දකුණු ආසියාවේ අලුත්ම ‘වේග රජු’ යුපුන් සිළුමිණට කී කතාව
- වාර්තා කියන දේවල් දුවන දුවන හැම තරගයකදීම වෙනස් කරන්න බෑ
- රටකට සැලසුමක් තියෙනවා නම් අපට ගමනක් තියෙනවා
- වෙන රටකට දුවනවා කියලා තවම තීරණය කරලා නැහැ
- ජයග්‍රහණ ඕනෑ නම් වැඩි වැඩියෙන් ක්‍රීඩාවට ආයෝජනය කරන්නම ඕනෑ
- වෙන රටකට ආරාධනාවක් ලැබෙනවා කියන්නේ මගේ වටිනාකම තේරුම් ගන්න හොඳ මිනුම් දණ්ඩක්
වාසනාව ගැන නොසිතන්න. වෙහෙස වී වැඩ කිරීම සම්බන්ධයෙන් විශ්වාසය තබන්න“ යැයි මුලින්ම කීවේ ඔහු නොවූවද හෙතෙම එකී කියමන හිස මුදුනින් පිළිගන්නෙකි. ඒ අනුව වැඩ කරන්නට ද දෙවරක් නොසිතයි. ඒ අන් කිසිවකු නොව මේ ගෙවෙන මොහොතේ දකුණු ආසියාවේ අලුත්ම ‘වේග රජු’ ලෙස සැලකෙන යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ය. අහස් කුස සුන්දර වන්නේ කළු වලා තුළ රිදී රේඛා මතුවන විටය. ඒත් කළු වලා තුළින් රිදී රේඛා මතුවන තුරු නොඉඳ අඳුරු වලාවන් රිදී වලා බවට පත්කර ගන්නට ද පුළුවන. මේ එවන් අපේක්ෂාවන් මල් ඵල ගන්වන රිදී රේඛා හැඩ වැඩ කරන්නෙකුගේ හඬයි.
යුපුන් යනු මෙරට පමණක් නොව දකුණු ආසියාවේ ද මීටර් 100 ඉසව්වේ වේගවත්ම ධාවන කාලය සටහන් කළ මිනිසාය. ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේදී මීටර් 100 ඉසව්වට තත්පර 9.96ක කාලයක් සටහන් කළ යුපුන් අබේකෝන් එම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව පිහිටු වීමට සමත් විය. යුපුන් දකුණු ආසියාවෙන් මීටර් 100 තත්පර 10ට අඩුවෙන් අවසන් කළ පළමු මලල ක්‍රීඩකයා බවට පත් වූ අතර, ශ්‍රී ලංකාව මීටර් 100 තත්පර 10ට අඩුවෙන් අවසන් කළ කෙටි දුර ධාවන ක්‍රීඩකයකු සිටින 32 වැනි රට බවට පත්වද්දී, යූපුන් මීටර් 100 තත්පර 10 සමාජයේ 167 වැනි සාමාජිකයා ද විය.
අගෝස්තු මාසයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් පසුව යුපුන් මව්බිමට පැමිණි සිළුමිණ හා කතාබහකට එක්කර ගැනීමට අපට හැකිවිය.
“මම මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ රාශියක් අත්කර ගත්තා. දකුණු ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ කිසිම ක්‍රීඩකයකුට ළඟා වෙන්න බැරි වූ මේ ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් නිමාවට පත් කරමින් මම ඉතිහාසගත වුණා. මේ පහුගිය අවුරුදු තුනක කාලයක් බලාගෙන ඉඳලා පියවරෙන් පියවර ආපු ගමනක ප්‍රතිඵලයක්. බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ලෝකඩ පදක්කම දිනා ගත්තා. ලෝකයේ පවත්වපු සියලුම ධාවන තරග සඳහා සහභාගී වෙන්න පුළුවන් වුණා. මගේ මේ ජයග්‍රහණ අඛණ්ඩ පුහුණුවීම්වල ප්‍රතිඵලයි.
මූලික ඉලක්ක දෙකක් තියාගෙනයි මේ අවුරුද්ද පටන් ගත්තේ. ඕනෑම ක්‍රීඩකයෙක් තරගයකට යන්නේ දිනන්න මිසක් නිකම්ම නිකන් අත් දෙක වන වන එන්න නෙවෙයි. ඒත් තරගයකට යන්න කලින් අපි ලබා ගන්නා ස්ථානය ගැන අනාවැකි කියන්න බෑ. මොනවා වුණත් අපි ටීම් එකක් විදියට ඉලක්කවලට ගියා.”
