ක්‍රිකට් මහත්තැන්වරු මනස සනසන ලියෝ ඔවුහුයැ සොඳුරු | Page 4 | සිළුමිණ

ක්‍රිකට් මහත්තැන්වරු මනස සනසන ලියෝ ඔවුහුයැ සොඳුරු

 

'ක්‍රීඩාව භාවනාවකි. කලාව සේ ම එය එසේ පිළිගත යුත්තේ ක්‍රීඩකයකු යම් මොහොතක ක්‍රීඩාවේ දැහැනින් බිඳවැටුණේ නම් යළි මුල් තත්ත්වයට ළඟාවීම අසීරුවන හෙයිනි. ක්‍රීඩාව නමැති දුර්ග මඟේ ජයග්‍රහණය සොයා යන ක්‍රීඩකයෝ අවසානයේ ඉන් නික්මුණු මොහොතේ මනස සනසා ගන්නට තම ආදරණීය පවුල වෙත ඉක්මනින් ආකර්ශණය වෙති. එසේ ආකර්ශණය වන්නේ ඔවුන්ගෙන් බොහොමයක් හදේ සුන්දරත්වයට අතිරේකව බාහිර රූපකායේ සුන්දරත්වය කෙරෙහි ද වැඩි අභිරුචියක් දක්වන හෙයිනි. මේ හේතුවෙන් ක්‍රිකට් ලෝකයේ බොහෝ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් සමස්ත ලෝකයේ කාන්තා ලාලිත්‍යය හා සමපාත කර බලද්දී රූපරාජිණියන් සදිසි ය. එවැනි රූමත් බිරින්දෑවරුන් අතුරින් වඩාත් සරාගී යැයි සැලකෙන බිරියන් කීපදෙනකු ගැනය මේ. '

නිරූපිකා සරණ ගිය ඇන්ඩෘ රසල්

ඇන්ඩෘ රසල් යනු බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකි. ජැසිම් ලෝරා ඔහුගේ පිය බිරින්දෑ ය. ඈ වෘත්තියෙන් සුරූපි බවින් සපිරි නිරූපිකාවකි.

අමෙරිකානු ජාතික කාන්තාවක වන ඈ රසල් හා විවාහ වූයේ 2016 වසරේ දී ය. එවිට ඈ 19 වන වියේ පසු වූවා ය. නිරූපිකාවක් වශයෙන් ඈ සතු වත්කම අමෙරිකානු ඩොලර් මිලියනයකට අධික යැයි පැවසේ.

 

ඩේවිඩ් වෝනර් ගේ කාන්තිමත් බිරින්දෑ

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්-ඩායම නියෝජනය කරන සුපිරි පිතිකරුවෙක් වන ඩේවිඩ් වෝනර්ගේ බිරිය ද වෘත්තියෙන් නිරූපිකාවකි. කැන්ඩිස් ඈන් ෆල්සන් නම් ඈ නිරූපණ කේෂ්ත්‍රය ට අමතරව ජීවිතාරක්ෂක නිලධාරිනියක් ලෙස ද කටයුතු කරන්නී ය. 1985 ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි උපන් ඇය මේ වන විට ගෙවන්නේ සිය ජීවිතයේ තිස් හය වැනි සැතපුම් කණුවයි.

2015 වසරේ දී ඩේවිඩ් වෝනර් සමඟ විවාහ වූ ඈ මේ වන විට දියණිවරුන් තිදෙනකුගේ මවකි.

 

එක වෙනුවට දෙක සුරූපී කර ගත් ෂොයිබ් මලික්

ෂොයිබ් මලික් ගැන නොදන්නා කෙනෙක් නැත. ඔහු අසල්වැසි පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු යුග දිවියට එළැඹුණේ 2010 වසරේ දී ය. එහෙත් එම යුග දිවිය වැඩි කලක් තිබුණේ නැත. සිය පළමු බිරියගෙන් වෙන් වුණු ඔහු පසුව ඉන්දීය ජාතික සුරූපි ටෙනිස් ක්‍රීඩිකාවක වන සානියා මිර්සා හා පෙමින් බැඳුණේ ය.

1986 වසරෙහි උපන් ඇය මේ වන විට 35 වැනි වියෙහි පසු වෙයි. මිර්සා ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 6 ක් දිනා ගත් ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ට ටෙනිස් ක්‍රීඩිකාවකි. 2018 වසරේ දී ඈ සිය කුළුඳුල් දරුවා ප්‍රසූත කළා ය. ඒ පිරිමි දරුවෙක් වූ අතර ඔහුට ෂොයිබ් මලික්ගේ සහ සානියා මිර්සාගේ නම් එක්කොට ඉෂාන් මීර්සා මලික් යනුවෙන් නම් තබා තිබේ.

 

ඉන්දීය නායකයාගේ සරාගී නිළි බිරිය

විරාට් කෝලි යනු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකයා ය. ඔහුගේ බිරිඳ වන්නේ බොලිවුඩ් සුපිරි නිළි අනුෂ්කා ෂර්මා ය. ඇය නිළියක්, චිත්‍රපට නිෂ්පාදිකාවක්, නිරූපිකාවක් වශයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් සුරූපී කාන්තාවකි. 2017 වසරේ දී ඇය හා කෝලි යුග දිවියට එළැඹුණේ වසර ගණනාවක ප්‍රේම සබඳ-තාවකින් අනතුරුව ය. මේ වන විට ඇය අයිෆා, ෆිල්ම් ෆෙයාර් ආදි ලෝක ප්‍රකට සිනමා සම්මාන රැසකින් ම පිදුම් ලබා තිබේ.

මීට අමතරව ජේ.පී ඩුමිනි, යුවරාජ් සිං, කෙවින් පීටර්සන්, ස්ටුවර්ට් බෝඩ්, දි‍නේෂ් කාර්තික් යන ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු ද අතිශයින් ම රූමත් හා දුටුවන් සරාගී හැඟුමෙන් පුබුදුවන කාන්තාවෝ වෙති.

ස්ටුවර්ට් බෝඩ්ගේ බිරිය වන බේලේ මිචෙල් එංගලන්තයේ ප්‍රසිද්ධ නිරූපිකාවකි. කෙවින් පීටර්සන්ගේ බිරිය වන ජෙසිකා ටේලර් වෘත්තියෙන් නිරූපිකාවක් මෙන් ම නර්තන ශිල්පිනියක් ද වෙයි. යුවරාජ් සිංගේ බිරිය වන හසෙල් කීච් බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් ‍‍මෙන් ම ගායිකාවක් ද ‍‍වෙයි. ඇය හැරී පොටර් 2, 3 සහ 4 වැනි කතා මාලාවල ද රඟ පා තිබේ.

ජේ.පී. ඩුමිනිගේ බිරිය වන සූ ඩුමිනි වෘත්තියෙන් නිරූපිකාවකි. දි‍නේෂ් කාර්තික්ගේ බිරියගේ නම දීපිකා පල්ලිකල් ය. ඈ සූරූපි ‍මෙන්ම සරාගී බවක් උසුලන ඉන්දියානු ස්කොෂ් ක්‍රීඩිකාවකි.

මේ සොඳුරුභාවයන් එක්තැන් ව ඇත්තේ මුදල් නිසා වන්නට ද පිළිවන. මුදල් නැති තැන සතුට නොරැඳෙන්නාක් සේ ඇතැම් විට අද සරාගී මන බඳිනා රූ වරුණ ඇතැම් ක්‍රීඩකයන්ට අහිමි වන්නටත් ඉඩ නැතැයි කිසිවකුටත් පැවසිය නොහැකි ය.

 

 

Comments