උලපනේ ආරක්ෂක අත්අඩංගුවේදී උපන් ඇඳුමින් කැලයට පැන ගිය නිව්ටන් අවුරුදු 32කට පසු කියන දේ | Page 2 | සිළුමිණ

උලපනේ ආරක්ෂක අත්අඩංගුවේදී උපන් ඇඳුමින් කැලයට පැන ගිය නිව්ටන් අවුරුදු 32කට පසු කියන දේ

 

සිසිල් සුළං හමයි. මම හාත්පස බැලුවෙමි. වැව් කණ්ඩියේ අප ඉදිරිපිටට එන පෙම් යුවළකි. අපේ මේ පුවතට අදාළ කථානායකයා මා ඉදිරිපිටය. මහා දිගු කතන්දරයක් වරු දෙකකට ආසන්න විය. මේ එම කතාන්දරයයි.

ඔහු නමින් පියදාස අතුකෝරළය. උපන්නේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ පැලවත්තේය. දැන් වසර 62 කි. වසර 1959 දෙසැම්බර් 09 උපත ලත් ඔහුගේ පියා වූයේ වතු ආශ්‍රිත රැකියාවක නිරතවූ එල්සන් අතුකෝරළය. මව පී. ජොස්ලින් රුද්‍රිගුය. හය දෙනකුගෙන් යුත් පවුලක සිවුවැන්නා ඔහු ය. සොයුරන් තුනකි. සොහොයුරියන් දෙදෙනෙකි.

රෝහණ විජේවීර කලක ජීවත් වූ බණ්ඩාරවෙල නෙළුව වත්තේ වැඩවලට ප්‍රථමයෙන් ගියේ අපේ කථානායකයා වූ පියදාස අතුකෝරළ ය. ඔහුගේ නම එකල කියැවුණේ නිව්ටන් ජයතිලක නමිනි. කොළඹදී නිමල් ය. තවත් තැන්වලදී රඹා ය.

පියදාස අතුකෝරළ ජනතා විමුක්ති පෙරමුණට එක්වන්නේ 70 දශකයේ අග භාගයේදීය. ඒ 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ කැරලිකරුවකු වූ ලෝරන්ස් හරහාය. එවකට ඔහු අතුරුගිරිය ලංකා වාණිජ සංස්ථාවේ වාත්තු අංශයේ සේවකයෙකි. කෙටියෙන්ම කිවහොත් යකඩ උණු කරන කම්කරුවෙකි.

නිව්ටන්ගේ පියා එල්සන් 1971 අප්‍රේල් ජවිපෙ කැරැල්ලට සුළු සම්බන්ධයක් තිබිණි. ඒ සිය ඥාතියකු හරහාය. මේ නිසා නිව්ටන්ගේ නිවසේ ද තිබුණේ වමට බර පරිසරයකි. නිව්ටන් අධ්‍යාපනය ලැබුවේ මිරිස්වත්ත කනිෂ්ඨ විද්‍යාලයේය. අ.පො.ස සාමාන්‍ය පෙළින් ඔහුගේ පාසල් අධ්‍යාපනය නිමා විය. වානේ සංස්ථාවට යාමත් සමඟ ‘පක්ෂ පාසලේ‘ අධ්‍යාපනය ඔහුට ලැබිණි. වානේ සංස්ථාව පෞද්ගලික අංශයට පැවරීමත් සමඟම නිව්ටන්ගේ රැකියාවට ද ‘තිත‘ වැටුණේය.

පසුව ඔහු ජවිපෙ වෘත්තීය අංශයේ පූර්ණකාලීනයෙක් විය. ජවිපෙ 1983 ජූලි 19න් පසු පක්ෂයේ උපදෙස් මත බිම්ගත ක්‍රියාකාරකම්වලට නිව්ටන් එක්විය. පසුව 1984 දී කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ආසනයේ කටයුතුවලට අනුයුක්ත කෙරිණි. එවකට ඔහුගේ නායකයා වූයේ පසුකලෙක ජවිපෙ දෙවැනි කැරැල්ලේ අණ දෙන නිලධාරියා වූ සමන් පියසිරි ප්‍රනාන්දු ය. අතුරුගිරියේ බන්දුල ද, හෝකන්දර කුමාර ද, මහරගම ජයතිස්ස ද ඔහු සමඟ එකට වැඩ කළ කිහිපදෙනා අතර සිටි සහෝදරයන්ය.

