අවු­රුදු 6කින් දරු සුර­තල් අහිමි පින්නවල අලි | Page 7 | සිළුමිණ

අවු­රුදු 6කින් දරු සුර­තල් අහිමි පින්නවල අලි

 

දිනය 1984 ජූලි පස් වැනිදාය. ලෝකයේ ප්‍රථමවරට සතුන් වත්තකදී හෝ අනාථාගාරයකදී හීලෑ ඇතින්නක විසින් පැටවකු බිහි කළේ එදිනය. ඒ පින්නවල අලි අනාථාගාරයේදීය. හරියටම අදින් වසර තිස් හයකට (36) පෙර සිදුවූ මෙම අලි උපත සමඟින් පින්නවල අලි අනාථාගාරය ලෝකයේ ම ප්‍රසිද්ධියට පත් විය.

පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර මේ වන විට වසර හතළිස් හයකි.1975 වසරේ පෙබරවාරි 16 වැනි දින මෙය ආරම්භ වූවේ එවකට නාවික හා සංචාරක ඇමැතිව සිටි දිවංගත පී. බී. ජී. කලුගල්ල ගේ අදහසකට අනුවය. මවගෙන් හා රැලෙන් මගහැරී වනයේ අතරමංවූ අලි පැටවුන්ට රැකවරණය ලබාදීම මෙය ඉදිකිරීමේ අරමුණ විය.‍

එලෙස අතරමං ව පින්නවලට ගෙන ආ අලි පැටවුන් පස් හය දෙනාගේ නම් ලැයිස්තුව මේ වන විට සියයකට ආසන්නව ඇත. දේශීය හා විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ස්ථානයක් ලෙස පින්නවල ප්‍රචලිත වූවේ එය අලි අභිජනන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වීමෙනි.

පින්නවල අලි අනාථාගාරයේ රැකවරණය ලබමින් සිටි ‘‘විජය‘‘ නමැති හස්ථියාට දාව එහි විසූ “කුමාරි“ කෙනර 1984 ජූලි 05 දින බිහි කළ පැටවා ගැහැනු අලි පැටවකු වූ අතර ඇය “සුකුමලී“ ලෙසින් නම් කෙරිණි. එතැන් සිට 2015 වසරේ ජූලි 09 වැනිදා දක්වා අලි පැටවුන් හැත්තෑ එක්දෙනකු පින්නවලදී උපත ලබා ඇත.“වසභ“ නමැති හස්ථියාට දාව “ශාන්ති“ කෙනර බිහි කළ එම පිරිමි පැටවා “අනුරාධ“ නමින් නම් විය.

එතැන් සිට මේ දක්වා වසර හයක් හරියටම ගතවී තිබේ. මේ වනවිට පින්නවල අලි ගහනය අනූ නවයකි. ඒ අධිකරණ නියෝග මත පින්නවල රඳවා සිටින අලින් දහහත් දෙනාද සමඟිනි. පින්නවල අලින් අතර පමණක් ජවසම්පන්න අලි ඇතුන් මෙන්ම නිරෝගී ඇතින්නන්ද වෙති. එසේ නම් දිගු කලක් අලි පැටවකු බිහි නොවූවේ මන්ද?

1984 ජූලි 05 දින සුකුමලී පින්නවලට දායාද කළ කුමාරි ඇතින්න 1989 ජූලි11දින විකුම් ,1993 ජූලි 01 දින ඇසල ,2004 නොවැම්බර් 26 දින මහසෙන් හා 2011 පෙබරවාරි 16 දින තවත් අලි පැටවකු සමඟින් අලි පැටවුන් පස්දෙන බිහි කළාය. මාතලී නමැති ඇතින්න ද කුමාරි අනුවම යමින් 1987 දෙසැම්බර් 18 දින සාමා ,1994 අප්‍රේල් 16 අමාලි , 1998 ජනවාරි 29 සාලිය ,2000 ජුලි 04 පින්නවල හා 2005 සැප්තැම්බර් 24 මාධවී යන අලි සිඟිත්තන් පස්දෙනකු පින්නවල අලි අනාථාගාරයට තිළිණ කළාය.

