ජාතික ක්‍රිකට් පිලේ දොරට තට්ටු කරන නිශාන් මධුෂ්ක | සිළුමිණ

ජාතික ක්‍රිකට් පිලේ දොරට තට්ටු කරන නිශාන් මධුෂ්ක

- මෙවර ක්‍රීඩා සමාජ තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන සිටින ක්‍රීඩකයා වන්නේ නිශාන් ය
- හැම අවුරුද්දෙම හඳහන බලනවා. දවසක ලෝකය දිනනවා කියලා කිහිප දෙනෙක්ම කිව්වා. ඒ නිසා මම විශ්වාස කරනවා පුතා එයාගේ දක්ෂතා පෙන්වමින් ඉක්මනින් ජාතික කණ්ඩායමට එක් වෙයි කියලා
- ඒ දරුවගේ පවුලේ අයත් ක්‍රිකට් පිස්සෝ. ඒ නිසා පුතාගේ ක්‍රිකට් ජීවිතේ ට අකමැත්තක් නැහැ…

ක්‍රිකට්වලට උපන් හපනුන් බොහෝ දෙනෙකු උපත ලබා ඇත්තේ මොරටුවේය. එනිසාම “මොරටු කොල්ලන් වැල්ලට වඩා ක්‍රිකට් පිත්තට, පන්දුවට හෝ විකට්ටුවට ආදරේ කරන” බව කිව හැකිය. මෙවර කතාවේ කතා නායකයා ද සුන්දර වෙරළට වඩා බොහෝ කර්කශ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ මොරටු පුත්‍රයෙකි. ඔහු නමින් නිශාන් මධුෂ්කය. නිරෝෂන් ප්‍රනාන්දු සහ නදීකා දමයන්ති යුවළට දාව වර්ෂ 1999 සැප්තැම්බර් 10 වැනිදා උපන් නිශාන් ලෝකය දුටුවේ ඒ පවුලේ දෙටු පුතු ලෙසිනි.

“අපේ පවුලට ඉන්නේ කොල්ලොම හතර දෙනෙක්. මම දෙවැනියා. මගේ අයියා යශෝධ ප්‍රනාන්දු , මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉසුරු. අනිත් මල්ලී ලක්ෂිත. ඒ දෙන්නෙත් මම ඉගෙන ගත්ත මොරටු විද්‍යාලයේමයි ඉගෙන ගන්නේ. දෙන්නම පාසල් මට්ටමින් ක්‍රිකට් ගහනවා. එයාලත් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි. එයාලටත් ඕනේ මම වගේ ක්‍රිකට් ගහන්නයි. අයියා නම් ක්‍රිකට්වලට සම්බන්ධයක් නැහැ” ඒ හඬ නිශාන්ගේ ය. වැඩි කතාබහ නැතිව සිනාමුසු මුහුණින් කෙටියෙන් උත්තර දුන් ඔහු පිත්තෙන් මේ වනවිටත් දක්ෂතා පෙන්වා අවසන්ය. ක්‍රිකට් ගැන දන්නා බොහෝ දෙනා නම් කියන්නේ ඔහු ඉන්නේ ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් බවය. 2019 වර්ෂයේ සිට රාගම ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරන ඔහු මෙවර ක්‍රීඩා සමාජ තරගාවලියේ මේ වනවිට වැඩිම ලකුණු ලබාගෙන සිටින ක්‍රීඩකයාය. ඒ, ලකුණු 1,100 පසු කරමිනි. ඒ තරඟ 06කදී පමණක් වීමද විශේෂය.

“මම නියෝජනය කරන්නේ රාගම ක්ලබ් එක. මම විකට් කීපර් කෙනෙක් හැටියට වගේම පිතිකරුවෙක් හැටියටත් කටයුතු කරනවා. මේ සීසන් එකේ දැනට මම තමයි වැඩිම ලකුණු ලබා ගෙන තියෙන්නේ. මේ කතා කරන මොහොත වෙද්දි මම ලකුණු 1,110ක් ලබා ගෙන තියෙනවා. හැම ක්ලබ් මැච් එකකම මම හොඳින් ලකුණු අරගෙන මගේ පිත්තේ වේගය වැඩි කරගන්න තමයි මම නිතරම හිතන්නේ. ලකුණු වේගයෙන් රැස් කරන්න වගේම කඩුල්ලේ රැඳෙන්නත් හැම පන්දුවකටම ලකුණු ගන්නත් තමයි මම උත්සාහ කරන්නේ. සමහර වෙලාවට ලකුණු ගන්න අඩු වුණොත් ඒ අඩුපාඩු ඊළඟ මැච් එකෙන් හදා ගන්නවා. නොදන්න දේ කෝච්ගෙන් අහගන්නවා”

