ඇෙමරිකාවේ පර්යේෂණ නිසා දංගෙඩියට ගිය ‘අපේ ශාන්ති’ | Page 2 | සිළුමිණ

ඇෙමරිකාවේ පර්යේෂණ නිසා දංගෙඩියට ගිය ‘අපේ ශාන්ති’

 

ස්මිත්සෝනියන් සත්ත්වෝද්‍යානය ලෝකයේ ඇති ප්‍රධානතම සත්ත්වොද්‍යානයකින් එකකි. මෙය දැක බලා ගැනීම ඇතැම් ඇමෙරිකානුවන්ට පවා සිහිනයකි. ඒ ඇමෙරිකාවේ දුර බැහැර ප්‍රාන්තයක සිටින්නකුට පවා එයට ළඟා වීමට විශාල කාලයක් සහ වියදමක් දරමින් ගුවනින් ගමන් කළ යුතු වීම නිසාය. ස්මිත්සෝනියන් නිකම්ම නිකම් සෙල්ලම් හෝ සතුන්ගේ සුරතල් පෙන්වා සත්ත්වෝද්‍යානයක් ද නොවේ. එය ලෝකයේ සත්ත්වයන් සම්බන්ධයෙන් වැඩිම පර්යේෂණ සිදු කෙරෙන පර්යේෂණ සම්බන්ධීකරණය කෙරෙන මධ්‍යස්ථානයක් යයි කීවොත් වැරදි නැත. මෙම ස්මිත්සෝනියන් පර්යේෂණාගාරවලින් වසරකට සත්ත්වයන් සම්බන්ධ අතිවිශාල පර්යේෂණ වාර්තා ප්‍රමාණයක් නිකුත් වනු ජාත්‍යන්කතර පර්යේෂණ සඟරා නිරීක්ෂණයයේදී දැකිය හැකිය.

මෙලෙස ලෝක ප්‍රසිද්ධියක් උසුලන ස්මිත්සෝනියන් සත්ත්වෝද්‍යානය සැරසූ අලිඇතුන් අතර වැඩිම කාලයක් එහි ගත කළ ශාන්ති ට ලැබුණේ වැඩි අවධානයකි. 1976 සිට ස්මිත්සෝනියන් සත්ත්වෝද්‍යානයේ සිටින මේ කෙනර ලෝකයේ විද්‍යාත්මක පර්යේෂණවලට වැඩියෙන්ම බඳුන් වූ ආසියානු අලියා ලෙසද වාර්තාවක් ඉසිලුවාය. එසේම කෘත්‍රිම සිංචනය මඟින් පැටවුන් ඉපදවීමට ලොව දායක වූ පළමු කෙනර මෙන්ම විද්‍යාත්මක පර්යේෂණවලට වැඩියෙන්ම දායක වූ ලෝකයේ එකම කෙනර ලෙස සැලකෙන ශාන්ති පසුගියදා අවසන් හුස්ම හෙළුවේද ලෝකයේම අවධානය යොමු කළ පුවත් මවන්නියක ලෙසිනි.

ශාන්තිගේ මිය යෑම එලෙස ලෝකයට පුවතක් වූයේ ඇය ට හිමි වූ මරණය ස්වාභාවික හෝ හදිසි මරණයක් නොව මර දැමීමක් වූ නිසාය. එහෙත් මේ මරා දැමීම අපරාධයක් තැනට නොගියේ එය කාගේත් දැනුවත් බව මත යම් මඟ පෙන්වීම් මාලාවකට අනුව සිදු කරන ද මානූෂීය මරා දැමීමක් නිසාය. මරා දැමීමක් මානුෂීය වන්නේ කෙසේද යන්න පිළිබඳවද ලෝකය පුරා ලොකු විවාදයක් ඇත. එහෙත් ඇයට මරණය උරුම කර දීමට හේතුව ලෙස ස්මිත්සෝනියන් බලධාරීන් ප්‍රකාශ කරන්නේ ඔස්ටියෝආතරයිටිස් රෝගය නිසා දැඩි වේදනාවට පත්ව සිටි ඇයට මේ මරණය උරුම කර දීමට ස්මිත්සෝනියන් බලධාරීන් තීරණය කළ නිසාවෙනි.