අනාථාගාරයේ වෙසෙන කොමලි නමැති කෙනර 1989 අගෝස්තු 14 මැණිකා ,1994 අප්‍රේල් 10 අරුණ ,1998 අගෝස්තු 07 අශෝකමාලා හා 2006 සැප්තැම්බර් 14 දින තවත් අලි පැටවකු සමඟ අලි පැටවුන් හතර දෙනකු බිහි කළ අතර, රැජිණ නමැති කෙනර 1995 සැප්තැම්බර් 27 නන්දිමිත්‍ර ,1999 අගෝස්තු 06 උත්පලා ,2004 මැයි 10 කෝසල හා 2011 මාර්තු 09 බිනුකි නමැති අලි පැටවුන් හතර දෙනකු ප්‍රසූත කර ඇත.

අලි අනාථාගාරයේදී 1984 දී උපන් පළමු පැටවා වන සුකුමලී 1997 පෙබරවාරි 07 දින අර්ජුන නමැති අලි පැටවා බිහි කළ අතර ඇය 2001 ඔක්තෝබර් 02 ඛේමා හා 2004 සැප්තැම්බර් 13 සෙනරත් යන පැටවුන් බිහිකරමින් අලි පැටවුන් තිදෙනකුගේ මවක වූවාය.

සුකුමලී මෙන්ම මැණිකා ද 2001 ජුනි 23 මිගාර , 2005 ජනවාරි 03 මිහිරි හා 2011 මාර්තු 17 ට්‍රින්කි යනුවෙන් අලි පැටවුන් තිදෙනකු පින්නවලට තිළිණ කළාය. කමනී, අනුරාධා හා මහවැලි ඇතින්නියන් පැටවුන් දෙදෙනකු බැගින් බිහි කළ අතර, අනූෂා, නිකිණි, අශෝකමාලා, රන්මලී, මයුරි, සෝමා හා අමාලි ඇතින්නියන් බිහිකර ඇත්තේ එක් පැටවකු බැගිනි.

අලි අනාථාගාරයේ උපත ලද අලි පැටවුන්ගෙන් වැඩිම පිරිසකට පියකුවීමේ භාග්‍යය උදාකර ගෙන ඇත්තේ නීලගිරි, නීලා, ජයතු හා වසභ යන අලින් විසිනි. මෙම එක් එක් අලින් විසින් පැටවුන් පහළොස් දෙනකුට වඩා අධික අලි පැටවුන් සංඛ්‍යාවකට පිය පදවිය උරුම කරගෙන ඇත. බුවනෙක හා විජය පැටවුන් පස් දෙනකුටද පින්නවල පැටවුන් හතර දෙනකුට ද පිය පදවි ලබා ඇතැයි සැලකේ.

මෙවන් ඉතිහාසයකට උරුම කියන පින්නවල අලි අනාථාගාරයේ වසර හයක කාලයක් අලි පැටවුන් බිහි නොවීම පිළිබඳව අලි අනාථාගාරයේ විශ්‍රාමික ප්‍රධාන ආරක්ෂක (සත්ව) එස්. එස්. එම්. සීලරත්න පවසන්නේ මෙබන්දකි.

“මම විශ්‍රාම ගත්තේ 2014 වර්ෂයේදී. අපි ඒ කාලයේ පැටවුන් බෝකිරීම සම්බන්ධව සේවක මණ්ඩලයත්, කාර්ය මණ්ඩලයත් ඉතාමත්ම සහයෝගයෙන්,වුවමනාවෙන් කටයුතු කළා. දැන් කොහොම කැපවීමක් කරනවාද කියා මම දන්නේ නැහැ. නමුත් සතුන් ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනෑ.විශේෂයෙන්ම ගැහැනු සතකුගේ පට්ටි ලක්ෂණ ගැන අවබෝධයකින්,අවධානයකින් කටයුතු කරන්න අවශ්‍යයි. එය හරිහැටි හඳුනාගෙන පිරිමි සතුන් රැලට එක්කිරීමට සතුන්ගේ ඉරියව් ගැන අවධානයකින් ඉන්න ඕනෑ.

