ක්‍රිකට් මට ජීවිතයක් දුන්නා | Page 4 | සිළුමිණ

ක්‍රිකට් මට ජීවිතයක් දුන්නා

දියණියක් ඉන්නවා කියන්නේ තාත්තෙක් සුවිශේෂී වෙනවා

 ඩ්වේන් බ්‍රාවෝ

'ඩ්වේන් බ්‍රාවෝ කියන්නේ මෑත ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තුළින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මතුවූ නිරහංකාර ක්‍රීඩකයෙක්. ඔහු විශේෂයෙන් විස්සයි විස්ස තරග රටාව තුළ බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගත්තා. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරු ව ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අංශයන්ගෙන් සමුගන්න තීරණයකට එළැඹුණා. මේ ඒ ගැන.'

“අවුරුදු දහ හතරක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. අද නිල වශයෙන් මම මගේ සමුගැනීම ප්‍රකාශයට පත්කරනවා. විස්සයි විස්ස විතරක් නෙවෙයි.” හැම අංශයකින්ම මම ආයෙ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නෑ. ' එසේ කීවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ය.

විස්සයි විස්ස ලෝක ශූරතාව දෙවරක් කොදෙව්වන්ට හිමි කර දුන් කණ්ඩායම් නියෝජනය කළ බ්‍රාවෝ මෙලෙස පැවසූයේ පසුගිය දා සිය අවසන් විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි. නිල වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ඔහු අන්තර්ජාතික තරග 270 ක් වෙනුවෙන් කොදෙව් පිල නියෝජනය කර තිබුණා. ඒ අතර ටෙස්ට් තරග 40 ක් එක්දින තරග 164 ක් හා විස්සයි විස්ස තරග 60 ක් වාර්තා වී තිබෙනවා.

එක්දින පිතිකරුවකු වශයෙන් ලකුණු 2968 ක් හා කඩුලු 199 ක් දවාගෙන ඇති ඔහු විස්සයි විස්ස පිතිකරුවකු ලෙස ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය 1142 ක්. පන්දු යැවීමේ දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 52 ක්.

කොල්ලෙක් වැනි වූ දෙදරු පියා බ්‍රාවෝ දෙදරු පියෙක්. ඔහුට පුතෙක් හා දුවෙක් සිටිනවා. 2014 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී තමන්ගේ ටීෂර්ටයේ ගසා තිබූ අංක 47 අංකය වෙනස් කර ගන්නට ඔහු කටයුතු කළෙත් පවුලේ සාමාජිකයන් නිසයි. එදා ඔහු එසේ කළේ අංක හතළිස් හත වෙනුවට අංක 3 ගසා ගත්තේ එය පුතාගේ උපන්දිනය නිසයි.

බ්‍රාවෝගේ පුතා ඉපැදී ඇත්තේ ඔත්තෝබර් 03 වැනි දායි. ඔහුගේ දියණිය අගෝස්තු 03 වැනි දා ඉපිද තිබෙනවා. බ්‍රාවෝගේ මවගේ උපන්දිනයත් යෙදී ඇත්තේ 03 වැනි දා වකලු.

බ්‍රාවෝ දියණියකගේ පියෙක් වීම ගැන මහා ඉහළින් සතුටු වන පියෙක්.

“මාපියන්ට ඕනෑ ම දරුවෙක් විශේෂයි. නමුත් තාත්තෙකුට දුවෙක් ඉන්නවා කියන්නේ ඒක වඩා විශේෂයි. මම මගේ දියණියට ගොඩාක් ආදරෙයි. මගේ හැමදේම ඇයයි.” ඔහු පවසනවා.

“මම හැමදෙයක්ම කරද්දී ඈ ගැන සිතනවා. සියලු ම දුෂ්කරතා වින්දේ ඈ නිසයි. අනාගතයේ ඇය හොඳ ස්ථාවරයක ජීවත්-විය යුතුයි. මම ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඇය හොඳින් ජීවත් වෙනවා දකින්න කැමතියි.” ඔහු පවසනවා.

මේ අතර බ්‍රාවෝ ටික කලකට පෙර කොදෙව් කණ්ඩායමෙන් ඉවත්ව යළි අන්තර්ජාතික පිටියට පැමිණීමට හේතුවත් ඔහු සඳහන් කර තිබෙනවා.