මෙම ඇතින්න 1978 වසරේදී ශ්‍රි ලංකාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිට ශ්‍රි ලංකාවේ දරුවන් වෙතින් ලද සංකේතාත්මක ත්‍යාගයක් ලෙස ඇමෙරිකානු රජයට බාර දී ඇති අතර ඒ වනවිට වසරකට පමණ වයසක පසුවූ පැටියකු වූවාය. ශාන්ති ස්මිත්සොනියන් සත්ත්වෝද්‍යානයේ කාගේත් සිත් දිනා ගැනීමට සහ ආදරය ලබා ගැනීමට සුදුසුකම් ලබන්නියක් වූයේ ඇය වෙනත් සතුන්ට වඩා ඉක්මනින් හීලෑ වීමත් ඔවුන්ගේ පර්යේෂණාත්මක මෙන්ම විනේදාස්වාද කටයුතු සඳහා ඉක්මනින් පුහුණු කළ හැකි එරට පරිසරයට නිසි ලෙස ඔරොත්තු දෙන ඇතින්නක ලෙස හැදී වැඩුණු නිසාය.

ශාන්ති ශබ්දය උපදවන සංගීත භාණ්ඩවලට විශේෂ ප්‍රියතාවක් දක්වන්නියක් බව ඇය රැක බලා ගත් ස්මිත්සෝමියන් කණ්ඩායම පවසයි. විශේෂයෙන් හාමෝනියම් සංගීත භාණ්ඩය ඉතා මිහිරි ලෙස ශබ්ද අඩු වැඩි කරමින් ගායනා කිරීමට ඇය ඉතා දක්ෂය. මේ පිළිබඳව සැකසූ වීඩියෝවක් ද යූ ටියුබ් චැනලයේ දැකිය හැකිය.

කොහොම වුණත් ස්මිත්සෝනියන් යනු අලි නැටුම් පෙන්වන සත්ත්ව හැසිරීම් නරඹන්නගේ විනෝදයට පෙන්වන උද්‍යානයක්ම නොවේ. එයින් සිදු කරන පර්යේෂණ බොහෝය. මේ පර්යේෂණ ඇතැම් ඒවා ශාස්ත්‍රීය මට්ටමේ ඒවාය. එයින් මේ සතුන්ගේ පැවැත්ම සහ සංරක්ෂණය පිළිබඳ සුවිශේෂ සොයා ගැනීම් සහිත ඒවාය. ඇතැම් පර්යේෂණ කෙළවර වන්නේ ඖෂධ නිෂ්පාදනාගාරයකිනි. එයට හේතුව ඔවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන සොයා ගැනීම් අවසන වාණිජමය වශයෙන් මුදල් කළ හැකි ඖෂධ ඇතුළු නිෂ්පාදන වෙළෙඳපොලට ඉදිරිපත් කිරීම කෙරෙහි මෙම පර්යේෂණ සිදු කිරීමය.

මේ කවර අමුණක් වුද ලෝකයේ රටවල් අතර සත්ත්වෝද්‍යාන සඳහා සතුන් හුවමාරු කිරීමේ සම්ප්‍රදායක් එකල මෙනම් මෙකලද පවතී. ලෝකයේ වඳවී යන සතුන් සහ ශාක ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳ සම්මුතිය එනම් සයිටෙස් සම්මුතියට අද ලෝකයේ බොහෝ රටවල් එකඟ වී වී තිබෙන අතර මේ තත්ත්වය තුළ සතුන් රට රටවල් අතර සංසරණයට සැලස්විය හැක්කේ යම් මඟ පෙන්වීම් මාලාවකට අනුවය. එසේ වුවද ඊට පෙර මෙවැනි මඟපෙන්වීම් ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැත. ශාන්ති ඒ වනවිට අලුතින් ආරම්භ කරන ලද පින්නවල අලි අනාථාගාරයෙන් ඇමෙරිකාව බලා යන්නේ 1978දීය.

