අයිඑස් නායකයා මරා දමා වසා ගත් ඇමෙරිකාවේ ඇෆ්ගන් ලැජ්ජාව | සිළුමිණ

අයිඑස් නායකයා මරා දමා වසා ගත් ඇමෙරිකාවේ ඇෆ්ගන් ලැජ්ජාව

 

ඉකුත් තුන්වැනිදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට ඉතාමත් ප්‍රීතිමත් දිනයක් විය. ඔහු මාධ්‍ය මඟින් මුළු ලෝකයම අමතමින් පවසා සිටියේ තම නියෝග ලැබූ ඇමෙරිකානු හමුදාව අයිඑස් සංවිධානයේ නායකයා මරා දැමීමට කටයුතු කළ බවයි. ඒ සඳහා සිදු කළ විශේෂ මෙහෙයුම ගැන සඳහන් කර සිටි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ ඝාතනයත් සමඟ ලොව පුරා ත්‍රස්තවාදී ක්‍රියාවල පැහැදිලි අඩුවක් දැක ගත හැකි වනු ඇති බවයි.

සැබවින්ම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ලොව පුරා ත්‍රස්තවාදයට විරෝධය දක්වන ජනතාවට ප්‍රීතිදායක පුවතක්ම විය. අයිඑස් සංවිධානය සිරියාව විනාශ කර දැමූ අතර ලොව පුරා රටවල් රැසක ජනතාව භීතියට පත් කරවමින් ත්‍රස්ත ප්‍රහාර රැසක්ම දියත් කර සිටියේය. අයිඑස් සංවිධානය යනු ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ දරුණුතම ඉස්ලාමීය පදනමක් සහිත ත්‍රස්ත සංවිධානය බව පැවසිය හැකිය. එය ආරම්භයේදී පදනම් කර සිටියේ ඉරාකය සහ සිරියාව පමණක් වුවද පසුකාලීන එය සමස්ත ලෝකයේම ව්‍යප්තියක් කෙරෙහි අවධානය යොමු කළේය. ඒ බලවතුන්ගේ ද ආධාර සහිතවය. ඒ ආධාර සමඟ සිරියාව අපායක් බවට පත් කිරීමට සමත් වූ ඔවුන් සැබැවින්ම පාලනය කළේ ඇමෙරිකාව නොව රුසියාවය. ඇමෙරිකානු හමුදා සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට කල්යල් බැලූවද තුර්කියෙන් සේවා ලබා ගත් රුසියාව මදි නොකියන්නට සිරියා භූමියේ සිටි අයිඑස් සාමාජිකයන්ට බැට දුන්හ. එක් අවස්ථාවක ලෝකයේ ප්‍රබලතම ත්‍රස්ත සංවිධානය වූ අයිඑස්අයිඑස් සංවිධානය යම් තරමකින් හෝ පාලනය කර ගත්තේ එවන් වූ දැවැන්ත ප්‍රහාර එල්ල කරමිනි.

එවකටද ඇමෙරිකාවට ලෝකයේ ප්‍රබලතම සතුරා ඉස්ලාමීය ත්‍රස්තවාදය විය. එම ප්‍රබලතම සතුරාගේ මුල් ඇමරිකාව දක්වා දිව ගොස් තිබූ බව ද ඔවුන් හොඳින්ම දැන සිටි කාරණය විය. එහෙත් පසුව ඇමෙරිකාවට තම සැබෑ සතුරා මුහුණට මුහුණ සම්මුඛ විය. ඒ, චීනයයි. චීනය යෝධයකු සේ නැඟී ආවේ ඇමෙරිකාව එතෙක් සිටි සුවබර නින්දෙන් අවදි කරවමිනි. ඒ සමඟින් රුසියාව ද එකමුතුව නව ප්‍රබල තවත් පක්ෂයක් ලොව තුළ බිහි වූයේ ඇමෙරිකාව සහ යුරෝපය ප්‍රමුඛ දක්ෂිණාංශයට ප්‍රබල තර්ජනයක් එල්ල කරමිනි. දැන් තවදුරටත් ඉස්ලාමී සටන්කාමීන් ලෝකයට තර්ජනයක් නොවේය. ඒ වෙනුවට ණය ලබා දීම මඟින් ලෝකයේ රටරටවල් තම මතයට නතු කර ගන්නා, පසුව එම රටවල භූමිය කුට්ටි පිටීන් සින්න කර ගන්නා නව සතුරකු බිහිව ඇත. එහෙත් එම සතුරා සමඟ ගැටීමට තරම් ඇමෙරිකාව ශක්තිමත් නොවන බව ඇමෙරිකාවටම තහවුරු වී තිබේ. එහෙත් ඇමෙරිකාව තවමත් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයට පහර එල්ල කර තම ජයග්‍රහණය පිළිබඳ උදම් අනමින් සිටී.