අලි අනාථාගාර භූමියේ අක්කර විසි හයක පොල් වත්තෙන් අක්කර විස්සක් විතර එදා සතුන්ට වෙන්වෙලා තිබුණා. දැන් එහි ඉඩකඩ සෑහෙන දුරට ඇහිරිලා. සතුන්ට නිදහසේ සැරිසැරීමට තිබූ ඉඩකඩ අඩුවීමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.මම නොකඩවාම පැටවුන් බෝ කිරීමේ අවශ්‍යතාව අත්හැර දැමුවේ නැහැ. එක පැටියෙක්වත් වසරකට බෝකරගන්න ඕනෑ කියන අදහස මට තිබුණා. අලි පැටවුන් බිහිවෙනවාත් සමඟම මාධ්‍ය මඟින් ඒ ගැන ප්‍රචාරයවීමෙන් සංචාරකයන් වැඩිවී අලි අනාථාගාරයේ ආදායමත් වැඩි වුණා.

අලි අනාථාගාරයේ ඇතුළේම සිටින අලින්ගේ ජාන දිගින් දිගටම එකතුවීමෙන් රෝගී පැටවුන් බිහි වේවි යැයි කාලයක් වෛද්‍යවරු මතයක් ගෙන ආවා. අපේ මතය තිබුණේ ලේ ඥාති එක්වීමක් සිදුවෙන්නේ නැහැ කියලයි. ලිංගික එක්වීම සඳහා තෝරා ගැනීමේදී ඔවුන්ට ලේ සුවඳ හඳුනාගැනීමක් සිදුවිය හැකියි. ඒකට හොඳම උදාහරණය විජය පැටවා. එයාගේ පැටවකු වූ සුකුමලි යි විජයයි අතරේ කිසිම ලිංගික සම්බන්ධයක් තිබුණේ නැහැ. වෛද්‍යවරුන්ගේ මතය කුමක් වුවත් අපේ එක් අලි පැටවකුවත් දුර්වල වෙලා මැරුණේ නැහැ. මම දැනුවත්ව උපත් කීපයක් සිදුවුණා කාලය සම්පූර්ණවීමට පෙර. ඒ හැර සතුන් දුර්වල වූ බවට වාර්තාවී නැහැ.

පින්නවල උපන් පළමු අලි පැටවා සුකුමලී...එයාගේ තාත්තා විජය. අම්මා කුමාරි. කුමාරි ගැබ්ගත් බව අපි දැනගත්තේ එයාගේ ඉරියවුවලින්, ගමන් විලාසයෙන් හා දේහ ලක්ෂණවලින්. ඒ කාලයේ සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ලීන් ද අල්විස් මහත්තයා. එතුමා මේ ගැන ලොකු උනන්දුවක් දැක්වූවා. කුමාරි ගේ රුධිර සාම්පලයක් ඇමරිකාවට යවලා ඒ වාර්තාවලින් ස්ථිරවම දැනගත්තා ඇය ගැබ්ගෙන ඇති බව. ඒ කාලයේ සත්වෝද්‍යානයටම හිටියේ එක පශු වෛද්‍යවරියක් විතරයි. ඇය පුළුවන් හැම වෙලාවට පින්නවලට ඇවිත් කුමාරි ව බලලා ගියා. විශේෂ ප්‍රතිකාරයක් ලබාදෙන්න සිදුවුණේ නැහැ. ඇය නිරෝගි පැටියෙක් බිහි කළා.

මේ වෙනකොට අපි දැනගෙන සිටියා ලෝකයේ පළමු වතාවටයි සතුන් වත්තක හෝ මෙවැනි ආරක්ෂක ස්ථානයක ඇතින්නක විසින් පැටවකු බිහිකරන්නේ කියලා. මෙය විශේෂ අවස්ථාවක් නිසා අපිත් වැඩි අවධානයකින් ඉහළම බලාපොරොත්තුවකින් හිටියා. පැටවා බිහිවුණාම ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශ රටවලිනුත් සංචාරකයන් මේ වෙනුවෙන්ම අලි පැටවා බලන්න පින්නවලට ආවා. ඒ වෙනකොට අපේ රංචුවේ පරිණත අලින් විසි ගණනක් විතර සිටියා. මේ අයගෙනුත් පැටවුන් ලබාගන්න අපට අවශ්‍ය වුණා. ඒ අනුව තමයි ක්‍රමයෙන් අලි පැටවුන් හැත්තෑවක්ම පින්නවල උපත ලැබුවේ.“

