නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි බදුල්ල පුංචි ඉස්කෝලේ ගුරු පියෙක් | Page 2 | සිළුමිණ

නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි බදුල්ල පුංචි ඉස්කෝලේ ගුරු පියෙක්

ඔක්තෝ­ම්බර් 21 වැනිදා උදෑසන 7.26 ට සිසුන් හා දෙම­වු­පි­යන් ඉදි­රියේ ප්‍රදීප් ගජ­සිංහ ගුරු­ව­රයා  ඉබි යතුර කඩන අව­ස්ථාව

 

 

පාසලක් වැසීම සිරගෙවල් දහසක ආරම්භයක් යැයි කතාවක් ඇත. එහෙත් පසුගිය කාලයේ ශ්‍රි ලංකාවේ පමණක් නොව ලොව බොහෝ පාසල් වසන්නට සිදු වූයේ කොවිඩ් වසංගතයෙන් බේරීම සඳහා දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු නිසාය. කෙසේ වෙතත් පසුගිය 21 වැනිදා සියලු අභියෝග මැද සිසුන් 200 ට අඩු පාසල් විවෘත වුවද බහුතරයක් ගුරුවරු පාසල් පැමිණීයේ නැත. එයට හේතුව වුයේ ඔවුහු දරුවන්ගේ අධ්‍යාපනයට වඩා වෘත්තීය අරගලයට ප්‍රමුඛත්වය දීමය. පාසල් විවෘත වුවද 21 හා 22 දා වර්ජනය පැවැති හෙයින් ගුරු විදුහල්පතිවරු යළි පාසල් පැමිණීයේ පසුගිය 25 වැනිදාය. මාස 6 කට පසු බලාපොරොත්තු පොදි බැඳ දරුවෝ පාසලට පැමිණියද ඔවුන්ට අකුරු කරන්නට ගුරුවරු, විදුහල්පතිවරු පැමිණ සිටියේ නැත. පාසල්වල දොරගුළු පවා දරුවන්ට විවෘතව තිබුණේ නැත. ගුරු දේවතාවුන් යැයි පිදුණද දරුවන්ට පාසල් දොරගුළු විවෘත කරන්නට තරම් ගුරු අරගලය මානුෂික වූයේ නැත. රත්කරව්ව මාලිගාතැන්න ප්‍රාථමිකයේ දරුවන්ටද ඒ ඉරණම අත් වුවද ඔවුහු යළි හැරි ගියේ නැත. ඒ එක් ගුරු දේවතාවකුගේ සත් ක්‍රියාවක් නිසාය.

මාලිගාතැන්න ගම බෙහෙවින් දුෂ්කරය. වගාවෙන් එදා වේල සරිකරගත් මේ ගමේ ඇත්තන්ට ස්මාර්ට් ෆෝන් තවත් එක් සිහිනයකි. මේ නිසාවෙන් ඔන්ලයින් අධ්‍යාපනයක් දරුවන් බහුතරයකට ලැබුණේ නැත. එකම අපේක්ෂාව, පිළිසරණ වූයේ ගමේ පාසලය. ගුරුවරුය. ගමේ පන්සලට ඉදිරිපිටින් පිහිටි මේ පාසලේ එදා සිසුන් 250 ක් පමණ සිට ඇති බව කියැවේ. සාමාන්‍ය පෙළ පංති දක්වා සිසුන් සැලකිය යුතු පිරිසක්ට අධ්‍යාපනය ලබා දුන් මේ පාසල පසුව යම් යම් හේතුමත වැසි යන්නට ආසන්න තරමට සිසුන් අඩුවිය. අද සිසුන් 13 දෙනෙක් සිටියද ඔවුන්ට උගන්වන්නට විදුහල්පති සමඟ ගුරුවරු 10 දෙනෙක් මේ පාසලේ සිටිති. ප්‍රමාණවත් පාසල් ගොඩනැඟිලිද, සූර්ය පැනල මඟින් විදුලියද ඇතුළු තවත් භෞතික සම්පත් බොහෝය. එසේ තිබෙද්දී පාසලේම සිටින සිසුන් 13 දෙනාට පසුගියදා දොරගුළු වැසුණේ ගුරු අරගලයට පළමු තැන දුන් නිසාය.