නිව්ටන් ජවිපෙ ජාතික කඳවුරකට සහභාගි වූයේ පොල්ගස්ඕවිට මත්තෙගොඩදීය. ඒ දින 7ක කඳවුරකි. එයට සහභාගි වූ ජවිපෙ කාඩර්වරුන් සංඛ්‍යාව 40කි. සම්බන්ධීකරණය කළේ ආගිරිස් කොස්තා ය. (දෙවැනි කැරැල්ලේදී පොල්ගස්ඕවිට හල්පිට පදිංචි කොස්තාගේ බිරිය ද අතුරු හමුදා කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලදී. ආගිරිස් කොස්තා රත්නපුර දිස්ත්‍රික්කයේ බළංගොඩ ජවිපෙට අයත් නිවසක 88/89 ආරක්ෂා සහිතව සිට ජීවත්වීමට වරම ලැබීය. කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙස කටයුතු කළ දයා පතිරණ 1986 දෙසැම්බර් 15 බණ්ඩාරගමදී ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීමට ද ආගිරිස් කොස්තාට චෝදනා ලැබිණි. එහෙත් ඒ පිළිබඳ පානදුර මහාධිකරණයේ දී පවරනු ලැබූ නඩුවට ඔහුගේ නමක් ඈඳා නොතිබිණි.)

බණ්ඩාරවෙල නෙළුව වත්ත මිලදී ගත්තේ රෙජී කන්දප්පා හෙවත් සෝමවංශ අරමසිංහ ය. විජේවීර සහ ඔහුගේ පවුලට සැඟව සිටීම සඳහා එම වත්ත මිලදී ගැනිණි. එය අක්කර හතක වත්තකි. වත්තේ වැඩට විශ්වාසය හා කැපකිරීම ඇති පක්ෂයේ පිරිසක් අවශ්‍ය විය. බත්තරමුල්ලේ පක්ෂයේ තැනකදී සුදුඅයියා හෙවත් පියදාස ඔහුට මෙම වගකීම පවරනු ලැබීය. නියං මාමා හෙවත් එච්.බී. හේරත්ගේ රථයෙන් ඔහු නෙළුවට ගියේය. සෝමවංශ අමරසිංහ ඔහුට වගකීම් පැවරීය. නෙළුවේ වත්තට ප්‍රථමයෙන් ගියේ නිව්ටන් ය. පාළුවට ගිය තේවත්ත කැලෑවක් බවට පත්වෙමින් තිබිණි.

සෝමවංශගේ සම්බන්ධීකරණයෙන් වත්ත අස්කිරීමට පිරිසක් ද පැමිණ තිබිණි. දෙසතියක් පමණ ගතවන විට ජවිපෙ පූර්ණකාලීනයකු වූ ගම්පහ නෙවිල් හෙවත් පියදාස එහි ලියන මහත්මයා බවට පත්වීමක් ලැබ පැමිණියේය. ඔහු කොහිලවත්තේ ජවිපෙ ‘ශක්ති‘ මුද්‍රණාලයේ ද කලක් වැඩ කළ නිසා දැන හඳුනාගෙන තිබිණි. පසුව තවත් පක්ෂයේ සහෝදරවරුන් දෙදෙනෙක් නෙළුව වත්තට පූර්ණකාලීනව අනුයුක්ත විය. ඒ එක් අයකු වූයේ බත්තරමුල්ල අකුරේගොඩ තිලකසිරි ය. පක්ෂයේ ඔහුගේ නම විනී ය. අනෙකා දකුණෙන් පැමිණි ධර්මේ හෙවත් නන්දසේන ය. පසුව නිමල් හෙවත් නෝබට් හෙවත් පැටියා හෙවත් වික්‍රම ද පැමිණියේය. වික්‍රම ද ශක්ති මුද්‍රණාලයේ නන්දතිලක ගලප්පත්තිගේ මෙහෙයවීම යටතේ කමලදාස භාරයේ වැඩ කළ අයෙකි.