අලි පැටවුන් බෝකිරීමේ කාර්යය පිළිබඳව එහි වසර හතර හමාරක පමණ කාලයක් සේවය කරන පශු වෛද්‍ය රොෂාන් නිමල්ශාන්ත කරුණාරත්නගෙන් විමසුවෙමු.

 මව් පද­විය දරන්න සුදුසු පස් හය ­දෙ­නෙක් පින්න­වල  සිටි­නවා;  අධි­ක­රණ නියෝග මත පින්න­වල රඳවා සිටින නඩු අලි නම් අපි මේ සඳහා යොදා ගන්නේ නැහැ 

පශු වෛද්‍ය රොෂාන්  නිම­ල්ශාන්ත කරු­ණා­රත්න
 

“පින්නවල අලි පැටවුන් බෝ කිරීමේ ක්‍රියාවලිය අපි දිගින් දිගටම කරගෙන එනවා. මේ සඳහා හැම සතෙක්ම පාවිච්චි කරන්න බැහැ. සාමාන්‍යයෙන් ගැහැනු සතෙක් හැම වෙලාවෙම යොදාගන්න බැහැ. ඒ වගේම සුදුසුම පිරිමි සතෙක් තමයි අපි යොදා ගන්නේ. දැනට ගැබ්ගත් බවට සැක කරන සතුන් සිටිනවා.ඔවුන්ගේ හෝමෝන ඇතුළු විවිධ පරීක්ෂණ සිදු කෙරෙනවා. සුබවාදී පිළිතුරක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අතරිනුත් එක්කෙනෙක් ගැන ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. කලින් පැටවකු දැමූ කෙනෙක් ගැන.නමුත් මේ සඳහා සුදුසු බොහෝ පිරිසක් නැහැ.

අලින් බෝකිරීම සඳහා සතුන් තෝරා ගත්තාට සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල ලබන්න නොහැකි වෙන්න පුළුවන්. ඇතින්නකගේ ගැබ් කාලය මාස විසිදෙකක්.ඉදිරි මාස පහ හයකට කලින් වැඩිම වුණොත් මාස හතරකින් විතර පැටවෙක් ලැබෙයි කියන විශ්වාසය තිබෙනවා. ඇතින්නකගේ ගැබ් ගැනීමට සුදුසු වයස එක් එක් සතාගේ ලක්ෂණ අනුව වෙනස් වෙනවා. මව් පදවිය දරන්න සුදුසු පස් හයදෙනෙක් පින්නවල සිටිනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙනයි අපි බෝ කිරීම සඳහා සතුන් තෝරා ගන්නේ. සාමාන්‍ය මිනිසුන්ගේ ලේ ඥාතිත්වය තුළ දරුවන්ගේ විකෘති ස්වභාවයන් සිදුවෙනවා වගේ සතුන්ටත් එහෙම වෙනවා. අපි පාවිච්චි කරන්නේ ඒවා මඟ හැරලා.

අධි­ක­රණ නියෝග මත අලි 19 ක්  පින්න­වල රඳවා  සිටි­නවා. ඒක ලොකු බල­පෑ­මක් 
ජාතික  සත්වෝ­ද්‍යාන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේණුකා  බණ්ඩා­ර­නා­යක 
 

