තුටු සිනා අඳින වනිඳු හසරංග | Page 4 | සිළුමිණ

තුටු සිනා අඳින වනිඳු හසරංග

 

'හසරැලි ඇඳීමට සමත් ලෝකයේ විශිෂ්ට ක්‍රිකට් තරුවක් බවට පත්වීමට හැකියාව ඇතැයි පෙන්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කලකට පසුව පහළව තිබේ. ඒ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකු වන වනිඳු හසරංග ය. මහන්තත්ත්වය, මුරුංගා අතු අගිසිවලට නැගීම, අසීමාන්විතව විනය විරෝධී ක්‍රියාවන්ට යොමුනොවී තමන්ව නිවැරදිව කළමනාකරණය කරගන්නේ නම් ඔහුට යා හැකි දුර බොහෝ ය. මේ පසුගිය දා ඔහු පෑ තවත් ගෝලීය දස්කමක් ගැන ය. '

වනිඳු හසරංග අද වන විට සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය දිනාගත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි දඟ පන්දු යවන්නෙකි. ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු ලොව පළමු තැනට පැමිණියේ නොබෝදා නිමාවට පත් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ය. 2021 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වූ ඔහු ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ පැවති ටී10 ලීග් තරගාවලියට එක්වී එම තරගාවලියේ ද වැඩිම කඩුලු ලාභියා බවට පත් වූයේ ය.

 

වනිඳු මෙවර ටී10 ලීග් තරගාවලියේ දී නියෝජනය කළ කණ්ඩායම වූයේ ශූරතාව දිනූ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. එහිදී ටී 10 තරග ඉතිහාසයේ නිලකුණු පන්දුවාරයක් යැවූ ලොව පළමු සහ එකම පන්දු යවන්නා වීම, තරගාවලියක් තුළ හොඳම පන්දු යැවීමට හිමිකම් කියූ පන්දු යවන්නා වීම, ටී 10 ඉතිහාසයේ තරගයක හොඳම පන්දු යැවීම සිදු කළ පන්දු යවන්නා, ටී 10 ලීග් ඉතිහාසයෙහි පන්දු යවන්නෙක් ලබා දුන් අඩුම ලකුණු සාමාන්‍යය වාර්තා කිරීම ආදී වාර්තා රැසකටම හිමිකම් කීවේ ය.

 

මෙවර ටී10 ලීග් තරගාවලියේ ඔහු වඩාත් කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණියේ තමන්සහභාගී වූ දෙවැනි තරගයේ දී ය. එම තරගයෙන් ප්‍රතිවාදී අබුඩාබි පිල ජය ගත්තද වනිඳු එහි දී තුන්ඉරියව්වෙන්ම කැපී පෙනුණි. පිතිකරණයෙන් ලකුණු 30 ක් රැස් කළ ඔහු පන්දු යැවීමෙන් ලකුණු 12 ක ට කඩුලු 4 ක් බිඳ හෙළන්නට සමත් විය.

එමෙන්ම ඔහු සහභාගී වූ තෙවැනි තරගයේ දී ත් තුන් ඉරියව් දක්ෂතා අතරට පැමිණි අතර පන්දු 18 ක දී ලකුණු 30 ක් රැස් කරමින් කැපී පෙනිණි. පන්දු යැවීමේදීත් පන්දුවාර 2 ක දී ලකුණු 5 ක ට කඩුලු 2 ක් බිඳ හෙළූ ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබී ය. ඉන්පසුව චෙන්නායි බ්‍රේව් කණ්ඩායම හමුවේ දී ත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 9කට කඩුලු 3 ක් බිඳ දමමිනි. එම තරගයේ වීරයා වූයේ ද ඔහු ය. ඔහු ඒ තරගයේ දී භානුක රාජපක්ෂ එල්ල කළ හයේ පහරක් සීමා වළල්ල අසල දී අවහිර කළේ විස්මිත අයුරිනි.

අනතුරුව දිල්ලි බුල්ස් කණ්ඩායම අතර පැවති තරගයේ දී ද ලකුණු 13කට කඩුලු 2 ක් බිඳ දමා තරගයේ වීරයා විය. ඊට අතිරේකව ඔහු තරගයේ වටිනාම ක්‍රීඩකයා සම්මානයට ද හිමිකම් කීවේ ය. නෝර්දන් වොරියර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී වනිඳු හට මැජික් මූව්මන්ට් ඔෆ් ද මැච් නම් සම්මානය ද හිමිවුණේ ය.

ටී.10 කඩුලු පහක්

බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ඔහු වාර්තාගත ආකාරයට පන්දුවාර 2 ක දී ලකුණු 8 ක ට ප්‍රතිවාදී කඩුලු 5 ක් දවා ගත්තේ ය. ඊට නිලකුණු පන්දුවාරයක් ද ඇතුළත් විණි. එපමණක් නොව ටී10 ලීග් ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්තාවද තම නමට ලියවා ගැනීමට වනිඳුට හැකිවිණි.

ටී.10 ඉතිහාසයේ කඩුලු 5 ක් දවාගත්ත තෙවැනි ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ ද වනිඳු ය. එම තරගයේත් මැජික් මූව්මන්ට් ඔෆ් ද මැච් සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහු ය. ප්‍රවීණ විස්තර විචාරකයකු වන ඩැනී මොරිසන් පැවසූයේ වනිඳුගේ පන්දුයැවීම විස්මිත හා අතිශය විරල දක්ෂතාවයක් ලෙස ය. එසේම ඔහු කීවේ ලොව දඟ පන්දු රාජ්‍යය ආක්‍රමණය කර ඇති අලුත්ම පන්දුයවන්නා වන්නේ වනිඳු හසරංග බව ය. 'ඔහු ඉතා වටිනා තරුවක්.' මොරිසන් වැඩිදුරටත් පැවසී ය.

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට මෙවර ටී10 තරගාවලියේ අවසන් තරගය දක්වා පැමිණීම සඳහා උපකාර වූයේ ද වනිඳු ගේ තුන්ඉරියව් දක්ෂතා ය. එය විචාරක ඩැරන් ගංගා කීවේ මෙලෙසිනි.

“ඩෙකෑන් ජයග්‍රහණයේ නියමුවා මෙන්ම ශුරතාවයේ නියමුවා වනිදු හසරංග.” යනුවෙනි. අවසන් තරග‍යේ දී ත් වනිඳු විසින් කඩුලු 2 ක් දවා ගත් අතර ඒ අනුව සමස්ත තරගාවලිය පුරාවට කඩුලු 21ක් දවා ගත් ඔහු ටී. 10 ලීග් ඉතිහාසයේ තරගාවලියක් තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අලුත් කළේ ය. තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනිමින් ටී.10 ලීග් ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් තරගාවලියේ වීරයා වූ පළමු අවස්ථාව ද සටහන් කළේ ය.

තරගාවලිය අවසානයේ දී අබුඩාබි ටී.10 නිල ෆේස්බුක් පිටුවෙහි වනිඳු‍ගේ සේයාරුවක් සහිතව මෙසේ සටහනක් තබා තිබිණි.

The Player of the tournament.

Number 1 T20 bowler in the World.

Number 1 T10 bowler in the World.

 

 

පසිඳු මිහිරාන් රැටියල

Comments