ලඩක්හි දේශසීමා අර්බුදය උණුසුම් අතට | Page 4 | සිළුමිණ

ලඩක්හි දේශසීමා අර්බුදය උණුසුම් අතට

චීන - ඉන්දියා යුද බිම බවට පත් වූ අතිසුන්දර ලඩක්

බටහිර මාධ්‍යවල මේ දිනවල සුලබව දැකිය හැකි කාටූනයකි. එහි පෙනී සිටින්නේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ක්ෂි ජින්ග්පින්ග් ය. ඔවුන් දෙදෙනා අතර අගට ඇණ ගැසූ පොලු දෙකකි. ඔවුන් මේ පොලු දෙකෙන් එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීමට මාන බලති.

මේ අති නිර්මාණශීලී කාටූනය මගින් පෙන්වන්නේ මේ දිනවල චීනයේ සහ ඉන්දියාවේ වාතාවරණයයි. මේ දෙරටේ දේශසීමා අර්බුදය ඉතා කෙටිකලක් ඇතුළත මතුවී අවුත් මේ වන විට විවිධ දිශානතීන් කරා ගමන් කරමින් තිබේ. මේ සියල්ල ඉඟි කරමින් පවතින්නේ සමස්ත ලෝකයට කිසියම් බලපෑමක් එල්ල කළ හැකි අර්බුදයකි.

චීන - ඉන්දියා දේශසීමා අර්බුදයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය වරින් වර පෑරෙමින් සහ සුවවෙමින් පවතින තුවාලයක් වැනිය. පසුගිය වසරේදී ද මේ දේශසීමා තුවාලය යළිත් වරක් පෑරුණු අතර මීට සති දෙකකට පමණ පෙරදී දෙරටේ හමුදා ප්‍රධානීන් දේශසීමාවේදී හමුවී කිසියම් එකඟතාවකට පැමිණියේ සාමයේ සුභවාදී බලාපොරොත්තු ආසියාව කරා ගෙන එමිනි. මේ ආසියානු දැවැන්තයන් දෙදෙනාගේ මිත්‍රත්වය යනු ආසියාවට අනාගත ලෝක බල කේන්ද්‍රය විතැන් වීම බවට ඉගි ද පළ විය. එහෙත් හරියටම මේ සිදුවීමෙන් සතියක් ඉක්ම යන තැන යළිත් වරක් එකිනෙකා වෙත අවි අමෝරා ගන්නා තරමට වාතාවරණය ක්ෂණිකව වෙනස් විය.

එහිදී දෙරටම එකිනෙකා වෙත චෝදනා එල්ල කර ගත්හ. චීනය පවසා සිටයේ දේශසීමාවේ සිටි ඉන්දීය සෙබළු චීන සෙබළුන් කුපිත කරන ලෙස හැසිරෙමින් අවස්ථා කිහිපයකිදී දේශසීමාව තරණය කළ බවයි. ඉන්දියාව චෝදනා කර සිටියේ ඇණ ගැසූ පොලුවලින් පහර දීමෙන් චීන හමුදාව ඉන්දීය හමුදා සෙබළුන් විසි දෙනකු මරා දැමූ බවයි.

මේ බව වාර්තා වීමත් සමග ඉන්දියාව උතුරු චීන මුහුදට යුධ නැව් යැවීමට කටයුතු කළ අතර අගමැති නරේන්ද්‍ර මෝදි දේශසීමාවේ හමුදාවන්ට අවශ්‍යතාව මත ක්‍රියා කිරීමට උපරිම නිදහස ලබා දෙන බව (given free hand) පවසා සිටියේය. චීනය ආරම්භයේදී ඉන්දියාවේ මේ ආක්‍රමණශීලී හැසිරීම දෙස අවධානයෙන් බලා සිටියා මිස කිසිවක් ප්‍රකාශ කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ නැත. දින කිහිපයක් ඉක්ම යත්ම ඉන්දීය අගමැතිවරයාද කිසියම් මධ්‍යස්ථ මතයකට පැමිණියේ රට ඇතුළත ප්‍රකාශ කළ ජතිවාත්සල්‍යය පුබුදු කරවන අන්දමේ ප්‍රකාශ වෙනුවට දේශසීමාව මේ වන විට සාමකාමී බවත් කිසිවකු හෝ එක් අඟලක් හෝ දේශසීමාව උල්ලංඝනය කර නොමැති බවත් පසුගිය සිකුරාදා එරට සියලු දේශපාලන පක්ෂ සමග පැවැත්වූ රැස්වීමේදී පවසා සිටියේය.