ප්‍රදිප් නිශ්ශංක ගජසිංහ මේ පාසලේ ස්ථීර පත්විම් ලද ගුරුවරයෙකි. වසර 14 ක ගුරු සේවයක් හිමි ඔහු සැමවිටම දරුවන් වෙනුවෙන් පෙනි සිටින්නෙකි. එළඹුනු 21 වැනිදා උදෑසන පාසලට පැමිණි ඔහුට දකින්නට ලැබුණේ වසා ඇති පාසල් දොරටුවත් එතැන රොක්වී සිටින දරුදැරියනුත්ය. සියල්ල ඇරඹෙන්නේ එතැන් සිටය.

“ඔක්තෝම්බර් 10 වැනිදා ගුරු වැටුප් ගන්න කලාපයට ගියහම මම කිව්වා, මට මගේ රස්සාව කරන්න අයිතියක් තියනවා. ඒ නිසා මම පාසලට යා යුතුයි මට ඊට පහසුකම් ලබා දෙන්න කියලා. ඒ අනුව 21 වැනිදා උදැසන 7.05 ට අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුව මම පාසලට පැමිණියා. ඒත් පාසලේ ප්‍රධාන ගේට්ටුබේ ඉබි යතුර දමලා. එය විවෘත කරන්න යතුරුත් නැහැ. ඒ වන විට සිසුන් සැහෙන කාලයකට පසු පාසලට එමින් සිටියා. අභ්‍යාසලාභි ගුරුවරු තිදෙනාත් පැමිණ සිටියා. අපි 7.25 වෙනකම් ගේට්ටුව විවර කරයි කියලා බලා සිටියා. යතුරු තියෙන්නේ විදුහල්පතිතුමා ගාව. එතුමා ඉන්නේ කිලෝ මීටර 8 ක් පමණ දුරින්. කොහොම වුණත් පාසලට ඇතුළු වීමට ගේට්ටුව නොඅරින බව දැනගත් නිසා මම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට කොල් කර කිව්වා, මම වෘත්තිය අරගලයට සහය දෙන්නේ නැහැ. මට රැකියාව කරන්න අවශ්‍යයි. ඒ නිසා මම යතුර කඩා ගෙන හෝ පාසලට යනවා කියලා. මේ අවස්ථාවේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක විදුහල්පතිතුන්ට කතා කරන බවත්, ටිකක් ඉවසා සිටින ලෙසත් දැන්වුවා. ඒත් ඔහුට විදුහල්පතිතුමා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණා. ඒ වන විටත් ළමුන් 8 දෙනෙක් ගේට්ටුව ගාව. උදේ 7.30 පසුවීම මට ප්‍රශ්නයක්. රතු ඉර වැටෙනවා. මේ අතර අනධ්‍යන සේවකයා යතුර ගේන්න විදුහල්පතිතුමාගේ නිවසට පිටත් වුණා. මේ වෙලාවේ දෙමවුපියෝ පාසල ඉදිරිපිට පන්සලට ගිහින් මිටියයි, යකඩ උලකුයි අරගෙන පාසලට ආවා. මම හැමෝම එතැන සිටියදි යකඩ උලෙන් ගහලා ගේට්ටුව විවෘත කළා. දරුවෝ 10 දෙනෙක් එදා පාසලට ආවා. ඉන්පසු ළමයින්ව ආගමික වතාවත් වල යෙදෙව්වා. දෙමවුපියන් යොදවා ශ්‍රමදානයත් කර පාසල පිරිසුදු කළා. නමුත් දරුවන්ට ඉගැන්වීමට හැකියාවත් තිබුණේ නැහැ. පාසල් පංති කාමරත් දොරගුළු දා වසා තිබු නිසා. අප ළඟ යතුරු නැහැ. ඉන්පසු මම වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට දුරකථන ඇමතුමක් දී ඇසුවා, “දැන් මොකද කරන්නේ“ කියලා. ඔවුන් එය කඩන්න අවසර දුන්නා. මම ශාලාවේ ඉබ්බත් කඩලා ශාලාව සුද්ද කර දරුවන්ට උගන්වන්න ගත්තා. දරුවෝ 12.30 ට නිවෙස්වලට යැව්වත් අපි 1.30 වෙනකම් පාසලේම සිටියා. මේ අතර විදුහල්පතිතුමා දොරගුළු කැඩුවා කියලා පොලිසියට පැමිණිල්ලක් දාලා. හපුතලේ පොලිසියෙන් පාසලට ඇවිත් විස්තර ගත්තා, ඡායාරුපගත කළා. කඩපු ඉබි යතුරු වෙනුවට පොලිසිය ඉදිරිපිටම අලුත් ඒවා දැම්මා. පරණ ඉබි යතුරු පොලිසිය මගෙන් ඉල්ලා ගත්තා. අලුත් යතුරු මට ගෙදර ගෙන ගොස් පසුවදාට ගෙනෙන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා දැනුම් දුන්නා. ඒ අනුව මම ගෙදර ගොස් 22 වැනිදා පාසලට ඇවිත් පෙර සේම මගේ යතුරෙන් පාසල් දොරගුළු විවෘත කරලා ළමයින්ට ඇතුළට එන්නට අවසථාව දුන්නා. ඒත් විදුහල්පති හෝ ස්ථීර ගුරුවරු එදත් පැමිණ සිටියේ නැහැ. මේ සිදුවීම 21 වැනිදා බොහෝ රූපවාහිනි නාලිකාවලින් පෙන්වන්න පටන් ගත්තා.“