ඒ ජයග්‍රහණවලින් පසුව යුපුන් සිය කණ්ඩායම, මෙරට ක්‍රීඩා බලධාරීන් සහ මලල ක්‍රීඩා සංගමය සමඟ වැදගත් කතාබහක් කළේය. ඒ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව වෘත්තිය මට්ටමට ගෙන එන්නේ කෙසේද යන කරුණ සම්බන්ධයෙනි.
“මීට දසක දෙකකට කලින් විතර දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් අපට හිටියා. හැබැයි එතැනින් පස්සේ අපට මොකද වුණේ කියන කාරණය ගැන පවා ලොකු කතාබහක් ඇති වෙලා නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් විතර අතරින් පතර බිහි වෙලා තියෙනවා. නමුත් පහුගිය දවස්වල මම කරපු දේවල් එක්ක යම් පිබිදීමක් ඇති වෙලා තිබීම ගැන යම් සතුටක් තියෙනවා. මේ වගේ දේවල් හරියට කළමනාකරණය කර ගත්තොත් අපට ඉදිරියේදී විශාල ජයග්‍රහණ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් බිහි කර ගන්නත් පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.අපට දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඒ අයව ඉදිරියට ගේන්නේ කොහොම ද කියලා අපේ මලල ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය වගේම ඔලිම්පික් කමිටුවත් සැලසුම් කරන්න ඕනෑ. මේ සියලු දෙනා එකතුවෙලා තව අවුරුදු තුන හතරක් ඉලක්ක තියාගෙන වැඩ කරනවා නම් මට වගේ ම මගේ ටීම් එකටත් කරන්න පුළුවන් ඕනෑම උදවුවක් රට වෙනුවෙන් කරන්න පුළුවන්.”
ඔහු පවසන්නේ රට ගැන සැබෑ හැඟීමෙනි.
“මේ අවුරුද්දේ තරග දිහා ආපු හැරිලා බලන කොට මේ ගමනට ලෑස්ති වුණේ 2020 ඉඳලා කිවුවොත් හරි. අපේ ගමනට ෂෝට්කට් නෑ. මේ ගමන ආවේත් පියවරෙන් පියවර වගේම තව අවුරුද්දක් මේ විදියටම ඉදිරියට යනවා. දැන් තියෙන ලොකුම ඉලක්කය ලබන අවුරුද්දේ තියෙන ආසියානු තරගාවලිය. ඊට පස්සේ ආසියානු ශූරතාවලිය එනවා. අගෝස්තු විතර වෙද්දි ලෝක ශූරතාවලිය. ඒ වගේම යුරෝපයේ තියෙන හැම ප්‍රධාන තරගාවලියකටම ඔය අතර යනවා.මේ වෙන කොට මීටර් 60,100,150 සහ 200 ඉසව්වල දකුණු ආසියානු වාර්තාවලට හිමිකම් කියනවා.මේ අවුරුද්දේ වාර්තා අනුව ආසියාවේ වේගවත්ම කාලය වාර්තා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ආසියාවේ සමස්තයක් විදියට ගත්තම දැනට හොඳම හතර වැනි කාලයත් මගේ. වාර්තා කියන දේවල් දුවන දුවන හැම තරගයකදීම වෙනස් කරන්න බෑ. ඒත් මම හැම තරගයකදීම උත්සාහ කරනවා අලුත් දෙයක් කරන්න. ලබන අවුරුද්දේ තව තවත් පුහුණුවීම් කරලා අලුත් දෙයක් කරන්න හැම වෙලාවේදීම උත්සාහ කරනවා. මගේ ටීම් එක අලුතින් සැලසුම් හදාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මහන්සි වෙන්නේ නැතුව අලුත් දේවල් කරන්නේ නැතුව ඉදිරියට යන්න අමාරුයි.”
තමාට එල්ල වන විවේචන සහ චෝදනා ගැන යුපුන් පැහැදිලි කළේ මෙලෙසිනි.
“අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෘත්තීය මට්ටමට ගේන්න ඕනෑ. ඒ වටිනාකම අපේ රටේ හැම ක්‍රීඩාවකටම දෙන්න ඕනෑ. මම දන්න තරමින් නම් අපේ රටේ ක්‍රිකට් හැර වෙන කිසිම ක්‍රීඩාවකට තියෙන වෘත්තිය වටිනාකම අඩුයි. අපේ රටේ හොඳ ක්‍රීඩා ආර්ථිකයක් හදන්න ඕනෑ. ඒ වගේ දේවල් වෙන්නේ නැති පසුබිමක තමයි මම දකුණු ආසියාවේම ඉතිහාසය වෙනස් කරපු වෙලාවක ඒ වගේ විවේචනාත්මක ප්‍රකාශයක් කළේ.
මම අදත් විශ්වාස කරනවා ඒ විවේචනවලට උත්තර ලැබේවි කියලා. මේ විවේචනය මම විතරක් ඉස්මතු වෙන්න කරපු දෙයක් නෙවෙයි. මගෙන් පස්සේ එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඒ දේවල් ඒ විදියටම ලැබෙන්න ඕනෑ , මට වඩා ඔවුන් ඉදිරියට යන්න ඕනෑ. මම වුණත් පොඩි කාලේ විශ්වාස කරපු දෙයක් තමයි ක්‍රීඩා කරලා අපේ රටේ හරි යන්නේ නෑ කියලා. මේකට වටිනාකමක් නෑ කියලා. පහුගිය කාලයේ අපේ රටේ හුඟක් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව අත්හැරලා අධ්‍යාපනයට යොමු වුණේ අපේ රටේ ක්‍රීඩාවට වෘත්තීය මට්ටමක් ලැබෙන්නේ නෑ කියලා ඔවුන්ට ඇස් දෙකටම පෙන්න තියෙන නිසයි. ඒ නිසා මගේ වචනයක් නිසා හරි මේ දේවල් හරි පැත්තට යොමු වෙලා ඉදිරියට යාවි කියලා විශ්වාස කරනවා.”
ස්විට්සර්ලන්තයේ රෙසිස්ප්‍රින්ට් ජත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේදී මීටර් 100 ඉසව්වට තත්පර 9.96ක කාලයක් සටහන් කළ අවස්ථාවේ බොහෝ දෙනකු පැවසුවේ යුපුන්ට උසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව පහසුවෙන්ම අබිබවා යා හැකි බවයි. ඒ ගැන ද අපි ඔහුගෙන් විමසුවෙමු.
“නිකන් දුවනවා වගේ පෙනුනට මේක ඇතුළේ සාමාන්‍ය කෙනෙක්ට හිතා ගන්න බැරි දේවල් ගොඩක් තියනවා. කෙටියෙන් බොහොම සරලව කියනවා නම්, මලල ක්‍රීඩාවෙන් අවම ජාතික මට්ටමට ආව කෙනෙක්ට මේ ගැන අදහසක් තිබුණත් ගොඩක් අයට මේ දේ ගැන අදහසක් නෑ. අපේ රටේ සමහර බලධාරීන්ටත් නෑ.
මීටර් 100 තත්ත්පර 10කින් දුවලා ඉවර කරන්න. ළඟ තියන ඔරලෝසුවේ තත්ත්පර 10ක් ගණන් කරන්න. ඒ එක්කම හිතන්න මීටර් 100ක දුරත්. ඒ කියන්නේ අපි හැම තත්ත්පරකටම මීටර් 10 ක දුරක් දුවනවා. දැන් තමන් ඉන්න තැන මිටර් 10ක් ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙක අතර තත්ත්පරයක් ඇතුළත දුවන විදිහ ගැන කල්පනා කරන්න. ඕනි නම් උත්සාහ කරලා බලන්නත් පුළුවන්.
තරගයක ආරම්භයේ ඉඳලා හැම මීටර් 10 ම තත්ත්පරයකින් දුවන්න පුළුවන්ද? බෑ. උපරිම වේගයක් ගන්න යම්කිසි දුරක් යනවා. එහෙනම් කොහොමද තත්පර 10 කින් මීටර් 100 ක් දුවන්නේ? උපරිම වේගය ලබා ගන්න ගමන් ඒ වේගය තුළ අපි හැම මීටර් 10 ක්ම තත්ත්පරයකට අඩුවෙන් දුවන්නේ. ඒ කියන්නේ මීටර් 10 ක් තත්පර 0.87 , 0.88 , 0.90 , 0.91 වගේ. දැනට ලෝකයේ තරගාවලියක වාර්තා වෙලා තියන අඩුම කාලයේ වාර්තාව තියෙන්නේ උසේන් බෝල්ට් ට. ඒ මීටර් 10 තත්පර 0.81 ක් තුළ අවසන් කරලා.මීටර් 100 ලෝක වාර්තාව තත්ත්පර 9.58ට උසේන් බෝල්ට් දුවන්නේ 2009 දී. මම දකුණු ආසියානු වාර්තාව තත්ත්පර 9.96ට දුවන්නේ. බෝල්ට් ලෝක වාර්තාවට දුවන කොට එයාගේ වයස අවුරුදු 21යි. මම දකුණු ආසියානු වාර්තාවට දුවනකොට අවුරුදු 27යි.