මෙවර ක්‍රිකට් සමාජ තරගවලින් මෙතෙක් වැඩිම ලකුණු රැස් කර ඇත්තේ නිශාන් බැවින් බොහෝ දෙනකුගේ මතය වන්නේ ඔහු ඊළඟට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමේ වරම් හිමිකර ගන්නා ක්‍රීඩකයා බවට පත් වේවි යැයි කියාය. නිශාන් සිහින දකින්නේ ඔහුගේ ඊළඟ අරමුණ වන එය ඉටු කර ගැනීමටයි.

“මේ ක්ලබ් සීසන් එකේ දැනට වැඩිම ලකුණු ගත්තේ මම නිසා ගොඩක් අය කියනවා ඊළඟට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වෙන්න මට ගොඩක් වැඩි ඉඩක් තියෙනවා කියලා. ඇත්තටම කිව්වොත් ඒක තමයි මගේ ඊළඟ ඉලක්කය. අවස්ථාව ලැබුණොත් උපරිම ප්‍රයෝජනය ගන්නවා. මොකද කණ්ඩායමට ඇතුළත් වෙන්න ලේසියි නමුත් රැඳෙන්න අමාරුයි. දක්ෂතා තියෙන අය නිතරම බිහි වෙන නිසා දිගටම රැඳෙන්න නම් දක්ෂතා ඒ විදිහට පවත්වා ගෙන යන්න ඕනේ. ජාතික කණ්ඩායමට ඇතුළත් වෙලා ප්‍රවීණයන් එක්ක ක්‍රීඩා කරලා අත්දැකීම් ලබා ගන්න මමත් ආසාවෙන් ඉන්නවා. බලමු අවස්ථාවක් ලැබෙයිද කියලා. සමහර විට ජාතික කණ්ඩායමට මේ ප්‍රෆෝමන්ස් මදි වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒක වැඩි දියුණු කරගෙන කොහොම හරි අවස්ථාව ලැබෙන විදිහට වටපිටාව හදා ගන්නවා. ඒක ලේසි කටයුත්තක් නෙමෙයි”.

නිශාන් ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව අප හමුවේ පැවසුවේ එලෙසිනි. නිශාන් වයස අවුරුදු 19න් පහළ හා එමර්ජින් තරග ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කර ඇති ක්‍රිඩකයෙකි. මොරටුවේ මොරටු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඔහු 13න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සිට 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් බොහෝ කලක් පිත්තෙන් හා කඩුලු රැකීමෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.

“19න් පහළ නියෝජනය කරමින් මම ආසියානු තරග හා ලෝක කුසලාන තරග නියෝජනය කරලා තියෙනවා , මැලේසියාව, බංග්ලාදේශය, එංගලන්තය, නේපාලය වගේම නවසීලන්ත තරග සංචාර කරලා තියෙනවා. මම කැමතිම රට එංගලන්තය. ඒ වගේම මම ආසම ක්‍රීඩකයා විරාට් කෝලි. මම පුංචි කාලේ ඉඳලා විකට් කීප් කරපු නිසා කුමාර් සංගක්කාරට ආසයි. මම ඔහුව ෆලෝ කරනවා. ඔහු වගේ වෙන්න කැමතියි විකට් කීප් පැත්තෙන්..”.

ඔහු විරාට් කෝලීට කැමති බව පැවසූ නිසා ඔහු මුණ ගැසුනොත් මුලින්ම අසන පැනය කුමක්ද කියා අප ඔහුගෙන් විමසුවෙමු. ඔහු කීවේ, “ලෝකයක් දිනන්න තරම් දක්ෂතා මතු කරගත්තේ මොන වගේ උපක්‍රම පාවිච්චි කරලද කියලා අහනවා. ඒ වගේම මේ තැනට එන්න මොනවද කළේ කියලත් අහනවා…” කියාය.

වයස අවුරුදු 23 ක් වු නිශාන් ක්‍රිකට් අහම්බයක් කරගත් ක්‍රීඩකයකු නොවේ. කුඩා කල සිට රූපවාහිනීය නරඹන විට පවා තමා සිතුවේ කෙදිනක හෝ ඔහුත් එසේ පිත්ත අතට ගන්නවා කියා බව නිශාන් අපට කීවේය. ඒ තැනට එන්නට මවුපියන්ට මුදල් එතරම් වියදම් කිරිමට නොතිබුණද ඔහු ඔහුගේ සිහින අත හැරියේ නැත.

“මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. නමුත් අපිට ඒ කාලේ ලොකුවට සල්ලි තිබ්බේ නැහැ. මම අම්මටයි තාත්තාටයි කරදර කළෙත් නැහැ මට ක්‍රිකට් ගහන්න ඕන, මේ දේවල් අරන් දෙන්න කියලා. තිබ්බ දේ පාවිව්චි කළා. මගේ පාසලෙන් මට උදවු කළා. ක්ලබ් ගියාට පස්සේ ක්ලබ් එකෙන් උදවු කළා. පාසල් කාලේ ක්‍රිකට් ගහලා මට මුලින්ම රුපියල් 2,500ක් හම්බුණා මතකයි. ඊට පස්සේ සල්ලි දුන්නේ නැහැ, ඒ වෙනුවට ක්‍රිකට් බඩු ලැබුණා.

මගේ පාසලේ පුහුණුකරු ප්‍රසන්න දිසානායක සර්. ඔහු තමයි ක්‍රිකට් පැත්තෙන් මාව හැදුවේ. සර් තමයි මට කිව්වේ නිශාන් ඔයා විකට් කීප් කරන්න කියලා, අෂාන් සිල්වා, එච්. අබේරත්න සර්ලත් මගේ ගමනට ලොකු හයියක් වුණා. ආර්ථික ප්‍රශ්න තිබ්බත් මම මගේ ගේම් එක අත ඇරියේ නැහැ. ඇත්තටම කිව්වොත් මම ක්‍රිකට් තෝරා ගන්නේ සල්ලි හොයන්න නෙමෙයි; ආසාවට. නමුත් ක්‍රිකට්වලින් ආර්ථික මට්ටම ශක්තිමත් කර ගන්න පුළුවන්. හැබැයි නිකන් ඉඳලා බැහැ. ඒකට අව්ව වැස්ස, කෑම බීම, විවේකය නොබලා පුහුණු වෙන්න ඕන..”.

මේ ධෛර්යවන්ත තරුණයා මුලින්ම තමාගේ නමින් වාහනයක් මිලදී ගත්තේද ක්‍රිකට් ක්‍රීඩා කර ලැබුණු මුදලින් බව කීවේ නිහතමානීවය.

“ප්‍රොවින්ෂියල් මැච් සෙල්ලම් කරලා තමයි මේ අවුරුද්දේ ජනවාරි මාසේ වාහනේ ගත්තේ. ඊළඟට මටම කියලා ගෙයක් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඒකත් කරන්න පුළුවන් වෙයි. ක්‍රීඩා කරන්න මනස නිදහසේ තියෙන්න ඕන. ඒකට හරියන පරිසරයක් අපි හිටපු මොරටුවේ තිබ්බේ නැහැ. මොරටුවේ ජනතාව හොඳයි. ඒත් පරිසරය ජීවත් වෙන්න සුදුසු මදි. ඒ නිසා පවුලේ අය එක්ක පිළියන්දලට ආවා රෙන්ට් එකට ගෙයක් අරගෙන. ඒ නිසයි මටම කියලා ගෙයක් ගන්න හීන දකින්නේ. ඊට කලින් හොඳින් ක්‍රිකට් ගහන්න ඕන”.

නිශාන් 19න් පහළ ලෝක කුසලානය තරගාවලියට සම්බන්ධ වී සිම්බාබ්වේට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් අතර, 23 න් පහළ ‘එමර්ජින්‘ ක්‍රීඩා කරමින් ලෝක වාර්තාවක් ද තැබීය. ඒ අරවින්ද සිල්වා තැබු වාර්තාවක් බිඳ දමමින් ලකුණු 269ක් ලබා ගනිමිනි.

ක්‍රිකට් ජීවිතය කරගත් නිශාන් ගැන වඩාත් හොඳින් දන්නේ ඔහුගේ ආදරණීය මව නදීකා දමයන්ති ය. නිශාන් කුඩා කල ක්‍රිකට් සඳහා දැක්වු කැමැත්ත කොයි වගේදැයි කියා අපි ඇයගෙන් ඇසුවෙමු.

