
සියලු විශ්වාසයන් සත්‍යයන් නොවන්නා සේම සෑම සත්‍යයක්ම විශ්වාස වන්නේ ද නැත. දැනුම නිර්මාණය වන්නේ විශ්වාස හා සත්‍ය එකිනෙක සමපාත වන අවස්ථාවන්හිදී ය. ලෝකය තුළ සැමවිටම පවතින්නේ විශ්වාස, කල්පිත සහ සත්‍ය අතර දෝලනය වෙමින් දැනුම නිර්මාණය කර ගැනීමට උත්සහ කිරීමකි.
වර්තමානයේ ලෝකය තුළ සිදුවෙමින් ඇත්තේද එයය. ඒ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් අකර්මන්‍යව ඇති ලෝකය යථාවත් කිරීමේ සටන මගිනි. එය කල්පිත, විශ්වාස, සත්‍ය අතර දෝලනය වන සටනකි. ඒ එකී වයිරසයේ බලපෑම පිළිබඳ ජන සමාජය තුළ තවමත් නිසි අවබෝධයක් නැති නිසාය.
මේ වනවිට එය මර්දනය කරගන්නට උත්සහ කරනු හැර එකී වයිරසය නිර්මාණය වූයේ කෙසේ ද? තවත් එවැනිම වයිරස සමාජයට කඩා වැදීමේ අවධානමක් පවතින්නේද? යන්න ගැන පවා තවමත් නිසි අවබෝධයක් ඇත්තේද නැත. එහෙත් මෙම වයිරසය අභිමුව සමාජයක් වශයෙන් අපට කිසිසේත්ම පරාජයවිය නොහැක. ඉන් මිදිම පිණිස සමාජමය අරගලයක් ආරම්භ වන්නේ ද එහෙයිනි. එකී සමාජ අරගලය වඩාත් සාර්ථක කරගැනීමේදී ක්‍රීඩාවට ඇත්තේ සුවිශේෂී භූමිකාවකි.
එය එසේ වන්නේ ක්‍රීඩාව යනු සමස්ත මානව සමාජය තුළ උණුසුම, උද්වේගය, අපේක්ෂාව, අරමුණු ඇතුළු විවිධාකාර ධනාත්මක හැඟීම් කාන්දු කරන ක්‍රියාකාරකමක් වන හෙයිනි. මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ සිට එය එසේමය. සමස්ත ජන සමාජයම නිසල කර ඇති මෙවැනි කාල සමයක එකී සමාජය යළි යථාතත්ත්වයට පත්කිරීමේ සුවිශේෂී විභව ශක්තිය ඇත්තේ ක්‍රීඩාව තුළය.
වර්තමානයේ ලෝකය පුරා විවිධ තලවල එක් එක් ආකාරයේ ක්‍රීඩා තරග පැවැත්වීමට උත්සහ ගනිමින් ඇත්තේ ඒ හේතුවෙනි. නිදර්ශනයක් ලෙස ජපානය මෙම වසර තුළ කෙසේ හෝ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමේ උත්සහය තවමත් අතහැර දමා නැත. පසුගිය සඳුදා දිනයේ ද එරට ඔලිම්පික් කමිටු ප්‍රධානියා තාක්ෂණ කමිටු නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබුණේ කෙසේ හෝ තරගාවලිය සංවිධානය කරන බව පවසමිනි.
ශ්‍රී ලංකාව තුළද එය එසේමය. මෙරට ක්‍රීඩාව යළි ආරම්භ කිරීම යතාර්ථයක් බවට පත්කරගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ක්‍රීඩා සංගම් බොහෝමයක් උත්සහ කරමින් සිටී. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 'ජීව බුබුළ' තාක්ෂණය උපයෝගී කරගනිමින් සාර්ථකව සංවිධානය කෙරුණේ එහි පළමු පියවර වශයෙනි. ජාතික මලල ක්‍රීඩා ශූරතාව යම් යම් සීමාකිරීම් සහිතව කිසිදු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුනොකරමින් හා මූලික සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් පවත්වා සාර්ථකව අවසන් කළේද එකී බලාපොරොත්තු මල් ඵල ගන්වමිනි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ද මේ වනවිට තමන්ගේ ජාතික පාපන්දු කණ්ඩායම ජීව බුබුළක් තුළට ගෙන එමින් පුහුණු කටයුතු ආරම්භ කර අවසන්ය. ඊට අමතරව ලෝකය තුළ 'ඔන්ලයින් ක්‍රීඩා' තරග සංවිධානය කිරීමට දැන් දැන් ආරම්භවී තිබේ. සමාජමය වශයෙන් සලකද්දී එවැනි නව්‍ය උත්සහයන් සතුටුදායකය.
මේ සියලු උත්සහයන් කෝවිඩ් වයිරසය නිසා හදිසියේ නිසල වූ හා නිසල කළ සමාජයට යළි ප්‍රාණය ලබාදීමට ය. අපේක්ෂා දුරස්ව, අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත භාවයට පත්ව ඇති මිනිස් සමාජයට අපරාජිතව සිටින්නට ශක්තිය හා ධෛර්යය එන්නත් කරන්නට ය. ඒ සඳහා ක්‍රීඩාව දරණ උත්සහය සැමවිටම ප්‍රවර්ධනය කළ යුතුව ඇත්තේ එහෙයින් ය.
සංස්කාරක











