කසකස්තාන ජනතාවට ඕනෑ දේදුනු විප්ලවය ද? සාධාරණ ජීවිතය ද? | සිළුමිණ

කසකස්තාන ජනතාවට ඕනෑ දේදුනු විප්ලවය ද? සාධාරණ ජීවිතය ද?

කසකස්තානය පුරා පැතිර ගිය ගිනි මේ වන විට යම් තරමකට නිවී තිබේ. එහෙත් ගැටලුව වන්නේ ඒ නිවී ගිය ගින්නේ අළු යට ගිනි පුපුරු තවමත් පැවතීමය. ජනතාව තම උද්ඝෝෂණ අවසන් කළද ඔවුන් මාවතට ගෙන ආ ගැටලුවලට විසඳුම් තවමත් ලැබී නොමැත. එබැවින් ජනතා උද්ඝෝෂණ යළිත් රජයට එරෙහිව මතු විය හැකිය. සැබෑ ගැටලුව වන්නේ ජනතාව පෙළන ප්‍රශ්න එලෙසින්ම තිබීම සහ එම පීඩනය දඩමීමා කර ගනිමින් බොහෝ රටවල් කසකස්තානය තම වේදිකාව බවට පත් කර ගැනිමට උත්සාහ දැරීමය.

කසකස්තාන ගැටලුව පසුගිය සති කිහිපයේදී උච්ච ස්ථානයකට පත්වුවද එරට ජනතාව මුහුණ දුන් සැබෑ ගැටලුවට දශක දෙකට හෝ ඊට වැඩි ඉතිහාසයක් සහිතය. සමාජවාදී රුසියාව බිඳ වැටීමත් සමඟම කැබලි වී ගිය කොටස් අතර කසකස්තානය ද විය. එරට ආරම්භයේ සිටම ශක්තිමත්, ස්වාධීන රටක් වූයේ ය. එසේ විමට එම රටට අයත් වූ භූමියේ තෙල් සම්පත ඇතුළුව බොහෝ ස්වභාවික සම්පත් පිහිටා තිබීම හේතුවක් විය. එහෙත් වසර 30කටත් වඩා අධික කාලයක් පුරා විහිදුණු ජනාධිපති නූර්සුල්තාන් නස්බායෙව් ගේ පාලනය කිසියම් අන්දමින් ජනතා පීඩනය වර්ධනය කළ කාලයක් සේ දැක්විය හැකිය. 2019දී ඔහුගේ පාලනය කාසිම් ජොමාට් ටොකායෙව්ට පාලන බලය විතැන් වුවද පැහැදිලිවම ඔහු නුර්සුල්තාන්ගේ රූකඩයක් පමණක් විය. මේ තත්ත්වය රුසියාවේ මේ වන විට පවතින පාලනයට සමාන කළ හැකි වන්නේ එකම පාලකයකු දීර්ඝ කාලයක් රට පාලනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය හුවා පෙන්වීමට එම නායකයා තම හිතවතකුට ටික කාලයකට රාජ්‍ය නායකත්වය පැවරීමට කටයුතු කිරීම හේතුවෙනි. මෙහිදී චීනය ඉදිරියෙන් සිටින්නේ ව්‍යවස්ථාව මඟින්ම යාවජීව රාජ්‍ය නායකයා වීමට හැකියාව ඇති බව ප්‍රකාශ කර ගැනීමත් සමඟිනි.

කෙසේ වුවද පැවසිය යුතු වන්නේ රටක ජනතාව තෘප්තිමත් නම් කිහිප වරක් හෝ එකම පුද්ගලයා තම රාජ්‍ය නායකයා ලෙස ජනතාව විසින් තෝරා ගනු ලැබීමේ කිසිදු ගැටලුවක් නොමැති බවය. එහෙත් එය බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීමක් නොවිය යුතුය.

අනික් අතට දීර්ඝකාලීන පාලකයාට එරෙහිව ඇතිවන ජනතා උද්ඝෝෂණ බලහත්කාරයෙන් මර්දනය කිරීමෙන් ජනතාව තෘප්තිමත් බව ලොවට හුවා දැක්වීම ද කිසිසේත් සිදු නොවිය යුතුය.

කසකස්තාන ජනතාව ඉතා ප්‍රබල උද්ඝෝෂණ දියත් කරමින් රජයෙන් ඉල්ලා සිටියේ දිනෙන් දින ඉහළ යමින් පවතින තම ජීවන වියදම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසය.

වේගයෙන් ඉහළ ගිය ඉන්ධන මිල මෙන්ම ගෑස් මිල ද කසකස්තාන ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කිරීමට සමත් විය. එහෙත් එරට රජය චෝදනා කර සිටියේ මේ විරෝධතා ව්‍යාපාර අතරට බටහිර අරමුදල්වලින් පෝෂණය වුණු රැඩිකල්වාදීන් කඩා වැදුණු බවය. ඔවුන් ආයුධ දරමින් විරෝධතා ව්‍යාපාර රජයට එරෙහි ජනතා උසිගැන්වීම් දක්වා වර්ධනය කරමින් 2011 සිට මැදපෙරදිග කලාපයේ ඇති වූ දේදුනු විප්ලවය වැන්නක් කසකස්තානය තුළ ද ඇති කිරීමට උත්සාහ දැරූ බවයි.

මේ තර්ක විතර්ක කෙසේ වුවද කසකස්තාන ජනතා විරෝධතා මර්දනය කිරීමට රුසියානු හමුදාවල සහාය ලබා ගැනීමට එරට රජය කටයුතු කළ අතර මේ සම්බන්ධව බටහිර රටවලින් දැඩි විරෝධතා එල්ල විය. කෙසේ වුවද අවසානයේ සිදු වූයේ කසකස්තාන ජනතාව කටවල් පියා ගැනීමයි.

සැබවින්ම කසකස්තානය තුළ ඇති වීමට ගියේ තවත් දේදුනු විප්ලවයක් නම් ලිබියාවට, සිරියාවට දේදුනු විප්ලවයෙන් පසු සිදුවී ඇති දේ අනුව එසේ නොවුයේ එරට ජනතාවගේ වාසනාවට යැයි පැවසිය හැකිය. එහෙත් රුසියා හමුදාවල මැදිහත් වීමෙන් ජීවන බර දැරීමට නොහැකි ජනතාවකගේ විරෝධතා මර්දනය කරන්නේ නම් එහි ඇති සාධාරණත්වය කුමක්දැයි යළි විමසා බැලිය යුතුමය.

Comments