ලොව විශාලතම පවුලේ ප්‍රධානියා මිය යයි | Page 5 | සිළුමිණ

ලොව විශාලතම පවුලේ ප්‍රධානියා මිය යයි

සියෝනා සහ ඔහුගේ පවුල

බිරින්දෑවරු 39 යි

දරුවන් 89 යි

මුනුපුරු මිනිබිරියන් 36 යි

 

ලොව විශාලතම පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන ඊසාන දිග ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි සියෝනා චානා මියගිය බව ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි. ඔහු ලොව විශාලතම පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ ඔහුගේ පවුල සාමාජිකයන් 167දෙනෙකුගෙන් සමන්විත වන බැවිනි. මේ පවුලේ බිරින්දෑවරුන් 39 දෙනෙකු අයත්වන අතර සෙසු පිරිස චානාගේ දරු මුනුපුරන් වෙති.

සියෝනා චානා මොමොන් නම් වන ක්‍රිස්තියානි නිකායකට අයත් වන අතර එම නිකාය බහු විවාහ අනුමත කරන නිකායක් වේ.

ඉන්දීය මාධ්‍යවලට අනුව සියෝනා තම ප්‍රථම විවාහය සිදු කර ඇත්තේ වයස අවුරුදු 17දීය. ඔහුගේ පියා සතුව පැවති දේපොළ භාවිත කරමින් සිවු මහල් නිවසක් ඉදි කළ සියෝනා එම නිවසේ තම අති විශාල පවුල පවත්වාගෙන ගොස් තිබේ. මේ නිවසේ කාමර සියයක්ද තිබෙන බව සඳහන්ය.

තම පවුල විශාල කිරීමේ අරමුණෙන් සියෝනා වරින් වර බිරියන් පාවාගෙන ඇති අතර එක් අවස්ථාවකදී ඔහු වසරක් තුළ බිරියන් දස දෙනෙකු විවාහ කර ගත් බවද සඳහන්ය.

ඔහු ප්‍රථම වරට සීයා කෙනෙකු වී ඇත්තේ වයස අවුරුදු 33දීය.

සියෝනාගේ අති විශාල පවුල හේතුවෙන් ඊසාන දිග ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයට සංචාරක ආකර්ෂණයක්ද හිමි වී ඇති බව සඳහන්ය.

කෙසේ වුවද සියෝනාට 79වැනි වියේදී තම ජිවිතයෙන් සමු ගැනීමට සිදුවූ අතර ඔහුගේ පවුල තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීමේ සහ තවතවත් විශාල කර ගැනීමේ ඔහුගේ අනාගත බලාපොරොත්තුවද සුන් වනු ඇත.

සියෝනාගේ පවුල මෙතරම් විශාල වුවද ලොව විශාලතම පවුල ලෙස වාර්තා පොත්වලට එක්වී ඇත්තේ කැනඩාවේ වින්ස්ටන් බ්ලැක්මෝර් නම් පුද්ගලයාගේ පවුලයි. මේ පවුලේ සාමාජිකයන් 178 දෙනෙක්ගෙන් සමන්විත වූ බව වාර්තා වන අතර ඔහුද මොමොන් ආගමික භක්තිකයකු බව සඳහන්ය.

 

 

සියෝනා සහ ඔහුගේ පවුල
 
 
සියෝනාගේ නිවස 
 
 

 

 

Comments