ගම සරු කරන ග්‍රාම රාජ්‍ය | Page 2 | සිළුමිණ

ගම සරු කරන ග්‍රාම රාජ්‍ය

ප්‍රාදේශීය සභා පිහිටුවන ලැබුවේ සංවර්ධන හා පරිපාලන කටයුතුවල අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ජනතාව පළාත් මට්ටමින් සහභාගි කරවා ගැනීමේ අරමුණ ඇතිව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතිනි. එසේ පත්කරන කාරක සභාවලට සභාවට ලැබෙන යෝජනා හා ප්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කර දේශපාලන භේදයකින් තොරව ඒවා සාකච්ඡා කර මහ සභාවට නිර්දේශ ඉදිරිපත් කළ හැකිය. පක්ෂ විපක්ෂ අය එම යෝජනා පිළිබඳ තීරණයක් ගෙන ඇති බැවින් එම යෝජනා මහ සභාවේදී සම්මුතියෙන් ස්ථිර කරගත හැකිය. එවිට ප්‍රමුඛතාව දියයුතු කරුණු ඉස්මතුව විවේචනයට ලක් වේ. වැඩිදෙනාගේ කැමැත්තෙන් සම්මත වන නිසා කවුරුත් සෑහීමකට පත්වේ. මහ සභාවේදී කාලය ඉතුරු වනවා මෙන්ම අනවශ්‍ය වියදම් පාලනය වේ. පුරවැසි උපදේශනය සඳහා මෙමඟින් පුළුල් නෛතික ආවරණයක් ලබාදී ඇත.

එසේම ගැමි කාන්තා සංවර්ධනය තෝරාගත් ගම්වල ඒකාබද්ධ සංවර්ධන කටයුතු, දුගී ජනතාවට සහනාධාර සැපයීමත් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා රැකියා වැඩපිළිවෙළක් සංවිධානය කිරීමටත් එම පනතේ 19 වැනි වගන්තියෙන් බලය පැවරී ඇත.

•ගම්සභා ඉතිහාසය

1978 වර්ෂයේදී වික්ටර් තෙන්නකෝන්ගේ සභාපතිත්වයෙන් 1979.08.10 වැනි දින ජනාධිපති බලතල අනුව පත්කළ කොමිසමේ නිර්දේශ මත 1980 දරණ සංවර්ධන සභා පනත ඇති වූ අතර මොරගොඩ කමිටුවේ හා තෙන්නකෝන් කොමිසමේ නිර්දේශයන්ට පටහැනිව සුළු නගර සභා හා ගම් සභා අහෝසි කොට ඒවාගෙන් ඉටුවූ පළාත් පාලන කටයුතු සංවර්ධන සභාවලට පැවරුණි. සංවර්ධන සභාවල නිල කාලය 1987 ජූලි මස ආරම්භ වූ අතර සුළු නගර සභා 83ක් හා ගම්සභා 549ක් ඉන් අහෝසි විය. ඒවායේ වගකීම් සංවර්ධන සභාවලට පැවරීම නිසා සභිකයන් 7665කගේ නියෝජිත භාවය පවා අහෝසි විය. එම නිසා ලංකාවේ 85% ක ජනගහනය වෙනුවෙන් පෙනී සිටි පළාත් පාලන ආයතන අහෝසි විය.

•ග්‍රාමෝදය මණ්ඩල

එවකට තිබූ රාජ්‍ය පාලන කටයුතුවලට ජනතාව සම්බන්ධ කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල නිර්දේශය මත ඡන්ද ක්‍රමයක් භාවිතා නොකර 4712 ක් වූ ග්‍රාම නිලධාරී වසමට එකක් බැගින් වූ ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවන ලදී. ග්‍රාමෝදය මණ්ඩල 4300 පමණ පත්වූ අතර එහි බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසමක් විය. එම වසමේ උප ස්වේච්ඡා සංවිධානවල සභාපතිවරු එහි සාමාජිකයන් විය.

ස්වේච්ඡා සංවිධාන සභාපතිවරුන්ගේ ඡන්ද බලයෙන් ග්‍රාමෝදය සභාපතිවරයා පත්කර ගත් අතර ඔහුගේ නිල කාලය වසරක් විය. හතු පිපෙන්නාක් මෙන් ගම්වල ස්වේච්ඡා සංවිධාන පණ ගැන්වූ අතර ග්‍රාමීය නායකයන් තුන් ලක්ෂයක් පමණ පිළිගැනීමට ලක්විය.