එහෙත් මෝදිගේ මේ හැසිරීම මේ වන විට චීන රජයේ දෝෂාරෝපණයට ලක් ව තිබේ. චීන විද්වතුන් මාධ්‍ය ඔස්සේ පෙන්වා දී තිබුණේ ඉන්දීය ජනාධිපතිවරයා රට ඇතුළට එකක් සහ ජාත්‍යන්තරයට එකක් පවසන බවයි. දේශසීමාවේ හමුදාවන්ට නිදහස් තීරණ ගත හැකි වන ලෙස බලය දී ඇති බව රට අභ්‍යන්තරයට පවසන මෝදි එමගින් ඉන්දියාවේ සිටින දැඩිමතධාරීන්ගේ සහාය තමාගේ පැත්තට ලබා ගනිමින් සිටින බවත්, එවැනි බැහැර ජාත්‍යන්තරයට තවත් මුහුණක් පෙන්වමින් සිටින බවත් චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ග්ලෝබල් ටයිමිස් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් චීනයේ ෆූඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලින් මින්ග්වැන්ග් පවසා තිබේ. මීට අමතරව තවත් විද්වතුන් පෙන්වා දී තිබුණේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියාව පකිස්තානය සමග ඇති කර ගත් ආරවුලේදීද ඉන්දීය රාජ්‍ය නායකයා මෙලෙස හැසිරී තිබුණු බවයි. එමගින් ඔහු තම රට අභ්‍යන්තරයට එක් මුහුණක් සහ බාහිර රටවටල තවත් මුහුණක් පෙන්වන බවයි.

කෙසේ වුවද ලඩක්හි හමුදා සොල්දාදුවන්ට පහර දීමෙන් ඇති වූ අර්බුදකාරී වාතාවරණය යම් තරමකට සමනය කිරීමට ඉන්දීය අග්‍රමාත්‍යවරයා උත්සාහ දරමින් සිටින්නේ වෙළෙඳ සාධකය මත බවටද අනුමාන කළ හැකිය. චීනයෙන් තොර වෙළෙඳපොළක් මේ වන විට ලෝකයේ කිසිම තැනක නොපවතින අතර මේ වෙ‌ළෙඳ පොළ මට්ටු කිරීම අමෙරිකාවද පසුගිය වසර කිහිපය පුරා උත්සාහ දරණු දැකගත හැකි විය. චීනයේ හුආවෙයි ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ ප්‍රධාන නිලධාරිනියක් කැනඩාවේදී අත්අඩංගුවට ගනිමින් ඒ හරහා එම සමාගම ඔත්තු බැලීමේ නිරත වූ බවට චෝදනා නගමින් චීනය වර්ජනය කිරීමට සෙසු රටවලටද බලපෑම් කරමින් අමෙරිකාව ගත් උත්සාහයන් සියල්ල මේ දක්වා සාර්ථක වී නැත. එබැවින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චීනය සමග කිසියම් සාම මාවතකට පිවිසීමට උත්සාහ දරන බවට අනුමාන කළ හැකිය.

එසේ වුවද සතියේ මැද වන විට ඉන්දියාවට තත්ත්වය තවදුරටත් බැරූරුම් වූයේ චීන රජය ප්‍රථම වරට මේ සම්බන්ධව තම ස්ථාවරය ප්‍රකාශ කිරීමත් සමගිනි. එහිදී චීන රජය නිල ප්‍රකාශයක් කර නොතිබුණද කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත ලිපියක් මගින් මේ බව පවසා තිබේ.

