
පසුගිය සතියේ මේ තීරුවෙන් අප ඉදිරිපත් කර සිටියේ චීනය සහ ඉන්දියාව අතර වසර ගණනාවකට පසුව දෙරටේ දේශසීමාව සම්බන්ධව ඇතිවූ සාමාදානයයි. එහෙත් ඒ සුබදායී සිදුවීමෙන් සතියක් ඉක්ම යන්නටත් පෙර දැන් වාර්තා කරන්නට සිදුවී තිබෙන්නේ චීනය සහ ඉන්දියාව අතර ඇතිවෙමින් පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධවයි. ඇතැම් බටහිර මාධ්‍ය මේ වාතාවරණය නිර්වචනය කරන්නේ තුන්වැනි ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථාව වශයෙනි. එහෙත් එවැනි බැරූරුම් තත්ත්වයක් දක්වා වර්ධනය වේද යන්න අවිනිශ්චිත වුවද මේ ගත වී යන මොහොත වන විට නම් චීනය සහ ඉන්දියාව එකිනෙකා දෙසට අවි අමෝරා ගනිමින් සිටින බව කිවයුතුය.
වසර 45කට පමණ පසුව පසුගිය සතියේ චීනයේ සහ ඉන්දියාවේ ඓතිහාසික දේශසීමා ගැටලුව අවසන් කරමින් දෙරටේ හමුදා නායකයන් කිසියම් සාමකාමී එකඟතාවක් ඇති කර ගැනීමට සමත් විය. එහෙත් පසුගිය සඳුදා දිනයේදී හදිසියේම දෙපාර්ශ්වයේ හමුදා සෙබළුන් අතර ගැටුම් ඇතිවී තිබේ. මේ ගැටුම් ඇතිවීමට නිශ්චිත හේතුවක්ද මේ දක්වා වාර්තා වී නොමැති අතර ගැටුම් අතරදී කිසිදු වෙඩි හුවමාරුවක්ද සිදු වී නොමැති බව සඳහන්ය.
සෙබළුන් එකිනෙකා වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කර ගත් බවද, අතින් පයින් මෙන්ම පොලු මුගුරු, උණ බම්බු ආදියෙන් එල්ල කර ගත් ප්‍රහාර හේතුවෙන් මේ වන විට ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු මියගොස් ඇති බවද ඉන්දීය පාර්ශ්වයෙන් ලැබෙන තොරතුරුවල සඳහන්ය.
එහෙත් මේ සිදුවීම සම්බන්ධව සුපුරුදු පරිදි බෙයිජිනය නිහඩව සිටින අතර ඉන්දීය සෙබළුන් අනවසරයෙන් දේශසීමාව තරණය කළ බවට ප්‍රකාශයක් පමණක් නිකුත් කර තිබේ. එමෙන්ම තම හමුදා සෙබළුන් කිසිවෙකු තුවාල ලබා සිටින බවට කිසිදු හෝ ප්‍රකාශයක් චීන පාර්ශ්වයෙන් මේ දක්වා ඉදිරිපත් වී නැත.
චීන විදේශ අමත්‍යංශයේ ප්‍රකාශක ෂියෝ ලිජියන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ පසුගිය සඳුදා දිනයේ ඉන්දීය සෙබළුන් අනවසරයෙන් අවස්ථා දෙකකදී චීන දේශසීමාව තරණය කර ඇති බවයි. එහිදී ඔවුන් චීන සෙබළුන් කුපිත කරවීමේ අරමුණ සහිතව හැසිරී ඇති බවද, පසුව ඔවුන් චීන සෙබළුන්ට ප්‍රහාර එල්ල කර ඇති බවද ප්‍රකාශකවරයා පවසා තිබේ.
කෙසේ වුවද ඉන්දීය පාර්ශ්වය දක්වන අදහස් අනුව චීන සෙබළුන්ගෙ ප්‍රහාර හේතුවෙන් ඉන්දීය හමුදා නිලධාරියකු ඇතුලු සෙබළුන් විස්සක පමණ පිරිසක් මියගොස් තිබේ. එමෙන්ම ඉන්දීය අභ්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දීය හමුදා සෙබළුන්ට චීන සෙබළුන් විසින් ‘මැරෙන තුරු පහර දී ඇති’ බවයි.
කෙසේ වුවද මේ ඇතිවෙමින් යන තත්ත්වය ඉක්මනින් සමතයකට පත්වන්නේ නම් එය මුළු මහත් ලෝකයටම මේ අවස්ථාවෙදී අස්වැසිල්ලක් වනු ඇත. එයට හේතුව ඉන්දියන් සාගරයේ, ආසියානු කලාපයේ යුදමය වාතාවරණයක් ඇතිවීම යනු මුළු මහත් ලෝකයට එයට නිරායාසයෙන් ඇදී ඒමක් වන බැවිනි.
