- ක්‍රිකට් තරග නිසා පහුගිය කාලයේ කිසිම දෙයක් හරියටම කර ගන්න බැරි වුණාට පුහුණුවීම් අතරතුර ලැබෙන හැම විවේකයකදීම ඉගෙනීමේ වැඩ කර ගත්තා
- අපේ ක්‍රිකට් පිස්සුව නිසා තාත්තා අල්ගමෙන් ගම්පහට පදිංචියත් මාරු කළා
ඔබ සිහින පසු පස හඹා යන විට එකී සිහින ද ඔබ පසුපස ලුහුබඳිනු ඇත. එමෙන්ම ඔබට සැබැවින්ම ප්‍රතිඵල ලැබෙන්නේ ඔබ කරන දෙය මත මිස, ඔබ කරනවා යැයි සමාජයට පෙන්වන දෙය මත නොවේ. එමෙන්ම කොතරම් වටිනා බිජයක් වුවද, වැඩෙන පරිසරය නිසරු නම් එයින් සාරවත් පැළෑටියක් හට නොගනු ඇත.
“දවසක් මම වැඩ ඇරිලා ගෙදර එනකොට ළමයින් මිදුලේ ක්‍රිකට් ගහනවා. ඒක අපේ ගෙදර සාමාන්‍ය දෙයක්. ඒ හින්දම මමත් වැඩිය ගණන් ගන්නේ නැතුවම ගේ ඇතුළට ගියා. මට එකපාරටම ඇහුණා ලකුණු 104යි කියලා කෑ ගහන සද්දයක්. ඒක මට විශේෂ දෙයක් වෙච්ච නිසා මම නිකමට වගේ ජනේලය ඇරලා බැලුවා. විශ්මි දුව තමයි ඒ වෙලාවේ බැට් කරමින් හිටියේ, එයා තමයි ලකුණු 104ක් ගත්තා කියලා කෑ ගන්නේ.”
ඒ, විශ්මිගේ තාත්තාගේ හඬයි. විශ්මි ගුණරත්න... ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට නම් ඇය ආගන්තුක නැත. ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ඉගෙන ගන්නත් එක සේ හපන් ඇය ඉන්දියාවේදී අවසන් වූ වයස අවුරුදු 19න් පහළ බාලිකා සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව සහ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකාරිනියකි. දහහත් හැවිරිදි විශ්මි දෙව්මිණි ගුණරත්න 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූයේ ඒ සාමාර්ථයන් 9ක් හිමිකර ගනිමිනි.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ විශ්මි, මේ වන විට අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද කැපී පෙනෙන දීප්තිමත් තාරකාවකි. ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි බරක් තබන්නට පෙර ඇය විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායමේ ද ප්‍රබල සාමාජිකාවක විය. 2019දී පැවති ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේදී අවුරුදු 15න් පහළ බාලිකා මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ අවුරුදු 20ක් පැරණි වාර්තාව තත්පර 50.1කින් බිඳ දැමීමට ද විශ්මි ඇතුළු රත්නාවලී බාලිකාවෝ සමත් වූහ.
විශ්මි අවුරුදු 15දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ List A ලැයිස්තුවේ ළාබාලතම ශතකලාභිනිය ලෙස අභිසෙස් ලබන්නට සමත් වන්නේ සීනිගම කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කටුනායක ක්‍රීඩාංගණයේ දී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 115කදී ලකුණු112ක සුපිරි ශතකයක් රැස් කරමිනි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේරියන්ස් කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩාමේ නායිකා චමරි අතපත්තු වීම ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අවුරුදු 19න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලියේදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය නියෝජනය කළ විශ්මි කැකිරාව ජයසිරිපුර මහා විද්‍යාලයට එරෙහිව පන්දු 128කින් නොදැවී ලකුණු 417ක් ලබා ගත් වාර්තාගත ඉනිමට අලංකාර හයේ පහර 29ක් සහ හතරේ පහර 49ක් ද ඇතුළත් විය.
