
කොවිඩ් ලෝකය වෙනස් කරමින් පවතින බව ඉතාම පැහැදිලිය. කොවිඩ් පැතිරීමට පෙර පැවති ලෝකය සහ එතැන් සිට ඉදිරියට ලෝකය බොහෝ වෙනස්කම් සහිත වනු ඇත. මතු යම් දිනක කොවිඩ් වෙනුවෙන් එන්නතක් සොයා ගන්නා තුරු මේ වෙනස්කම් පවත්වා ගැනීමට මිනිසාට සිදුවනු ඇත. අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම දෙදෙනෙකු අතර මීටරයක දුර පවත්වා ගැනීම ඇතුළු පිළිපැදිය යුතු අලුත් රීති රැසක් මේ වන විට සමාජ ගත වී තිබේ. මේ අතරට අලුතෙන්ම එක්වී ඇත්තේ විලාසිතා වේල්ස් ඔන්ලයින් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා විමට ඉදිරියේදී ලොව පුරා කාන්තාවන්ට කොන්ඩා කැපීමට සිදුවනු ඇති බවයි.
කොවිඩ් වයිරසය නොයෙක් පෘෂ්ඨයන් මත දින ගණන් ජීවත් වන බව මේ වන විට සැවොම දන්නා කරුණකි. විශේෂයෙන්ම වයිරසය ආසාදනය වන නාසය සහ මුඛය ආරක්ෂා කර ගැනීමෙන් වයිරසයෙන් බේරීම පහසුය. ඒ සඳහා දෑත් සේදීම, මුඛ ආවරණ දැමීම වැනි කටයුතු අතර වයිරසය ජීවත් වන මතුපිට විෂබිජ නාශක යොදා පිරිසිදු කිරීමද කළ යුතුය.
චීනයේ වූහාන්හි වයිරසය පැතිර යන අවස්ථාවේදී වූහාන් රෝහලේ හෙදියෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව තම හිසකෙස් සම්පූර්ණයෙන් බූ ගා දැමීමට කටයතු කළහ. එයට හේතුව වූයේ වයිරසය හිසකෙස් අතර රැඳී පැවතීමයි. හිසකෙස් අතර දින කිහිපයක් ජීවත් වීමේ හැකියාවද වයිරසය පවතින බැවින් හිසකෙස් අතරින් නාසය සහ මුඛයට ඉක්මනින් ළඟා වීමේ හැකියාවද වයිරසයට ලැබේ. එදා චීන හෙදියන් තම හිසකෙස් බූ ගා දමමින් වයිරසයට තම සිරුර ආක්‍රමණය කිරීමට ඇති සෑම ඉඩකඩක්ම වසා දැමුවා සේ ඉදිරියේදී ලොව පුරා කාන්තාවන්ට තම ආරක්ෂාව වෙනුවෙන් තම කොන්ඩා කෙටි කර කැපීමට සිදු වනු ඇතැයි පැවසේ.
සුළඟේ විසිරී යන දඟකාර කෙහෙ රැළි සහිත කාන්තාවක් ඉතා සුන්දර දර්ශනයක් වුවද එම සුන්දරත්වයම එම කාන්තාවට මරණය ගෙන දීමට වුවද ඉඩ තිබේ. පශ්චාත් කොවිඩ් ලෝකයේ වෙනස් වන සියල්ල අතරට කාන්තාවන්ගේ විලාසිතාද වන බව මේ අනුව පැහැදිලි වේ. කෙහෙරැල් නිතර මුහුණේ වැදීමෙන් ඒවා අතින් පිස දැමීමේදී වයිරසය නාසයේ හෝ මුඛයේ තැවරීමට ඇති ඉඩකඩ වැඩිය. එබැවින් කොන්ඩා හැකිතාක් කෙටිව පවත්වා ගැනීම අනාගත ලෝකයේ සෞඛ්‍ය පුරුද්දක් ලෙස ප්‍රකාශ වීමට වැඩි ඉඩක් පවතින බව අනුමාන කෙරේ.
මේ හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පීන්ටද පාරිභෝගිකයන්ගේ කැමැත්ත අනුව වෙනස් වීමට සිදු නොඅනුමානය. කෙසේවුවද කොවිඩ් වයිරසය කාන්තාවන්ගේ සුන්දරත්වය ඔප් නංවන කේෂ කල්‍යණිය පවත්වා ගැනීමට තවදුරටත් ඉඩ ලබා නොදීම සම්බන්ධව නම් බොහෝ දෙනා අසතුටු වනු නොඅනුමානය.