විජේවීරගේ නෙළුව වත්තටම සේවකයන් ලෙස සිටියේ පක්ෂයේ මෙම පූර්ණකාලීනයන් හතරදෙනායි. වත්තේ වැඩට අවශ්‍ය කම්කරුවන් එම ගමෙන්ම දෛනිකව කැඳවා ගැනිණි. ඔවුන් ජවිපෙට සම්බන්ධයක් නැත. වත්තේ සිටින්නේ කවුදැයි දන්නේ නැත. එහි ලොක්කා ලියන මහත්තයා හෙවත් නෙවිල් ය. වැවිලිකරුවකු ලෙස පෙනී සිටි විජේවීරගේ සේවකයන් ලෙස ඔවුහු කටයුතු කළහ. කිරි හරකුන් රැක ගැනීම, තණකොළ කැපීම, ඉවුම්පිහුම් කටයුතු, වත්තේ කටයුතු ඔවුනගේ එදිනෙදා රාජකාරි විය.

විජේවීර, බිරිය සහ දරු සිවුදෙනා ද වසර එකහමාරකට ආසන්න කාලයක් නෙළුවේ මෙම වත්තේ සිටියේය.

වත්තට ප්‍රථමයෙන් ගත්තේ කිරි හරකෙකි. අක්කර එකහමාරක අල වගා කෙරිණි. පරණ තේ ගස් පඳුරු කප්පාදු විය. ඒවා යළි වැඩෙන්නට විය. අස්වැන්න නෙළිනි. විජේවීරගේ දරුවන් බලා ගැනීම සඳහා නෙළුව වත්තට පක්ෂයේ පූර්ණකාලීනව තවත් අයෙක් එක්විය. ඇය සමන් පියසිරි ප්‍රනාන්දුගේ කනිටු නැඟණිය වන රංජනී ය. විජේවීරගේ බිරිය චිත්‍රාංගනී වත්තේ හිමිකරු රෙජිනෝල්ඩ් හෙවත් සෝමවංශ අමරසිංහගේ නැඟණිය ලෙස පිටස්තරයන්ට හඳුන්වා තිබිණි.

නෙළුවට අල්ලපු වත්තට තිබුණේ ආණ්ඩුවේ අක්කර 100 ක පමණ තේ ඇතුළු වගාවන් සහිත ඉඩමකි. නෙළුව වත්තේ අක්කර දෙකක අල බීජ වගා කෙරිණි. අල බීජ හොන්ඩර දෙකක් සිටවූ අතර එක් හොන්ඩරයකින් එවැනි දොළොස් ගුණයක් අස්වැන්න ලැබිණි. ගමේ අය වූ ප්‍රේමදාස, මදී ඇතුළු කිහිපදෙනෙක් වත්තේ වැඩට එක්විය. ඔවුනට සේවයට අදාළ වැටුප් ගෙවන ලදී.

වසර 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ 2 වැනි කැරැලි සමයේ ප්‍රථම භාගයේ සියලු දේශපාලන මණ්ඩල රැස්වීම් ද මසකට තෙවරක් පමණ පැවැත්වුණේ නෙළුවේ ය. නිවසේ පිහිටි පොඩි කාමරයක් වෙන්වූයේ විජේවීරගේ කතා කැසට් සඳහා රෙකෝඩ් කිරීමටය.

නෙළුව වත්තේ සිදුවූ අහඹු සිදුවීමක් නිසා සියල්ල කණපිට පෙරළීය. පොලිස් ජීප් රථයකින් පැමිණි නිලධාරියෙක් එයට හේතු විය. විජේවීර පසුපස දොරෙන් පලා ගියේය. විජේවීර පසුපස නිවසේ සිටි සුනඛයා ද ඔහු පසුපස පලා ගියේය. සුනඛයාගේ හඬ නැඟීමෙන් බියපත්ව විජේවීරගේ එක් දියණියක් පාළු ළිඳකට වැටිණි. ළිඳ අඩි 15ක් පමණ ගැඹුරුය. ළිඳට පැන්න නිව්ටන් දියණිය බේරා ගොඩට ගත්තේය. සතුටට පත් රෝහණ විජේවීර සම්මානයක් ලෙස ඔහුට තිළිණ කළේ අලුත්ම සරමක් හා කමිසයකි.

පොලිසිය පැමිණ තිබුණේ වත්තේ ඇති ඇන්තූරියම් මල් නෙළා ගැනීමටය. එහෙත් සැකය හේතුවෙන් විජේවීර පවුල සති කිහිපයකින් සෝමවංශ විසින් සොයා දුන් උලපනේ නිවසට මාරු විය. උලපනේ වත්තේ කටයුතු සුපුරුදු පරිදිම සිදුවිය.

