පොර කුකුළු ජන ක්‍රීඩා ඉතිහාසයේ තවත් පියවරක් | Page 4 | සිළුමිණ

පොර කුකුළු ජන ක්‍රීඩා ඉතිහාසයේ තවත් පියවරක්

ක්‍රිස්තු වර්ෂ 1642 වර්ෂයේදී රාජසිංහ රජුගේ මිත්‍රත්වය පතමින් සිටියා. මේ අවස්ථාවේදී මිත්‍රවන්නේ මොන පාර්ශ්වය එක්කද කියලා රජු තීරණය කළේ තමන්ගේ සොහොයුරිය උපදෙස් දුන් පොර කුකුල් පොරයක තීරණය අනුවයි. දැන් ඔය ඉඟුරු දීලා, මිරිස් ගත්ත කතාව තීරණය කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි පොර කුකුළෙක්. මෙතැනදී රජුගේ නැගණිය සාස්තර කීමේ හැකියාවක් තිබුණා කියලා අතීත කතාන්තරවලින් කියැවෙනවා.

දැන් තමන්ගේ නැගණියගේ උපදෙස් පිට රජ්ජුරුවෝ පොර කුකුළන් තිදෙනෙකුට රටේ අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පවරනවා. එතැනදී රජු වෙනුවෙන් කළු පාට පොර කුකුළෙකුත්, ලන්දේසීන් වෙනුවෙන් සුදු පාට පොර කුකුළෙකුත්, පෘතුග්‍රීසින් නියෝජනය කරමින් රතු පාට පොරකුකුළෙකුත් සටන් බිමට යොමු කරනවා. වැඩේ කියන්නේ රතු කුකුළයි, සුදු කුකුළයි පොර කොටද්දී එයින් ජය හිමිවන්නේ සුදු පොර කුකුළට. ඒ නිසා රජු පෘතුගීසින් වෙනුවට ලන්දේසීන්ව තෝරාගන්නවා.

මේ අතර රජු සහ ලන්දේසීන් අතර මිත්‍ර ගිවිසුමට කුමක් සිදුවනු ඇත්දැයිත් සොයා බලා තිබුණේ කළු කුකුළා හා සුදු පොර කුකුළා අතර සටනක් පැවැත්වීමෙනුයි. පුදුම වැඩේ කියන්නේ පොර කුකුළන් දෙදෙනා ජය පැරදුමෙන් තොරව තරගය අවසන් කිරීමයි. ඒ නිසා රජතුමා තීරණය කරනවා මුහුදු බඩ පළාත් පාලනය ලන්දේසීන්ට ලබාදී උඩරට අධිරාජ්‍ය තමන් යටතේ පවත්වා ගන්න. බැරිවෙලාවත් කළු කුකුළා පැරදුණානම් එහෙම සුද්දට උඩරට යටත් කරගන්න ඉන්න ඕනෑ වෙන එකක් නැතිවෙන්නත් ඉඩතියෙනවා. මොකද රජු පොර කුකුළු නිමිත්තට මෙතරම් ඈඳිලා සිටපු ආකාරය බලද්දී රටම ලන්දේසීන්ට බාරදෙන්න පවා ඉඩක් තිබූ නිසා.

කොහොම නමුත් උඩරට රජුටත්, මුහුදු බඩ පළාත් ලන්දේසීටත් දෙන්න රජු තීරණය කරලා තිබුණේ සිය නැගණියගේ පොර කුකුළු නිමිත්තට අනුවයි. එය 1657 වසරේ ලක්දිව සංචාරය කළ ජර්මානු ජාතික ජොහන් ජාකොබ් සාර් විසින්ද මෙම පුවත සනාථ කර තිබුණා. පොර කුකුළු කෙළිය රට තුළ කොතරම් ප්‍රබලව මුල් බැසගෙන තිබුණේද යත් එම ක්‍රීඩාව පාලනය කරන්නට රාජාණ්ඩු අමාත්‍යංශයැයි පිළිගැනීමට සිදුවන ආකාරයේ ආයතන නිර්මාණය කරලා ඊට රජුගේ නිලධාරීන් පත්කර තිබුණා. ඒ රාජකාරීවලට අදාළ නම්පවා ලබා තිබීමෙන් ඒ බව මොනවට සනාථ වෙනවා. අද පවා බලංගොඩ ප්‍රදේශයේ පුද්ගල පෙළපත් නම් අතර 'පොර කුකුල් මුදියන්සේලාගේ' යන්නත් කුකුළු කෝරළය යන ප්‍රාදේශීය කෝරළ නාමය ඊට කදිම නිදසුනක්.

ලබන සතියට - පොර කුකුල් ජන ක්‍රීඩා ඉතිහාසය තවදුරටත්.......

 

 

Comments