
ඒ 1991 වසරේ මැයි 21 වැනිදාවයි. මුළු ඉන්දියාව මෙන්ම තමිල්නාඩුවද දේශපාලන උණුසුමින් ඇළලී ගොස් තිබුණේ කැඳවා තිබූ මහමැතිවරණය හේතුවෙනි. කොංග්‍රස් පක්ෂයට නියත දිනුමක් ලැබෙන බවට සැකයක් නොමැති විය. ඒ ශ්‍රීමත් නේරුගේ මුනුපුරු රජීව් ගාන්ධි කොංග්‍රසයේ බර කරටගෙන රටපුරා දේශපාලන රැලිවලට නායකත්වය ලබා දුන් නිසාවෙනි. එමෙන්ම ඔහු මීට පෙර අගමැති ධූරයේ එක් ධූර කාලයක් හෙබවූ අතර රටේ ජනතාවගේ ආදරයද ඔහුට නොඅඩුව හිමිවී තිබිණි.
එදින තමිල්නාඩු ප්‍රාන්තයට සුවිශේෂ දවසක් විය. දෙවැනි ධූර කාලය සඳහා තරග වදින රජීව් අග්‍රමාත්‍යවරයා තමිල්නාඩුවේ කොංග්‍රස් රැලියකට සහභාගී වීමට චෙන්නායි හි ශ්‍රීපෙරුම්බුදූර් වෙත පැමිණීමට නියමිත විය. උත්සවය මනා ලෙස සංවිධානය කොට තිබූ අතර ජනතාව මඟ දෙපස පෙළ ගැසී සිටියේ අගමැතිවරයා දැක ගැනීමේ අරමුණෙනි.
විශාකපට්ටනම් සහ ආන්ද්‍ර ප්‍රදේශ් හි රැලිවලට සහභාගී වූ අගමැති රජීව් කෙළින්ම ශ්‍රීපෙරුම්බුදූර් වෙත පැමිණියේ මදුරාසි ගුවන් තොටුපොළට ගුවන් මගින් පැමිණීමෙන් පසුවය. ඔහු මෝටර් රථ පෙළපාළියකින් ශ්‍රීපෙරුම්බුදුර් වෙත කැඳවාගෙන එනු ලැබුවේ කොංග්‍රස් පක්ෂ සංවිධායකයන් විසිනි.
රැලිය පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානය අසලදී මෝටර් රථයෙන් බට රජීව් ගාන්ධි රැලිය ඇමතීමට විශේෂයෙන්ම සකස් කර තිබූ පීඨිකාව වෙත ඇවිද ගියේ ජන ගඟ අතරිනි. ඒ අතරමඟදී ඔහුට උපහාර දැක්වීමට මහ සෙනග ඉදිරිපත්ව කිහිප වරක්ම මල් මලා පැලඳවූහ. ඉන්දීය සංස්කෘතිය යඅනුව මල් මාලා පැලඳවීම යනු උතුම් බුහුමන් දැක්විමකි. එබැවින්ම අගමැති රජීව්ද එම මල් මාලා ගෞරවයෙන් යුක්තව පැලඳ ගනිමින් ජනතාවට ආචාර කරමින් ඉදිරියට පිය නැගුවේය.
ඇය සිටියේද එකී ජනතාව අතරය. දැඩි සිත් වූ ඇයගේ මුහුණේ තැතිගැන්මක් හෝ බියක් දක්නට නොවීය. ඉතාමත් සාමාන්‍ය ලෙස ජනතාව අතරින් ඉදිරියට පැමිණි ඇය අගමැතිවරයා වෙත තමා අත වූ මල් මාලය පෙන්වමින් එය ගෙල පැලඳීමට අභිනයෙන් අවසර පැතුවාය. අගමැති රජීව් ගාන්ධි මොහොතක නැවතී ඇයට හිස පෑවේ ඔහුට වඩා මිටි ඇයට එම මල් මාලය ඔහුගේ ගෙල පැලඳිමට පහසු වනු පිණිසය. ඇය මල් මාලය අගමැතිවරයාගේ ගෙලේ පැලඳවූවාය. එයින්ද නොනැවතු ඇය තවදුරටත් පහතට නැමුනේ අගමැතිවරයාගේ පා දුවිලි ගෙන තම හිස මත තවරා ගනු පිණිස බවට බොහෝ දෙනා සිතන්නට ඇත. ඇතැම් විට අගමැති රජිව් ගාන්ධිද එසේ සිතන්නට ඇත. එසේ නම් එය ඔහුගේ අවසන් සිතිවිල්ල වන්නට ද ඇත.