මේ වන විටත් ඉන්දියාව දකුණු චීන මුහුදු කලාපයට තම යුද නෞකා මෙහෙයවමින් සිටින බවට වාර්තා ලැබෙමින් තිබේ. මේ දෙරටම ලෝක බලවතුන් වන අතර දෙරටටම න්‍යෂ්ටික බලය හිමිය. යම් හෙයකින් දෙරට අතර යුදමය වාතාවරණයක් ඇතිවන්නේ නම් එහිදී අමෙරිකාව ඉන්දියාවේ සහයට එනු නොඅනුමානය. ජපානයද අමෙරිකා - ඉන්දීය පාර්ශ්වයට සහයෝගය දෙනු ඇත්තේ චීනයට විරුද්ධවය. එහෙත් මේ රටවල් සියල්ල එක්ව පැමිණියද චීනයට එය ගැටලුවක් නොවනු ඇත. යුදමය වාතාවරණයකදී චීනයේ ශක්තිය කොතෙක්දැයි කිසිවකුට අනුමාන කළ නොහැක්කේ චීනය මේ වන විට එතරම්ම ශක්තිමත්ව සිටින බැවිනි. අනික් අතට දශක ගණනාවක් පුරා යුද්ධයකට පැටලී නැති චීනය හැමවිටම සාමාකාමී සහ වඩා උපක්‍රමශීලී මාවත තෝරා ගන්නේ අමෙරිකාවට ප්‍රතිවිරුද්ධ දේශපාලන උපක්‍රම අනුගමනය කරමිනි.
එබැවින් බොහෝ දුරට මේ අවස්ථාවේදීද චීනය යුදමය වාතාවරණය ඇති වීම වැළැක්වීමට කළ හැකි සියල්ල කරනු ඇත. එහෙත් කලාපීය වශයෙන් ඉන්දියාව හුදකලාවීමේ උපක්‍රමශීලී ප්‍රහාරය නම් එල්ල කිරීමට පසුබට නොවනු ඇත.
අනික් අතට ඉන්දියාව අමෙරිකාවේ ආශිර්වාදය ලබන්නේ චීනය සටනට අවුලුවා ගැනීමේ උත්සාහයන්හි නිරත වීමේ ඉඩකඩක් ඇතැයි පැවසිය හැකිය. මේ වන විට ජනාධිපති ට්‍රම්ප් ලෝකය වෙත දිගු කළ සාමයේ දෑත අකුලාගෙන සිටින අතර සාම්ප්‍රදායික අමෙරිකානු ක්‍රමවේද ඔස්සේ ජනතා කැමැත්ත යළි තමා වෙතට ඇද ගැනීමේ උත්සාහයක නිරත වී සිටින්නේ යැයි පැවසිය හැකිය.
යම් හෙයකින් චීනය ආරවුල් ගොඩක පැටලවීමෙන් චීනය ගමන් ගන්නා මාවතෙන් ඉවතට ඇද ගැනීමට හැකි වනු ඇති අතර එමගින් අමෙරිකාවට යළි ශක්තිමත් වීමේ අවස්ථාව උදාවනු ඇත.
කෙසේ වුවද මේ සියල්ල පෙන්නුම් කරන්නේ මිනිසුන්ට මේ වන විටත් තමන්ගේ නියම සතුරා වන කොවිඩ් වයිරසය අමතක වී යමින් පවතින බවයි. ඉන්දියාව මේ වන විට ලෝකයේ සිව් වැනි තැනට කොවිඩ් ආසාදිතයන් වාර්තා කරමින් සිටින අතර ලෝකයේ පළමුවැනි ස්ථානයට දෛනික කොවිඩ් මරණ වාර්තා කරමින් සිටී. එමෙන්ම මේ වන විට චීනයේ අගනුවර වන බෙයිජිනය වයිරසයේ දෙවැනි රැල්ල හේතුවෙන් ඉතා තර්ජනාත්මක අවස්ථාවකට මුහුණ දී ඇති අතර මුළු නගරයම වසා දැමීමේ අවස්ථාවක් අබියස සිටී. අමෙරිකාව තවමත් ලෝකයේ කොවිඩ් ආසාදිතයන්ගෙන් අංක එකය.
කොවිඩ් හේතුවෙන් මිනිසුන් එක මොහොතකදී එකම අරමුණකට පැමිණි අතර දින කිහිපයකට ලොව පුරා යුද ගිනිදැල්ද නිවී ගියේය. එහෙත් අවාසනාවකට මෙන් වයිරසය තවමත් එකසේ මිනිසාට ප්‍රහාර එල්ල කරමින් සිටියදී මිනිසුන් යළිත් තම පැරණි අරමුණු කරා යමින් සිටිනු පෙනේ. එබැවින් මේ ඇතිවීමට යන සටන්වලින් අවසානයේ කොවිඩ් වයිරසය නම් පැහැදිලිවම ජය ගනු ඇති බව නිසැකය.