අප හා සිදුවීම පැවැසුවේ දෙරගුළු වැසුණු පාසල ඇර නැවතත් අධ්‍යාපන වරම් ලබා දෙන්නට පාසල් දරුවන්ට මානුෂික පියවරක් ගත් ප්‍රදීප් නිශ්ශංක ගජසිංහ ගුරුතුමාය.

පොලොන්නරුව පළුගස්වැව මධ්‍ය මහා විදුහලෙන්ද, වැලිමඩ බෝගහකුඹුර විදුහලෙන්ද අධයාපනය ලැබූ ප්‍රදීප් ගජසිංහ පාසල් අධ්‍යාපනය නිමා කළේ දෙමවුපියන් විසින් වගාකර හරිහම්බ කර ගත් සොච්චමට පිං සිද්ධ වන්නටය. ඉගෙන ගැනීමට බොහෝ දුක් විදි ඔහු 2006 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කලා උපාධිය ලැබීය. ඔහු අනතුරුව ගුරුවරුයෙකු ලෙස ඌව පරණගම, යාලගමුව අති දුෂ්කර පාසලේ සේවයට එක්වන්නේය. ගුරු වෘත්තියේ යෙදී සිටයදීම ප්‍රදීප් නැතිබැරිකම් පසෙක ලා ශාස්ත්‍රපති උපාධිය සඳහා කැළණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේය. ප්‍රදීප්ට සහෝදරයින් තිදෙනෙකු සිටින අතර එක් සහෝදරයෙකු වැලිමඩ කලාප කාර්යාලයේද, තවත් සොහොයුරෙකු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේද, අනිත් සොහොයුරා ගොවිතැනේද නියැලෙන්නේය.