ඒ එසේ පහතට නැමුණු ඇය හෙවත් එල්ටීටීඊ සංවිධානයේ අති බිහිසුණු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාව ක්ෂණයකින් ඇයගේ උදරයේ සඟවා සකස් කොට තිබූ අධි බල බෝම්බයේ ඩෙටනේටරය ඇද දැමූ බැවිනි. ඒ තත්තපරය අගමැතිවරයාගේ මෙන් මඇයගේද අවට වූ තවත් 16 දෙනෙකුගේද අවසන් තත්පරය විය. තවත් 40කට අධික පිරිසක් දරුණු තුවාල ලැබූ අතර ඔවුන් අතරින් රෝහල් ගත කළ ඇතැම් දෙනා පසුව මිය ගියහ.
ඒ ලංකාව ගිල ගැනීමට පැමිණි එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය ඉන්දියාවට පාඩම් ඉගැන්වූ ආකාරයයි.
රජීව් ඝාතනය මුළු ලොවම එක් මොහොතකින් සසල කිරීමට සමත් වූ අතර එම ඝානය එල්ටීටීඊ සංවිධනාය ශ්‍රී ලංකා භූමියෙන් බැහැරව එතෙක් සිදු කළ ප්‍රබලතම ඝාතනය විය. අනෙක් අතරට ඔවුන් මරා දැමුවේ ඔවුන්ටම කිරි පෙවූ නායකයකු වීම ලෝකය තවත් සසල කිරීමට හේතු විය. ලොව පුරා රටවල් රැසක් එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීමට රජිව් ඝාතනය හේතුවක් කර ගත්තේය. කොටින්ම ඉන්දියාවටද එල්ටීටීඊය තහනම් කිරීමට සිහිපත් වූයේ ඔවුන්ගේම අගමැතිවරයා ඝාතනය කිරීමෙන් පසුව විය. එතෙක් ඉන්දියාවට එල්ටීටීඊය යනු තමිල්නාඩුවේ සහෝදර දුක් විඳින ජනතාවගේ සමානාත්මතා අරගලයක් විය. එහෙත් රජීව් ඝාතනය ලොව පුරා බොහෝ දෙනාගේ දෙනෙත් විවර කිරිමට සමත් විය.
ශ්‍රී ලංකාවේ උතුරේ අරගලය කෙරෙහි ඉන්දීය අගමැති ධූරය හොබවමින් සිටියදී රජීව් ගාන්ධි මැදිහත් වූයේ සැබවින්ම ප්‍රමාණය ඉක්මවමින් බව පැවසිය හැකිය. රජීව්ගේ ආණ්ඩුවේද ඇමති ධූරයක් හෙබවූ හිටපු කොංග්‍රස් පක්ෂ ඉදිරිපෙළ නායකයකු වූ නට්වාර් සිංට අනුව තමන්ට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට විසඳුමක් දිය හැකි බව රජීව් තරයේ විශ්වාස කර සිටියේය. ඒ සම්බන්ධව දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කළ රජීව් ගාන්ධි ඒ තරමටම ප්‍රභාකරන් සම්බන්ධව විශ්වාසය තැබුවේය. සැබවින්ම ඔහු කළ එම වැරැද්දට වන්දිය ඔහුගේ ජිවිතයම විය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය එතරම්ම බිහිසුණු විය.
