රජ පවුලේ තවත් රහසිගත මෙහෙයුමක් පිළිබඳ තොරතුරු සමාජගත කිරීමට පසුගියා බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ පුවත්පතක් වන ඩේලි මේල් කටයුතු යොදා තිබිණි. ඩේලි මේල් යනු ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රහසිගත තොරතුරු සමාජගත කිරීමෙන් මුළු ලෝකයේම අවධානය දිනා සිටින ප්‍රසිද්ධ පුවත්පතකි. මේ පුවත්පතේ මාධ්‍යවේදීන් කුමන හෝ අවධානමක් දරමින් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රහසිගත ජීවිත අනාවරණය කර ගැනීමට වෙහෙස දරන්නේ ඒ තොරතුරු හෙළිදරව් කිරීමෙන් පුවත්පතට හිමිවන ජනප්‍රියත්වය සහ වර්ධනය වන අලෙවිය ද අරමුණු කර ගනිමිනි.
ඒ කෙසේ වුවද ඩේලි මේල් වරින්වර එළියට දමන පුවත් මුළු ලොවම රස විඳන්නේ තළු මරමිනි. පසුගියදා ඩේලි මේල් පුවත්පත මඟින් සිදු කළ හෙළිදරවුවද එවැනි වූ රසවත් හෙළිදරවුවක් වූයේ මුළු ලෝකයේම අවධානය ඒ වෙත ඇද ගනිමිනි. එම පුවතින් ප්‍රකාශ වූයේ මහ රැජිනගේ අභාවයත් සමඟම චාල්ස් කුමාරයාට ඔටුනු පැලඳවීම සඳහා දැන් ම සිටම සිදු කරමින් පවතින උත්සව සූදානම සම්බන්ධයෙනි.
මේ උත්සවය සූදානම් කිරීම වෙනුවෙන් වෙනම කණ්ඩායමක් නම් කර ඇති අතර එය මේ දක්වා ක්‍රියාත්මක වී ඇත්තේ රහසිගත මෙහෙයුමක් පරිද්දෙනි. එම මෙහයුම නම් කර ඇත්තේ ‘ ඔපරේෂන් ගෝල්ඩන් ඔර්බ්‘ යනුවෙනි.
පසුගිය වසරේදී මහ රැජිනගේ වල්ලභ කුමරු හෙවත් පිලිප් කුමරුගේ අභාවයෙන් පසු මහ රැජිනද එතරම් සෞඛ්‍ය සම්පන්නව නොසිටිය අතර ඇයද මේ වන විට තම දිවියේ සියවැනි සැතපුම් කණුව ආසන්නයේ සිටින්නීය. එබැවින්ම ඕනෑම මොහොතක ඇයගේ මරණය සිදුවිය හැකි බවට අනුමාන අවශ්‍ය නොවේ. ඔපරේෂන් ඔර්බ් කෙරෙහි රජ පවුලේ අවධානය යොමු වී ඇත්තේ එවැනි වටාපිටාවක් යටතේය. මේ මෙහෙයුම රහසේ තබා ගැනීමට චාල්ස් කුමරාට කොතෙක් අවශ්‍ය වුවද දැන් ඩේලි මේල් එය ලොව පුරා බෙදා හැර අවසන්ය. ඔපරේෂන් ගෝල්ඩන් ඔර්බ් පිළිබඳව ඩේලි මේල් හෙළි කළ තොරතුරු අනුව චාල්ස් කුමරාට තම ඔටුනු පැලඳීම සිදු කිරිමට අවශ්‍ය වී ඇත්තේ මහ රැජින මිය ගොස් වසරක කාලයක් තුළදීය. එමෙන්ම චාල්ස් කුමාරාට ඔහුගේ ඔටුනු පැලඳීමේ උත්සවය ඉතා කෙටි, චාම් එහෙත් බොහෝ ගෞරවනීය ලෙස පැවැත්වීමට අවශ්‍ය බව දන්වා තිබූ බවද ඩේලි මේල් වාර්තා කර තිබිණි. කුමාරාට අනුව උත්සවයට සහභාගී විය යුතු වන්නේ 200කට අඩු පිරිසකි. විශේෂම කරුණ නම් ඒ අතරට හැරි සහ මේගන් ඇතුළත් නොවීමය.
