ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් අල්ලයිද? | Page 5 | සිළුමිණ

ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් අල්ලයිද?

වසර ගණනාවක් පුරා මේ කඳුකර දේශය විඳි දුක් ගැහැට අපමණය. වරක් ඔවුන් වම් පස බලවතුන් අතටත්, තවත් වරක් දකුණු පස බලවතුන් අතටත් අතින් අත මාරු වූයේ පන්දුවක් විලසිනි. අවසන ඔවුන් ගොදුරු වූයේ අන්තවාදීන්ටය. ඉන්පසු ඒ අන්තවාදීන් බිහි කළ පිරිස්ම අන්තවාදින්ගෙන් ඔවුන් ගලවා ගැනීමට පැමිණියහ. දැන් යළිත් ඔවුන් සූදානම් වන්නේ අන්තවාදීන් අතට රට පත් කරමින් සමුගෙන යන්නටය. මේ සියල්ල හමුවේ අසරණ ඇෆ්ගනිස්ථානය කිසිවක් කර කියා ගත නොහැකිව පසුවන්නේය. ඇතැම් විට සමස්ත පෘථිවි තලයේම ඇෆ්ගනිස්ථානය තරම් අසාධාරණයට ලක් වූ තවත් බිම් කඩක් නොමැතිවා විය හැකිය. ඒ අසලට හෝ පැමිණිය හැකි නම් ඒ පලස්තීනයට පමණි.

අදින් වසර විස්සකට පෙර ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයට පැමිණෙන්නේ අල් කයීඩා සංවිධානය බිමට සමතලා කිරීමේ අරමුණ ඇතිවය. අල් කයීඩා සංවිධානයේ මූලස්ථානය ඇෆ්ගනිස්ථානයේ පිහිටා ඇති බව ප්‍රකාශ කෙරෙන අතර එහි පැවැත්මට ඒ වන විට ඇෆ්ගන්හි බලය අල්ලාගෙන සිටි ඉස්ලාම් අන්තවාදී තලේබාන් සංවිධානයේ සහය හිමිවන බවද පැවසිණි.

අසල්වැසි පකිස්තානයේ සහය ලබා ගනිමින් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයට පැමිණෙන්නේ යුරෝපා නේටෝ හමුදාවල සහයද ලබා ගනිමිනි. ඒ අන්දමින් තලේබාන් බලය ඇෆ්ගනිස්ථානයෙන් නෙරපා දැමුණු අතර එතැන් සිට ඇෆ්ගනිස්ථානයේ ඇමරිකාවට හිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ස්ථාපිත වන්නේය. මේ සිදුවීම ඒ සමකාලීනව ඉරාකය තුළද සිදුවන බව අමතක කළ නොහැකිය.

අතීතයේ එලෙස ඇමරිකාව තම ව්‍යප්තවාදය හමුදා මඟින් පවත්වාගෙන ගියද දැන් ඇමරිකාවට සිදුව ඇත්තේ හැකිතාක් තම වියදම් සිමා කරමින් ආර්ථිකය පවත්වා ගැනීමට මුල්තැන දීමටය. බයිඩන් ප්‍රජාතන්ත්‍රවාදීමය සීනි දැවටුමක ඔතා පවසන කතාවල සැබෑ අර්ථය වන්නේ ලොවට චණ්ඩියා වීමට පෙර තමන් යළි ස්ථාවර විය යුතු බවය. සැබවින්ම ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු සහ නේටෝ හමුදා ඉවත් කර ගැනීම යහපත්ය. ඒ කිසිදු රටක වෙනත් රටකට අයත් හමුදා ක්‍රියාත්මක වීම අනුමත කළ නොහැකි වන නිසාවෙනි. එහෙත් දැන් පෙනෙන්නට තිබෙන්නේ අස්ථාවර ඇෆ්ගනිස්ථානය ඇමරිකානු හමුදා ඉවත්වීමත් සමඟ කබලෙන් ලිපට වැටීමට යන බවකි. මේ වන විටත් ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය මත ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීම අරඹා තිබේ.

දැනට සිදු කර ඇති ගණනය කිරීම් අනුව අවසන් ඇමරිකානු සහ නේටෝ හමුදා භටයා පිටත්ව යෑමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් මස 11වැනිදාය. එහෙත් මේ වන විටත් ඇමරිකානු හමුදා ඉවත්ය යෑමේ දරුණු අතුරු ප්‍රතිඵලයකට මුහුණ දීමට බටහිර ලැදි ඇෆ්ගන් ආණ්ඩුවට සිදුවී තිබේ. ඒ තලේබාන් සංවිධානය ශීඝ්‍රයෙන් ඇෆ්ගනිස්ථානයේ බලය තහවරු කර ගනිමින් සිටීමයි.

මේ වන විටත් ඇමරිකානු හමුදාවන්ගෙන් හිස්වන ඇෆ්ගන් දිස්ත්‍රික්ක ගණනාවක් බලය තලේබාන් සංවිධානය විසින් තහවුරු කරගෙන තිබේ. මේ පෙනෙන්නට තිබෙන අනාවැකි අනුව අවසන් ඇමරිකානු හමුදා භටයා ඉවත් වී යෑමත් සමඟ ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානය අතට පත්වීම වැළැක්විය නොහැකිය.