මේ සිදුවීමෙන් පසුව රජීව් ගාන්ධිගේ බිරිය සෝනියා ගාන්ධි ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබල විපක්ෂ දේශපාලනඥයකු වූ අප්පාපාලෙයි අමිර්තලිංගම් ගේ බිරියට ලිපියක් එවමින් පවසා සිටියේ ඇයගේ සැමියා මෙන්ම තම සැමියාද මිය ගියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සමානාත්මතාව සහ සම අයිතිවාසිකම් උරුම කර දීමේ උදාර කර්තව්‍යයේදී බවයි. එහෙත් අමිර්තලිංගම් මෙන්ම රජීව් ගාන්ධිද වටහා නොගත් දෙයක් වූයේ එල්ටීටීඊ සංවිධානය සමානාත්මතාව හෝ මූලික මිනිස් අයිතිවාසිකම් යනු කුමක්දැයි පවා නොදැන සිටි බවයි. ඔවුන් දැන සිටි එකම පිළිතුර මෙන්ම ප්‍රතිචාරය වූයේද උණ්ඩයයි. නැතහොත් බෝම්බයයි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ රජීව් ඝාතනයම මිස අන් කිසිවක් නොවේ.
රජීව් ගාන්ධි යනු එල්ටීටීඊ සංවිධානයට ඉතා විශාල වශයෙන් පහසුකම් සැපයූ නායකයෙකි. ඔහුට පෙර ඔහුගේ මවද එල්ටීටීඊ සංවිධානයට ඉන්දියාව තුළ පුහුණු වීම් සඳහා පහසුකම් සැපයූ බව අමතක කළ නොහැකිය. පසුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව පවා උල්ලංඝනය කිරීමට රජීව් ගාන්ධි කටයුතු කළේ තම මුග්ධකම මෙන්ම එල්ටීටීඊ සංවිධානය අනවශ්‍ය තරමට විශ්වාස කළ නිසාවෙන් බවද අමතක කළ යුතු නැත.
අවසානයේ රජීව් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රභාකරන්ගේ සිට චෝදනා එල්ල කොට වරෙන්නතු නිකුත් කොට අවසානයේ අත්අඩංගුවට ගැනීමට හැකිවූ පිරිස සමඟින් නඩු විභාගයක් පැවැත්වූ අතර බොහෝ දෙනෙකුට මරණ දඬුවම නියම විය.
රජීව් ඝාතනය කළ මරාගෙන මැරෙන බෝම්බකාරිය වූයේ තෙන්මෝෂි රාජරත්නම් නම් වූ මඩකළපුවේ පදිංචිකාරියක් බවද හඳුනාගනු ලැබීය.
ඇයට පහසුකම් සැපයූ ඉන්දීය ජාතිකයන් හය දෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගනු ලැබූ අතර නඩු විභාගයෙන් පසුව ඔවුන්ට මරණ දඬුවම නියම විය. ඔවුන් ශ්‍රීහරන් සහ ඔහුගේ බිරිය නාලිනී, ටී. සුතෙන්ත්‍රිරාරාජා, රොබට් පියස්, සහ රවිචන්ද්‍රන් නම් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සහ ජයකුමාර් නම් තවත් ඉන්දීය ජාතිකයකු වශයෙනි.
පසුව එම මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලෙස සංශෝධනය කරනු ලැබීය. ඒ සඳහා ගාන්ධි පවුලේ ද අනුමැතිය හිමි වූයේ සමාව දීම නම් වූ උතුම් ගුණාංගය ලොවට හෙළි කරමිනි.
තම රටට කිසිසේත් අදාළ නොවන ගැටලුවකට මැදිහත් වීමට යෑමෙන් අවසානයේ ඉන්දියාවට කීර්තිමත් නායකයකු අහිමි වූයේ එසේය. අද වන විට කොංග්‍රස් පක්ෂය පත් වී ඇති දුර්වල වාතාවරණයට මේ රජීව් ඝාතනයද ඈතින් දිවෙන් එක් හේතුවක් වූ බව සඳහන් කළ හැකිය. ඒ කොංග්‍රසය යනු ගාන්ධි පවුල බව තවමත් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ජනතාව සූදානම් නැති වාතාවරණයක් යටතේය.