චාමිකගේ ගැලවුණු දත් හතර හිටවලා මැහුම් 33ක් දැමූ සැත්කමේ මුල මැද අග | සිළුමිණ

චාමිකගේ ගැලවුණු දත් හතර හිටවලා මැහුම් 33ක් දැමූ සැත්කමේ මුල මැද අග

'වෛද්‍ය උපදෙස් අනුව නැවත ගැලවුණු දත සවි කිරීමට නම් එය රැගෙන ආ යුතු ආකාරය සාකච්ඡා කෙරුණු අතර, කිරි බඳුනක බහාලූ දත සමඟ කණ්ඩායම් වෛද්‍යවරයා ක්‍රීඩා පිටියේ තිබූ ඇම්බියුලන්ස් රථයට චාමික දමා ගත්තේ හැකි ඉක්මනින් ගාල්ලට යා යුතු බව රියැදුරාට පවසමිනි '

 

 'පන්දුව රැක ගැනීමට ක්‍රීඩකයන් තිදෙනකු දිව ගිය අතර, චාමික දෑත් ඉහළට ඔසවා හිසට උඩින් එය රැක ගැනීමට තැත් කරද්දී අත් දෙක අතරින් ඇදී ගිය පන්දුව කෙළින්ම චාමිකගේ කටේ වැදෙයි'

 

'ඇම්බියුලන්ස් රියැදුරු සූරිය වැවෙන් හයිවේ එකට දමා එක පිම්මේ ගාල්ල බලා පිටත් වූ අතර කිලෝ මීටර් 110ක දුර මිනිත්තු 45කින් ගෙවා චාමික රෝහලට ගෙන ගියේය' සත්‍යජිත් අභිෂේක්

 

කුත් සති කිහිපයේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ චාමික කරුණාරත්න පසුගිය සතියේ හම්බන්තොට පැවැති ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර තවත් ඇබැද්දියකට ගොදුරු විය.

 

ඉමෙම තරගාවලියේ චාමික ක්‍රීඩා කළේ කැන්ඩි ෆැල්කන්ස් පිලටය. එම කණ්ඩායමේ නායකයා වන්නේ වනිඳු හසරංග ය. ගෝල් ග්ලැඩ්ච්ටර්ස් සමඟ තරගයේදී කොදෙව් ක්‍රීඩක කාලොස් බ්‍රෙත්වෙයිට් යවන ලද පන්දුවකට නුවනිදු ප්‍රනාන්දු එක්ස්ට්‍රාකවර් කලාපයට උඩ පන්දුවක් ලබා දුන්නේය. ඉතා ඉහළ ගිය එම පන්දුව රැක ගැනීමට ක්‍රීඩකයන් තිදෙනකු දිව ගිය අතර, චාමික දෑත් ඉහළට ඔසවා හිසට උඩින් එය රැක ගැනීමට තැත් කරද්දී අත් දෙක අතරින් ඇදී ගිය පන්දුව කෙළින්ම චාමිකගේ කටේ වැදිණ. ඔහුගේ යටිතොල ප්‍රදේශයේ වැදුණු පන්දුව නිසා ක්ෂණයකින් දත් හතරක් බිඳී ගිය අතර එක් දතක් සහමුලින් ගැලවී බිම පතිත විය. කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් යටතේ වුවද කටේ වැදී ගිලිහුණු පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට චාමික සමත් විය.

චාමිකගේ කටින් ලේ වහනය වනු දුටු සෙසු ක්‍රීඩකයෝ ඔහු වට කර ගත්හ. ඒ අතර චාමික බිම වැටුණු දත අතට ගත් අතර , කණ්ඩායමේ වෛද්‍යවරයා වූ එරන්ග කබ්රාල් හා භෞත චිකිත්සකවරයා වහාම පිටිය මැදට දිව ආවෝය. මුවින් ලේ ගලද්දී වැටුණු දතත් අතැතිව චාමික වෛද්‍යවරයා හා භෞත චිකිත්සකවරයා සමඟ ක්‍රීඩාගාරයට පැමිණියේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි.

චාමිකගේ දත් ඇන්ද ආරක්ෂා කිරීමේ මෙහෙයුම එතැන් සිට ආරම්භ කෙරිණ. කැන්ඩි ෆැල්කන්ස් කළමනාකාරීත්වය වෛද්‍ය එරන්ද සමඟ එක්ව ක්ෂණයකින් කළ යුතු දේ තීරණය කළ අතර,පැයක් ඇතුළත ශෛල්‍යකර්මයක් කළ යුතුව ඇති බැවින් ඒ සඳහා නියමිත රෝහල සොයා බැලූ අතර ඒ මොහොතේ එනම් රාත්‍රී කාලයේ එය කිරීමට සුදුසු ස්ථානය ගාල්ලේ ආසිරි පෞද්ගලික රෝහල බවට තීරණය විය. ඒ අනුව වහාම අදාළ රෝහල් බලධාරීන් සමඟ කරන ලද දුරකතන සාකච්ඡාවකින් පසු හැකි ඉක්මනින් චාමික පරිස්සමෙන් ගාල්ලට ගෙන ඒමට උපදෙස් ලැබිණ.

