ආසියාවේ පැරණිතම නගර සභාව වන කොළඹ මහ නගර සභාව දෙවෙනි වන්නේ පාර්ලිමේන්තුවට පමණි. බස්නාහිර පළාත් සභාව යටතේ පැවතුණ ද ජනතාවගේ පොදු පහසුකම් හා ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ඍජුවම කොළඹ මහ නගර සභාව මුල්වන හෙයින් ද, බිම් මට්ටමේ සිට ජනතාව හා සමීප සබඳතා ඇත්තේ ද නගර සභා මන්ත්‍රීන් වීම විශේෂයි.
දිනපතාම කොළඹට පිට පළාත්වලින් පැමිණෙන පිරිස ලක්ෂ 6ක් පමණ වේ. කොළඹ ජීවත්වන ජනගහනයෙන් හරි අඩක්ම වෙසෙන්නේ වතු ආශ්‍රිත අඩු පහසුකම් සහිත මුඩුක්කු හා පැල්පත් නිවාස මෙන්ම පැරණි අබලන් වූ තට්ටු නිවාසවලය.
සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, යුරේසියන් හා යුරෝපීයන් ආදි බහුවිධ ජන කොට්ඨාස රැසක් සඳහා නිවාස, සෞඛ්‍ය, ජල විදුලිය, වැසිකිළි, මල නාළිකා කුණු කසළ බැහැර කිරීම්, අපවිත්‍ර ජල කානු පද්ධති, මරණාධාර, පුණ්‍යාධාර, මහලු නිවාස, ළදරු නිවාස, මැහුම් මධ්‍යස්ථාන, ක්‍රීඩා භූමි, ප්‍රජාශාලා, මංගල ශාලා, බටහිර හා ආයුර්වේද බෙහෙත් ශාලා, මාතෘ නිවාස, ගිනි නිවන අංශ, නාගරික උසාවි, සුසාන භූමි, එළු ගව ඝාතකාගාර, මහජන හා ජංගම පුස්තකාල, නිවාස සැලසුම්, මැනින් මාකට්, පදික වෙළෙඳ සැල් ඇතුළු ජනතාවට සෙත සැලසෙන සේවාවන් 15,000 ඇත. නාගරික වතු නිවාස 1600 වැඩි අතර 51% එහි ජීවත්වන්නේ නගරයේ ශ්‍රම හමුදාවයි.
කොළඹ නගර සභාවේ මුල් වසරේ ආදායම රන් පවුම් 6,429 විය. ලංකාවේ රුපියල් ශත භාවිතයට පැමිණි 1872 වර්ෂයේදී සභාවේ ආදායම රු. 296494 කි. 1866 දී නගර සභාවේ ප්‍රධාන ආදායම් මාර්ග වූයේ තක්සේරු වරිපනම් බදු, වාහන හා සත්ව බදු, පරිවර්තිත බදු, වීථි රේන්ද බදු, පාලම් හා ඇළවල් බදු, සත්ව ඝාතන බලපත්‍ර, ප්‍රවාහන, වයින් හා සිල්ලර වෙළඳ බලපත්‍ර, තුවක්කු බලපත්‍ර, නීතිඥ අධිනීතිඥ නොතාරිස් සහතික මුද්දර ගාස්තු, වෙළඳපොළ හා මස්මඩු ගාස්තු, පොලිසිය හා නාගරික මහේස්ත්‍රාත්වරුන් විසින් අය කරනු ලැබූ දඩ මුදල් යන මේවාය. වර්ෂ 1899දී නගර සභාවේ ආදායම රුපියල් 10,88,519 වූ අතර වියදම රු. 9,27,229 විය. කෙසේ වෙතත් දිගු කාලයක් මුළුල්ලේ කොළඹ මහනගර සභාවේ කඩ කුලිය, නිවාස කුලිය, වරිපනම් බදු පහළ මට්ටමක තිබුණත් පසුගිය වකවානුවේ බදු කුලිය ඉහළ ප්‍රතිශතයකින් ඉහළ දමා ඇතැයි නගර වැසියෝ චෝදනා කරති. නගර සභාව හොර ගුහාවක් බවත් ඉහළ නිලධාරින් සිට පහළ සේවකයන් දක්වාම සූක්ෂම අන්දමින් ගසා කන බවත් බොහොමයකගේ අදහසයි. මේ පිළිබඳව කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ගෙන් විමසා බැලුවෙමි.
