
අප රටට - ලක්දිවට 1948 දී නිදහස ලැබිණි යි කියනු ලැබේ. හැම වසරෙක ම පෙබරවාරි මස හතර වැනිදා ඒ නිදහස සමරනු ලැබේ. මේ වසරේ දී, ලෙඩ දුක් මැද වුව ද, එසේ නිදහස සමරන ලදී. එසේ සැමැරුණු මහෝත්සවයේදී ‘නිදහස් උළෙල යැයි සුවිසල් අකුරින් ලියා ඇති සැටි දක්නා ලැබිණ. එහි ‘උළෙල’ යනු වැරැදි යි ද නිවැරැදි වනුයේ ‘උලෙළ’ යි ද ඇතැමෙක් කියූ හ. මෙ ගැන ‘මුහුණු පොත’ (face book) ආදියෙහි වාදයෙකුදු පැවැත්වී ඇත. ‘උළෙල’ යනු නිවැරැදි ය කී පක්ෂයෙහි, සන්නිවේදනය පිළිබඳ ඉතා වැදගත් තනතුරු දරන්නහු දු වූ බව කියැවෙනුයෙන්, අපි ‘හරි වහර’ මඟින් මෙහි නිවැරැදි යෙදුම විමසමු.
අද සිංහලයෙන් ලියන බොහෝ දෙනකු යොදන්නේ ‘උළෙල’ යන්න බව සැබෑ ය. එහෙත් ඒ වූ පමණින් ම එය නිවැරැදි යෙදුමක් සේ ගැන්මට ඉක්මන් නො විය යුතු ය. කවර හෙයින් ද යත්, වැඩි දෙනකු යෙදූ පමණින් ම යමක් නිවැරැදි සේ ගැන්ම ශාස්ත්‍රීය න්‍යායය නොවනුයෙහි ‘පුද්ගලික’, ‘විශ්මය’, ‘විශිෂ්ඨ’ වැනි අනේක වචන බහුව්‍යවහාරයෙහි යෙදෙන බව පෙනෙන නමුදු ඡේකයෝ (විද්වත්හු) ඒ නිවැරැදි සේ නො පිළිගනිති.
අප විසින් පළමු වැ විමැසිය යුත්තේ පුරාතන සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථයන්හි යට කී වදන යෙදී ඇත්තේ කවර ලෙසින් ද යනු යි.
පොළොන්නරු අවදියේ ලියැවුණු බව නිසැක ව ම දන්නා සස දාවෙහි ‘උලෙළ’ යන (මූර්ධජ) ‘ළ’ කාරය අන්ත කොට ඇති රූපය ම යෙදී ඇත.
උලෙළ දෙන ගැඹුරු - රු වනාර මැඟැ සුර නා
සිමිඳි උඩඟු කරන් අත් - කහි නම් වත් නොවත් යී
යන ගීයෙන් එ බව පැහැදිලි වැ පෙනේ. සස දා සැකැසුම්හි මෙ සේ යෙදුණ ද මුල් පිටපත්හි වූයේ කෙසේ දැ යි මෙයින් නිගමනය කළ නොහැකි යැ යි ඇතැමකු කිය හැකි ය. එ සේ වුවත් ගිරා සඳෙසේ මේ පැදියෙන් ‘උලෙළ’ යනු ම පැරැණි යන් යෙදූ බව ස්ඵුට වේ.
වෙරළ ඉගිළ තුළ රළ වැළ ලෙස උලෙළ
නැබළ පටළ පෙළ ලෙළ වමිනි තෙළ තෙළ
කරළ තෙරළ මොළ බළ දළ දප පහළ
පුවළ සිහළ දළ බළ මුළු නිති ඔපළ
මේ පැදියෙහි මුල, මැද, අග සියලු තන්හි එළි වැට යෙදී ඇත්තේ (මූර්ධජ) ‘ළ’ කාරයෙනි. එහෙයින් මෙහි ‘උලෙළ’ යනු සංස්කාරකයන් ගේ යෙදුමකැ යි කීමට ඉඩ නො ලැබේ. එය ග්‍රන්ථ රචකයා ගේ ම යෙදුමක් බව ඉතා පැහැදිලි ය.
ඇතැමකු මෙයට ද එරෙහි වැ, මෙහි උලෙළ යනු යෙදී ඇත්තේ උත්සවාර්ථයෙහි නො ව උල්ලෝල (උඩට නැඟීම යන අර්ථයෙහි යැ යි කිය හැකි ය. ඒ සැබවි. යට දැක්වූ නිදසුන් දෙක්හි ම උලෙළ යනු යෙදුණේ උත්සවය යන අරුතින් නො වේ.
උලෙළ යනු බහුවර්ථවත් (අරුත් කිහිපයක් ඇති) වදනෙකි. ඉහළට ලෙළ දීම යනු එක් අරුතෙකි. කැලැඹීම, මහත් කලබලය, (ජල ප්‍රවාහයෙක) උඩට නඟින රළ ආදී අරුත් ද උලෙළ යන්නෙහි වෙයි. එ වුවත් වර්තමාන සිංහලයේ මෙහි ඉතා ම ප්‍රකට අර්ථය වනුයේ උත්සවය යනු ම ය.