දැන් මේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේක හිතන තරම් ලේසි නෑ. මං එහෙම කියන්නේ මම උසේන් බෝල්ට්ගේ වාර්තාවට ඉතා ළඟයි කියලා ගොඩක් අය කතා කරපු නිසා. ඔව් තත්පර බින්දුවයි දශම හතරයි අටක් (0.48 දශම ) තමයි. ඒක ලේසි දෙයක් නෙමෙයි කියලා දැන් අවබෝධ වෙනවා ඇති. අනිත් දේ තමයි මේ වෙලාවේ මම උසේන් බෝල්ට් සහ ටයිසන්ගේ හැර අනිත් හැමෝම එක්ක තරග කරනවා. ඉතින් ඒ අයත් එක්ක එක රේස් එකක හිට ගන්නවා කියන්නෙත් ජීවිතේ ලබන ලොකු ජයග්‍රහණයක්. කැපවීමෙන් ලබාගත්ත දෙයක්. මීටර් 100 කියන්නේ ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් තරගයක්. ඒක තත්පර 0.001කින් වුණත් වෙන්න පුළුවන්.
ආසියානු මීටර් 100 රන් පදක්කම ගන්නවා කියන එකත් ලෙහෙසි නෑ.ඒකත් ගොඩක් අමාරු දෙයක්.හැබැයි මම උත්සාහ කරනවා. 2024 පැරිස් ඔලිම්පික් උලෙළත් මගේ ලොකු ඉලක්කයක්. අවසන් තරගයට යන්න. ඊට පස්සේ පදක්කමකට යන්න. මම කිසිම තරගයක දී අනවශ්‍ය පීඩනයක් දාගන්නේ නෑ පදක්කමක් අරගෙනමයි එන්නේ කියලා.”
ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින අඩුපාඩු පිළිබඳ යුපුන් දරන්නේ මෙවැනි අදහසකි.
“යුරෝපය කේන්ද්‍ර කරගෙන පුහුණුවීම් කරන නිසා මම දන්නවා සිස්ටම් එකක්, නිවැරැදි වැඩ පිළිවෙළක්, සැලසුමක් නැතිව වැඩ කරන්න අමාරු බව. මම උත්සහා කරන්නේ මගෙන් හරි පටන් අරගෙන ඊට පස්සේ එන අයට හරි සිස්ටම් එකක් හදලා දෙන්නයි. එහෙම හරි වැඩ පිළිවෙළක් තියෙනවා නම් තරගාවලියක් ළංවෙන කොට බර දාගෙන ඇද ගෙන යන්න ඕනෑ නෑ.ලෝකයේ ඉන්න හොඳම පුහුණුකරුවා මෙහෙ හිටියත් වැඩක් නෑ, පහසුකම් නැතුව. මොකද එයාට බෑ කවදාවත් ක්‍රීඩකයෙක් බිහි කරන්න. අද ක්‍රීඩාව කියන්නේ බිස්නස් එකක්. ආයෝජනය කරන තරමටයි ප්‍රතිඵල තියෙන්නේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතු පිපෙනවා වාගේ නිකන් හැදෙන්නේ නෑ වගේ අති දක්ෂයෝ බිහි වෙන්නේත් කාලයකට සැරයක්.
මගේ පුහුණුවීම්වලට යන ඩොලර් ලක්ෂයක් ගැන අපි කොහෙවත් කතා කරලා නෑ. අපි එහෙම කිසිම තැනක කතා කළෙත් නෑ. අපි ටීම් එකක් විදියට පෙන්නලා දුන්නේ ලෝක මට්ටමේ ක්‍රීඩකයකුගේ වටිනාකම විතරයි. අපි උත්සාහ කළේ මේකේ තියෙන වටිනාකම පෙන්නලා දෙන්නයි.