මේ වන විට කොළඹ මහ නගර සභාවේ සමස්ත අනුමත කාර්ය මණ්ඩලය 8,791 කි. දැනට 6,038ක් සිටින අතර 2789ක් පුරප්පාඩුව පවතී. කොළඹ මහ නගර සභාව පිහිටියේ රටේ ආර්ථික මර්මස්ථානය කේන්ද්‍ර කර ගනිමිනුයි. මහා භාණ්ඩාගාරය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති, අගමැති කාර්යාල, අධිකරණ පද්ධතිය, නීති කෙටුම්පත් හා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හා දූෂණ කොමිසම ඇතුළු විශාල රාජ්‍ය යාන්ත්‍රණ පද්ධතියක් පිහිටා තියෙන්නේ කොළඹ ය. ජනප්‍රිය පාසල්, විදේශ තානාපති කාර්යාල, විදේශ රාජ්‍ය නොවන ආයතන ඇතුළු රටේ වැදගත් ප්‍රධාන ආයතන රාශියක් පිහිටා ඇත්තේ වර්ග කි.මී. 37 සිසාරා විහිදුණු කොළඹ නගර සභා බල ප්‍රදේශයේ බව නිලධාරීහු පවසති.
“ප්‍රධාන පෙළේ හෝටල්, ව්‍යාපාරික ස්ථාන, මහල් නිවාස, පෝට් සිටි ඇතුළු බහුවිධ කාර්ය භාරයන් ඉටුකෙරෙන කොළඹ මහ නගර සභාවට අනිත් නගර සභාවලට වඩා බදු ආදායම් එකතු වෙනවා තමයි. ඒත් එක්කම කොළඹ මහ නගර සභාවට මහා පරිමාණ වියදම් තියනවා. කැළිකසළ බැහැර කිරීමට පමණක් වසරකට මිලියන 2,000ක් වැය කරනවා.“
මීට අමතරව මහජන ආධාර දෙපාර්තමේන්තුවේ වියදම්, දරිද්‍රතා සහනාධාර, ප්‍රසිද්ධ පුණ්‍යයායතන, අධ්‍යාපන ආධාර, පෙර පාසල් සඳහා ආධාර, දේශීය හා බටහිර ඖෂධ ලබාදීම, ක්‍රීඩා භූමි, ක්‍රීඩා ගොඩනැඟිලි සංවර්ධනය, මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ පාරවල් කානු මළාපවහන පද්ධතිළ නාළිකා නඩත්තුව, මාර්ග සංවර්ධනය, නගර සභා වාහන 1400 ඉන්ධන වියදම්, නගර සභා ගොඩනැඟිලි අලුත්වැඩියාව ආදී විශාල වියදම් ප්‍රමාණයක් යෙදෙන නගර සභාවේ රජයේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම සඳහා මධ්‍යම රජයෙන් ආධාර ලැබුණත් නගර සභාවේ සේවා දියත් කරනුයේ 58% වන වරිපනම් බදු මුදලින්.
කොළඹ නගර සභාවට 2018 වසරේදී සමස්ත ආදායම රුපියල් මිලියන 3584ක් ද, 2019 වසරේදී රුපියල් මිලියන 3738 ද, 2021 වසරේදී රු. මිලියන 3150 ලැබී ඇත. වරිපනම් වෙළඳ බලපත්‍ර ගාස්තු, වෙළඳ බදු, විනෝද බදු, මස් වෙළඳසැල් බලපත්‍ර, ගිනි ආවරණය සහතික, ප්‍රසිද්ධ රඟ දැක්වීම්, ගොඩනැඟිලි සඳහා නිත්‍ය බලපත්‍ර, වෙළඳ දැන්වීම්, රථවාහන නවතා තැබීම්, සුසාන භූමි උත්සව ශාලා කුලියට දීම, වාණිජ හා කර්මාන්ත මළාපවහන සේවා ගාස්තු, ආදායම්, මළනාලිකා සුද්ද කිරීම්, වෙළඳ අපද්‍රව්‍ය ඉවත් කිරීම, ජලාපවහන නව සබඳතා ගාස්තු අයකිරීම, මුද්දර ගාස්තු, පාරිසරික බලපත්‍ර ආදී ආදායම් අංශ 70 පමණ ඇත.