ඒ අනුව චීනය ඉන්දියාවට යුදමය තර්ජනයක් ඍජුව එල්ල කරමින් සිටී. ඔවුන් පවසන්නේ දේශසීමා අර්බුදයක සටනක් කරා යන්නේ නම් තමන්ද එයට සූදානම් බවයි. මේ සටනින් විශාල පිරිසක් මිය යා හැකි බවද චීනය ඍජුව ප්‍රකාශ කර සිටින බව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි. එමෙන්ම මේ සටනේදී ඉන්දියාවට දරා ගත නොහැකි මරණ සංඛ්‍යාවක් මෙන්ම සමස්ත ලෝකයට දරා ගත නොහැකි ආර්ථික පීඩාවක්ද එල්ල වීම වැළැක්විය නොහැකි බව චීනය පවසා තිබේ.

මීට පෙර 1962දී මේ ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ චීන ඉන්දියා සටන ගැනද සිහිපත් කර සිටින ග්ලෝබල් ටයිම්ස් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට දෙරටම දේශසීමාවේ යුද ශක්තීන් තර කරමින් සිටින බැවින් යළි එවන් තත්ත්වයක් ඇති වීමට වැඩි ඉඩක් පවතින බවයි.

මේ අතර චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ශියෝ ලිජියෑං පවසා සිටියේ සිදුවන සියල්ල හරි වුවද වැරදි වුවද එහි වගකීම ඉන්දියාව සතු වන බවයි. මේ අතර ලඩක්හි අද දිනය හෝ හෙට දිනය තුළ කිසියම් සුවිශේෂ සිදුවීමක් වන බවට ඉඟි පළවන බැවින් මේ වන විටත් ආරක්ෂක හමුදාවන්ට අමතරව දෙස් විදෙස් මාධ්‍ය පොදි බඳිමින් සිටින බව වාර්තා වේ. සැබැවින්ම මේ වන විට ලෝකයේ විදෙස් මාධ්‍ය ආයතන සියල්ලම තම අවධානය ලඩක් වෙත යොමු කරමින් සිටින බව පැවසිය හැකිය. යම් හෙයකින් එම ප්‍රදේශයේ ගැටුමක් ඇති වන්නේ නම් එය මුළු මහත් ලෝකයටම බලපාන ගැටුමක් වනු නොඅනුමානය. එයට හේතුව වන්නේ චීනය සහ ඉන්දියාව යන දෙරටම එකසේ යුද ශක්තිය අතින් බලවත් රටවල් වන බැවිනි. දෙරටේ හමුදා ශක්තිය විමසා බලන්නේ නම් ලොව පිරිස් බලය අතින් විශාලම හමුදාව අයත් වන්නේ චීනයටය. චීනයේ යුද හමුදාවේ පිරිස බලය විසි එක් ලක්ෂ අසූ තුන් දහසකි. ඉන්දියාව ලෝකයේ දෙවැනියට විශාලතම හමුදාව සහිත රට වන අතර ඉන්දීය යුද හමුදාවේ සමස්ත සංඛ්‍යාව දහතුන් ලක්ෂ හැට දෙදාස් පන්සියයකි.

අනික් බැරූරුම් කරුණ වන්නේ මේ දෙරටම න්‍යෂ්ටික බලවතුන් වීමයි. මේ ආසියානු බලවතුන් දෙදෙනා එකිනෙකා සමග ගැටීම අංක එකට අවාසියට සිටින්නේ දකුණු ආසියාවට බව අමුතුවෙන් කිව යුතු නැත. එපමණක්ද නොව කොවිඩ් රෝගයෙන් පත්ලටම වැටී තිබෙන ලෝක ආර්ථිකය මතට යුද්ධයක් කඩා වැටීම යනු අපායට හෙණ ගැසීමක්ම වනු ඇත. එබැවින් මේ රටවල නායකයන් බුද්ධිමත්ව කටයුතු කරනු ඇතියි විශ්වාස කිරීමට මුළු මහත් ලෝකයක්ම සතුටු වනු ඇත.

Comments