ප්ලාස්ටික් තහං­චියි | Page 2 | සිළුමිණ

ප්ලාස්ටික් තහං­චියි

 

 

ප්ලාස්ටික් භාවිතයට පැනවෙන තහංචියක් ගැන නැවතත් කරළියට පැමිණ තිබේ. එය ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ 2022 ජනවාරි 01 වැනිදා සිට ය. පරිසර අමාත්‍යවරයාට ඇති බලතල ප්‍රකාරව ප්ලාස්ටික් නියාමනයට අදාළව සකස් කළ මෙයට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මේ වන විට ගැසට් පත්‍රය මඟින් තහනම නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

ලබන වසරේ සිට තහනම් කිරීමට නියමිත භාණ්ඩ මතු දැක්වේ.

(අ) මිලි මීටර් 350 හෝ ඊට පළලින් අඩු මිලි මීටර් 500 හෝ ඊට අඩු උසින් සහ මිලි මීටර් 125ක ගසට් ප්‍රමාණයෙන් යුක්ත ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග්

මෙහිදී තහනමට ලක් වන්නේ භාණ්ඩ රැගෙන යෑම සඳහා (carrying bags) භාවිත වන ෂොපින් බෑග් සහ ග්‍රොසරි බෑග් පමණි. ඇසුරුම් සඳහා අදාළ නොවේ.

(ආ) එක් වරක් පමණක් භාවිත වන බීම බට සහ බීම කලතන.

(ඇ) වරක් පමණක් පාවිච්චියට ගෙන ඉවත දමන ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි (මෙහිදී යෝගට් හැඳි ද මෙයට අයත් වේ) ගෑරුප්පු සහ ප්ලාස්ටික් පිහි.

(ඈ) ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු

(ඉ) ප්ලාස්ටික් තණකොළ

(ඊ) ප්ලාස්ටික් මල්මාලා

“මීට අමතරව හඳුන්කූරු පැකට්වල හඳුන්කූරු දවටා තියෙන පොලිතින් දවටන සහ පහන්තිර අසුරා තිබෙන පොලිතින් කවර තහනම් කිරීමට අපි කටයුතු කර තිබෙනවා. සිරිපාදේ පැත්ත විනාශ වෙලා තියෙන්නේ මේ පොලිතින් ඇසුරුම්වලින්. කොහොමටත් අපි එක්වරම නීති මඟින් කටයුතු කරන්නේ නැහැ. නිෂ්පාදකවරුන්ට මාස 6ක කාලයක් දෙනවා ඒ අයට සූදානම් වීමට.“ යනුවෙන් සඳහන් කළේ මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න ය. මෙම ප්ලාස්ටික් තහනම පිළිබඳව නියාමනය කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්ලාස්ටික් තහනම සඳහා පියවර ගත් දෙවැනි අවස්ථාව වශයයෙන් මෙය දැක්විය හැකිය.

ප්‍රථම වතාවට ක්‍රියාත්මක වූයේ 2021 මාර්තු 31 වැනිදා සිට තහනම් කළ ප්ලාස්ටික් ඇසුරුම් කීපයකටය. කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා යොදා ගනු ලබන පොලිඑතිලින් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනල් ක්ලෝරයිඩ් ද්‍රව්‍ය (PVC), ශුද්ධ බර මිලි ලීටර් 20 හෝ ශුද්ධ බර මිලි ලීටර් 20ට අඩු සැෂේ පැකට්, හුළං පිරවිය හැකි සෙල්ලම් බඩු, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් 2021 මාර්තු 31 වැනි දින සිට තහනම් කෙරිණි.

“ප්ලාස්ටික් තහනම් කිරීම සඳහා පියවර ගැනීම හොඳ දෙයක්. ඇත්තටම අද ෂොපින් බෑග්, ලන්ච් ෂීට් කියන්නේ රටකට ශාපයක්. ඒවා දිරන්නේ නැහැ. ප්‍රතිචක්‍රීය කරන්නත් බැහැ. ඒවා හැමතැනම රැඳිලා වැසි වතුර බැස යෑමට නොහැකි ගැටලු පවා ඇති වෙලා තියෙනවා. කුණු කන්න ආපු අලි ලන්ච් ෂීට් ගිලලා මැරෙනවා.

