රටක් අභ්‍යන්තර වශයෙන් දේශපාලන අර්බුදයකට ලක් වන්නේ නම් එය එරටේ ජනතාව සහ පාලකයන් අතර සිදු වන සිදුවීමකි. එහෙත් යම් හෙයකින් එලෙස හට ගන්නා දේශපාලන අර්බූදයකට විදේශ රටවල් මැදිහත් වන්නේ නම් එවිට පැන නැඟෙන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමවලින් යුක්ත සංකීර්ණ ගැටලුවකි.
ඇතැම් විට එය එරටේ ජනතාව කිසිසේත් බලාපොරොත්තු නොවන යුද්ධයක් දක්වා වුව දිගු විය හැකිය. එසේ වුවහොත් ඒ සියල්ලෙන්ම පීඩාවට පත් වන්නේ එරටේ අහිංසක ජනතාව මිස අන් කිසිවකු නොවේ. මේ ගතවී යන මොහොතේ මධ්‍යම ආසියානු රටක් වන කසකස්තාන ජනතාව සිටින්නේ එවන් වූ අවිනිශ්චිත තත්ත්වයකය.
කසකස්තානයේ වර්තමාන තත්ත්වය ගැන පැවසීමට පෙර එරට මේ වන විට මුහුණ දෙමින් සිටින අර්බූදයේ අතීතය මඳක් සිහිපත් කළ යුතුය. සෝවියට් රුසියාව බිඳ වැටිමට පෙර සමූහාණ්ඩුව තුළ සිටි වැදගත් ප්‍රදේශයක් ලෙස කසකස්තානය හඳුනා ගත හැකිය. කසාක්වරුන් රළු මිනිසුන් වූ අතර සමූහාණ්ඩුවට මේ ප්‍රදේශය වැදගත් වූයේ එහි පිහිටා තිබූ ස්වභාවික සම්පත් හේතුවෙන්මය.
සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුව වුවද කසකස්තානයට ස්වාධීන වීමට රුසියාව ඉඩ ලබා දුන්නේ නැත. විශේෂයෙන්ම පුටින් පාලනය යටතේ තමන්ට හිතවාදී පාලකයකු යටතේ කසකස්තානය පවත්වා ගැනීමට සමත් වූ රුසියාව ඒ ඔස්සේ කසකස්තානය සතු බලශක්තිය පාලනය වක්‍රාකාරයෙන් තමන් අතට ගැනීමට ක්‍රියා කළේය. එහි අතුරු ප්‍රතිඵලය වූයේ වසර තිහකට ආසන්න කාලයක් කසකස්තානය එකම පාලකයකුගෙන් පාලනය වීමත් එතැන් සිට එම පාලකයාගේ හිතවාදී රූකඩ පාලකයකු අතට පත් වීමත්ය. කසකස්තාන ජනතාව මේ පාලනය සම්බන්ධව වැඩි විරෝධයක් නොදැක්වුවද පසුගිය ජනවාරියේ සිට තත්ත්වය වෙනස් වන්නේ ජනතාවට දැරිය නොහැකි තරම් ජීවන වියදම් ඉහළ යෑම හේතුවෙනි. ජනතාව ආණ්ඩුවට විරෝධය පළ කරමින් විථි බසිමින් උද්ඝෝෂණ පවත්වන්නට වූ අතර කසකස්තාන රජය එම විරෝධතා මර්දනය සඳහා හමුදා බලය යෙදවීය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කසකස්තාන වැසියන් සිය ගණනකට ජීවිත අහිමි වීමය.
එම උද්ඝෝෂණ මර්දනය කළ අන්දම විවේචනයට ලක් කළ බටහිර ලෝකය කසකස්තාන පාලනයට විරෝධය දැක්වීය. එවිට කසකස්තාන පාලනය ආරක්ෂා කිරීමට රුසියාව සහ චීනය ඉදිරිපත් විය.
මේ වන විට කසකස්තානය තුළ සැබවින්ම සිදු වෙමින් පවතින්නේ අන්තර්ජාතික තලයේ කඹ ඇදීමක් යැයි පැවසිය හැකිය. රුසියාව සහ චීනය එරට තුළ පවතින පාලනය ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරන අතර යුරෝපය සහ ඇමරිකාව පාලනය පෙරළා දැමීමට කැසකවන බව පෙනේ.
මේ සියල්ලේ යට පෙළ විමසීමේදී පෙනී යන්නේ කසකස්තානයට මෙතරම් අවධානය හිමිවීමට හේතුව අන් කිසිවක් නොව එරට තුළ පවතින බලශක්තිය විශේෂයෙන්ම ගෑස් සම්පත හේතුවෙන් බවයි.
මේ වන විට දේශපාලන විචාරකයන් පවසන්නේ කසකස්තානය 1991ට පසු මුහුණ දෙන දරුණුතම දේශපාලන අර්බුදය මෙය බවයි. ගැටලුව පවතින්නේ මේ දේශපාලන අර්බුදය බලශක්තිය සමඟ බැඳී පැවතීමය.