අධ්‍යාපනය, ක්‍රීඩාව සහ ජීවිතය සමබරව ගෙන යෑම ඉතා අපහසු කාල වකවානුවක විශ්මි මේ ආකාරයෙන් දස්කම් පෙන්වීම මුළු මහත් සමාජයටම කදිම ආදර්ශයකි. ඒ තුළින් ඇය ඔබට පසක් කරන්නේ, “ඔබට අයිති දේ සෑම විටම ඔබම සොයාගත යුතු අතර ඒ සඳහා උත්සාහය, උනන්දුව, කැපවීම, අධිෂ්ඨානය, වුවමනාව අනිවාර්යෙන්ම තිබිය යුතු” බවය.
“ක්‍රිකට් තරගාවලි සහ තරග නිසා පහුගිය කාලයේ කිසිම දෙයක් හරියටම කර ගන්න බැරි වුණා කියලා මම කිසිම දෙයක් අතපසු කර ගත්තේ නෑ. හුඟක් වෙලාවට තිබුණේ ඔන්ලයින් පන්ති. පුහුණුවීම් අතරතුර ලැබෙන හැම විවේකයකදිම ඉගෙනීමේ වැඩ කර ගත්තා. කිසිම අමතර පන්තියකට ගියේ නෑ. යන්න වෙලාවක් තිබ්බෙත් නෑ. ඉඩ තියෙන හැම වෙලාවකම පොත් අතර තමයි හිටියේ. විභාගයට සති දෙකක් තුනක් තියලා හොඳටම සැලසුම් කරලා වැඩ ටික කරගත්ත නිසා තමයි මේ වගේ සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණේ.
විභාගය කිට්ටු කරලා හොඳටම පාඩම් කළා. ඊට පස්සේ පෙරහුරු ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලිව්වා. විභාගය කිට්ටු වෙන කොට අනවශ්‍ය බයක්, සැකයක්, චකිතයක්, පීඩනයක් නැතුව විභාගයට මුහුණ දුන්නා. ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් නෙවෙයි. මට විශේෂයෙන් කියන්න තියෙන්නෙ, හැම දෙයක්ම හරියට බැලන්ස් කර ගන්නවා නම් ක්‍රීඩාව, අධ්‍යාපනය විතරක් නෙවෙයි අපට ජීවිතයත් හරියටම ඉදිරියට ගෙන යන්න පුළුවන්.”
ඇය කියන්නේ තිර හඬිනි. අප්‍රමාණ අරමුණු ඇත්තෝ තමාට හිමි වෙන ඕනෑම කටුක අත්දැකීම්ක් විඳදරා ගන්නවා පමණක් නොව සාර්ථකත්වයට ද අරමුණට ද පියවරෙන් පියවර ගමන් කරයි.
“මගෙ අක්කාට අපොස සාමාන්‍ය පෙළට ඒ 9 යි. අයියාට ඒ 8 යි, බී එකයි. මටත් ඕනෑ වුණේ ඒ වගේම ප්‍රතිඵලයක්. ඒ නිසා ලැබුණු හැම අවස්ථාවකදිම මම ඒ වෙනුවෙන් කැප වුණා.”
විශ්මි ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග දෙකකට සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 9කට ද විස්මි ක්‍රීඩා කර ඇත. කාන්තා එක්දින ජාත්‍යන්තර පිටියේ විශ්මි වාර්තා පොත් අතරට එක් වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ ළාබාලම ක්‍රීඩිකාව ලෙසිනි. 2022 ජුලි 04 වැනි දා විශ්මි ඉන්දියාවට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී එක්දින වරම් දිනා ගන්නා විට වයස අවුරුදු 16යි දින 316කි. එමෙන්ම මෙරට කාන්තා විස්සයි 20 පිටියේ ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ළාබාලම ක්‍රීඩිකාව වන්නේ ද විශ්මි ය. 2022 ජනවාරි 18දා ස්කොට්ලන්තයට එරෙහිව තරග කරන විට විශ්මිගේ වසය අවුරුදු 16යි දින 149කි.