“සාමාන්‍යයෙන් ජනතාව වසංගතය නොමැති යුගයේ 81% පමණ බදු මුදල් ගෙවලා තිබුණා. කොරෝනා නිසා 20%ක පමණ ප්‍රමාදයක් තියනවා. විනෝද බදු වලින් වසරකට මිලියන 100ක් ලැබුණත් මේ වන විට විනෝද බදු නිදහස් කරලා තියෙන්නේ. රථ වාහනවලින් රුපියල් මිලියන 150 ලැබෙනවා.
කොළඹ නගර සභාවේ දෙපාර්තමේන්තු 16ක් යටතේ ජනතාවට සේවය ලබාදෙයි. මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, බටහිර හා දේශීය අංශය, නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ඉඩම් හා පරිසර අංශය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව, ප්‍රධාන තවත් අංශ කීපයකි. නගර සභාවේ ආදායම් වියදම් වගකීම දරන්නේ නාගරික භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව යටතේ ආදායම් කොමසාරිස් මගිනි.
කොළඹ නගර සභාවේ බදු මුදල් වැඩිවීම පිළිබඳ ජනතාව නඟන චෝදනාව සම්බන්ධයෙන් නගර සභා විපක්ෂ නායක එම්.එච්. මන්සිල් කියා සිටියේ කොළඹ මහ නගර සභා පරිපාලනයේ යම් යම් අඩුපාඩුකම් තිබුණත් කොළඹ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ද සිදුකරන බවයි. වරිපනම් එකතු කිරීම තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන අතර වසර 5 ට වරක් තක්සේරුව වැඩි කරන බව සඳහන් කළේය. මේ ඔහුගේ හඬයි.
“කොළඹ මහනගර සභාව මහා පරිමාණ වශයෙන් බදු වැඩි කරනවා ගසා කනවා, පගා ගහනවා කියලා ආරංචි මාර්ග වලින්, යම් යම් පුවත්පත්වලින් කියනවා තමයි. නමුත් කවුරුත් ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කළොත් සාධාරණව විමසා බැලිය හැකිය. ඒ චෝදනා කරන්නේ වගකීමෙන් නෙමෙයිනේ. පරිපාලනයේ යම් යම් අඩුපාඩු තිබුණු අවස්ථාවලදී අපි ඊට විරුද්ධව කතා කරලා තියනවා. සමහර යෝජනා ප්‍රතික්ෂේප කරලා තියනවා. වසර 5ට වරක් තක්සේරුව වැඩි කරන නිසා බදු මුදල් ඉහළ යනවා තමයි. නගර සභා අයවැය දෙවෙනි වන්නේ පාර්ලිමේන්තුවට පමණයි. කොළඹ මහනගර සභාව හැමදාමත් විපක්ෂයේ. රජය තියන පක්ෂයටම, කොළඹ නගර සභාවෙත් බලය ලබා දුන්න නම් අපිට විශාල සේවයක් මීට වඩා කළ හැකියි.“
කොළඹ නගර සභාවට වරිපනම් බදු ගෙවන, මරදාන සිල්ලර කඩයක් පවත්වාගෙන යන ඩබ්.පී. විජේසේකර (60) ඒ ගැන මෙසේ පැවසීය.