වෛද්‍ය උපදෙස් අනුව නැවත ගැලවුණු දත සවි කිරීමට නම් එය රැගෙන ආ යුතු ආකාරය සාකච්ඡා කෙරුණු අතර, කිරි බඳුනක බහාලූ දත සමඟ කණ්ඩායම් වෛද්‍යවරයා ක්‍රීඩා පිටියේ තිබූ ඇම්බියුලන්ස් රථයට චාමික දමා ගත්තේ හැකි ඉක්මනින් ගාල්ලට යා යුතු බව රියැදුරාට පවසමිනි.

ජාතික තලයේ ක්‍රීඩකයකුට සිදුවූ ආපදාව හා ඉක්මනින් දිය යුතු ප්‍රතිකාරය පිළිබඳ වටහා ගත් ඇම්බියුලන්ස් රියැදුරු සූරිය වැවෙන් හයිවේ එකට දමා එක පිම්මේ ගාල්ල බලා පිටත් විය. කිලෝ මීටර 110ක් වන දුර ගෙවීමට සාමාන්‍යයෙන් පැය එකහමාරකට ආසන්න කාලයක් ගතවෙතත් මිනිත්තු 45කින් චාමික රෝහල වෙත රැගෙන ඒමට රියැදුරා සමත් විය. ඒ වන විටත් චාමික රැගෙන එනතුරු මඟ බලා සිටි වෛද්‍යවරු සැත්කමට සූදානමින් සිටියහ.

ඒ වන විටත් චාමිකගේ එක දතක් සහමුලින්ම ගැලවී තවත් දත් දෙකක් දරුණුවටත් එක් දතක් බාගෙටත් ගැලවී තිබුණු අතර යටි තොල ද පැළී තිබිණ.

වහාම මුව ප්‍රදේශය නිර්වින්දනය කළ වෛද්‍යවරු දත් ඇන්ද යළි සකස් කිරීමේ කටයුත්ත ආරම්භ කළහ. ඉන්පසු පැළී තිබුණු යටිතොල හා විදුරුමස්වලට මැහුම් තිස් තුනක් ගසා සැත්කම අවසන් කරද්දී එයට පැය එකහමාරක් ගතව තිබිණ.

මීට වසර ගණනකට පෙර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී මෙවැනිම සිද්ධියක් විය. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරගය අතරතුර තවත් ක්‍රීඩකයකු සමඟ ගැටීම නිසා ස්ටීව් වෝ ගේ නාසය බිඳී ගියේය. හෙලිකොප්ටරයකින් කොළඹ මහ රෝහලට ගෙන ආ ස්ටීව් වෝ ගේ බිඳී ඇදවී තිබුණු නාසය සැත්කමකින් යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට වෛද්‍යවරු සමත් වූහ.

පසු කලෙක තමන්ගේ නාසය තිබුණාටත් වඩා හොඳින් සකසා තිබෙන බව ස්ටීව් වෝ මාධ්‍ය වෙත කීවේය. එසේම චාමිකගේ දත් ඇන්ද ද තිබුණාටත් වඩා හොඳින් සකසා ඇති බව වාර්තා වේ. මෙය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ දස්කම්වලට හොඳ උදාහරණයකි.

මධ්‍යම රාත්‍රියේ ආපසු සූරියවැවට පැමිණීමේදී හදිසියක් නොමැතිව රිය පැදවූ ඇම්බියුලන්ස් රියැදුරා ක්‍රීඩකයන් නැවතී සිටි හෝටලයට චාමික පරිස්සමින් රැගෙන ආවේය. එහිදී චාමික එන තෙක් බලා සිටි කණ්ඩායම් කළමනාකාරිත්වය හා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන සනත් ජයසූරිය හමුවූ චාමික කියා සිටියේ ඊළඟ තරගයේ ඔහුට ක්‍රීඩා කළ හැකි බවයි. මෙතරම් සිද්ධියක් වී සිටියදී මීළඟ තරගය ක්‍රීඩා කිරීමට තරම් ඔහු තුළ තිබූ ආත්ම ශක්තිය ගැන පුදුම වූ කණ්ඩායම් කළමනාකාරිත්වය ඔහුට ඊළඟ තරගය විවේක ගන්නා ලෙස උපදෙස් දුන් අතර, මහනුවර පල්ලෙකැලේ පැවැත්වෙන දෙවැනි වටයේ තරගවලදී ඔහු බොහෝ දුරට ක්‍රීඩා කිරීමට නියමිතය.