ඇෆ්ගනිස්ථානයේ වර්තමාන ජනාධිපති අශ්රෆ් ගානි පසුගියදා බයිඩ්න් හමුවීමට ගියේද ඇතිවීමට යන තත්ත්වය පිළිබඳව හොඳින් වටහාගෙන සිටින බැවින් යැයි සිතිය හැකිය. නමුත් බයිඩ්න් පවසා සිටියේ ඇෆ්ගනිස්ථානයට දැන් පාර තනිවම පාර සොයා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

මෙය අකාරුණික ප්‍රතික්ෂේප කිරීමක් ලෙසද දැකිය හැකිය. ඇෆ්ගනිස්ථානයට හමුදා යැවීමටද ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරුන්ගේ අනුමැතිය හිමිවූ පසුබිමක බයිඩ්න් මෙලෙස ඇෆ්ගනිස්ථානය එක්වර අතහැර දැමීම සැබවින්ම ඇෆ්ගනිස්ථානය අගාධයකට තල්ලු කර දැමීමකට සමාන කළ හැකිය. ඇෆ්ගන් පාලනාධිකාරය කොතෙක් ඉල්ලා සිටියද යළිත් තම වැය ශීර්ෂය වර්ධනය කර ගැනීමට ඇමරිකාව සූදානම් නැත. මේ අතර පකිස්තානය පසුගියදා පවසා සිටියේ යම් හෙයකින් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය යළිත් අත්පත් කර ගත හොත් තමන් දේශසීමාව වසා දැමීමට කටයුතු කරන බවයි.

ඇෆ්ගනිස්ථානය හේතුවෙන් තවත් බැට කෑ රටක් වේ නම් එය පකිස්තානයයි. ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමේදී ඇමරිකාව පකිස්තාන භූමිය භාවිත කළ අතර ඒ සඳහා තමන්ට හිතවාදී ආණ්ඩු පත් කර ගැනීමටද ඇමරිකාව කටයුතු යෙදීය.

තම අරමුණු ඉෂ්ට වීමෙන් පසුව මේ සියල්ල අත්හැර දැමුණු අතර පකිස්තානයේ සැඟවී සිටි අල් කයීඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බිල් ලාදෙන් මරා දැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී අවම වශයෙන් පකිස්තාන රජය දැනුම්වත් කිරීමක් හෝ සිදු කරනු නොලැබීය. මේ සියල්ල මත තලේබාන් සංවිධානය යළි ඇෆ්ගනිස්ථානය තුළ බලය අත්පත් කර ගැනීමේ දුර්විපාක ආසන්න වශයෙන්ම අත්විඳීමට සිදුවන්නේ පකිස්තානයට බව පැහැදිලිය.

අනෙක් අතට ඇෆ්ගනිස්ථානය යනු දකුණු ආසියාවේ රටකි. දකුණු ආසියානු කලාපයේ සහෝදර එකමුතුවට ඉන් අයහපත් ප්‍රතිඵල ඇතිවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කලාපීය බලවතා ලෙස ඉන්දියාවද තලේබාන් බලවත්වීම සම්බන්ධව සතුටු නොවනු ඇත.

ඒ සියල්ලට වඩා තලේබාන් සංවිධානය රටේ බලය අත්පත් කර ගැනීම සම්බන්ධව ඇෆ්ගන් වැසියන් අසතුටට පත් වනු නොඅනුමානය. මීට පෙර තලේබාන් සංවිධානය සතුට ඇෆ්ගනිස්ථානයේ පාලන බලය පැවති අවස්ථාවල ඔවුන් රටේ ජනතාව ආගමික අන්තවාදයෙන් දැඩි ලෙස පීඩාවට පත් කළහ.

කාන්තාවන් සම්බන්ධව දැඩි නීති රීති පැනවූ අතර පුරුෂයන් සමඟ සමව ඉගෙනීම ලැබීම ඇතුළු සීමා රැසක් කාන්තාවන් වෙනුවෙන් පනවනු ලැබීය. දැන් යළිත් තලේබාන් අන්තවාදීන් අතට රාජ්‍ය බලය හිමිවීම යනු ඇෆ්ගන් ජනතාවගේ නිදහස සීමා වීම බව පැහැදිලිය. ඇතැම් විට මෙහි යම් වෙනස්කම් සිදුවීමටද ඉඩ ඇති බව පෙනෙන්නේ ලොව පුරා මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම්වල යම් සීමාවීම් දැක ගැනීමට ලැබෙන බැවිනි. එහෙත් එය කෙසේ වුවද අන්තවාදීන් අතට රටක පාලන බලය පත්වීම එරට ජනතාවට, එම රට පිහිටා ඇති කලාපය පමණක් නොව පොදුවේ මුළු ලෝකයටම වුවද යහපත් නොවන බව පැවසිය. හැකිය.

 

 

Comments