“මට මුලින්ම ලැබුණේ වැලිමඩ කලාපයේ අවසානයේ අති දුෂ්කර පාසලක්. පාසලට යන්න බස් නැහැ. කිලෝ මීටර 90 ක් පමණ බස් එකින් ගිහින් අවසන් බස් නැවතුම වන මස්පන්නෙන් බැසිය යුතුයි. එතැන් සිට කිලෝ මීටර 10 ක් පයින් පාසලට යායුතුයි. මම මාස 8 ක් දරුවෝ වෙනුවෙන් මේ දුක වින්දා. පසුව ශාස්ත්‍රපති උපාධිය කරන නිසා මාරුවක් ඉල්ලා සිටියහම ලැබුණේ බණ්ඩාරවෙල කලාපයේ කිරිවානාගම නවෝද්‍යා අති දුෂ්කර පාසල. එම පාසලේ මම මාස 8 ක් හිටියා. පසුව වීරකෝන්ගම පාසලට මාරුවීමක් ලැබුණා. ඉන්පසු බඹරකන්ද දිය ඇල්ල පාමුල ඇති නැදුන්ගමුව විදුහලට මාරු වීමක් ලැබුණා, ක්‍රීඩා ගුරුවරයෙකු ලෙස. ඒ පාසලේ ලෙදර් ටිම් එකක් හැදුවා. ඉන්පසු වැසී යාමට ආසන්න පාසලක් වූ ඇල්ල වැලිමඩ පාසලේ වැඩ බලන විදුහල්පතිවරයෙකු ලෙස පත්වීමක් ලැබුණා. ළමුන් තුන්දෙනෙකු සිටි පාසලට මම ළමුන් 15 ක් දක්වා වැඩි කර ශිෂ්‍යත්ව විභාගයෙන් එක් ළමයකු සමත් කළා. මේ අතර මගේ රැකියාව අහෝසි වන්නේ දේශපාලන බලපැමකින්. නැවතත් වසර කිහිපයකට පසු විනය පරික්ෂණයකින් නිදහස් වී පත්විමත් ලද මා පැමිණෙන්නේ රත්කරව්ව මාලිගාතැන්න පාසලට...“ ප්‍රදීප් සිය ගුරු ජීවිතය ගැන ද අපහා පැවැසීය. තැපැල් ස්ථානාධිපතිනිලෙස සිය බිරිඳ කටයුතු කරන අතර ඔවුනට දියණියන් දෙදෙනෙකි. තම දියණියන් දෙදෙනාට පමණක් නොව පාසල් දරුවන්ටද ඔහු පියෙකි. ඔහුට දේශපාලනයක් නැත. දැන ගන්නට ලැබුණ තොරතුරු අනුව පාසලේ විදුහල්පතිවරයා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අතර ලංකා ගුරු සේවා සංගමයේ වැලිමඩ කලාපයේ ලේකම්ය.

“රාජකාරියේදි අපි අතර දේශපාලන මත ගැටුම් නැහැ. මම කවදාවත් මගේ ජිවිතයේ කිසිදු ගුරු අරගලයක් වෙනුවෙන් සටන් කරපු කෙනෙක් නෙමේ“ ප්‍රදීප් පවසන්නේය. තම පංතියට සිටින්නේ දෙමළ ජාතික සිසුන් දෙදෙනෙකු පමණි. මේ දරුවන් පසුගිය කාලයේ කිසිදු ඔන්ලයින් අධ්‍යාපනයක් හැදැරුවේ නැත. ඒ ඔවුන්ට ඒ සදහා පහසුකම් නොවුණ බැවිනි. දරු කැළක් නොවුණත් මේ අහිංසක දරු දෙදෙනාගේ වගකීම මේ ගුරුවරයා අතය. පාසල් දරුවෝ බලා සිටින්නේ පාසලට ඒමට නම් දොරගුළු කඩා හෝ පාසල් දොරගුළු විවිර කර අධ්‍යාපනය ලබා දීම ගුරුවරුන්ගේ වගකීම නොවන්නේදැයි අපි අසමු. කෙසේ වෙතත් දැන් මෙය ප්‍රශ්නයක් වි හමාරය. විදුහල්පතිටද, මේ ගුරුවරයාටද, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකටද දරුවන්ට පාසල ඇර දුන් නිසාවෙන් දැන් පොලීසි ගානේ රස්තියාදු වීමට සිදුව ඇත්තේය. ඒ පොදු දේපල වලට හානියක් සිදුව ඇතැයි හා රජයේ දේපලකට අනර්ථයක් සිදු කිරීම යන නීතිමය කරුණු පදනම් කර ගෙනය.