චාමික කරුණාරත්න යනු ක්‍රීඩා පවුලකින් පැවත එන්නෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා නිලූක කරුණාරත්න පුරා වසර 18ක් මෙරට ජාතික බැඩ්මින්ටන් ශූරයා වූ අතර දිනුක හා දිලුක නම් සෙසු සහෝදරයන් දෙදෙනා ද ශ්‍රී ලංකා අංක 2 හා 3 ශ්‍රේණිගත ක්‍රීඩකයෝ වූහ.

චාමික ද දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වුවත් පසුව බැඩ්මින්ටන් අත­්හැර ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කළේය. නිලූක කරුණාරත්න අවසන් වරට ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනා ගත්තේ කොවිඩ් වැලඳී සතියකට පසුවය.

චාමිකට ද දෙවරක්ම කොවිඩ් වැලඳුණු අතර මුල් වරට වැලඳී ගාල්ලේ විශේෂිත හෝටලයක නැවතී සිටියදීත් තම දෛනික ව්‍යායාම්වල යෙදීමට අමතක නොකළේය. ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම පිළිබඳ සුවිශේෂී ක්‍රීඩකයකු ලෙස චාමික ප්‍රසිද්ධය.

චාමිකට පිටිය මැදදී සිදුවූ මේ ඇබැද්දිය රට පුරා ක්‍රිකට් ලෝලීන් කම්පනයට පත් කිරීමට සමත් සිද්ධියක් විය. ඔහුට ඉක්මන් සුව පැතූ බොහෝ දෙනා ඔහුගේ මුහුණ යථා තත්ත්වයට පත් වනු අපේක්ෂා කරනු සමාජ මාධ්‍යවල දක්නට ලැබිණ. ඒ අතර එම උඩ පන්දුව ගැනීමට තිබුණේ කටින් නොව අතින් යයි කියමින් පෝස්ට් දැමූ ජීවිතයට ක්‍රිකට් නොගැසූ අමනයෝ ද වූහ. ආලෝක ධාරා මධ්‍යයේ හා පවතින සුළං තත්ත්වය මත එක එල්ලේ ඉහළ යන උඩ පන්දුවක් රැක ගැනීමේ අසීරුතාව දන්නේ එයට මුහුණ දෙන ක්‍රීඩකයන්ම පමණි. එහි පැවැත්වුණු තරගවලදී උඩ පන්දු රැසක් ක්‍රීඩකයන් වෙතින් ගිලිහී යෑමට මෙය ද හේතුවක් විය.

චාමික යනු අමුතුම තාලයේ ක්‍රීඩකයෙකි. තම අයියලා මෙන් ඔහු ද ක්‍රීඩා පිටිය මැද පරාජය වීමට අකැමැති ක්‍රීඩකයන්ගේ භාෂාවෙන් කියතොත් "ගේමට බැස්සම ගේමේ" ඉන්න ක්‍රීඩකයෙකි. මෙහිදී ඔහු දක්වන විවිධ ප්‍රතික්‍රියා හා ඉරියව් ඇතමුන්ට දිරවන්නේ නැත. ආගමට දහමට ළැදි චාමික තම ගම් ප්‍රදේශය වූ බලපිටියේ පන්සලක දාන ශාලාවක් රුපියල් කෝටියකට වැඩි වියදමකින් තම මුදලින් සාදා දුන්නේය. විස්සයි 20 ලෝක ශූරතා කුසලාන තරගාවලිය අතරතුර තම කාමරයේ බුදු පහනක් හා හඳුන්කූරු දැල්වීම නිසා කළමනාකරු වෙතින් ඩොලර් දහසක දඩයකට ලක්වූ එම සිද්ධිය හා කැසිනෝ අවන්හලක තවත් ක්‍රීඩකයන් සමඟ සිටියදී ඇති කර ගත් බහින් බස් වීමක් ගහ ගැනීමක් බවට වාර්තා වීමේ සිද්ධිය නිසා වසරක අත්හිටු වූ දඬුවම හා ඩොලර් පන්දහසක දඩයක් ද නියම විය.

කෘත ගුණ සැලකීම හොඳින් දන්නා අයකු වන චාමික දත් කඩා ගැනීමේ සිද්ධියෙන් පසු එම සිද්ධියේදී තමන්ට උදවු කළ සියලු දෙනාට ස්තුති කර පසුදිනම සමාජ ජාලවල අපූරු සටහනක් දැමීමට ද කටයුතු කළේය.

සෙසු ක්‍රීඩකයන් හා ලෝලීන් චාමික හඳුන්වන්නේ "යකා" යනුවෙනි. ඒ, ඔහු ඒ තරම්ම යකඩ යකෙක් බඳු ශරීර හා මානසික ශක්තියකින් යුත් ක්‍රීඩකයෙක් නිසාවෙනි.

දත් හතරක් කැඩී මැහුම් තිස් ගණනක් දමා තිබියදීත් මීළඟ තරගයට ක්‍රීඩා කිරීමට ඔහු සූදානම් වන්නේ මේ නිසාය.

 

Comments