අයි.සී.සී. ඇසට වැලිගසමින් | Page 4 | සිළුමිණ

අයි.සී.සී. ඇසට වැලිගසමින්

 

'විස්සයි විස්ස ලෝක කුසලානය අදින් අවසන්. ආයෙත් තරගාවලියක් පැවැත්වෙන්නේ ලබන වසරේ දී. තරගාවලිය තුළ බොහෝ දේ සිදුවුණා. ඇතැම් දේ සිතාගැනීමට, තේරුම් ගැනීමට අපහසු දේවල්. මේ ඒ ගැන තැබෙන සටහනක්.'

අබුඩාබිහි ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගනයේ ප්‍රධාන බාරකරු වන මොහාන් සිං හදිසියේ මියගොස් සිට හමු වූයේ ඔහු රැඳී සිටි හෝටල් කාමරය තුළ ය. ඒ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය අතරතුර ය.

ඔහුගේ මරණය සම්පූර්ණ අභිරහසක් විය. ඒ ඔහු සිය දිවි නසාගත්තේ ද නැතහොත් අන්කිසිවෙක් ඔහු සූක්ෂ්ම ලෙස ඝාතනය කර තිබුණේ ද යන්න තවමත් අනාවරණයව නැත.

මෙලෙස අභිරහස් ලෙස මියගිය මෝහන් සිං අවසන් වරට යෙදීසිටි රාජකාරිය වූයේ ඇෆ්ගනිස්ථානය හා නවසිලන්තය අතර තරගය පැවැති තණතීරුව සැකසීම ය. එම තණතීරුව වියළි ස්වභාවයෙන් යුතුව සකසන මෙන් (ඉන්දියාව) බලපෑම් කර තිබූ බවක් ද කියැවුණේ ය. ඒ සියල්ල හෙළිදරව් වූයේ මෝහන් සිංගේ අභිරහස් මරණයෙන් අනතුරුව ය.

'ඔහුගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතුයි.' යැයි මතයක් මේ වනවිට සමාජගත වෙමින් තිබෙන්නේ එහි ඇති අභිරහස් භාවය හේතුවෙන්ය.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෝහන් සිං ගේ අභිරහස් මරණය ගැන සෙවීමේ පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මක බවයි. මේ අතර මොහාන්ගේ සේවය අගයන්නට අබුඩාබි ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබූ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් වන පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙසට ද මාධ්‍ය වෙතින් ඉල්ලීමක් කර තිබිණි.

අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය ද මෝහන්ගේ සේවය ඇගයීමට ලක්කර තිබුණේ ය. "අපි ඔහුගේ හදිසි අභාවය සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටු වෙනවා. මෝහන්ගේ පවුලේ සාමාජිකයන්ට මිතුරන්ට වගේම අබුඩාබි ක්‍රිකට් ආයතනයටත් අපේ ශෝකය පළ කරනවා.' යැයි අයි.සී.සී. ය පවසා තිබුණේ ය.

ශෝක පණිවුඩ පමණක් නිකුත් කර මෝහන්ගේ අභිරහස් මරණය සිදුවූ ආකාරය ගැන නොසොයා ඇඟ බේරාගැනීමට අයි.සී,සී. ය ට හැකියාවක් නැති බව චෝදනා කරන්නෝ ද එමට ය. 'අයි.සී.සී. ය මේ ප්‍රශ්නය සම්බන්ධයන් මුණිත රකිනවා. එය කිසිසේත්ම සතුටට කාරණයක් නොවෙයි.' යැයි පවසන ඔවුහු අයි.සී.සී ය ට දෝෂාරෝපණය කරති.

මේ අතර අභිරහස් ලෙස මියගිය මෝහන් සිං හතළිස් පස්වැනි වියේ පසු වූ බවත් ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙමින් සිටි බවටත් තොරතුරු පළව ඇත.

