
රෙෂිකා උඩුගම්පොළ
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ දකුණු ආසියානු කලාපීය අලෙවි කමිටුවේ සාමාජිකාවක් වශයෙන් පත්වීමට අවස්ථාව මට හිමිවුණා. මේ ගැන මම හුඟාක් සතුටු වෙනවා.
ඇය නමින් රෙෂිකා උඩුගම්පොළ ය. වෘත්තිමය වශයෙන් මෘදුකාංග සමාගමක ආසියා ෆැසිපික් කලාපයේ අලෙවිකරණ නියෝජිතවරියෙකි. වෘත්තීය කටයුතු අතර තුර ඈ ක්‍රීඩා පරිපාලනය වෙනුවෙන් ද කාලය වෙන්කර ගැනීමට තරම් සකසුරුවම් ය. ක්‍රීඩා පරිපාලනයේ අන්තර්ජාතික සලකුණක් සනිටුහන් කරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධ දකුණු ආසියානු අලෙවි කමිටුවේ නියෝජිතවරිය වශයෙන් පසුගියදා පත්වීම් ලැබුවා ය. හිටපු ඔලිම්පික් ක්‍රීඩිකාවක වන ඇය වර්තමානයේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට අනුබද්ධව ක්‍රියාත්මක වන ක්‍රීඩක කොමිසමේ සාමාජිකාවක් ලෙසින් ද කටයුතු කරන්නී ය. මේ 'ක්‍රීඩා' ඇය හා පැවැත්වූ සුහද සංවාදයකි.
රෙෂිකා ඔබට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ස්ථාපනය කර ඇති ආයතනයක පරිපාලනය සමඟ සම්බන්ධවන්න අවස්ථාවක් ලැබුණා. එය සුවිශේෂී ජයග්‍රහණයක්. ඒ සම්බන්ධයෙන් අපි කතාකරමු.
ඔව්. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ දකුණු ආසියානු කලාපීය අලෙවි කමිටුවේ සාමාජිකාවක් වශයෙන් පත්වීමට අවස්ථාව මට හිමිවුණා. මේ ගැන මම හුඟාක් සතුටු වෙනවා.
මේ තනතුර ඔබට හිමිවන්නේ කුමන ආකාරයටද?
ජාතික ඔලිම්පික් කමිටුව තමයි මගේ නම යෝජනා කර තිබුණේ. එය අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් සලකා බලා මාව එකී තනතුරට තෝරාපත්කර තිබෙනවා.
වර්තමානයේ ඔබ ඔලිම්පික් ක්‍රීඩක කොමිසමේ සාමාජිකාවක්?
ඔව්. මමයි තවත් ක්‍රීඩකයන් කීපදෙනෙකුයි මේ ක්‍රීඩක කොමිසමේ සිටිනවා. එමගින් අපි සුවිශාල කාර්ය භාරයක් ඉටුකරන්තත් සූදානම්.
ඒ ගැන පැහැදිලි කරමු?
අපි ක්‍රීඩක කොමිසම වශයෙන් මෙරට ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටිනවා. ක්‍රීඩකයන්ගේ ගැටලු විසඳීමට මැදිහත් වෙනවා. අපිට ලැබෙන පැමිණිලි ක්‍රීඩා සංගම්, ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡා කරලා ක්‍රීඩකයන්ගේ ගැටලු විසඳීමයි අපේ වගකීම. කොටින්ම කියනවා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මෙවැනි කමිටුවක් නිර්මාණය කරන්නේ ක්‍රීඩක අවශ්‍යතා හා අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්නයි.
මේ යටතේ සිදු කළ ප්‍රමුඛ වැඩසටහන හැටියට ඔබ දකින්නේ කුමක්ද?
පි. අපි වැඩ කීපයක් කළා. ඉන් පළමුවැන්න තමයි අපේ ක්‍රීඩිකාවන්ට එල්ලවන අයුතු බලපෑම්, සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර එයින් ඔවුන් මුදවා ගැනීම පිණිස බලගැන්වීම. ඇත්තම කියනවා නම් පුහුණුකරුවන්, සංගම් නිලධාරීන්, ක්‍රීඩකයින්, නරඹන්නන් ආදී විවිධ කාණ්ඩ වලින් ඔවුන්ට සිදුවන මෙවැනි බලපෑම් ගැන අපි ක්‍රීඩිකාවන් දැනුවත් කරන්නට මෙහිදී කටයුතු කළා. ඒවායෙන් අත්මිදෙන ආකාරය ගැනත් අපි ඔවුන් අතර අත්දැකීම් බෙදා හදා ගත්තා.