බණ්ඩාරවෙල නෙළුව වත්තේ දලුගෙන යන්නේ ලෑන්ඩ්මාස්ටර් රථයකිනි. පැටියා හෙවත් වික්‍රම එය බාරව සිටියේය. ලෑන්ඩ්මාස්ටර් රථයේ එක් කොටසක අලුත්වැඩියාවක් තිබූ නිසා එය මිලදී ගැනීමට සෝමවංශගේ දැනුම් දීම අනුව වික්‍රම කොළඹ ගියේය. හෝමාගම පක්ෂයේ නිවසකදී සෝමවංශ හමුවීමට ඔහුට දැනුම් දී තිබුණි.

බස් රථයෙන් 1989 නොවැම්බර් 05 වනදා හෝමාගම ගලවිලවත්තේ නිවසට ගිය වික්‍රමට සිදුවූයේ ආරක්ෂක හමුදාවෙන් ‘ඇම්බුස්‘ උගුලකට (සැඟවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) හසුවීමෙන් අත්අඩංගුවට පත්වීමටය.

හෝමාගම එම නිවෙස පක්ෂය වෙනුවෙන් සම්බන්ධීකරණය කළේ තලල්ලේ ලක්ෂ්මන් ගජනායක ය. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආර්ථික විද්‍යා උපාධිධාරියකු වූ ලක්ෂ්මන්ගේ පැවිදි නම වූයේ තලල්ලේ නාභිත හිමිය. පසුව පක්ෂයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් නාභිත හිමියෝ උපැවිදි වූහ. ඔහු 1988 කළුතර පැලවත්ත රැඳවුම් කඳවුරෙන් පලා ගිය ජවිපෙ කැරැලිකරුවන් 110 දෙනා අතර වූවෙකි.

ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත් වික්‍රමට මත්තෙගොඩදී අසීමිත වද බන්ධනවලට මුහුණ දීමට සිදුවිය. ඔහු සාම්ප්‍රදායික ලෙස ජවිපෙන් විරසකව ගිය අයගේ නිවෙස් පක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස ආරක්ෂක අංශ වලට හඳුන්වා දීමට ගියද එය ව්‍යර්ථ විය.

දිනය නොවැම්බර් 08 වැනිදා ය. වේලාව පස්වරු 8 පසුවී විනාඩි කිහිපයක් ගතවිය. රූපවාහිනියේ ප්‍රවෘත්ති බලමින් නෙළුව වත්තේ අය සිටියහ. ඔවුන් අතර සිවුදෙනෙක් සිටියහ. වත්තේ සිටි බල්ලන්ගේ හඬ දසත පැතිර ගියේය. හමුදා නිලධාරීන් සහ භටයන් 8ක් පමණ නිවසට පැමිණෙමින් සිටියේය. පැටියා හෙවත් වික්‍රම ද ඒ අතර විය.

සියලුදෙනාගේ ඇස් බැඳ දෙඅත් ද බැඳ එක කාමරයකට දමා ‘උපන් ඇඳුමෙන්‘ තබන ලදී. නෙළුව නිවසේ සෝමවංශ විසින් සඟවා තිබූ මුදල් සහ රත්තරන් බඩු ද සොයා ගැනිණි. වෙලාව පස්වරු නවය පමණ විය. නිවසෙන් ඇසුණේ ගාලගෝට්ටියකි. ඒ පැමිණි පිරිස අතර භාණ්ඩ බෙදා ගැනීමේ අරගලයක් වන්නට ඇත. මේ සියල්ල අස්සේ නිව්ටන් ජනෙල් පියනක් විවෘත කර වත්තේ කටු අකුලට පැන පිම්මේ දිව්වේය. හතරවටේ ඇසුණේ ඔහු වෙනුවෙන් තැබූ වෙඩි පහරවලින් නැඟුණු හඬ ය. කැලෑවෙන් කිලෝමීටර ගණනක් ඇතුළට ගිය නිව්ටන්ට හමුවූ අයෙක් රෙද්දක් දුන්නේය. තෙදිනක් ඔහු කැලෑවේ පොතු සහ දලු කමින් ජීවත් විය.

ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් නෙවිල් හෙවත් ලියන මහත්තයා සහ ධර්මේ හෙවත් නන්දසේන 1989 නොවැම්බර් 09 වැනිදා මත්තේගොඩ යුද හමුදා කඳවුරට රැගෙන ආ බව එම වැටලීමට ගිය හමුදා නිලධාරියෙක් ලියුම්කරුට සියලු තතු සමඟින් කියා සිටියේය. විජේවීර කලක් සිටි ගලහ නිවස දැනගෙන සිටියේ ඒ අත්අඩංගුවට ගත් අය අතර සිටි ලියන මහත්තයා පමණි. ඒ ඔහු දේශපාලන මණ්ඩල රැස්වීම් පැවැත්වෙන දිනවල මුළුතැන්ගෙයි කටයුතුවලට සහාය වීම නිසාය.

ඉන්පසු ගලහ නි‍ෙවසට නොවැම්බර් 12 ගිය ආරක්ෂක අංශ එච්.බී. හේරත් සහ පියදාස රණසිංහ අත්අඩංගුවට ගත් බවද අනතුරුව ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු මත උලපනේ විජේවීර අත්අඩංගුවට ගත් බවත් එම සිද්ධියට ද සහභාගී වූ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙක්ම ලියුම්කරුට දීර්ඝ ලෙස විස්තර කළේය. පසුව එය ඩී.එම්. ආනන්දට තල්ලු වූයේ ජවිපෙ 2 වැනි කැරැල්ල පිටුපස සිටි අදිසි උපදේශකයන්ගේ උපක්‍රමයක් ලෙසිනි.

එහිදී අත්අඩංගුවට ගත් රෝහණ විජේවීර 1989 නොවැම්බර් 13 අලුයම 1.35ට බොරැල්ල කනත්තේදී ඝාතනයට ලක්විය. රෝහණ විජේවීරගේ දේහය ආදාහනය කළේ එදිනම අලුයම 3.13 ටය. ඒ සඳහා කොළඹ නගර සභාව යටතේ පාලනය වන කනත්තේ භාරකරු විසින් නිකුත් කළ රිසිට් අංකය 62302 ය. ලෙජර් අංකය 88268 ය. මෙය සිදුවී 2021 නොවැම්බර් 13 වැනිදාට හරියටම වසර 32කි.

කැලේට පැන ගත් නිව්ටන් තෙදිනක් එහි ගත කර උඩුවර හරහා හාලිඇළට හැතැප්ම 8ක් පයින් ගියේය. ඒ යළි ජවිපෙ සම්බන්ධකම් ගොඩනඟමින් එවකට පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය සිසුවකු හරහා ය. අනතුරුව නුවරඑළිය දිසා ලේකම්වරයකු වූ කස්තුරි විසින් තලවකැලේ ලැමනියර් වත්තේ නිවසක නිව්ටන්ව රඳවා තබන ලදී. එහිදී ද ආරක්ෂක අංශ කඩාවැදීම නිසා එතනින් ද පලාගිය නිව්ටන් හැටන් බස් රථයක හමුවූ ශ්‍රීපාද නඩයක පිරිසක් සමඟ එක්ව පනාගොඩ පිදලි ගැසීමේ වැඩකට එක්විය. පසුව රාගම සහ මැදිරිගිරියේ ද මේසන් වැඩට එක්විය.

අද නිව්ටන් සිවුදරු පියෙකි. විප්ලවවාදී හැඟීම් සේම ජීව ගුණය ද තවමත් ඔහුගෙන් ගිලිහී නැත. එහෙත් පක්ෂය සමඟ සබඳකමක් ද නැත. ජවිපෙට එක්වීම හරහා සිදු කළ කැපකිරීම් පිළිබඳ කම්පාවක් ද ඔහු තුළ නැති සේය. වසර 32ක් පුරා සැඟවුණ ඉතිහාසයක් විවර කිරීම පිළිබඳව එය මෙසේ ලියා තැබුවෙමි.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතුය. ඒ සඳහා ඉතිහාසය කියවිය යුතුය. කියවීමට නම් එය ලියා තැබිය යුතුය.

(රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී හෙවත් කළු අක්කා කිසිදා නොකී කතාව ලබන සතියේ බලාපොරොත්තු වන්න.)

 

Comments