“කඩයේ කුලිය වශයෙන් කඩ හිමියාට රු. 60,000ක් ගෙවනවා. නගර සභාවට රු. 5,000ක් ගෙවනවා. ගම මාතර වුණත් මෙහෙ ඇවිත් වසර 12 ක් කඩේ කරනවා. අපි පිටකොටුවෙන් තොගේට බඩු ගෙනැත් සාධාරණ ගාණට මිනිසුන්ට විකුණනවා. ඒත් කොරෝනා කාලේ කඩේ දිගටම වහන්න වුණා. වරින් වර කඩේ ඇරියා. නගර සභාවට වරිපනම් බදු ගෙවන්න ඕන . ජීවන වියදම, බඩු මිල ඉහළ ගිහින්. ඒ මදිවට බදු මිලත් වැඩියි. නගර සභාවේ පහළ සිට ඉහළ දක්වාම ගසා කනවා. මිනිස්සුත් ඉතින් තමන්ගේ වැඩේ කරගන්න අවශ්‍ය නිසා පගාව දීලා සද්ද නැතුව ඉන්නවා.“
තවත් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන ගෝවුස් අමීර් (58) බේරුවල සිට කොළඹට පැමිණි අයෙකි. ඔහු වරිපනම් බදු ගෙවීම ගැන මෙසේ කීය.
“කඩ හිමියාට මසකට රු. 50,000 දෙනවා. නගර සභාවට මාස 3ට වරක් රු. 3000 බැගින් ගෙවනවා. රජයේ බදු ගෙව්වෙ නැත්නම් නඩු දානවා. කඩේ ජල විදුලි බිල්පත් ගෙවලා වියදම් අතහැරියාම ලොකු ලාභයක් නෑ.“
කොළඹ නගර සභාව යටතේ පවතින මහල් නිවාසවල මෙතෙක් තිබූ රු. 27.50 හා රු. 30 මාසික කුලිය රු. 1,000 දක්වා ඉහළ දැමීම ඉතාම අසාධාරණ බව නිවැසියෝ පවසති. අඩු ආදායම් ලාභී හා මධ්‍යම පාන්තික නිවාස කුලිය මෙසේ වැඩි කර ඇත්තේ කාලානුරූපීව සිදුවූ බදු සංශෝධන අනුව බව නගර සභාවේ අදහසයි.
කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභික රෝයි බෝගහවත්ත පවසන්නේ උද්ධමනය වැඩි වීමට සාපේක්ෂව ඕනෑම රාජ්‍ය ආයතනයක් මඟින් බදු කුලිය ඉහළ දැමීමක් සිදුවිය හැකි බවයි.
“කොළඹ මහ නගර සභාව මඟින් සමාජ සුබසාධනය වෙනුවෙන් විශාල පිරිවැයක් දරනවා. ඒවා ප්‍රතිපූර්ණය කරන්නේ බදු කුලී හා වරිපනම් බදු මුදල්වලින් තමයි. විශේෂයෙන් කොවිඩ් අරමුදලට මධ්‍යම රජයෙන් මුදල් දෙන්නෙ නෑ. ජන සෞඛ්‍යය දෙපාර්තමේන්තුවෙන් විශාල පිරිවැයක් දරනවා. ඊට අමතරව පසුගිය වකවානුවේ පවුල් 1,15000 වියළි ආහාරපාන නොමිලේ ලබා දුන්නා. පක්ෂ පාට භේදයකින් තොරව කොළඹ නගරයේ බහුතරයකට අවස්ථා කීපයකදී ආහාර මලු ලබා දුන්නා. ඒත් කොරෝනා නිසා නගර සභාවට ලැබිය යුතු ගෙවල්වල බදු කුලි, වරිපනම් බදු ලැබීම් අඩුවුණා.“
කොළඹ වූ කලි අරාබි, පර්සියානු හා චීන මුහුදු යාත්‍රා විසින් ප්‍රයෝජනයට ගත් කුඩා මුහුදු තොටුපළක් විය. පෘතුගීසින් විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගත් පසු යුරෝපීය පාලකයන්ගේ ප්‍රධාන නගරය වූයේ කොළඹය. 1815 බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට ද ඈඳාගත් පසු කොළඹ මුළු දිවයිනේම අගනුවර බවට පත්විය. එවකට ආණ්ඩුකාර සර් එඩ්වඩ් බාන්ස් විසින් 1824 දී සැකසූ දිවයිනේ ජනගහන වාර්තාව අනුව කොළඹ ජනගහනය 31,188 විය. දැන් කොළඹ ජනගහනය ලක්ෂ 15ක පමණ වේ. ඡන්දය හිමි අය ලක්ෂ 5 පමණ වේ. කොළඹ නගරය අක්කර 9000ක් නැතහොත් සැතැපුම් 14 භූමි භාගයක් සිසාරා යයි. මින් අක්කර 1000 ගොහොරු බිම් ද අක්කර 213ක් වැවට යටවූ ප්‍රදේශ වේ.