“පොදු තීරණයකට අනුව මමත් ගුරුවරු 5 දෙනෙකුත් පාසල් පැමිණියේ නැහැ. විදුහල්පති ලෙස ඉබි යතුරු තියෙන්නේ මා ළඟයි. මෙය සැලසුම් සහගතව සිදු වු ක්‍රියාවක්. මේ නිසා මමත් පැමිණිල්ලක් දැම්මා. ඒ අයත් මට විරුද්ධව පැමිණිල්ලක් දාලා. පොලිසිය මගෙන් ඉල්ලා සිටියා මේ ප්‍රශ්නය සමථයකට පත් කිරීමට. නමුත් මෙතැනදි ගැටලුවක් මතුවෙනවා. පාසල කියන්නේ රාජ්‍ය දේපලක්. මම දන්නේ නැහැ එවැනි අවස්ථාවකදි සමථයකට පත් කිරීමට මට ඇති බලය කුමක්ද කියා. මේ ගැන මම කල්පනා කළ යුතුයි. ඒ සඳහා මම දින දෙකක කාලයක් ඉල්ලා සිටියා. “ විදුහල්පති ඩබ්ලිව් එම් ගුණවර්ධන පැවැසුවේ එසේය.

ගමේ පන්සල පිහිටියේද මේ පාසල ඉදිරිපිටදිය. දෙමවුපියන් විසින් පාසලේ දොරගුළු විවර කිරීම සඳහා ආයුධ ගෙනැවිත් තිබුණේ ගමේ පන්සලෙනි.

“කලින් 10 වසර දක්වා තිබූමේ පාසල දැන් තියෙන්නේ 5 වසර දක්වා පමණයි. අවශ්‍ය පහසුකම් ඇති වෙන්න තිබුණත් මේ ගුරුවරු ගන්නා ක්‍රියාමාර්ග ගැන හරිම කණගාටුයි. පාසලට එන දරුවෙකුට අධ්‍යාපනය ලබා දීම ගුරුවරුන්ගේ වගකීමක්. යම් යම් දේශපාලන සම්බන්ධකම් නිසා මේ පාසලට කණගාටුුදායක තත්ත්වයක් උදාවෙලා. මේ පාසලට උදැසන 6.15 ට එන ගැහැණු ළමයෙකුත් ඉන්නවා. එ දරුවගේ අම්මා මල්පැළ තවානක රැකියාවට යන නිසා දරුවා පාන්දර සිට ඉන්නේ පාසලේ ගේට්ටුව ගාව. පාසලේ ගේට්ටුව උදැසන 7.30 ටත් ඇරියේ නැහැ කියන්නේ මේ දරුවන් හරිම අනාරක්ෂිතයි. ඊටත් වඩා ඉබි යතුරු දමා තිබීම ශෝචනියයි . මෙවැනි අවස්ථාවක මෙම ගුරුවරයා ගත් ක්‍රියා මාර්ගය හරිම මානුෂිකයි“ ඒ ගමේ පන්සලේ නායක හිමියන් වන පූජ්‍ය සොරගුණේ සෝමානන්ද හිමියන්ය.

“අපේ දරුවන්ට ඔන්ලයින් නැහැ. දරුවෝ ඉස්කෝල පටන් ගන්නතුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ. දරුවෝ එදා ආසාවෙන් පාසල් ආවේ. ඒත් ගුරුවරු ඇවිත් හිටියේ නැහැ. පාසලත් ඉබි යතුරු දාලා වහලා. මේ නිසා ගජසිංහ සර් තමයි අපේ දරුවෝ පාසලට ඇතුළු කළේ “ ඒ මවක් අපට කියූ කතාවය.

ළමයින්ට පාසල ඇරදීම නිසා වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකටද හේතු බඳින්නට සිදුව ඇත්තේය. සිළුමිණ කළ විමසීමේදි ඔහු පිළිතුරු දීම පවා ප්‍රතික්ෂේප කළේ මේ වන විට ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවිනි.

“මේ පාසල දුෂ්කරයි. හොඳ පාසලකට යාහැකි ළමයි වෙනත් පාසල්වලට යනවා. ඉතුරු වූ පිරිසක් තමයි මේ පාසලට යන්නේ. ගුරුවරුන්ට වෘත්තිය ක්‍රියාමාර්ග වල යෙදීමේ අයිතිය තිබුණත් පාසලට ඉබි යතුරු දාන්න අවශ්‍ය නැහැ. රැකියාවට එන අයට ඊට අවස්ථාව දිය යුතුයි. මෙතැන පොදු දේපලකට හානි සිදුවී නැහැ. තිබුණ ඉබ්බා ඉවත් කර ඊට අලුත් ඉබ්බෙක් දැමීම පමණයි සිදුවී ඇත්තේ. ඒ වගේම දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමේ අවස්ථාවක් හිමිකර දීමක් පමණයි වුණේ,“ අපහා එසේ පැවැසුවේ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම් රත්නායකය.