මේ කාර්යය සඳහා යොදාගැනීමට අපිට පිරිමි සතුන් විශාල ප්‍රමාණයක් නැහැ. පිරිමි සතුන් හිටියත් ඒ අතරින් තෝරාගත් කෙනෙක් තමයි අපි ඒ සඳහා යොදාගන්නේ. කොරෝනා තත්වය මත සංචාරකයන් පැමිණීම අඩුවීමත් සමඟ සතුන්ට නිදහස වැඩිවී තිබෙනවා. සතුන්ගේ ස්වභාවික ලක්ෂණ එළියට ඒමට එයින් අවස්ථාව වැඩිවුණත් එයම මේ සඳහා හේතුවුණා යැයි කියන්න බැහැ. මේ හැමදේකටම ස්වභාවික බලපෑමක් තිබෙනවා. ලේ ඥාති හඳුනාගැනීමක් සතුන් අතර නැහැ. ඒ අය එක්වෙනවා. අපිට පිටින් බලලා එහෙම කියන්න බැහැ. කොහොම වුණත් අධිකරණ නියෝග මත පින්නවල රඳවා සිටින නඩු අලි නම් අපි මේ සඳහා යොදා ගන්නේ නැහැ.“

පින්නවල අලි අනාථාගාරයේ ජ්‍යෙෂ්ඨ පාලක (සත්ව) සංජය කුමාර රත්නායක පින්නවල උපන් අලි පැටවුන් හැත්තෑවෙන් අඩකට වඩා බිහිවීමේදී එහි සිට අත්දැකීම් රැසක් ඇත්තෙකි.අපි ඔහුද මෙම කතාබහට හවුල් කරගතිමු.

“පසුගිය කාලයේ කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරකයන් පැමිණීම සීමාවීමත් සමඟ අලි බෝකිරීමේ කාර්යයට වැඩි නිදහසක් ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර තුළ යළි පින්නවල අලි උපතක් සිදුවේවි යැයි කියලා. පින්නවල අලින්ට නිදහසේ සැරිසරන්න අක්කර විසි හතක් විතර ඉඩකඩ තිබුණත් අධිකරණයෙන් එවන ලද අතිරේක අලි නිසා ඉඩ ප්‍රමාණයේ යම් ගැටලුවක් තිබෙනවා. අලියා ගොඩාක්ම සංවේදී සතෙක්. පරිසර තත්ත්වය මතත් ඔවුන් බෝවීම කරන නොකරන එක තීරණය කරනවා. හොඳ දේශගුණික රටාව, ආහාර සුලබවීම මතත් අභිජනන කටයුතු වැඩියෙන් සිදුවෙනවා.“

 එදා පින්නවල අක්කර 26ක පොල් වත්තෙන් අක්කර 20ක් විතර සතුන්ට වෙන්වෙලා තිබුණා. දැන් සෑහෙන දුරට ඉඩ ඇහි­රිලා 

අලි අනා­ථා­ගා­රයේ විශ්‍රා­මික ප්‍රධාන 
ආර­ක්ෂක (සත්ත්ව) එස්.එස්.එම්. සීල­රත්න
 

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේණුකා බණ්ඩාරනායක මෙම කරුණු සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි. “පින්නවල මේවනවිට ගැබ්බර ඇතින්නන් දෙදෙනෙක් සිටිනවා.පැටවුන් ලැබෙන දින හරියටම කියන්න බැහැ. අගෝස්තු මාසය පසුවන විට හෝ මේ අවුරුද්ද අවසානයට පෙර පැටවුන් බලාපොරොත්තු වෙනවා. පින්නවල මේ වනවිට අලි පැටවුන් හැත්තෑ එකක් ඉපදිලා තිබෙනවා. එයාලා අලි උපත් හැත්තෑපහත් පුරවයි. අධිකරණ නියෝග මත අලි දහනවයක් පින්නවල රඳවා සිටිනවා. ඒක ලොකු බලපෑමක්. පින්නවල අලි කීප දෙනෙක් අපේ සෆාරි උද්‍යානවලට යවලා තදබදය තරමක් අඩු කළා. අලි ගහනය වැඩිවීම ප්‍රජනන ක්‍රියාවලියට සෘජුවම බලපානවා. ස්වභාවික උපතක් සිදුුවීමට ගැහැනු පිරිමි අනුපාතය එකට පහක්වත් වෙන්න ඕනෑ. අපේ එකට එකක් වගේ තිබෙන්නේ. කැලයේ මෙය එකට පහළොවක් විතර වෙනවා. පිරිමි සතුන් වැඩිවන විට ගැහැනු සතුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වයන් ස්වභාවිකවම පාලනය වෙනවා.“

Comments