විශ්මිගේ පියා අරුණ ශාන්ත ගුණරත්න තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ජාතික මට්ටමේ කෙටි දුර ඉසව්වල දක්ෂතා දැක්වූවෙකි. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. මව, ධම්මිකා ප්‍රියන්ති විජේරත්න ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරිනියක ලෙස සේවය කරන්නීය. පවුලේ බඩපිස්සිය ලෙස විශ්මි උපන්නේ 2005 අගෝස්තු මස 22 වැනිදාය. විශ්මිට වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියකි. අයියා කවීෂ අනුපම වන අතර, අක්කා නෙත්මි ය.
වරකාපොළ මැදගම පදිංචිව සිටියදී විශ්මි මුලින්ම අකුරු කරන්නේ අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලයෙනි. එම විදුහලෙන් ඇය ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වෙන්නේ ලකුණු 182ක් ලබා ගනිමිනි. මෙකී ලකුණු ප්‍රමාණය විශ්මිට ගම්පහ රත්නාවලී බාලිකාවට ඇතුළත් වීමට ප්‍රමාණවත් විය. විශ්මිගේ පවුලම ක්‍රීඩාවට ළැදිය. මේ නිසාම විශ්මිත් දක්ෂතා අතර කරක් ගැසුවේ නිරායාසයෙනි. 2015 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී විශ්මි මීටර 75 හා 100 ධාවන තරග සඳහා තරග කළ අතර, සබරගමුව පළාතේ පළමු වැනියා වූවාය. එම පාසලේ විෂයක් ලෙස ක්‍රීඩාව පැවතියේ නැති බැවින් විශ්මිගේ පළමු මලල ක්‍රීඩා පුහුණුකරු වූයේ ඇයගේම පියා ය.
“තාත්තා අයියාව ලෙදර් බෝල් ක්‍රිකට් ගහන්න නිට්ටඹුව ක්‍රිකට් ක්‍රීඩා සමාජයට එක්ක ගෙන ගියා. අයියත් එක්ක මමත් අක්කත් ඒ ගමන යනවා. එතකොට මම තුන්වැනි වසරේ විතර ඇති කියලයි තාත්තා කියන්නේ. කොහොම හරි අපේ මේ ක්‍රිකට් පිස්සුව නිසා තාත්තා අල්ගමෙන් ගම්පහට පදිංචිය මාරු කළා.”
එසේ පදිංචිය මාරු වීම සහ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වීමත් සමඟ විශ්මි ඇයගේ ක්‍රිකට් ජීවිතය ක්‍රමානුකූලව හැඩගස්වා ගැනීමට ද අවස්ථාව උදා කර ගත්තාය. විශ්මිගේ පවුලේ කිසිවකුටත් ක්‍රීඩාව අරුමයක් නොවූයේ ඇයගේ පවුලේ සියලු දෙනාට ක්‍රීඩාව සමඟ සමීප සබැඳියාවක් තිබූ නිසා වන්නට ඇත. ඒ ක්‍රිකට් ළැදියාව කොතෙක් ද යත් ඔවුන්ට පුහුණු වීම් සඳහා වෙනම ස්ථානයක් සාදා දෙන්නට ද විශ්මිගේ තාත්තා කටයුතු කළේය. විශ්මි කුඩා කාලයේ සිටම ඇයට වඩා බොහෝ වයසින් වැඩි ක්‍රීඩිකාවන් සමඟ කරට කර ක්‍රීඩා කළාය.
විශ්මිගේ අක්කා නෙත්මි ක්ලබ් ක්‍රීඩා කළාය. එය දුටු විශ්මිට ද ක්‍රිකට් ක්‍රීඩා කරන්නට අවශ්‍ය විය. විශ්මිගේ කැමැත්තට අකමැති නොවූ මවුපියන්ට ඇය ද නිට්ටඹුව ක්‍රීඩා සමාජයට ඇතුළත් කළාය. ඒ වන විට විශ්මිට වයස අවුරුදු 8ක් පමණ විය. විශ්මිගේ මුල් පුහුණුකරු වූයේ කේ.සී පෙරේරා ය. කේ.සී පෙරේරා, රත්නාවලි බාලිකාවේ ද පුහුණුකරු වු අතර, ඔහුගේ දැක්ම විශ්මි පාසල් කණ්ඩායමට එක් වීම දක්වා ම දිගු විය. විශ්මිගේ ආරම්භය වන්නේ එයයි.