ඩොලර් ලක්ෂයක් රුපියල්වලින් ලොකු මුදලක් වෙන්න පුළුවන්. ඒත් යුරෝපයේ වගේ රටකදි ඒක මගේ අවුරුදු දෙකක, දෙකහමාරක විතර පුහුණුවීම්වලට විතරක් වැයවෙන මුදල. තරගාවලියකට යනකොට මගේ ටීම් එකත් යනවා. මට තරගාවලියක පුහුණුවීම්වලටම යනවා ලක්ෂ 7-9ක් විතර. ඉතාලියේ ක්ලෝඩියෝ ලිසිරාඩෙලෝ’ පුහුණුකරුවා යටතේ පුහුණුවීම් කරන්නේ, ඔහුට තියෙන්නේ වෙනස්ම සැලසුමක් . ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වගේ දේකට අත ගහපු එකට ගොඩක් ස්තුතියි. හැබැයි මගේ වටිනාකම ලෝක මට්ටම එක්ක ගනිද්දී ඩොලර් ලක්ෂයට වඩා නම් හුඟක් වැඩියි.
ලෝකේ ගොඩක් රටවල් වෙන රටවලින් ක්‍රීඩකයෝ අරගන්නවා. වෙන රටකට දුවනවා කියන එක ඇත්තටම දැඩි තීරණයක්. මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. අරගෙන නැති වෙන්න ප්‍රධානම හේතුව කවුරු හරි ඉන්න ඕනෑ මේක පටන්ගන්න. මම අපේ රටේ ක්‍රීඩාව උඩට ගන්න දෙයක් කරන්න, තවමත් ගොඩක් උත්සාහ කරනවා. මම ඒ වගේ තීරණයකට යන්න කලින් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක අනිවාර්යයෙන් ලංකාව වෙනුවෙන් කරනවා."
රට වෙනුවෙන් සිය වගකීම ගැන කතා කළ යුපුන්ට ඔහුගේ අතීතය ද හොඳින් මතකය. මේ ඒ අතීත ආවර්ජනයයි.
“මම පන්නල ජාතික පාසලේ ඉගෙන ගන්නකොටයි නාලක ප්‍රසන්න සර්ව හම්බ වෙන්නේ. සර් එතකොට මලල ක්‍රීඩා උපදේශකයකු ලෙස ජෝශප් වාස් විද්‍යාලයේ කටයුතු කරමින් සිටියා. ඒ වෙද්දි මම කොට්ඨාස, කලාප තරගවලින් ජය ගෙන තුන්පිම්ම ඉසව්ව ක්‍රීඩා කරමින් දක්ෂතා අතර සිටියේ. එවකට ජෝශප් වාස් විද්‍යාලයේ පාලනාධිකාරිය දැනුම්වත් කරලා මාව ජෝශප් වාස් විද්‍යාලයට ඇතුළත් කර ගත්තේ නාලක සර්. ජෝශප් වාස් විදුහලට ආවට පස්සේ සර් තමයි යෝජනා කළේ මීටර් 200 කෙටි දුර ධාවනයටත් එක් වන්න කියලා. ඒත් මම එකට එච්චරම කැමැත්තක් දැක්වූයේ නෑ. සර්ට වුවමනා වුණා මීටර් 200ට සම්බන්ධ කරගෙන පස්සේ 100x4 තරග ඉසව්වටත් මාව සම්බන්ධ කරගන්න. සර්ගේ ඉල්ලීමට මිටර් 200 කෙටිදුර ධාවන ඉසව්වට විතරක් එකතු වුණා. මේ ඉසව් ජය ගනිමින් වයස අවුරුදු 20න් පහළ 21න් පහළ නියෝජනය කරමින් ජාතික පාසල්, සමස්ත ලංකා තරගවලින් දක්ෂතා දැක්වූවා. ඒ වනකොට මීටර් 100 ඉසව්වෙනුත් ඉදිරියට ආවා.
මගේ තාත්තා නිහාල් ගාමිණි අබේකෝන්.අම්මා සුජිවා ප්‍රියදර්ශනී. මගේ එකම නංගී නෙතුලි. පාසල් කාලයේ මම හුඟක් තරගවලට ගියෙත් පාසලෙන්මයි. මගේ පවුලේ අයට තරගයක්වත් බලන්න යන්න වෙලාවක් තිබ්බේ නෑ. අම්මායි තාත්තයි වැඩිපුර හිටියේ ඉතාලියේ නිසා මගේ ළමා කාලය වැඩිපුරම ගෙවුණේ අත්තම්මාත් සීයාත් එක්කයි.”
බන්ධුල ජයමාන්න