“නිශාන් පවුලේ දෙවැනියා. අහිංසක දරුවෙක්. කවදාවත් කරදර කළේ නැහැ. තිබ්බ විදිහට ජීවත් වුණා මිසක්. එයාට මල්ලිලා දෙන්නෙක් හිටපු නිසා තමයි එයා අපිට කරදර නොකර එයා එයාගේ ගමන ගියේ, 13න් පහළ ක්‍රිකට් තෝරන කොට මම ඇහුවා පුතේ ක්‍රිකට් ගහනවද කියලා, හා අම්මේ කිව්වා ඊට පස්සේ තමයි පුතා ප්‍රැක්ටිස් ගිහින් තේරිලා තිබ්බේ. පුංචි කාලේ අතේ බැට් එක. අම්මේ බෝලේ දාන්නකෝ කියනවා. ගහලා ඔන්න දැන් හතරේ පහරක් ගැහුවා හයේ පහරක් ගැහුවා කියනවා. තාත්තා එක්ක මැච් බලනවා. මම හිතන්නේ එයා ක්‍රිකට්වලට කැමති වෙන්නේ ඒ නිසා වෙන්න ඇති. ආර්ථික ප්‍රශ්න එක්ක මම හිතුවේ නැහැ පුතා දිගටම ක්‍රීඩා කරයි කියලා. මගේ අම්මා, මල්ලි එයාට උදවු කළා. මම එයාට කියනවා ගෙවල් ළඟ ළමයි එක්ක ක්‍රිකට් ගහන්න කියලා. එයා ඒකට කැමති වුණේ නැහැ, අයියා එක්ක ටිකක් සෙල්ලම් කරනවා. නැත්තන් තනියම සෙල්ලම් කරනවා. ඒ විදිහට තමයි ක්‍රිකට්වලට සම්බන්ධ වුණේ..”.

නිශාන් ගේ කුඩා කල ගැන ඔහුගේ ආදරණීය මව නදිකා එලෙසින් කීවාය.

“ක්‍රිකට් නිසාම තමයි එයා කලින් හිටපු දිහා අත ඇරියේ, එහේ හිටියොත් නරක දේවල්වලට ඇබ්බැහි වෙයි කියලා එයා බය වුණා. ඒ වගේම මල්ලිලාට හොඳ අනාගතයක් ඕන කියලා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙන පැත්තකට ගියා. ඒ වගේ පුතා ගොඩක් දුරට ක්‍රිකට් ගැන හිතනවා, කෑම බීම වුණත් පරිස්සමින් ගන්නේ. වැඩියෙන් කෑවොත් පහුවදාට වැඩිපුර දුවනවලු…”

ඇය හදහන විශ්වාස කරන බවත්, නිශාන් ගේ හඳහන වසරක් පාසා බලන බවත් කීවාය.

“හැම අවුරුද්දෙම හඳහන බලනවා. ඒකේ තිබ්බා දවසක ලෝකය දිනනවා කියලා, වසර කිහිපයක් කිහිප දෙනෙක් එකම කතාව කිව්වා. ඒ නිසා මම විශ්වාස කරනවා පුතා එයාගේ දක්ෂතා පෙන්වමින් ඉක්මනින් ජාතික කණ්ඩායමට එක් වෙයි කියලා...” ඇය නිශාන් ගැන ආඩම්බරයෙන් කතා කළාය. 23 හැවිරිදි නිශාන් ආදරය විඳින පෙම්වතෙකි. ආදරේ නිසා ක්‍රිකට් මග හරවා ගනිවි යැයි කියා බියක් නැද්ද යන්න මවගෙන් විමසු විට ඇය විශ්වාසයෙන් පැවසුවේ “ආදරේ අත ඇරලා දැම්මත් එයා නම් ක්‍රිකට් අත අරින්නෙත් නැහැ, දක්ෂතා අඩු කරගන්නෙත් නැහැ” කියාය.

“අම්මේ මට ගැහැනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වා , විස්තරත් කිව්වා. ඊට පස්සේ මම ඒ දුවත් එක්ක කතා කළා., ඒ දරුවා නරක නැහැ, මම කිව්වා දෙමාපියන් එක්ක කතා කරන්න ඕන කියලා , ඒ පාර්ශ්වයත් එක්කත් කතා කළා. ඉතිං හොඳ නිසා එයාගේ ඒ ජීවිතේ කැමති විදිහට ගෙනියන්න ඉඩ දුන්නා. ඒ දරුවගේ පවුලේ අයත් ක්‍රිකට් පිස්සෝ. ඒ නිසා පුතාගේ ක්‍රිකට් ජීවිතේට අකමැත්තක් නැහැ…” ඇය කතාව අවසන් කරමින් එසේ කීවාය. ජාතික කණ්ඩායමට එක් වීමට සිහින දකින නිශාන් මධුෂ්කට ඔහුගේ සිහිනය කරා යෑමට ශක්තිය ලැබේවා යන්න අපිද ප්‍රාර්ථනා කරන්නෙමු.

Comments