වසංගතය නිසා ලැබුණු අමුතුම තාලේ රක්ෂණ වන්දිය | Page 5 | සිළුමිණ

වසංගතය නිසා ලැබුණු අමුතුම තාලේ රක්ෂණ වන්දිය

 

මේ සිදුවීම වාර්තා වන්නේ ජර්මනියෙනි. එරට ඉහළ උසාවියක විභාග වූ නඩුවක පැමිණිලිකරුවා වූ පුද්ගලයා සිටියේ කැඩුණු කොන්දක් හේතුවෙන් දැඩිව පීඩා විඳිමිනි. ඔහු තම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ රක්ෂණ සමාගමකට එරෙහිවය. ඔහුගේ පැමිණිල්ල වූයේ තමා අයැදුම් කර සිටි රක්ෂණ වන්දිය ගෙවීම සමාගම විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

 

මේ පුද්ගලයා වන්දි ඉල්ලා තිබුණේ බිම ඇද වැටීමෙන් තම කොන්ද බිඳී යෑම හේතු කොට ගනිමිනි. ඔහු එය දක්වා තිබුණේ ‘වැඩ කරන කාලය තුළ සිදුවූ අනතුරක්‘ වශයෙනි. එහෙත් සැබවින්ම ඔහු බිම ඇද වැටී තිබුණේ තම නිදන කාමරයේ සිට තම පරිගණකය ස්ථාපිත කර තිබූ කාමරය වෙත යන ගමනේදීය. එම කාමර දෙක ඔහුගේ නිවසේ තට්ටු දෙකක පිහිටා තිබූ අතර එම කාමර දෙක සම්බන්ධ වූයේ රවුම් හැඩයේ තරප්පු පෙළකිනි. ඔහු උදෑසන ආහාරය සඳහා තම පරිගණකය ස්ථාපිත කර තිබූ කාමරයේ නැතහොත් කන්තෝරු කාමරයේ සිට නිදන කාමරය වෙත ගමන් ගනිමින් සිටියදී, එකී රවුම් තරප්පු පෙළින් ඇද වැටුණු අතර එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ කොන්ද බිඳී යෑමයි.

ඔහු තමන්ට සිදුවූ හදිසි අනතුර තමා සේවය කරමින් සිටියදී සිදුවූ අනතුරක් බවත්, ඒ හේතුවෙන් තමන්ට නියමිත වන්දිය ලබා දෙන ලෙසත් තම සේවා ස්ථානය මගින් ලබා දී තිබුණු රක්ෂණයට අදාළ රක්ෂණ සමාගමෙන් ඉල්ලා තිබේ. එහෙත් අදාළ රක්ෂණ සමාගම පවසා ඇත්තේ එය නිවසේදී සිදුවූ අනතුරක් බැවින් එයට සේවා ස්ථානයට අදාළ වන්දි ගෙවීමක් කළ නොහැකි බවයි.

නම සඳහන් නොවන මේ පුද්ගලයා එවිට කර ඇත්තේ ජර්මනියේ පහළ අධිකරණයක් වෙත තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමයි. එම අධිකරණය පැමිණිල්ල ඉහළ අධිකරණයකට යොමු කර ඇති අතර ඉහළ අධිකරණයේදී එම නඩුව පසුගියදා විභාග විය.

එහිදී මූලිකව විභාගයට ගෙන ඇත්තේ අදාළ පුද්ගලයා තම රාජකාරී අවස්ථාවේදී නිවසේ රැඳී ඇත්තේ කෙසේද යන්නයි. එහිදී වසංගතය හේතුවෙන් මේ පුද්ගලයා මාස ගණනාවක් නිවසේ සිට සේවය කළ බැවින් එලෙස සේවය කළ අවස්ථාවන් කාර්යාලයේ රැඳී සිටි අවස්ථාවන් සේ සැලකිය යුතු බව අධිකරණයේ මතය විය.

එවිට උදෑසන ආහාරය සඳහා පැමිණි අවස්ථාව සේවා කාලයට අයත් නොවන බවට රක්ෂණ සමාගම් පාර්ශ්වයෙන් තර්කයක් ඉදිරිපත් විය. එවිට අදාළ සේවකයාගේ නීතිඥයන් එම තර්කය බිඳ දැමුවේ සේවකයන් බොහෝ දෙනා රාජකාරියට වාර්තා කරන්නේ උදෑසන ආහාරය ලබා නොගෙන බවත්, එමෙන්ම කාර්යාලයන් තුළදී ද උදෑසන ආහාරය සඳහා කාලයක් ලබා දෙන බවත් පෙන්වා දෙමිනි.

එබැවින් මේ පුද්ගලයා තම නිවස තුළදී උදෑසන ආහාරය ලබා ගත්තද, ඒ සඳහා ඔහු ගමන් කර තිබුණේ තම කාර්යාල කාමරයේ සිට නිදන කාමරය දක්වා පමණක් වුවද එය සැලකිය යුතු වන්නේ සේවා කාලයට අයත් ක්‍රියාවක් වශයෙන් බව අධිකරණයේ අදහස විය.

ඒ අනුව යුක්තිය සොයා පැමිණි මේ පුද්ගලයාට ඔහු අයැදුම් කර තිබූ වන්දි මුදල ගෙවීමට අධිකරණ අදාළ රක්ෂණ ආයතනයට නියම කර තිබිණී.

කෙසේ වුවද මේ පුවත වාර්තා කර තිබූ මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණේ මේ ‘නිවසේ සිට වැඩ කිරීමේ‘ ක්‍රමය හේතුවෙන් වාර්තා වූ අලුත්ම පුවතක් බවයි. එමෙන්ම වසංගතය හේතුවෙන් මිනිසුන් මුහුණ දුන් නවතම අත්දැකීමක් ලෙසද මේ සිදුවීම මෙන්ම මේ නඩු තීන්දුවද හුවා දැක්විය හැකිය.

Comments