“තාත්ත තමයි ළඟින්ම ඉන්නේ. ඒ වගේම තාත්තත් එක්ක තමයි බැරිම. ක්‍රිකට් පුහුණුවීම්වලට එක්කගෙන යනවා. ආපු හැටියෙ පාඩම් කරන්න කියනවා. මහන්සියි, කොහොම ද පාඩම් කරන්නේ? වෙලාවකට රණ්ඩුත් වෙනවා. අම්ම තමයි බේර ගන්නේ. කොහොම වුණත් තාත්තා නිතරම කියන දෙයක් තමයි ක්‍රීඩා කරලා විතරක් මදි හොඳින් ඉගෙන ගන්නත් ඕන කියලා. ඒ දෙකේදීම අම්මත් තාත්තත් දක්වන සහයෝගය කියල නිම කරන්න බැහැ.
පාසල් කණ්ඩායමේ අක්කලා එක්ක ක්‍රීඩා කරන කොට මම හය වැනි වසරේ හිටියේ. ඒක ලොකු අභියෝගයක්. ඒත් මම හැම අභියෝගයක් එක්කම සටන් කළා. අපේ ක්‍රිකට් පුහුණුකරු ගයාන් මුණසිංහ සර් ගොඩක් උදවු කරනවා. අපේ ක්‍රිකට් කළමනාකරු විදියට ඉන්නේ තාත්තා.” විශ්මි පැවසුවේ නිහතමානී අභිමානයකිනි.
මෙරට පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමකට ලැබිය හැකි විශිෂ්ටම ජය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය හිමි කර ගන්නේ ලකුණු 66 කින් නුගේගොඩ අනුලා විද්‍යාලය පරාජය කරමින් මෙවර (2022) ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව 8 වැනි වරටත් සංවිධානය කළ 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා පාසල් ක්‍රිකට් ශූරතාව දිනා ගනිමින්ය. අවසන් මහා තරගයට විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය කණ්ඩායම පිටියට පිවිසි අතර, නුගේගොඩ අනුලා විද්‍යාල කණ්ඩායම හෂිනි ලියනගේ ගේ නායකත්වයෙන් තරගයට එක් විය.
කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ නායිකා විශ්මි ගුණරත්නගේ විශ්මිත සහ අතිවිශිෂ්ට පිතිහරඹයෙන් පෝෂණය වූ රත්නාවලී කණ්ඩායම පන්දු වාර 30 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 199 ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අනුලා විද්‍යාලයීය කණ්ඩායමට පන්දු වාර 29.3ක් අවසානයේ රැස් කිරීමට හැකි වූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 133ක් පමණි. ඒ අනුව ලකුණු 66ක විශිෂ්ට ජයක් වාර්තා කළ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ වසර හතකට පසු ශූරතාවට හිමිකම් කීවේය. කාසියේ වාසිය දිනා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර නායිකා විශ්මි ගුණරත්න හා හිමායා විජේසිංහ පන්දුවට පහර දීම ආරම්භ කළ අතර විශ්මිගේ විශ්මිත පිතිහරඹය රත්නාවලී බාලිකාවට ජය තහවුරු කිරීමට සමත් විය. විශ්මි පන්දු වාර 30 අවසන් වනතුරුම පිටියේ රැඳෙමින් පන්දු 92කදී හතරේ පහර 15ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 125ක් රැස් කිරීමට සමත් වුවාය. විශ්මි මෙකී තරග වාරයේදී ඉනිම අටකදී නොදැවුණු වාර 5ක් සමඟින් ලකුණු 900ක් රැස් කිරීමට සමත් වූවාය.