‘වසර කීපයකට ඉස්සර විශ්‍රාම යන්නයි මගේ ඉලක්කය වුණේ. නමුත් කොදෙව් ක්‍රිකට් සභාපති වෙනස් වුණාම, නායකත්වයේ වෙනසක් සිදුවුණාම යළි ක්‍රීඩා කළ යුතුයි කියලා මගේ හිතට දැනුණා. එහෙම තමයි යළි මම ක්‍රිකට් ක්‍රීඩාව එක්ක එකතු වුණේ.' බ්‍රාවෝ සිය ක්‍රිකට් ජීවිතයේ දෙවැනි ගමන ගැන සඳහන් කර තිබුණා.

“මම හිතන්නේ දැන් තමයි ක්‍රීඩාවෙන් සමුගන්න හොඳම කාලය. අලුත් පිරිසකට, නව පරම්පරාවකට ක්‍රිකට් ක්‍රීඩාව භාර දෙන්න එය වැදගත්. අනෙක රටේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගන්න බලාගෙන ඉන්න ඊළඟ පරම්පරාව එක්ක මට හොඳ මිත්‍රකමක් තිබෙනවා. ඒ නිසා මම මගේ අත්දැකීම් ඔවුන්ට බෙදා දෙන්න සූදානම්.” බ්‍රාවෝ පවසනවා.

මේ අතර තමන්ගේ ක්‍රිකට් ජීවිතයට ලැබුණු සහය සම්බන්ධයෙනුත් කතා කරන්න ඔහු අමතක කර තිබුණේ නෑ.

“චාර්ල්ස් ඔබ කොහේ හරි ඉඳගෙන මේක අහගෙන ඇති. ඔබ තමයි මිනිහා මාව මෙතැනට ගෙනාපු. ඇත්තටම මේ හැම දෙයකටම මම ඔබට ස්තුති කරන්න ඕනෑ. ඔබ මගේ දක්ෂතා දැක්කේ අවුරුදු හයේ දී. එදා ඔබ මාව හඳුනා නොගන්න බ්‍රාවෝ කියන පුද්ගලයා කොහේ ඉඳීවිද කියන්න මට වැටහෙන්නේ නෑ.” බ්‍රාවෝ සංවේදීව සිහිපත් කර තිබුණා.

“චාර්ල්ස් ඔබ කරපු හැමදෙයකටම මම හදපත්ලෙන්ම ස්තුති කරනවා. මම විතරක් නෙවෙයි අද සතුටින් ජීවත්වෙන මගේ පවුලත් ඔබට හදවතේ ගැඹුරෙන්ම ස්තුති කරනවා.”

ඊට අමතර ව ඔහු තමන්ට උපකාර කළ සෙසු පුද්ගලයන් සිහිපත් කිරීමට අමතක කර තිබුණේ නෑ.

“මට ගොඩාක් අය උදවු කළා. ඔවුන් මගේ ක්‍රිකට් ජීවිතය සාර්ථක කර ගන්න ගොඩක් දේ කළා. මම වයසින් වැඩෙද් දී බ්‍රයන් ලාරා තමයි මගේ ජීවිතයේ ප්‍රබල ම බලපෑම කළ ක්‍රීඩකයා වුණේ. බ්‍රිජට් ස්මිත් මගේ පළමු වැනි අන්තර්ජාතික තරග නායකයා. බ්‍රෝඩ් සහෝදරයෝත් මට කිසිදවසක අමතක කරන්න බෑ. ඔවුන් හැමෝම ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ කොයිතරම් සාධාරණ හා වෙහෙස මහන්-සියෙන් සිදුකළ යුත්තක්ද යන්න මට කියා දුන්නා.” බ්‍රාවෝ පවසන්නේ සතුටින්.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිකට් නායක කිරන් පොලාර්ඩ් දකින්නේ බ්‍රාවෝ යනු විරල ගණයේ අභිමානවත් හා අතිවිශිෂ්ට ක්‍රීඩකයකු බවයි.

“ඔහු කැරිබියන් ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ කළා. බ්‍රාවෝ නියම විනය මොකක්ද කියන එක හැම විටම ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙක්. ඇත්තටම ඔහු වැනි ක්‍රීඩකයක්, ඔහු එක්ක ක්‍රීඩා කරන්න ලැබීම ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා.”පොලාර්ඩ් කියා තිබුණා.

“මට ක්‍රිකට් සියලුදේ දුන්නා. මට ජීවිතයක් දුන්නා. ඒ නිසා මම මේ ක්‍රීඩාව අතහැරලා යන්නේ නෑ. පුහුණු අංශය සමඟ සම්බන්ධව කටයුතු කරන්න මගේ අපේක්ෂාවක් තිබෙනවා.” බ්‍රාවෝ ප්‍රකාශ කර තිබෙනවා.

 

කාන්ති ජයසිංහ

Comments