එය විශාල බලපෑම් සහගත වැඩමුළුවක්. ක්‍රීඩිකාවන් බලගන්වන එක විතරද ඔබලා සිදුකර ඇත්තේ?
ඒ එක වැඩමුළුවක්. අපි දෙවැනි වශයෙන් කෝවිඩ් වසංගතයෙන් විශාල බලපෑමක් සිදුව ඇති විටදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කරලා ඉන් විපතට පත් ක්‍රීඩකයන් වෙනුවෙන් සහන සැලසීමට ඉදිරිපත් වුණා.
ඔබ ක්‍රීඩාකළ යුගය ගැන අපි කතාකරමු. ඔබ ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ අමුතු ආකාරයකට?
ඔව්. මම ක්‍රීඩාවට එක්වන්නේ මගේ සොහොයුරිය නිසයි. ඒ මට වයස අවුරුදු අටේදි යි. මගේ නංගීට ඇදුම රෝගය වැළඳීමේ අවදානමක් තිබූ නිසා ඇයව පිහිනුම් ක්‍රීඩාවට යොමුකළා. මම පිහිනන්න යන්නේ ඇගේ තනි නොතනියට යි. අන්තිමේදී මම තටාකයේ දුර ගමනක් යනවා.
ඕස්ට්‍රේලියාවේ පුහුණු කටයුතු කරද්දි ඔබේ අධ්‍යාපන කටයුුතු කල්දැම්මා නේද?
මම මගේ ඔලිම්පික් සහභාගිත්ව සිහිනය සමඟ අධ්‍යාපන කටයුතු වසර දෙකකින් කල් දමාගත්තා. ඒ අනුව මම ඔස්ට්‍රේලියාවට ගියේ මගේ උසස් අධ්‍යාපන කටයුතු තාවකාලිකව නවත්වලයි. කොහොම හරි 2015 වසරේ තමයි මම උපාධිය දිනාගන්නෙ.
ඇයි ක්‍රීඩාවයි, අධ්‍යාපනයයි සමබරව කරගන්න අමාරු වුණාද?
මේකයි. එතනදී මට තේරුණා ඔලිම්පික් යන්නයි, අධ්‍යාපනයයි එකවර කරන්න අසීරුයි කියා. ඒ නිසා මම අධ්‍යාපන කල්දමලා ක්‍රීඩාවට අවධානය යොමුකළා. එයින් පස්සේ යළි අධ්‍යාපනය වෙත එළඹිලා එය සාර්ථක කරගත්තා.
දැන් ඔබ ක්‍රීඩා පරිපාලනයේ නිරතවන්නේ ඔබේ රැකියාව සිදුකරන අතරෙමයි නේද?
ඔව්. මම මගේ විවේක කාලය උපයෝගී කරගනිමින් ක්‍රීඩා පරිපාලනය සමඟ සම්බන්ධ වෙනවා. ඒ කටයුත්ත අපි කරන්නේ ස්වේච්ඡාවෙන්. මොකද මේ වෙනුවෙන් අපට මුදල් ලැබෙන්නෙ නෑ. නමුත් ක්‍රීඩාවට, ක්‍රීඩකයන්ට සිදුකරන යුතුකමක් වශයෙන් සලකලයි අපි මේ දේවල් කරන්න කාලය වෙන් කරගන්නෙ. කාන්තාවන් කියන්නේ තොටිල්ල පමණක් පදවන කණ්ඩායමක් නොවෙයි. අපිටත් ක්‍රීඩා පරිපාලනය ඇතුළු ලොව ඇති සියලු කටයුතු සමඟ පිරිමින් සමඟ හරි හරියට වැඩ කරන්න පුළුවන්. එය තමයි මගේ මේ තනතුරෙනුත් ඔප්පු වන්නේ.