ඒනිසා පාරිසරික වශයෙන් මෙය හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. ඒත් මේ නීති දැම්මාට වැඩක් නැහැ නීතියෙන් පිටට පනිනවා නම්. දැන් බලන්න, ගියපාර මිලි ලීටර් 20 සහ ඊට අඩු සැෂේ පැකට් තහනම් කළා. ඒත් නිෂ්පාදකවරුන් මිලි ලීටර් 24 සැෂේ පැකට් හදලා නීති රාමුවෙන් ලස්සනට රිංගුවා. එහෙම වුණාම නීති පැනවීමෙන් අපේක්ෂිත පරමාර්ථය ඉටු වෙන්නේ නැහැ. තහනම හරියට සිද්ධ වෙන්න ඕනෑ.

2021 මාර්තු මාසේ 31 ක්‍රියාත්මක කළේ 2021 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට 2020 ඔක්තෝබර් මාසයේ ගත් කැබිනට් තීරණය. නීතිය සැරින් සැරේ වෙනස් කිරීම රජයට හොඳ මදි.“ යනුවෙන් සඳහන් කළේ ‘ද පර්ල් ප්‍රොටෙක්ෂන්‘ ආයතනයේ සම්බන්ධීකාරක මුදිත කටුවාවලය.

රජය නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර මාස කීපයක කාලයක් ලබා දෙන්නේ ව්‍යවසායකයින්ට ඒ සඳහා සූදානම් වීමට ය. සැලසුම් කිරීමටය. එහෙත් ඔවුන් විසින් සැලසුම් සකස් කරනු ලබන්නේ නීතියේ හිස්තැන්වලින් රිංගා යෑමට නම් රටක් වශයෙන් මුහුණ දී සිටින පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රශ්නයෙන් අප ගැලවෙන්නේ කෙසේද? ප්ලාස්ටික් දහනය කිරීමේදී වායුගෝලයට විෂ රසායනික ද්‍රව්‍ය එකතු වේ.

එම විෂ වායුව ශ්වසනය කිරීමෙන් පිළිකා වැනි මාරාන්තික රෝග ඇතිවේ. එහෙත් ප්ලාස්ටික් හෝ පොලිතින් කෙටි කාලයකින් දිරාපත් වන්නේ ද නැත. ඒ සඳහා අවුරුදු 300 - 400 අතර කාලයක් ගතවේ. පරිසරයට මුදා හැර ඇති ප්ලාස්ටික් අව්වට වේළී වැස්සට තෙමී කුඩා අංශුවලට කැඩී යන අතර මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් වතුරට ගලාගෙන ගොස් ගංගා ඇළදොළට එකතු වේ.

ජලයේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආහාර යැයි සිතා මාළුන් ආහාරයට ගන්නා අතර අවසානයේ දී එය මිනිසාට ශරීරගත වනු ඇත. ප්ලාස්ටික් ගසාගෙන එන විට අවට පරිසරයේ ඇති විෂ රසායනික ද්‍රව්‍ය, බැරලෝහ වැනි සියලුම විෂ උරා ගනී. මිනිසාට ශරීරගත වන ප්ලාස්ටික් අංශු සමඟ විෂ රසායනික ද්‍රව්‍ය ද මිනිසාට ශරීරගත වේ. වකුගඩු රෝග, ශ්වසන රෝග, පිළිකා වැනි භයානක රෝග ඇති වීමට මෙය හේතුවකි. එහෙත් ප්ලාස්ටික්, ලන්ච් ෂීට්, ෂොපින් බෑග් භාවිතයෙන් අප තවමත් මිදී නැත.