ඛේදජනක අවස්ථවේ මෝහන් සිං හා ඔහුගේ පවුලේ ගරුත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි මේ වනවිට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත්තේ ඒ අතරේ ය. කෙසේ නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වන ඇතැම් මාධ්‍ය මෝහන් සිං සිය හෝටල් කාමරය තුළ ගෙල වැලලාගෙන සිටි බව වාර්තා කර තිබිණි.

පසුගිය මාස හතරක කාලය තුළ ඔහු දැඩි මානසික අවපීඩනයෙන් පසු වූ බවට ද මේ වනවිට හෙළිදරව් වෙමින් තිබේ. ඔහු මියගියේ සියදිවි නසා ගැනීමෙන් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම අරභයා මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

පාවාදීමක් සිදුවූයේ ද?

මේ අතර ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගය මුදලට පාවා දුන් බවට මතයක් ද ගොඩනැගෙමින් තිබේ. ඒ එම තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේ දී සිදුවූ සිද්ධියක් සම්බන්ධ කරමිණි. කාසියේ වාසිය පරාජය වූ ඉන්දීය නායක විරාත් කෝලි විසින් ඇෆ්ගන් නායකයාට බලපෑම් කරන ආකාරයේ වචන කීපයක් භාවිත කළ බව එහිදී අවධානයට ලක්ව ඇත. එම වීඩියෝවට අනුව කාසිය වාසිය පරාජය වූ කෝලි, ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නැබී ට ඔබ මුලින් පන්දු යවන්න යැයි කියා ඇත. වදන් පෙළක් ඇසෙයි. ඒ . කෝලිගේ යෝජනාවට එකඟ වූ නැබී ද ප්‍රථමයෙන් පන්දු යැවීමට තමා සූදානම් බව පවසා සිටියේ ය.

කෙසේ නමුත් මෙය නිසැකවම තරග පාවාදීමක් ලෙසින් සඳහන් කරන්නට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොතිබෙන බව විචාරකයෝ පවසති. එහෙත් එම තරගය තුළ සිදුවූ සමහර සිදුවීම් සැක උපදවන ස්වරූපයක් ගන්නා බව පැවසේ.

ඉන් සුපිරි වටයේ දී පාකිස්තානයට එරෙහිව තියුණු තරගයක් දුන් ඇෆ්ගනිස්තානය ඉන්දියාව හමුවේ ක්‍රීඩා කළ ස්වභාවයම සැක සහිත බව ට චෝදනා එල්ල වෙයි. එසේම අදාළ තරගයේ දී ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් ගේ දුර්වල පන්දු රැකීම එම කණ්ඩායමේ හිටපු නායක අස්ගාර් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කිරීම හා පාවාදීමේ සිද්ධිය අතර සමීප සම්බන්ධයක් ඇති බවට ද මතයක් ගොඩනැංවී තිබේ.

නවසීලන්තයට කෝටි 500ක් දුන්නත් ඔවුන් 1500ක් ඉල්ලුවා’ද?

විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයේ 40 වැනි තරගය වූ ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට නවසීලන්තයට ඉන්දියානු රුපියල් කෝටි 500 ක මුදලක් ලබාදීමට යෝජනාවී තිබුණු බව තවත් කටකතාවකි. මෙම තරගය ආරම්භ වීමට පෙර බොලිවුඩ් රංගන ශිල්පියකු වන කමල් රෂීඩ් ඛාන් විසින් එය පවසා තිබුණේ යැයි සමාජ ජාලා පවසා තිබුණේ ය.

ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තරගය පරාජය වීම සඳහා නවසීලන්ත කණ්ඩායමට රුපියල් කෝටි 500 ක් ලබාදීමට සැලැසුම් කර තිබූ බවයි. එහෙත් නවසීලන්තය ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 1500 ක් ඉල්ලා සිටි බව ද ඔහු හෙළිකර තිබුණේ ය. කෙසේ නමුත් පසුව අදාළ ට්විටර් සටහන මකා දැමීමට ඔහු කටයුතු කර තිබිණි.

 බන්ධුල ජයමාන්න

Comments