බස් කොන්දොස්තර චර්යාවන් නැවත සැකසිය යුතුය | සිළුමිණ

බස් කොන්දොස්තර චර්යාවන් නැවත සැකසිය යුතුය

අතීතයේ සිටම වරින්වර පෞද්ගලික සහ රජයේ බස් රියැදුරන්ටත්, කොන්දොස්තරවරුන්ටත් අනුගමනය කළ යුතු නීති මාලාවන් සංශෝධනය වී ඇත. කලෙක නිල ඇඳුමක් නිර්දේශ විය. පෞද්ගලික බස්වල ටිකට් ලබාදීම අනිවාර්ය විය. නමුත් දැනට ඒ සියල්ලම නතරව තිබේ. එයටත් වඩා ආචාරධර්ම පද්ධතියක් අනුගමනය කිරීමට වරින්වර නිර්දේශ වුවත් නැවත ඒවා අභාවයට යයි.

බස්වල නඟින සියලු මගීන් බොහොමයක් කොන්දොස්තරලාගේ ඥාතින් බවට දක්වමින් අයියා නැතහොත් මල්ලි, අක්කා නංගී යන ස්වරයෙන් ආමන්ත්‍රණය කරති. එලෙස අමතන කොන්දොස්තරලා කිසිම විටෙක මහත්මයා, නෝනා, සර්, මිස් යන වදන් භාවිත නොකරයි. මේ වන විට රටේ බැංකු, සුපිරි වෙළෙඳසල් ආදි සියල්ලකම පාහේ ආචාර්ය සම්පන්න ඇමතුම් ක්‍රමවේදයක් අනුගමනය කළත්, බස් කොන්දොස්තරලාට පමණක් එවැනි ආචාර සම්පන්න ඇමැතුම් ක්‍රියාවලියක් නොමැත.

එම නිසා විශේෂයෙන්ම පෞද්ගලික බස් කොන්දොස්තරලාට මගීන් හට ආමන්ත්‍රණය කරලීමේ ආචාරධර්ම ක්‍රමවේදයක් ඉගැන්විය යුතුව ඇත. දෙවැන්න ටිකට් මැෂින් මඟින් ටිකට් ලබාදීම අනිවාර්ය කළ යුතුය.

කොන්දොස්තරලා කරන තවත් වැඩක්නම් ඉතිරි මුදල් යටිමඩි ගැසීමය. එහිදී සෑම ගමනාන්තයක සිටම බස්රථ ආරම්භයට පෙර ඇති තරම් මාරු කාසි අසල බැංකුවකින් ලබාගෙන එන ලෙස කොන්දොස්තර මහත්වරුන් දැනුම්වත් කළ යුතුය. කිසි විටෙකත් ඔවුන් වැඩියෙන් මුදල් ගෙන ඉතුරු කාසි නොදුන්නද අඩුවෙන් මුදල් ගැනීම නම් නොකරති.

සෑම බස් රථයකම ගමනාන්තය තෙක් සියල්ල පටිගත වන ආරක්ෂක කැමරාවක් සවි කිරීමද අනිවාර්ය කළ යුතුය. බස් කොන්දොස්තර පුනරුත්ථාපනය කිරීමේ මෙම වැඩපිළිවෙළ දැන් සිටම ආරම්භ කිරීමට රජයේ සියලු දෙනා වගබලා ගත යුතුය.

 

 

 

Comments