•ප්‍රාදේශීය මණ්ඩල

එම වකවානුවේදීම ප්‍රාදේශීය මණ්ඩල ආරම්භ වූ අතර ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරුන්ගේ ඡන්දයෙන් ප්‍රාදේශීය මණ්ඩල සභාපතිවරයා පත්කරගත් අතර එහි ලේකම්වරයා වූයේ උප දිසාපතිවරයාය. සංවර්ධන සභා නීතියේ 17 වැනි වගන්තිය සංශෝධනය කර ග්‍රාමෝදය මණ්ඩල පනත 1987 වර්ෂයේදී 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට ඇතුළත් කිරීම සිදුවිය. එහෙත් රජය වෙනස් වන විට ග්‍රාමෝදය මණ්ඩල වැඩසටහන අක්‍රීය වුවද ග්‍රාමෝදය මණ්ඩල නීතිය අදටත් අහෝසි වී නැත.

සංවර්ධන සභාවල කාර්ය සාධනය ප්‍රමාණවත් නොවීමත් සංවර්ධන කටයුතුවලට හා පාලනයට ජනතාව සහභාගී කරවීමේ අරමුණ ඇතිව 1986දී පත්කළ අමාත්‍ය මණ්ඩල කමිටුවක් මඟින් කළ නිර්දේශ අනුව 1987 අගෝස්තු 15 දරණ ප්‍රාදේශීය සභා පනත 1985 අප්‍රේල් මස 15 දින පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනිණි. එදා ප්‍රාදේශීය සභා සඳහා භාවිතා කළ අනුමත ඡන්ද ක්‍රමය පළාත් පාලනයට නුසුදුසු බවට පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්විය. දැන් කොට්ඨාස ක්‍රමයට පවා ඡන්දය පවත්වා නියෝජිතයන් පත්කරගෙන ඇත.

තීරණ ගැනීමේ ක්‍රියාවලියට ජනතාව හවුල් කර ගැනීමේ අවශ්‍යතාවයේ වැදගත්කම කෙසේ වෙතත් සංවර්ධන කටයුතුවලින් දිනෙන් දින ජනතාව ඈත්වනු දක්නට ඇත. එසේම තිරසාර සංවර්ධනයේ අරුණලු ගම් ප්‍රදේශවලට ලැබීමට කොපමණ කලක් ගතවේවිද යන්න ප්‍රශ්නයකි. අපේ පළාත් පාලන නීතිරීතී අණපනත් ලෙස පැවතීමත් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් නොවීමත් තවත් ප්‍රබල අඩුපාඩුවකි. පැවති ආණ්ඩු සියල්ලම ජනතාවට බලය පැවරීම සදහා ‘ජන සභාවන් පිහිටුවීම’ ගැන කතා කළත් සමහර පියවර ගත්තත් ඒවා දීර්ඝකාලීනව පවත්වා ගෙන යෑමට විධිමත් වැඩපිළිවෙළක් සකස් වී නැත. ජනතාව හවුල් වන ගමේ ආණ්ඩුවක් ‘ග්‍රාම රාජ්‍යයක්’ ,‘ ජන සභාවක්’ තිබීමේ අවශ්‍යතාව පසුගිය කෝවිඩ් අවස්ථාවේ ද පැන නැඟිණි.

•ඵලදායී සංවර්ධනයක් සඳහා

මෙම ඒකකවලට පුළුල් හා හරවත් ලෙස ග්‍රාමීය සංවර්ධන කටයුතුවලට අතගැසිය හැකිය. එයට හේතුව එහි සාමාජිකයන් ලෙස කටයුතු කරන පුද්ගලයන් තුළ ඇති හැකියාව කැපවීම හා විශේෂයෙන්ම දැනුම ප්‍රයෝජනයට ගැනීමට හැකි වීමයි. ජනසභා වැඩසටහන තවත් එක් සංකල්පයක් නොවී ආසියාවේ දියුණුම රටවල්වලින් එකක් බවට අපේ රට පත්කිරීමේ භාරධූර වගකීමෙන් විශාල කොටසක් ජනසභාවලට ද දැරිය හැකි බව මගේ විශ්වාසයයි.

• සුබසිංහ ජයසුන්දර 
කොබෙයිගනේ ප්‍රාෙද්ශීය සභාවේ හිටපු සභාපති

Comments