බලශක්ති උත්පාදනය පිණිස යොදා ගන්නා ස්වභාවික සම්පතින් අනූන භූමිය තමන්ට හිතවාදී පාලනයක් යටතේ පැවතීම රුසියාවට වැදගත් වන්නා සේම ජනතාවගේ උද්ඝෝෂණ දඩමීමා කර ගනිමින් කසකස්තානය තුළ තමන්ට හිතවාදී පාලනයක් ස්ථාපිත කර ගැනීමට යුරෝපයට ද එකසේ වැදගත් වේ. මේ වන විටත් සමස්ත යුරෝපා මහාද්වීපයේ ගෑස් සැපයුම්කරුවා වන්නේ රුසියාවය. කසකස්තානය ද එහි ඉතා වැදගත් සැපයුම්කරුවකු වේ. කසකස්තාන ගෑස් වෙළෙඳපොළේ යුරෝපා අති දැවැන්ත සමාගම් රැසක්ම ආයෝජනය කර ඇති අතර එම සමාගම්වල ආයෝජන රැක ගැනිමට ද යුරෝපා පාලකයන්ට අවශ්‍ය කර ඇති බවට සැකයක් නැත. එබැවින්ම දැන් දෙපැත්තටම කසකස්තානය යනු කොටි වලිගයකි.
මේ වන විට කසකස්තානයේ ගෑස් සමාගම්හි වැඩියෙන්ම ආයෝජනය කර ඇති රට වන්නේ නෙදර්ලන්තයයි. එය ඩොලර් බිලියන 5.1කිත එය කසකස්තානයේ සිදු කර ඇති සමස්ත ආයෝජනවලින් සියයට 30ක තරමේ ප්‍රමාණයක් වේ. අමතරව ඇමරිකාව සියයට 13ක තරම් ප්‍රමාණයක්ද, රුසියාව සියයට 10.4ක ප්‍රමාණයක්ද, චීනය සියයට 5.62ක ප්‍රමාණයක්ද, බ්‍රිතාන්‍යය සියයට 5ක ප්‍රමාණයක් ද කසකස්තානයේ ආයෝජනය කර තිබේ. 2022 වසර වන විට තවත් සමාගම් 600ක් කසකස්තානයේ ආයෝජනය කිරීමට සූදානමින් විය.
ගෑස් පිළිබඳව මෙසේ වන විට පොළොව තුළ මහා ඛණිජ සම්පත්වලට ද හිමිකම් කියන කසකස්තානය සමස්ත ලෝකයේ යුරේනියම් නිෂ්පාදනවලින් සියයට 40කට හිමිකම් කියන්නේය. ඒ සඳහා බහුතර ආයෝජකයන් ප්‍රංශයෙනි. මේ සියල්ල සලකා බැලූ විට පෙනී යන්නේ කසකස්තානය යනු යුරෝපය සහ රුසියාව තරග වදින තරග බිමක් බවයි.
මේ අතර තත්ත්වය සමනය කිරීම වෙනුවෙන් කසකස්තාන රජය යම් යම් ප්‍රතිපත්ති සම්පාදනය කළ බව පසුගියදා නිවේදනය කර තිබිණි.
ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් බව සංසිදවීම වෙනුවෙන් තම රජය තීන්දු තීරණ ගෙන ඇතැයි ජනාධිපති ටොකායෙව් ජනතාව අමතමින් පසුගියදා පවසා සිටියේය.
එහෙත් විචාරකයන් පෙන්වා දෙන්නේ රජය විසින් ප්‍රකාශයට පත් කළ නව නීති මඟින් සිදුවන්නේ ජනාධිපති ටොකායෙව්ගේ බලතල තවතවත් ශක්තිමත් වන බවයි. ඒ සඳහා ඔවුන් ලබා දෙන හොඳම උදාහරණය වන්නේ ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරන ලද නව මිලිටරි පාලන ඒකකයි. මේ සියල්ල පීඩනයට පත්ව සිටින ජනතාවට සහනය ලබා දෙනු ඇතිද යන ප්‍රශ්නය මතුව තිබේ.
තම ජීවන බර දැරීමට අපහසු බව පවසමින් පාරට බට ජනතාවට හමුදා ප්‍රහාර එල්ල කළ රජයකින් කුමන මානුෂීය බවක් බලාපොරොත්තු විය හැකිද යන්න කසකස්තාන ජනතාව ප්‍රශ්න කරනු නිසැකය. හමුදා ප්‍රහාර හමුවේ ඔවුන් පවසා ඇත්තේ අපි තරහින්. එහෙත් අපි ත්‍රස්තවාදීන් නොවේ යනුවෙනි. දැන් අන්තර්ජාතික අර්බුදයක් බවට පත්වෙමින් යන කසකස්තාන අර්බුදය කුමන පැත්තෙන් ගත්තද වඩා වැඩි පීඩා ගෙන දෙනු ඇත්තේ එරට ජනතාවටම බව පැහැදිලිය.