එළැඹෙන්නේ අවදියෙන් සිටිය යුතු හෝරාවය | Page 4 | සිළුමිණ

එළැඹෙන්නේ අවදියෙන් සිටිය යුතු හෝරාවය

 

ඕනෑම සමාජයක ජීවත්වන්නවුන් අතින් අත්වැරදීම් සිදුවිය හැක. එලෙස සිදුවන අත්වැරදීම් හෝ අතපසුවීම් හි ස්වභාවය අනුව ඒවා කිසියම් වර්ගීකරණයට ලක්කෙරෙයි. එකී වර්ගීකරණයට අනුව එකී අත්වැරදීම් සමාජ පද්ධතියට බලපාන ආකාරය සලකා බලන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයක් ඔස්සේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ අත්වැරදීම වරදක් ලෙසින් නම් කර ඊට දඬුවම් නියම කිරීම සිදුකෙරේ.

මෙලෙස යමෙක් අතින් සිදුවන වරදක් සඳහා දඩුවම් නියම කිරීම සිදුකරන්නේ ඇයි ද යන්න අපට අවබෝධ කරගැනීමට අපහසු නැත. එමගින් සමස්ත සමාජය අනුල්ලංඝණීයව ඒකාබද්ධකර පවත්වා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. එසේම ලබාදෙන දඬුවම සමස්ත සමාජයටම පාඩමක් වියයුතු වන්සා සේ ම එකී වරද නැතහොත් අත්වැරදීම සිදුකළ පුද්ගයාට හෝ පුද්ගල කණ්ඩායම ලබාදෙන පුනරුත්ථාපනයක් ලෙස ද සැලකෙයි.

අවසන සිදුවනුයේ අදාළ වරද සිදුකළ තැනැත්තා එලෙස යම් කාලයක් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව යළි සමාජ ජීවිතයට එක්කර ගැනීම ය. එය අනාදිමත් කාලයක සිට මානව ශිෂ්ටාචාරයේ අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාවලියකි. එය මානව සමාජයේ සියලු ක්ෂේත්‍රයන්ට පොදු වූ ක්‍රියාවලියක් පැවසිය යුතු ය. ඒ අනුව ඉන් විනිර්මුක්තවීමට ක්‍රීඩාවට ද හැකියාවක් නැත.

පසුගිය දා එංගලන්තයේ දී ක්‍රීඩක ජීව බුබුළ පුපුරුවා හරිමින් හෝටලයෙන් බැහැරව අයාලයේ ගිය බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට දඬුවම් පමුණවනු ලැබුවේ එම සම්මතය මත පිහිටාය. නීතිය බිඳින්නේ නම් නිසැකව යම් වන්දියක් හා දණ්ඩනයකට මුහුණ පාන්නට සිදුවන බවත් සමස්ත සමාජයේ පොදු යහපත තකා එවැනි වරද සඳහා දඬුවම් පැමිණෙනවෙන බවත් ඉන් ඒත්තු ගැන්විණි.

එය කොතරම් ප්‍රමාණවත් ද? නැද්ද යන්න ගැන සලකා බැලීම කෙසේ වෙතත් එකී දණ්ඩනයට අදාළ ක්‍රීඩකයන් තිදෙනා මුහුණදී දැන් මාස හයකට ආසන්න කාලයක් ගතවෙමින් තිබේ. එයින් කියැවෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක කළ දඬුවම් කාලය තවත් නොබෝ දිනකින් කල් පිරී ඔවුනට ක්‍රීඩා පිටියට යළි පැමිණීමට අවස්ථාව පවතින බවයි.

ක්‍රීඩකත්වය අගයන කල එසේ දඬුවම නිමවා යළි තරගකාරී ක්‍රීඩාවේ නියැලීමට ඔවුනට අවස්ථාව උදාවීම සතුටට කරුණකි. එහෙත් අපට එසේ සතුටුවිය හැක්කේ අදාළ දඬුවමෙන් ඔවුන් නිසි පාඩමක් උගෙන සිටින්නේ නම් පමණි. එය එසේ නොවන්නේ නම් ඔවුන් යළි පිටියට ආගමනය වීම ගැන සතුටුවීමට හැකියාවක් නැත. අප එසේ කියන්නේ එය පෞද්ගලිකව ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතය අඳුරුකරන්නා සේ ම සමස්ත ක්‍රීඩාවේ වියවුල් ඇතිකරන්නක් වන්නට ඇති ඉඩ ප්‍රශ්තා වැඩි හෙයිනි.

පසුගිය දා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ගොස් සියරට පැමිණි ක්‍රීඩකයන් කීපදෙනෙක් පැය කීපයක විවේකයෙන් අනතුරුව තමන් නියෝජනය කරන ක්‍රීඩා සමාජය වෙනුවෙන් දේශීය තරගයකට ද ක්‍රීඩා කළ පුවතක් අසන්නට ලැබෙන පරිසරයක පුනරුත්ථාපනය නිසිලෙස සිදුව නොමැති නම් ඇතිවිය හැකි අර්බූද වඩා භයානක ය.

අප එසේ කියන්නේ කාලයක් අයාලේ ගොස් තිබූ ක්‍රීඩක විනය දැන් දැන් ප්‍රතිෂ්ඨාපනය වෙමින් පවතින බවක් පෙනෙන්නට ඇති හෙයිනි. ඊට අමතරව මේ වනවිට විස්සයි විස්ස හා එක්දින තරග වෙනුවෙන් යම් විශ්වසනීයත්වයක් සහිත යොවුන් කණ්ඩායමක් ගොඩනැංවෙමින් තිබේ. එකී ගොඩනැංවීමට බාධාවක් නොවන ලෙස මෙම තහනම ඉවත්වූ ක්‍රීඩකයන් ජාතික සංචිතයට මුහුකළ යුතු ය.

එසේ නොමැති නම් සිදුවිය හැක්කේ සත්තිකුම්භ ජාතකයේ ගිරා පෝතකයන්ට සිදුවූ සිදුවීම ය. එසේ වුවහොත් කලකට පසු අනාගතය පිළිබඳ ප්‍රතිදීප්තිමත් අපේක්ෂා මෝදුකළ කණ්ඩායමක් යළිත් අවිශ්වසනීයත්වයෙන්, සමගි සම්පන්න භාවයෙන් බිඳී, බෙදී යන්නට ඉඩ තිබේ. විවිධ මිනිසුන් විවිධ ය. එහෙත් ඒ විවිධත්වය අද විශේෂයක් නොවී සාමූහිකත්වයක් දක්වා ගොනුකරලීමට දසුන් ශානකගේ කණ්ඩායම සමත්ව තිබේ. අපට අවශ්‍ය වන්නේ පුද්ගලයා නොව රට ය. රට ගැන සිතද්දී විනය ප්‍රමුඛය. එහෙයින් දඬුවම් ලැබූ ක්‍රීඩකයන් යළි ජාතික සංචිතය තුළ සමාජානුයෝජනයට ලක්කරද්දී වඩා විමසුම් සහගත විය යුතු ය. එය එකී ක්‍රීඩකයන්ට මෙන්ම සෙසු ක්‍රීඩකයන්ට ද වැදගත් ය.

Comments