“මේ ගැන ජනතාව ඔළුවෙන් කල්පනා කරලා තීරණ ගන්න ඕනෑ. ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටුවල ඉඳිආප්ප තම්බන විට ප්ලාස්ටික් නටන ජලය සමඟ ප්‍රතික්‍රියා කරලා ශරීරයට අහිතකර දෙයක් හැදෙනවා. ඒවා ඉඳිආප්ප එක්ක බඩට යනවා. ගොඩාක් දෙනා අද එළවළු කපන්නේ ප්ලාස්ටික් ලෑල්ලක. එළවළු කපලා ලෑල්ලේ තියෙන සේරම හූරලා හට්ටියට දානවා. ඇයි අපිට බැරි එළවළු කපන්න ලී ලෑල්ලක් පාවිච්චි කරන්න. ඇයි අපිට බැරි වේවැල් ඉඳිආප්ප තට්ටු පාව්චිචි කරන්න.

කඩේට යන විට අපිට පුළුවනි ගෙදරින් බෑග් එකක් ගෙනියන්න. එතකොට ගෙදරට එන සිලි සිලි බෑග් ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. ප්ලාස්ටික් භාවිතයට තහංචි දැමීම හොඳ දෙයක්. ඒත් නීතියට වඩා වැදගත් වන්නේ ජනතාවගේ තාර්කික බුද්ධියයි. දැන් බලන්න, හරි නම් අපේ රටේ මේ වන විට ලන්ච් ෂීට් තහනම්. නීතිය තියෙන්නේ එහෙම. නීති දාපු මුල් කාලේ ලන්ච් ෂීට් විකුණන්නේ නැහැ. හොරෙන් හොරෙන් විකුණුවා. ඒත් දැන් එළිපිටම ඕනෑ තරම් විකුණනවා. නීතිය තිබුණට වැඩක් නැහැ. ඒ නීතිය දැමීමේ අරමුණ ඉෂ්ට වුණෙත් නැහැ.“ යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, වෛද්‍ය සජිත් එදිරිසිංහ විස්තර කළේය. ඔහු ප්‍රවේණි රෝග පිළිබඳව සායනික පරීක්ෂණවල සහ ප්ලාස්ටික්වලින් සිදුවන බලපෑම ගැන අධ්‍යයනවල නිරත වෛද්‍යවරයෙකි.

ඔහු තවදුරටත් සඳහන් කළේ ප්ලාස්ටික් බෝතල් එකතු කළ ද ලන්ච් ෂීට්, ෂොපින් බෑග් එකතු නොකෙරෙන නිසා ඒවා අවට පරිසරයේ සීසීකඩව විසිරී ඇති බවයි.

“මේ සිලි සිලි බෑග්, පොලිතින් මුහුදට ගියාම කැස්බෑවුන් ජෙලිෆිෂ් කියල රැවටිලා කනවා. ඊටපස්සේ කැස්බෑවුන් මැරෙනවා. මුහුදු තෘණ නිසි විදියට පාලනය වෙන්නේ කැස්බෑවන් නිසා. කැස්බෑවන් මිය ගියාම මුහුදුතෘණ නඩත්තුව නිසියාකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මාළුන්, ඉස්සන් ඒවායේ බිත්තර දමන්නේ නැහැ. එය ඍජුවම බලපාන්නේ ධීවරයින්ට. ඒත් ධීවරයින් ඒ ගැන හිතන්නෙවත් නැහැ. ධීවරයෝ දැල් දාපුවාම මුහුදේ තියෙන ප්ලාස්ටික් දැලට එනවා. ඔවුන් ඒවා මුහුදටම විසී කරනවා.