මේ සියලු දක්ෂතා අතරත් කතාබහට ලක් වන්නේ ශ්‍රී ලංකා පාසල් බාලිකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් ලබා ගත් පුද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වීමත් සමඟය. විශ්මි කැකිරාව ජයසිරිපුර මහා විද්‍යාලයට එරෙහිව පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 49ක් සහ හයේ පහර 29ක් සමඟින් නොදැවී ලකුණු 417ක් ලබා ගත්තාය. මෙකී වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ, නුගේගොඩ අනුලා විද්‍යාලයේ කෞෂිනී නුත්‍යංගා ය. ඇය නොදැවී ලකුණු 374ක් ලබා සිටියාය.
“ඒක දීර්ඝ ඉනිමක්. ඒවගේ ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබුණ එක ගැන ගොඩාක් සතුටු වෙනවා. මේක මම විතරක් ලැබූ ජයග්‍රහණයක් නෙවෙයි. මගේ පාසලම ලැබූ ජයග්‍රහණයක්. විශේෂයෙන්ම අපේ විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය මේ පිටිපස ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගෙන යන්න ඇයට තිබෙන උනන්දුව සමහර වෙලාවට අපටත් නැහැ. එතුමියත් මේ ජයග්‍රහණයේ කොටස්කාරිනියක්.
ඒ වගේම මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ යුද හමුදාවට නොදැවී ලකුණු 138ක් ගත්ත ඉනිමත්, ඉන්දීය කණ්ඩායම එක්ක දඹුල්ලේ පැවැත්වුණු විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදි ගත්ත ලකුණු 45ත් අමතක නොවන ඉනිම් දෙකක්. ඒ වගේම මේ තරගයේදී චමරි අක්කා එක්ක පන්දු ඕවර 13.5කදී පළමු කඩුල්ලට රැස් කරපු වාර්තාගත ( ශ්‍රී ලංකා විස්සයි 20) ලකුණු 87ක සම්බන්ධතාවක් අමතකම නොවන ඉනිමක්.”
පසුගිය ලෝක කුසලානයට තෝරා ගැනීමේ තරගවලට ජාතික කණ්ඩායම එක්ක විශ්මි සිම්බාබ්වේ තරගාවලියට එක් වුවද, කොවිඩ් ආසාදනය වීම නිසා ක්‍රීඩා කිරීමට නොහැකි විය. ඉන් පසු මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය තරගාවලියට ද ඇය එක් වුවාය.
“ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සමඟ වැඩ කරන කොට බයක්, පීඩනයක් නම් දැනෙන්නේ නැහැ, ඔවුන් මට ගොඩක් උදවු කරනවා. විශේෂයෙන්ම චමරි අක්කාගෙන් ලැබෙන සහයෝගය විශේෂයි. මට සින්දු කියන්න, නටන්න නම් බෑ. ක්‍රීඩා කටයුතු එක්ක වාණිජ අංශයෙන් උසස් පෙළ කරන්නයි හිතාගෙන ඉන්නේ. හැම වෙලාවකම පෝෂ්‍යදායී ආහාර වේලක් ගැන උනන්දු වෙනවා වගේම ශරීර ශක්තිය ගැනත් මම උනන්දුයි. කැමති හැමදේම කන්නේ බොන්නේ නැතුව කට පරෙස්සම් කරගත්තත් බූන්දි කන්න නම් මම ගොඩක් ආසයි.” ඇය දඟකාර හඬින් කීවාය. ඒ සැහැල්ලුව, සතුට සිත පුරා විඳින යුවතියක ලෙසිනි.
ගැහැනු දරුවන්ට විවිධ සීමා මායිම්, තහංචි පනවමින් ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට ඇතැම් මවුපියන් කටයුතු කරන පසුබිමක විශ්මිගේ මවුපියන්ට ඒ ගැන කිසිදු වගක් නැත. ඔවුන්ට අවශ්‍ය සිය දියණියගේ සතුට දැකීමය. ඇය සිය දක්ෂතා තුළින් රටත් ලෝකයත් දිනවනු දැකීමය.
ඡායාරූප - සමන්ත විරසිරි