රුවන්මල් නිඝණ්ඩුවෙහි ද උලෙළ යනු යෙදුණේ උත්සවාර්ථයෙන් ම බව “උලෙළ, සණ, සැණ යන මෙ සම අරුතැ යි දන්නේ” යන්නෙන් මනා වැ පෙනී යයි. මෙහි සණ, සැණ යනුවෙන් ගැනුණේ ක්ෂණ ක්‍රීඩා හෙවත් සැණකෙළි යි. සැණකෙළි යනු ඉතා කලබල ඇති තැනෙකි. එ හෙයින් ම සැණකෙළි පර්යාය (සමාන) වූ උලෙළ යන්න පසු කල්හි කවර උත්සවයකට නමුත් අවිශේෂයෙන් යෙදෙන්නට විණි යි සිතිය හැකි ය.
ගුරුළුගෝමීන් ගේ අමාවතුරෙහි දු උත්සව අර්ථයෙන් උලෙළ, උලෙළු යන දෙ වදන ම යෙදෙයි. මෙහි ‘උලෙළු’ යනු උලෙළ යන්නෙහි අග (මූර්ධජ) ‘ළ’ කාරය යෙදෙන බවට ඉතා වැදැගත් වූ සාධකයෙකි. සිංහලයේ වදන් නියර (වචන සෑදෙන පිළිවෙළ) අනුව බලතොත් මෙහි අග (දන්තජ) ‘ල’ කාරය වී නම් (උළෙල) එහි බහු වචනය වනුයේ උලෙළු නො ව උළෙල් වනු ඇත. ඇතැම්හු උලෙළු යන්නට සමාන වැ උලොළු යනු ද යොදති.
ඓතිහාසික නිරුත්ති විභාගය ද මෙහි නිවැරැදි රූපය මතු කැර ගැන්මෙහි ලා මහත් සේ උපකාර වෙයි. මේ උලෙළ යන්නට සමරූප වැ සංස්කෘත භාෂාවෙහි ‘උල්ලෝම’ යනු ද උල්ලෝල යනු ද යෙදේ. (සංස්කෘතයෙහි මූර්ධජ ‘ළ’ කාරය නැත.) පාලියෙහි යෙදෙන්නේ උල්ලෝල, උල්ලෝළ යන දෙකයි. සංස්කෘතයෙහි පදාන්ත ‘ඩ’ කාරය ද පාලියෙහි පදාන්ත ‘ළ’ කාරය ද සමඟ සමරූප වැ සිංහලයෙහි ද (මූර්ධජ) ‘ළ’ යෙදෙයි. එ හෙයින් මෙහි ලා නිවැරැදි වදන නම් උලෙළ යනු ම ය.
සංස්කෘතයෙහි ද පාලියෙහි ද සමාන වැ ලැබෙන බව දැක්වූ ‘උල්ලෝල’ යන රූපය හා සමාන වනු පිණිස මෙන් ඇතැමුන් ‘උලෙල’ යන (දන්තජ ‘ල’ කාර දෙකක් සහිත වදන ද යොදා ඇති සේ දැකිය හැකි ය. එහෙත් සිංහලයේ චිරකාලීන සම්භාව්‍ය ව්‍යවහාරය හා නොගැළපෙන හෙයින් එසේ යෙදීම නිවැරැදි නො වේ.
උලෙළ යන්න හා අනුරූප වූ තවත් වදනක් කෙරෙහි මෙහිදී සැලැකිල්ල යොමු කරමු. එ නම් ‘සලෙළ’ යනු යි. කාමුක, විනෝදකාමී වැ අරුත් මෙ වදනින් කියැවේ. සංස්කෘතයෙහි මේ හා සම වැ යෙදෙන්නේ ‘සල්ලාල’ යනු යි. (සං +ලාල > සල්ලාල). ‘ලාල’ යනු සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද යෙදෙන්නේ (දන්තජ) ‘ල’ කාර පමණන් සහිතව වුව ද සිංහලයෙහි ‘සලෙළ’ යන්න යෙදෙනුයේ ‘ළ’ කාර අන්ත ව ය. (අවසානයෙහි ‘ළ’ යනු සහිත ව ය) ‘සලෙල’ යනු ඇතැමුන් ලියන නමුදු සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල එන ප්‍රයෝගය නම් ‘සලෙළ’ යනු ම ය. ‘සලෙළු’ යනු ද යෙදේ.
මෙ බඳු ම ධාතු (ක්‍රියා මූල) රූපයක් ද සිංහලයෙහි යෙදේ. එ නම් ‘අලළ’ යනු යි. කැලැඹීම යනු අරුත යි. අලළා - අලළති - ඇලැළී - ඇලැළූ ආදී වශයෙන් වර නැඟේ. සංස්කෘතයෙහි මේ හා සම වැ ආලෝල යනු මෙන් ම ආලෝඩ යනු ද යෙදේ. පාලියෙහි ‘ආලෝළ’ යනු යෙදේ. අලල (අලලා - අලලති ආදිය) නිවැරැදි නොවන බව මෙයින් පෙනේ.