්දයක් ආවා. බලද්දි හාවෙක් කනත්තේ පාර මැද මැරිලා වැටිලා. ආරක්ෂක නිලධාරින් කීවා මෙතනින් එහාට යන්න එපා. කරදරවලට පත්වෙනවා කියලා. ඊටපස්සේ ඔහු ගියේ නැහැ. එතැනින් වැඩේ නතර කළා.”

මීට අමතරව බොරැල්ල කනත්ත හා සබැඳි තවත් සිද්ධි කිහිපයක් ද දැනගන්නට ලැබුණි.

දිවා කාලයේ කනත්ත උදුළු ගාමින් සිටි සේවකයකුට පිටුපසින් තමන්ගේ නම කියා කථා කරන හඬ ඇසී බැලූ විට කිසිවෙකුත් නැති නිසා බියට පත්ව ඇත. තවත් සේවකයකු මිනී වළක් හාරන විට කිසිවකු තල්ලු කරන බවක් දැනී වටපිට බැලුවත් කිසිවකුත් නැති නිසා බිය වී ඇත. සේවකයකු මහ දවාලේ වළක් සුද්ද කරන විට කිසිවකු උස් හඬින් සිනාසෙනු ඇසී වටපිට බැලුවද එසේ සිනාසුණු අයකු දැකගැනීමට නොමැති වීම නිසා භීතියට පත්ව ඇත.

එපමණක් නොව බොරැල්ල කනත්තේ ඇතැම් රාත්‍රීවලට බිහිසුණු විලාප හඬ ඇසේ. රිය අනතුරුවලින් මිය ගිය අයගේ වළවල් අසලින් එසේ ඇසෙන බව තතු දත්තෝ පවසති. දිනක් ආදාහනාගාර සේවකයකු ඇතුළේ සිටින විට එක්වරම දොර වැසී ගොස් ඇති අතර ඔහු මහත් භීතියට පත්ව ඇත. තවත් දිනක මිනියක් පුලුස්සන විට කිසිවකු ඇතුළේ සිට එහි සිටි සේවකයාව අදින්නාක් වැනි හැඟීමක් ඇතිවීමෙන් ඔහු බියට පත්ව ඇත. සුදු ඇඳගත් මිනිස් අවතාරයක් සුසානභූමි සේවකයන්ව මෘතදේහාගාරයට ඇදගන්නා බවත් එම අවතාරය එහි බිත්ති මතින් අතුරුදන්වන බවටත් මේ නිසා සේවකයන් ක්ලාන්ත වී ඇද වැටෙන බවටත් කතාවක් ඇත.

තවත් සේවකයකු පැවසුවේ බොරැල්ල සුසාන භූමියේ රෑ ජාමෙට අවතාර රැස්වීම් පවත්වන අතර ඒවාට ළංවුවහොත් ගල්ගසා පන්නා දමන බවයි. රැඩිකල් මතවාදීන් පිරිසක් එම කරුණු අභියෝගයට ලක් කරමින් බොරැල්ල කනත්තේ රැයක් ගතකිරීමට පැමිණ ඇති අතර ඔවුන්ට මහ රෑ ගල් මුල් ප්‍රහාරයක් එල්ලවීම නිසා ඉවත්ව ගොස් ඇත.

ධනවතකුගේ සුඛෝපභෝගී වාහනයකට බොරැල්ල කනත්ත අසලින් සුරූපී තරුණියක් නැඟ ඇත. ටික දුරක් යනවිට ඇය අතුරුදන්වීම නිසා රිය පැදවූ තරුණයා බියට පත්ව ඇත. එමෙන්ම කනත්තේ ප්‍රධාන පිවිසුම අසලින් සුදු ඇඳගත් කාන්තාවක් ත්‍රිවිලරයකට නැඟ ඇත. රියදුරා මගට ගොස් බැලූ විට ඇය නොමැති නිසා ත්‍රිවිලරය ද දමා දුවගොස් ඇත. බොරැල්ල කනත්ත අසල සිට මධ්‍යම රාත්‍රියේදී සුදු ඇඳගත් කාන්තාවක් ත්‍රිරෝද රථවලට හා මෝටර් රථවලට අත වනා නැඟ පසුව අතුරුදන්වන බවට විවිධ පිරිස් පාලකවරයා පවා දැනුවත් කර ඇත.

බොරැල්ල කනත්ත දැන් හොඳින් එළිපෙහෙළි කර අලංකාරව මල් වවා ඇත. දිවා කාලයේ දින කිහිපයක්ම මම අක්කර 50 පුරා තනිවම ඇවිද්දත් බියක් නොදැනුණත් රාත්‍රී කාලයේ කනත්තේ සිරි නැරඹීමට යෑම ගැන නම් දෙවරක් සිතිය යුතුමය.

බොරැල්ල කනත්තේ සේවය කරන බොහෝ දෙනා දිවා කාලයේ සේවය නිම කර යති. බොහෝ ආරක්ෂක නිලධාරීන් මැදියම් රැයේ සිටින්නේ ගේට්ටුව අසලය. මධ්‍යම රාත්‍රියට හුදෙකලාව බොරැල්ල කනත්තට යෑමට ඔබගේ සිත ශක්තිමත් නම් ජාමෙට යකා නටන බොරැල්ල කනත්තේ හොල්මන් ගැන සත්‍ය ගවේෂණයක යෙදිය හැකිවනු ඇත.

 

 

ඉස්සර කාලේ මිනිස්සු හොල්මන් දැක්කේ අඳුර වැඩි නිසා. දැන් ආලෝකය වැඩි නිසා හොල්මන් වාර්තා වීම අඩුයි. අඩමානයට දකින සෙලවීමක් වගේ දෙයක් හොල්මන් විදිහට දැනෙනවා වගේම යම් පුද්ගලයකුගේ මනසේ ඇතිවන මනෝ භ්‍රාන්තියක්, ශ්‍රවණ භ්‍රාන්තියක් වර්ධනය වීමෙන් හොල්මන් ලෙස දැනෙනවා විය හැකියි

තාරක වරාපිටිය

ලේකම් - ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය

 

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ

Comments