දැලට එකතු වන ප්ලාස්ටික් ගොඩවල් බෝට්ටුවේ දාගෙන ගෙනාපුවාම ඒවා බාර ගන්න තැනක් ස්ථාපිත කරලා තියෙනවා නම් හොඳයි. එතකොට ගෙනෙන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය කරන්න පුළුවන්. නීති මඟින් හෝ ප්‍රතිචක්‍රීයකරණය මගින් හෝ මෙය විසඳන්න බැහැ. ජනතාව ඔළුවෙන් හිතලා තමයි මෙය විසඳන්න පුළුවන් වෙන්නේ.“ යනුවෙන් පැවසුවේ වෛද්‍ය සජිත් එදිරිසිංහය.

“ද පර්ල් ප්‍රොටෙක්ෂන්“ ආයතනයේ සම්බන්ධීකාරක මුදිත කටුවාවල සඳහන් කළේ ප්ලාස්ටික් සහ පොලිතින් තහනමට සමගාමීව ආදේශක භාණ්ඩ විසඳුම් වශයෙන් අත්‍යවශ්‍ය බවයි. ඔහු පෙන්වා දුන්නේ ලන්ච් ෂීට් වෙනුවට නෙළුම් කොළ, කෙසෙල් කොළ යොදා දිරාපත් වන ආකාරයේ නව නිපැයුමක් ගැන සහ ප්ලාස්ටික් යෝගට් කෝප්ප වෙනුවට කඩදාසි කෝප්ප සහ ලී හැන්ද වැනි නව නිෂ්පාදන කෙරෙහි ව්‍යවසායකයින් උනන්දු විය යුතු බව ය. නීතියේ හිදැස් අතරින් රිංගා යෑම වෙනුවට නව නිපැයුම් කෙරෙහි යොමු වීම රටකට වඩා වැදගත් වේ.

“ප්ලාස්ටික් බෝතල් සහ වීදුරු බෝතල් ගත්තාම මේ දෙකම දිරාපත් වෙන්නේ නැහැ. ඒත් ප්‍රතිචක්‍රීයකරණයේදී ප්ලාස්ටික් බෝතල්වලට වඩා වීදුරු බෝතල් පාවිච්චි කිරීමේ අවස්ථාව වැඩියි. අපි හිතමුකො ප්ලාස්ටික් බීම බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කළා කියලා. ඒවායින් හදන බෝතල්වලට ෂැම්පු, විෂබීජනාශක දියර වගේ දේවල් බහාලන්න පුළුවන්. ඒත් නැවතත් බීම දමන්න බැහැ. වීදුරු බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කළාම බීම බෝතල්වලට නැවතත් බීම දමන්න පුළුවන්. ඒනිසා අද හැම ප්ලාස්ටික් බෝතලයම ප්ලාස්ටික් එකතු කරන අය ගන්නේ නැහැ. බේසම්, බීම බෝතල් වගේ ලොකු දේවල් එකතු කරනවා. ෂැම්පු බෝතල්, යෝගට් කෝප්ප, යෝගට් හැඳි වගේ පුංචි පුංචි දේවල් එකතු කරන්නේ නැහැ. ඒනිසා ඒවගේ දේවල් පරිසරයට එකතු වෙලා පරිසරය විනාශ වෙනවා. ජනතාව ලෙඩ්ඩු වෙනවා. ඒනිසා ලන්ච් ෂීට්, ෂොපින් බෑග්, යෝගට් හැඳි, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු වගේ දේවල් තහනම් කළාට කමක් නැහැ.

ඒත් නීති ගෙනාවාට ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ලන්ච් ෂීට් තහනම් කරපු නීතියට වුණු දේ අපි දැක්කා. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් අද වෙනකොට ලන්ච් ෂීට් වෙළෙඳපොළේ තියෙන්න බැහැ. ඒත් තවමත් විකුණනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් මෙයින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේවි.“ යනුවෙන් සඳහන් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක ය.

නීතිය මඟින් හෝ ජනතාවගේ අවබෝධය අනුව හෝ ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයෙන් වැළකීමේ ප්‍රතිඵල භුක්ති විඳින්නට නම් තවත් වසර 30ක් 40ක් ගත වන බව නම් සඳහන් කළ යුතුමය.

 

Comments