‘කොළඹ‘ යන නාමයේ ප්‍රභවය පිළිබඳව අර්ථකතන රාශියකි. බ්‍රිතාන්‍යයන් විසින් 1796 දී කොළඹ අල්ලා ගත්තත්, 1815 තෙක් කොළඹ මුළු දිවයිනේම අගනුවර වූයේ නැත. නගරයේ පාලනය අයකැමියකු භාරයේ පැවති අතර මෙම පදවිය පළමුවෙන්ම දැරුවේ මදුරාසි සේවයේ ජෝන් මැක්ඩෝවල්ය. 1866 නාගරික සභාව පිහිටුවන තෙක් කොළඹ නගරය පාලනය කළේ බස්නාහිර පළාත් ආණ්ඩුවේ ඒජන්තතුමාය.
කොළඹ මහනගර සභාවක් ඇති කළ යුතු බවට මුල්වරට අදහස මතු වූයේ 1850 දීය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පනතක් සම්මත කරමින් මීට වසර 161 පෙර එනම් 1865 සර් හර්කියුලින් රොබින්සන් විසිනි. 1921 දී කාන්තාවන්ටත් ඡන්ද හිමිකම ලැබුණු අතර 1936 දී ඡන්ද දායකයන් 132808 විය. ලංකා කම්කරු පක්ෂය සමඟ 1940 දී පක්ෂ දේශපාලනය කොළඹට පැමිණුනි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අණපනත් අනුව පාලනය වුණු නගර සභාව 1865 අංක 17 දරන ආඥාපනතින් නාගරික මන්ත්‍රීවරු පත්කර 1866 ජනවාරි 16 දින මංගල රැස්වීම පවත්වා ඇත. ප්‍රථම සභාපති ලෙස C. P. ලෙයාඩ්, ලේකම් සැම්වෙල් ග්‍රෙනියර් හා මුල්ම නගරාධිපති දොස්තර රත්න ජෝති සරවනමුත්තු (1939) පත්විය.
විහාර මහා දේවි උද්‍යානයේ බුදුරුව ඉදිරිපිට අමෙරිකන් ධවල මන්දිරය මෙන් දිස්වෙන කොළඹ මහනගර සභා ගොඩනැඟිල්ල 1928 අගෝස්තු 08 දින විවෘත කර ඇත.
කොළඹ මහනගර සභාව තම දේශපාලන තක්සලාව කරගත් විද්වතුන් රැසකි. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඒ. ඊ. ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, වී. ඒ. සුගතදාස, රත්නසිරි රාජපක්ෂ, කේ. ගනේෂලිංගම්, කරූ ජයසූරිය, ඕමාර් තාමින් ඉන් අතළොස්සකි. 1952 ජනවාරි 17දි නාගරික කොමසාරිස් ලෙස කටයුතු කළ විලියම් ගොපල්ලව ශ්‍රී ලංකා ආණ්ඩුකාර ධුරයටත් ප්‍රථම ජනාධිපති ධුරයට පත්වීමත් කොළඹ නගර සභා ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියකි. එතෙක් මෙතෙක් වැඩි වාර ගණනක් කොළඹ ජයගත්තේ එ. ජා. ප. යයි. වැඩිම කාලයක් කොළඹ නගරාධිපති ධුරය හෙඹවූයේ 1978 මැයි සිට 1989 පෙබරවාරි දක්වා සිරිසේන කුරේය.