මියන්මාර් ජනතාව සිවිල් නීති කඩති | Page 4 | සිළුමිණ

මියන්මාර් ජනතාව සිවිල් නීති කඩති

එකපිට එකා මැරී වැටෙද්දීත් මියන්මාර් ජනතාව සටන් වදිමින් සිටිති. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. නිදහස වෙනුවෙනි. අනාගත පරම්පරාව වෙනුවෙනි. මේ වන විට මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිඳ වැටී මාසයක කාලයක් සම්පූර්ණ වී ඇති අතර, එතරම්ම කාලයක් පුරා එරට ජනතාව නිදහස වෙනුවෙන් වීථි බැස සිටිති. ජනතාව පැවැත්වූ විරෝධතා සාමකාමී වූ අතර, එහි කිසිඳු කලහකාරී බවක් නොවීය. මනා සේ සංවිධානය වූ ජනතාව තමන් අතරින්ම මතු වූ නායකත්වයක් ඔස්සේ තම රටටම ආවේණික ක්‍රම ඔස්සේ විරෝධතාවන්ට එක් වූහ. ආරම්භයේදී ප්‍රධාන නගරවලට පමණක් සීමා වූ විරෝධතා පසුව රටපුරා පැතිර ගියේ ජනතාව හමුදාව කෙරෙහි පැවති බිය පරයමින් තම අනාගතය සහ නිදහස වෙනුවෙන් තීරණ ගැනීම නිසාවෙනි.

කෙසේ වුවද මේ විරෝධතා පැවැත්වීමට මියන්මාර හමුදාව ලබා දුන්නේ සීමිත කාලයක් පමණි දින කිහිපයකට පසු තම යකඩ හස්තය ජනතාව වෙත දිගු කරමින් ඔවුන් තලා පෙළා දැමීමට කටයුතු යෙදීය. රබර් උණ්ඩ ප්‍රහාර අතරට ජිව උණ්ඩ එක් කිරීම කිසිසේත් අත්වැරදීමක් සේ සැලකිය නොහැකිය. මේ වන විට එම උණ්ඩ ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව විස්සකි. එම මියගිය පුද්ගලයන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමක් හෝ එම වෙඩි තැබීම්වලට වගකිවයුත්තන් හඳුනා ගැනීමක් සම්බන්ධව කිසිඳු අදහසක් මේ දක්වා පළවී නොමැත.

මේ වන විට මියන්මාර් හමුදා ජුන්ටාවට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් කටයුතු කරමින් සිටියද, ඒ කිසිවක් හමුදා පාලකයන් මායිම් නොකරන බව පෙනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් තමන් නමට පමණක් ලෝක සංවිධානයක් මිස බලවත් ආයතනයක් නොවන බව පෙන්නුම් කරමින් මියන්මාරයේ බල පෙරළිය හෙලා දැකීමට පමණක් කටයුතු කරමින් සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර් නියෝජිතයා තම රට තුළ සිදුවූ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලහුවමාරුව විවේචනය කරමින් අදහස් දැක්වූ අතර, ඔහු නීති විරෝධී සුකී රජයේ නියෝජිතයකු වන බැවින් ඔහුව අදාළ තනතුරෙන් ඉවත් කළ යුතු බව හමුදා පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා තිබේ. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එය ප්‍රතික්ෂේප කර තිබේ.

මියන්මාරයේ සිදුවීම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සාකච්ඡාවක් බ්‍රිතාන්‍ය විසින් කැඳවීමට නියමිත බව වාර්තා විය. එහෙත් ප්‍රකාශ වන අන්දමට චීනයේ සහ රුසියාවේ සහය මියන්මාර් හමුදා පාලනයට ලැබෙන බැවින් මියන්මාර් හමුදා පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන එන යෝජනාවක් සම්මත වීමට ඉඩක් නොමැතිය. මෙය බටහිර රටවල මතය වන අතර මේ සම්බන්ධව ප්‍රතික්ෂේප කිරීමක් හෝ අදහස් දැක්වීමක් චීනයේ හෝ රුසියාවේ පාර්ශ්වයෙන් මේ දක්වා ඉදිරිපත් කෙරී නොමැත.