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සමඟ ගැටී තම වීරත්වය පෙන්වා දීමට උත්තසාහ දැරූ ප්‍රථම ඇමෙරිකානු නායකයා ජෝ බයිඩ්න් නොවේ. එම ගමන ආරම්භ වන්නේ හිටපු ජනාධිපති බරැක් ඔබාමාගෙනි. අති සාර්ථක සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු අල් කයීඩා සංවිධානය තම අනුප්‍රාප්තිකයන්ට පවරා විවේක සුවයෙන් සිටි ඔසාමා බින් ලාදෙන් මරා දමා ලොවම ඉදිරියේ උදම් ඇනීමට ඔබාමා කටයුතු කළේය. සැබවින්ම ත්‍රස්තවාදය ලොව කිනම් අන්දමින් කොතැන කෙසේ පැවතුනද එය පිටු දකින ජනතාව ලෙස ඇමෙරිකාව බින් ලාදෙන් දඩයම් කිරීමට සිදු කළ මෙහෙයුම අගය කළ යුතුය. පසුව එම ලැයිස්තුවට එක්වූ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අයිඑස් සංවිධානයේ එවකට නායකත්වය දැරූ අබූ බකර් අල් බග්දාදි ඝාතනය කර ලොවම හමුවේ වීරත්වය ප්‍රකාශයට පත් කර සිටියේය. එය ද සැබවින්ම අගය කළ යුතුය. දැන් ජෝ බයිඩ්න් ද එම ලැයිස්තුවට එක්වී තිබේ. ඒ බග්දාදිගෙන් පසු අයිඑස් නායකත්වයට පත්වූ කුරේෂි ඝාතනය කරමිනි. එහෙත් ජනාධිපති බයිඩ්න් පවසන අන්දමට කුරේෂි ඝාතනයෙන් ලෝකයේ ත්‍රස්තවාදී කටයුතුවල ප්‍රබල අඩුවක් දැක ගත හැකිවේය යන්න විශ්වාස කිරීමට අපහසුය. ඒ ත්‍රස්තවාදය යනු ලෝකය මෙන්ම දේශපාලනය ද පවතින තෙක් එකිනෙක බැඳී අඛණ්ඩව පැවත එන දෙයක් වන බැවිනි.

කුරේෂි ඝාතනය වූ බව මේ දක්වා අයිඑස් සංවිධානය නිල වශයෙන් පිළිගෙන නැත. ඔවුන් තම අනුප්‍රාප්තික නායකයා ප්‍රකාශයට පත් කළ බවක් ද පවසා නැත. සත්‍ය නම් පෙර කී පරිද්දෙන්ම අයිඑස් සංවිධානය බෙහෙවින් දුර්වලව පවතින බවය. එවන් වූ සංවිධානයක නායකයා මරා දැමීමෙල් සියලු රෝග නිවාරණය වන්නේ යැයි පැවසීම විහිළුවකි.

වසර ගණනාවක් පුරා ඉවක් බවක් නොමැතිව පාළු ගෙයි වළං බිඳ දැමූ ඇමෙරිකානු නායකයන්ගේ පවු බයිඩන් පිටින යන බවක් පෙනෙන්නට තිබේ. ඇෆ්ගනිස්ථාන පසු බැසීම ඒ සඳහා හොඳම උදාහරණයකි. බයිඩ්න්ගේ විරුද්ධවාදීන් ඇෆ්ගනිස්තානය හඳුන්වන්නේ ‘බයිඩ්න්ගේ සයිගොන්’ යනුවෙනි. ඒ අනුව ඇෆ්ගනිස්තානය යනු තවත් වියට්නාමයකි. එය සැබෑය. හුදෙකලා පුද්ගලයකු ඝාතනය කිරීම සහ සම්පූර්ණ රටක පාලනයෙන් ඉවත් වීම කිසිසේත් එකිනෙක සමාන කළ නොහැකිය. ඇෆ්ගනිස්තානයේදී ඇමෙරිකාව පරාජය ලැබූ බව ඉතිහාස ගතවී අවසන්ය.

ඇමෙරිකාව පවසන අන්දමට කුරේෂි ඝතානය ද බින් ලාදෙන්, බග්දාදි , සදාම් හුසේන් යනාදීන් ඝාතනය කිරීම සඳහා සිදු කළ අන්දමේම මහා මෙහෙයුමකි. එය ඉතා සියුම්ව මෙන්ම සුක්ෂ්මව සිදු කර ඇත්තේ ඇමෙරිකානු හමුදාවල අති දක්ෂ නිලධාරින් යොදවමිනි. ඔවුන් කිසිවකුට සැක නොහිතෙන සේ කුරේෂි රැඳී සිටි නිවෙස වෙත ගොත් ඇත්තේ ක්ෂණික ප්‍රහාර එල්ල කිරීම අරමුණු කර ගනිමිනි. එහෙත් බග්දාදි මෙන්ම කුරේෂි ද මියගොස් ඇත්තේ තමා විසින්ම බෝම්බ පුපුරුවා ගනිමින් සිය පණ හානි කර ගනිමිනි. එනම් මරණය ඔවුන්ගේ වරණයක් වී ඇත. එසේ නම් තම හමුදා විසින් ඔවුන් ඝාතනය කළේ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසීම කොතරම් නිවැරදිදැයි යළිත් සිතා බැලිය යුතුය.

කෙසේ වුවද කොතරම් අනුප්‍රාප්තිකයන් යළි යළිත් පැමිණියද ත්‍රස්තවාදී සංවිධාන පිටු දැකිය යුතුය. ඔවුන් විනාශ කර දැමිය යුතුය. එමෙන්ම ඔවුන් බිහිවීමට අනුබල දෙන්නන්ද පිටුදැකිය යුතු වන්නේ දේශපාලනයෙන් තොර ත්‍රස්තවාදයක් නොමැති බැවිනි.

 

Comments