පසුගිය 21 වැනිදා ඌව පළාතේ සිසුන් 200 ට අඩු පාසල් 476 ක් විවෘත වූ අතර සිසුන්ගේ පැමිණීම 15% ක් වාර්තා විය. ඒ දරුවන්ගේ එකම අපේක්ෂාව වූයේ පාසල් යාම නිසාය.

“පාසල් ඇරීමට තීරණය කිරිම ජාතික ප්‍රතිපත්තියක් අනුව ගත් තීරණයක්. ඒ නිසා දරුවන්ට පාසල් විවෘත විය යුතුයි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ උපදෙස් මතයි, දොරගුළු කඩලා සිසුන් පාසලට ඇතුළත් කළේ. මේ වන විට පොලීසියේ ඊට විරුද්ධව පැමිණිල්ලක් ක්‍රියාත්මක වෙනවා. එසේම දෙපැර්තමේන්තු මට්ටමින්ද පරික්ෂණයක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දි තියෙනවා....“ ඒ ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම් මුසම්මිල්ය.

මේ අනුව යම් වැරුද්දක් සිදුවි ඇත්තේ එම ගුරුවරයා අතින්ද නැතිනම් විදුහල්පතිවරයා අතින්ද නැතිනම් කලාප බලධාරින් අතරින්ද යන්න ඉදිරියේදී පරික්ෂණයක් පැවැත්වීමට නියමිතය.

“සිද්ධිය සම්බන්ධව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබුණා. ඊට අදාළ කටයුතු අපි අවසන් කළා. ඉන්පසු අපි එය කලාපයට බාර දුන්නා, ආයතන සංග්‍රහයට අනුව චක්‍රලේඛානූකුලව කටයුතු කර තිබේද නැත්ද යන්න විමසීමට ආයතනික විනය පරික්ෂණයක් සිදු කරන ලෙස. දැන් පාසල සාමාන්‍ය පරිදි කටයුතු කර ගෙන යනවා.....“ ඒ හපුතලේ පොලිස් ස්ථානාධිපති සාගර දයාරත්නය.

“වෘත්තීය සමිති ආඥා පනතට අනුව දැනුම් දී වැඩ වර්ජනයක් කළත් අදාළ විදුහල්පතිවරයාට වගකීමක් තියෙනවා තමන් ඊට සහභාගි වේනම්, පාසලේ යතුරු කලාප අධ්‍යාපන කාර්යාලයට බාර දීමට. සේවා ස්ථානයට ඇතුළු වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකියි. ඉබි යතුර කැඩූ පලියට මෙය පොදු දේපලට සිදුවූ හානියක් යැයි පැවසීමට බැහැ. දරුවන්ගේ අධ්‍යාපනය විවර කරන්න යහපත් චේතනාවෙන් කළ දෙයක්. නමුත් පොලීසියට දැනුම් දී ඔවුන් ඉදිරිපිට සිදු කළා නම් මීට වඩා සාර්ථකයි. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනයේ භාරකරු අධ්‍යාපන අමාත්‍යාංශය නිසාත්, පාසලේ ඉබි යතුරු වැඩ වර්ජකයින් අත නිසාත් අමාත්‍යාංශයට ඊට වාරණ නියෝගයක් ගත යුතුව තිබුණා.“යැයි මේ පිළිබඳ කළ විමසුමකදී මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමය.

දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ප්‍රදීප් නිශ්ශංක ගජසිංහ ගුරුතුමා දෙවරක් සිතුවේ නැත. ඔහු කළ හැති සියල්ල කළේ දරුවන් වෙනුවෙනි. කවුරුන් කුමක් කීවද, මෙවන් යුගයක සැබැවින්ම ඔහු ගුරු දේවතාවෙකි.

ඡායාරූප -

ආර් රාජමන්ත්‍රී, වැලිමඩ සමූහ

 

Comments