මෙවර ප්‍රංශ බැස්ටීල දිනය කොවිඩ් විරුවන් වෙනුවෙන් වෙන්කරයි | Page 4 | සිළුමිණ

මෙවර ප්‍රංශ බැස්ටීල දිනය කොවිඩ් විරුවන් වෙනුවෙන් වෙන්කරයි

කොවිඩ් විරු­වන් ඇග­යී­මට ලක් කෙරෙ­මින්

ප රට පෙබරවාරි හතරවැනිදා නිදහස් දිනය සමරන්නේ යම්සේද ප්‍රංශය බැස්ටීල දිනයට ලබා දෙන්නේ එවන් වූ වැදගත් ස්ථානයකි. ප්‍රංශ ජාතිකයන් සෑම වසරකම ජූලි 14 වැනිදා බැස්ටීල දිනය සමරන්නේ හමුදා ආචාර පෙළපාළි මැද මහත් ගෞරව බහුමානයෙන් යුක්තවය. සැබවින්ම ඉංග්‍රීසි භාෂාව වහරන රටවල මේ දිනය බැස්ටීල දිනය ලෙස හැඳින්වුවද සැබවින්ම එය ප්‍රංශ ජාතික දිනය වේ. මෙය ප්‍රංශයේ ජාතික දිනය ලෙස සැමරීම ආරම්භ වන්නේ 1789න් පසුවය.

සැබවින්ම නිදහස් ප්‍රංශය බිහි කිරීමට දායක වූවා සේ සලකන ප්‍රංශ විප්ලවය සඳහා ගාමක බලවේග බැස්ටීලය මූලික කර ගනිමින් පෙළ ගැසීම මෙදින සිදුවී ඇති බැවින් මේ දිනය ප්‍රංශයේ ජාතික දිනය සේ සැලකේ. එදිනට ප්‍රංශයට නිවාඩු දිනයකි. මංමාවත් එදිනෙදා ගමන් ගන්නා වාහනවලින් තොරවන අතර ඒ වෙනුවට පැරිස් නගරයේ ප්‍රධාන වීථි ඔස්සේ අභිමානවත් අන්දමින් ප්‍රංශ හමුදා රථ පෙළපාළි ගමන් කරනු දැක ගත හැකිය. රට පුරා නොයෙක් උත්සවද සංවිධානය කෙරෙන අතර රාත්‍රියේ ප්‍රංශ අහස වර්ණවත් කරන ගිණිකෙළිද දැකගත හැකිය.

එහෙත් සියවස් දෙකහමාරකට පමණ පසු මෙවර ප්‍රංශ බැස්ටීල දින සැමරුම සුපුරුදු රටාවෙන් වෙනස් කර තිබිණි. මෙවර ඔවුන් සමරනු ලැබුවේ ප්‍රංශයට නිදහස දිනා දුන් විරුවන් නොව ප්‍රංශ ජනතාවගේ ජීවිත බේරා දුන් එරට සෞඛ්‍ය සේවකයන්ය.

මීට පෙර ලෝක යුද්ධ හේතුවෙන්ද බැස්ටීල දින සැමරුම කල් දැමීමට ප්‍රංශය කටයුතු කළද මෙවර එම උත්සව කල් දැමීමකින් හෝ අවලංගු කිරීමකින් තොරව වෙනස් අන්දමකින් දිනය සැමරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබුණේ ඉතා කාලෝචිතවය.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේය. ‘මෙවර ජූලි 14 වැනිදා අපි ගෞරවය පුද කර සිටින්නේ අප වෙනුවෙන් තම ශක්තිය, ධෛර්යය, හැකියාවන් යොදවමින් ස්වකීය මානූෂීය ගුණාංග පෙරදැරිව වයිරසයට එරෙහිව සටන් කළ ඔවුන්ටයි’

අන් සෑම ජූලි 14 වැනිදාවකම පැරිස් නගරයේ ශම්ස් - එලිසේ ප්‍රදේශයේ දක්නට ලැබෙන හමුදා රථ සහ ආචාර පෙළපාළි මෙදින දක්නට වූයේ නැත. පෙළපාළි දැකීමට නොඑන ලෙස කල් තබා ජනතාවට දැනුම් දී තිබුණේ ජනතා ඒකරාශී වීම් මගින් වයිරසය පැතිරීම වැළැක්වීමටය. එහෙත් දුර සිට වුවද ජනතාවට නැරඹිය හැකි ගුවන් හමුදා ආචාර පෙළපාළිය අවලංගු කර නොතිබුණු අතර ප්‍රංශ ධජයේ වර්ණයන් වන සුදු නිල් සහ රතු පැහැ දුම් නිකුත් කරමින් අහසේ ගමන් කළ ගුවන් යානා මෙවරද දැක ගත හැකි විය. අන් බැස්ටීල දිනවලදී විදුලි ආලෝකයෙන් වර්ණවත් වන අයිෆල් කුලුණ මෙවර ආලෝකවත් කිරීමට කටයුතු කර තිබුණේ නැත.

කෙසේ වුවද සමස්ත ප්‍රංශ වෛද්‍යවරුන්, හෙදියන්, ඇම්බියුලන්ස් රියැදුරන් සහ සාත්තු සේවකයන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් උපහාර ලැබූ අතර සමස්ත ජනතාවගෙ ගෞරවය ප්‍රංශ සෞඛ්‍ය සේවකයන්ට හිමිවන බව ප්‍රකාශ කර තිබේ.

මේ වන විටත් ප්‍රංශය ලෝක කොවිඩ් දර්ශකයේ 19 වැනි ස්ථානයේ රැඳී සිටින අතර මේ වන විට ප්‍රංශ ජාතිකයන් 1,74,674ක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. මියගිය සංඛ්‍යාව 30,152කි. මේ වන විටත් ප්‍රංශය පුරා වයිරසය පැතිරෙමින් පවතින නමුදු රට සාමාන්‍ය ලෙස පවත්වාගෙන යෑමට ප්‍රංශ බලධාරීහු උපරිම උත්සාහ ගනිමින් සිටිති.

 

Comments