මේ අනුව එවන් පොදු යෝජනාවක් වෙනුවට ඇතැම් රටවල් තමතමන්ට කැමති අන්දමින් මියන්මාරයට සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර පසුගිය දිනක මියන්මාරයද සාමාජිකත්වය දරන ගිණිකොන ආසියාතික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවක් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති අතර එහිදී මියන්මාරයේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වී තිබේ. මේ සමූහයේ රටවල් දහයක් සාමාජිකත්වය දරන අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ සාමාජික රටවල අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදු කිරීමට තමන්ට නොහැකි බවයි.

සියල්ල මෙසේ සිදුවෙමින් පවතින අතර මියන්මාර් හමුදාව දිගින් දිගටම සාමකාමී විරෝධතාකරුවන්ට අවි එල්ල කරමින් සිටිති. මහා පරිමාණව විරෝධතා පවත්වන ජනතාව අත්අඩංගුවට ගැනීම්ද සිදුවන බව වාර්තා වන නමුත් කොපමණ පිරිසක් අත්අඩංගුවට පත්වී ඇත්ද යන්න සම්බන්ධව නිශ්චිත සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් වී නොමැත.

පසුගිය බදාදා මොන්වා නගරයේදී පැවැත්වුණු මහා විරෝධතා රැලියකට පොලිස් වෙඩිප්‍රහාර එල්ල වූ අතර එහිදී මියන්මාර් වැසියන් තිදෙනෙක් මරුමුවට පත්වූහ. ඒ අතරින් එක් පුද්ගලයකුගේ හිසට ඍජුවම වෙඩිපහර එල්ල වී තිබුණු බව වාර්තා විය. මියගිය අය අතරින් එක් අයෙකු 14 හැවිරිදි පිරිමි දරුවෙකි.

මේ සිදුවීම්වලට සාපේක්ෂව මියන්මාරයේ නගර කිහිපයදීම සජීවී උණ්ඩ යොදා සිදුකළ වෙඩි තැබීම් සහ පුද්ගල මරණ වාර්තා විය. මේ මරණ පිළිබඳ රජයේ නිල නිවේදන නොමැති බැවින් නිශ්චිතවම කොපමණ සංඛ්‍යාවක් මියගොස් ඇතිද යන්න ප්‍රකාශ කිරීම අපහසු වී තිබේ. එහෙත් මේ සියල්ල සිදුවන අතර මියන්මාර් ජනතාව තම විරෝධතාවල දිගින් දිගටම නිරතවී සිටිති. එම විරෝධතා සාමකාමී වන අතර, කොපමණ ජීවිත හානි සිදුවුවද ජනතා කුපිත වීම් ද වාර්තා වී නොමැත. ඇතැම් නගරවල පාසල් සිසුන් සමඟ ගුරුවරුන් මාර්ග වෙත පැමිණ විරෝධතාවන්හි නිරත වෙමින් සිටිති.

ඒ අනුව පාසල් සිසුන්ගේ සිට ලොකු කුඩා සෑම මියන්මාර් වැසියෙක්ම හමුදා ජුන්ටාවට එරෙහිව විරෝධතා දක්වමින් සිටියද රට යළිත් ප්‍රජාතන්තවාදී පාලනයක් කරා ගෙන යෑමට හමුදාව සූදානම් බවක් පෙනෙන්නට නැත.

මීට පෙර 1970 දශකයේදී අවස්ථා තුනකදී මියන්මාර් හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව විරෝධතා දැක්වූ අතර ඒවා මාස ගණන් පැවතිණි. එහෙත් එම සෑම අවස්ථාවකදීම ජනතාව මර්දනය කර තම පාලනය ඉදිරියට ගන යෑමට හමුදා රජයට හැකි විය.

බොහෝ දුරට ඔවුන් මෙවරද එම අත්දැකීම් භාවිතයට ගන්නවා විය හැකිය.

 

 

Comments