එමෙන්ම ඔපරේෂන් ගෝල්ඩන් ඔර්බ් මෙහෙයුමට අනුව චාල්ස් කුමරා රාජ්‍යත්වයට පත් වන විට කැමිලා ආදිපාදවරියද රැජිනිය ලෙස ඔටුනු පැලඳීම චාල්ස් කුමරාගේ කැමැත්ත බව ප්‍රකාශ වී තිබේ.
එමෙන්ම තම ඔටුනු පැලඳීමේ උත්සවයේදි චාල්ස් කුමරුගේ මවගේ ඔටුනු පැලඳීමේ උත්සවයේ දක්නට නොලැබුණු රැඩිකල් වෙනස්කම් කිහිපයක්ද සිදු කිරිමට කුමරාගේ බලාපොරොත්තුවෙන් සිටින බවද ප්රකාශිතය. ඒ අතරින් විශේෂයෙන්ම සඳහන් වී ඇත්තේ පොලිස් නිලධාරින්ගේ නිල ඇඳුමේ යම් යම් වෙනස්කම් කිරීමයි. එමෙන්ම රැජින භාවිත කළ ඔටුන්න වෙනුවට වඩා වෙනස්කම් සහිත ඔටුන්නක් සෑදීම කෙරෙහිද චාල්ස් කුමරුගේ අවධානය යොමු වී ඇතැයි පැවසේ.
චාල්ස් කුමරා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වන අන්දම පිළිබඳවද වෙනම උපදසේ නිකුත් කර තිබේ. දිවුරුම් දීමෙන් අනතුරුව චාල්ස් , කැමිලා සමඟ විලියම්, කේට් සහ දරුවන් පමණක් බකිංහැම් මාලිගයේ සඳළුතලයේ දැක ගත හැකි වනු ඇතැයි ඩේලි මේල් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
චාල්ස් කුමරා රාජ්‍යත්වයට පත් කරවන දේව මෙහෙය පැවැත්වීමට සූදානම් කර ඇත්තේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදීය. තම ඔටුනු පැලඳීමේ උත්සවයට අවම අමුත්තන් සංඛ්‍යාවක් සහභාගී වුවද ඔවුන් විවිධ සමාජ තලවලට අයත් වන සේ ලැයිස්තු ගත කිරීමට කුමරාට අවශ්‍ය වී තිබේ.
කුමාර මේ රහසිගත උත්සවය සංවිධානය කරමින් සිටින සංවිධායකයන්ට පවසා ඇත්තේ වර්තමාන රැජිනට මෙන්ම කැමිලාටද බ්‍රිතාන්‍ය ජනතාව පක්ෂපාතීත්වය පළ කරණු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. කෙසේ වුවද හැරී සහ මේගන්ගේ සහභාගීත්වය නොලැබීමෙන් මෙවර බකිංහැම් මාලිගයේ සඳලුතලයේ රැස්වන රජ පවුල 1953 වසරේදී එළිසබෙත් රැජිනගේ ඔටුනු පැලඳීමේ උත්සවයට සහභාගී වූ රජ පවුලට වඩා ඉතා කුඩා වනු ඇති බවද පැවසේ.
මීට වසර 70කට පෙර එළිසබෙත් රැජිනගේ ඔටුනු පැලඳීමේ උත්සවයේදී ඇය විසින් රජ පවුලේ තවත් සමීපතම ගෞරවනීය පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද මහ රැජින විසින් බකිංහැම් මාලිගයේ සඳළුතලයේ සිට ජනතනාවට ආචාර කිරීමේ අවස්ථාවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබිණි. එහෙත් මෙවර චාල්ස්ගේ අපේක්ෂාව අනුව ඒ සඳහා සහභාගී වනු ඇත්තේ චාල්ස් කැමිලා සහ කේට් විලියම් පමණි.
පසුගිය ඉරිදා දිනයේදී ඩේලි මේල් සිදුකළ මේ රහසිගත මෙහෙයුම හෙළිදරවුවෙන් පසු රජ පවුල ඒ සම්බන්ධව කිසිඳු ප්‍රකාශයක් කර නොතිබූ අතර ඔපරේඹන් ගෝල්ඩන් ඔර්බ් හි කිසියම් සංශෝධනයන් කිරීමට චාල්ස් කුමරා අදහස් කර සිටින්නේද යන්න දැනගත හැකි වනු ඇත්තේ මෙවැනිම හෙළිදරවුවකින් ම වනු ඇත.