කාගේත් ආදරය මැද වැඩුණු ශාන්තිට බොහෝ හීලෑ අලි ඇතුන්ට වැළඳෙන ඔස්ටියෝ ආතරයිටිස් රෝග තත්ත්වයට ගොදුරු වන්නට පටන් ගත්තේ වයස අවුරුදු 44 දීය. ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ස්ටීවන් මොන්ෆෝර්ට් පවසන්නේ අවුරුදු 40කට අධික කාලයක් තිස්සේ සත්ත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයේ පරම්පරා කිහිපයක්ම මෙන්ම මෙම ලොව සුපතළ සත්ත්වෝද්‍යානයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරය ලැබීමට තරම් වාසනාවන්ත වූ ශාන්ති සුවපත් කිරීමට සත්ත්වෝද්‍යාන වෛද්‍ය කණ්ඩායම් විවිධ නව්‍ය ආකාරයේ ප්‍රතිකාර ක්‍රමවේද පවා භාවිත කළ බවයි. එසේ වුවද ඇයගේ තත්ත්වය එන්න එන්නම ඉතාම වේදනාත්මක වූ බැවින් ඇයට වේදනාවෙන් තොර මරණයක් හිමි කර දීමට බලධාරීන් තීරණය කර ඇත.

“ශාන්ති ඇතින්න සත්ත්ව ලොක්යේ නවතම පර්යේෂණ ගණනාවකට නිහඬවම දායකත්වය දුන් සත්ත්වයෙක් 1996 දී ඇය කෘත්‍රිම සිංචනය හරහා ගැබ් ගැනීමට ලක් කළ අතර ඇතින්නක සම්බන්ධයෙන් ලෝකයේ සිදුකෙරුණු පළමු අත්හදා බැලම එය බව ස්මිත්සොනියන් සත්ත්වෝද්‍යානය සඳහන් කරයි. ලෝකයේ සත්ත්වයන් සම්බන්ධ පරීක්ෂණ රැසක් සිදු කරන මෙම සත්ත්ව පර්යේෂණ ආයතනය ඇතින්න කෘත්‍රිම සිංචනයට ලක් කිරීම සඳහා අලුතින්ම විශේෂිත උපකරණ නිර්මාණය කළ බවද මෙම ක්‍රමය හරහා ඇයට 2000 වසරේදී පැටවකු දායාද කිරීමට හැකි වූ බවද සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා පවසයි. කණ්ඩුල නම් මෙම අලියා මේ වනවිට ඇමෙරිකාවේ ඔක්ලහෝමා හී සත්ත්වෝද්‍යානයක වාසය කරයි. ඇයට 1993 දීද තවත් අලි පැටවකු බිහි කොට ඇති අතර ඇය කුමාරි නමින් හඳුන්වන බව ස්මිත්සෝනියන් බලධාරීහු පවසති.

ස්මිත්සෝනියන්හි ජ්‍යෙෂ්ඨ සත්ත්ව පාලකයකු මෙන්ම ශාන්ති සමඟ දශක තුනකට එහා කාලයක් ඇසුරු කළ බ්‍රයන් අමරාල් පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසුන් භාරයේ සිටින ආසියානු අලින්ගේ ජීව කාලය වයස අවුරුදු 46ක් පමණ. මේ නිසයි ඇයගේ වේදනාවෙන් මිදීමට ඇය ට මේ දිවියට සමු දෙන්නට අවශ්‍ය කටයුතු සූදානම් කළේ. කොහොම වුණත් අප විශ්වාස කරන්නේ වන අලියකු තබා හීලෑ අලියකු වුවද නොලබන තරමේ සුවිශේෂී ප්‍රතිකාර සත්කාර ඇය ලැබූ බවයි.

කෙසේ වුවද සාමාන්‍යයෙන් හීලෑ අලියකු හෝ ඇතකුගේ ජීව කාලය පිළිබඳව ස්මිකත්සොනියන් බලධාරීන් දරන මතය නිවැරදි නොවන බව මෙරට සත්ත්වවේදීන් ගේ අදහසයි. ඔවුන් පවසන්නේ සාමාන්‍යයෙන් වන අලියකුට වඩා ආයු කාලයක් එනම් අවුරුදු 75කට එහා ආයු කාලයක් ඔවුන්ට හිමි වන බවය.මේ පිළිබඳව සිළුමිණ ට අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාහ කළේ ස්මිත්සෝනියන් බලධාරීන් ආසියානු අලියකුගේ ජීව කාලය පිළිබඳව කියන කතාව සම්පූර්ණයෙන්ම වැරදි එකක් බවය. මහාචාර්යවරයා ද මෙරට සතත්වවේදන්ගේ කතාව අනුමත කරන අතර ඔහු පවසන්නේ සාමාන්‍යයෙන් හීලෑ අලියකුගේ ජීව කාලය වයස අවුරුදු 65ත් 70ත් අතර බවය.

ඇතැම් සතුන් එම වයසද අබිබවා ජීවත් වන බව මෙම සතුන් සම්බන්ධයෙන් පුළුල් අත්දැකීම් ඇති මහාචාර්යවරයා පවසයි. එසේ නම් ඇමෙරිකානු පරිසරය ශාන්ති වැනි සතුන්ගේ ආයු කාලයට අභියෝගයක්ද යන පැනයටද පිළිතුරු දෙන මහාචාර්යවරයා පවසන්නේ සාමාන්‍යයෙන් ස්මිත්සෝනියන් පරිසරය ආසියානු අලින්ට අහිතකර නොවන බවය. එසේ වුවද අලින්ට දිනපතා ප්‍රමාණවත් ව්‍යායාම නොලැබීම ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට ඇවිදීමට නොහැකි වීම වැනි කරුණු මත ඉතා ඉක්මනින් ආතරයිටිස් වැනි රෝගයන්ට ගොදුරු විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් මේ පිළිබඳව ඔවුන් සතුව පර්යේෂණාත්මක තොරතුරු තිබුණද ඒවා වසන් කිරීම ස්මිත්සොනියන් බලධාරීන් අතින් වසන් වීම අප බලාපොරොත්තු විය යුත්තකි.

බොහෝ රටවල සත්ත්වෝද්‍යානවල සිටින විදේශීය සතුන් මුහුණ දෙන ශෝචනීය ඉරණමක් ලෙස සඳහන් වන්නේ ඔවුන්ට උරුම ස්වාභාවික පාරිසරික තත්ත්ව මෙවැනි සත්ත්වෝද්‍යානතුළදි ලබා දීමට සත්ත්වෝද්‍යාන බලධාරීන් අපොහොසත් වීමය. මේ පිළිබඳව මේ වනවිට ලොක්යේද කතිකාවක් නිර්මාණය වී තිබේ. ඔවුන්ට හිතකර පාරිසරික තත්ත්ව, චර්යාවන්ට අවශ්‍ය ඉඩකඩ මෙන්ම ආහාර පානද නිසි ලෙස ලබා දීම මෙම සතුන්ට හිමි අයිතිවාසිකමකි. ස්මිත්සොනියන් වැනි ලෝකයේ පරමාදර්ශී යයි සැලකෙන සත්ත්වෝද්‍යානවල පවා මෙවැනි ගැටලු පවතින බව පර්යේෂණ ලෝලීන්ට සහ සත්ත්ව ලෝලීන්ට අමිල මෙහෙවරක් කළ ශාන්ති තම වේදනාභරිත අවසන් හෝරාවේ පවා ලෝකයට හෙළි කළ පනිවිඩයකි. එහෙත් ඇමෙරිකානු හිතවාදී ජාත්‍යන්තර මාධ්‍ය මේවා දැක්කේ නැත.

 

 

Comments