බොල්සෙනාරෝ යටතේ බ්‍රසීලය අසමත් ද? | Page 4 | සිළුමිණ

බොල්සෙනාරෝ යටතේ බ්‍රසීලය අසමත් ද?

මේ වන විට කොවිඩ් සටහනේ දෙවැනි තැන බ්‍රසීලය විසින් දිනාගෙන තිබේ. ඒ වරෙක එම ස්ථානය දිනාගෙන සිටි චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය, රුසියාව මෙන්ම බ්‍රිතාන්‍යද පරදවමිනි. බ්‍රසීලය මේ පැමිණ ඇත්තේ අධිවේගී ගමනකි. කණගාටුව ඔවුන් එම වේගය සටහන් කර සිටිෙය් සංවර්ධන දර්ශකයක නොව කොවිඩ් දර්ශකයේ වීමයි.

කොවිඩ් ලොව පුරා පැතිරීම ඇරඹීමට පෙර එනම් පසුගිය පෙබරවාරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසා සිටියේය. “ වයිරසයේ ලෝක ව්‍යප්තියක් සිදුවිය හැකි බැවින් ඊට කල් තබා ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම හිතකරය. විශේෂයෙන්ම දුගී සෞඛ්‍ය සේවාවන් පවතින සංවර්ධනය වෙමින් පවතින රටවල වයිරසයේ ව්‍යප්තියක් සිදුවුවහොත් කණගාටුදායක ප්‍රතිඵල ලැබීමට වැඩි ඉඩක් තිබේ.”

බොහෝ රටවල් මේ උපදෙස් පිළිපැදි නමුදු කොවිඩ් කිසිඳු රටකට විශේෂ කරුණාවක් නොදැක්වීය. මේ වන විට ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය වැනි දකුණු ආසියානු රටවල්ද කැනඩාව වැනි ප්‍රබල රටවල්ද ලතින් ඇමරිකා කලාපයේ රටවල් රාශියක්ද ඉතා විශාල සංඛ්‍යාවන්ගෙන් කොවිඩ් රෝගීන් වාර්තා කරමින් සිටී. ඒ අනුව මුළු ලෝකයම කොවිඩ් හේතුවෙන් අසීරුවට පත්ව තිබේ.

එහෙත් බ්‍රසීල අත්දැකීම වඩා වෙනස්ය. මැයි මස ආරම්භය වන විටත් ලෝක කොවිඩ් සටහනේ මුල් පෙළේ බ්‍රසීලය දක්නට හෝ නොවීය. රුසියාවද පැමිණියේ එවැනි ගමනක් වූ නමුදු බ්‍රසීලය රුසියාවද පසුකරමින් දර්ශකයේ ඉහළටම පැමිණියේ සතියක පමණ ඉතා සුළු කාලයකිනි. සතුටුවිය හැකි එකම කරුණ වන්නේ අඩුම තරමින් බ්‍රසීලය අඛණ්ඩව රෝගය හඳුනා ගැනීමේ පර්යේෂණවල නියැලෙන බව පැහැදිලිව දක්නට ලැබීම සම්බන්ධයෙන් පමණි. මේ වන විට ඔවුන් ඇමසන් කලාපයේ එළි කරගත් බිම්කඩවල මළ සිරුරු භූමදාන කරමින් සිටිති. එම දර්ශනවල ගුවන් ඡායාරූප සැබවින්ම කණගාටුදායකය.

ලොව අන් සියලුම රටවල් පරදවමින් බ්‍රසීලය මෙවැනි විපතක මුල්තැන ගැනීමට හේතු මොනවාද? පැහැදිලිවම එහිදී බ්‍රසීල පාලකයන්ට ඇඟිල්ල දිගු වීම වැළැක්විය නොහැකිය. බ්‍රසීලය අන්ත දක්ෂිණාංශික බොල්සෙනාරෝගේ පාලනයට නතුවී යන්තම් අවුරුද්දක් ගෙවී ගියේය. මේ වසර තුළදී ඔහු තරම් තම රටේ ජනතාවගෙන් පමණක් නොව මුළු ලෝකයෙන්ම බැණුම් ඇසූ තවත් පාලකයෙක් නොමැති තරම්ය. ඔහුගේ අන්ත දක්ෂිණාංශික අදහස් අනුව බ්‍රසීලයට නව ආර්ථික දැක්මක් ගෙන ඒමට ඔහු දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ පෙර නුවූ විරූ ලෙස ඇමසන් වනය ලැව්ගිනිවලින් දැවී ගියේය. කැලෑ එළි කරමින් ආර්ථිකය වර්ධනය කිරීමට ඔහු බ්‍රසීල ජනතාවට දෙනු ලැබූ අනුබලය මේ මහා ලැව්ගිනි පෙර නුවූ විරූ ලෙස වර්ධනය වීමට හේතු වූ බවට සාක්ෂි අවශ්‍ය වූයේ නැත. ඇමසන් යනු බ්‍රසීලය පමණක් උරුමකම් කියන සම්පතක් නොවේය. එය මුලු මහත් මිනිස් වර්ගයාම සතු සම්පතකි. පසුගිය වසරේ මාස කිහිපයක් පුරා එය ක්‍රමයෙන් දැවී යද්දී බොල්සෙනාරෝට දොස් පැවරීමට බොහෝ දෙනා දෙවරක් සිතුවේ නැත.

දැන් ඔහු බ්‍රසීලයේ කොවිඩ් පාලනය කර ගැනීමට අසමත්ව සිටිනවා පමණක් නොව එය ව්‍යසනයක් කරා ගෙන යෑමටද අවස්ථාව සලසා දී තිබේ. කොවිඩ් ලෝක ව්‍යප්තිය සැලකූ විට දකුණු ඇමරිකානු රටවල් එයට ගොදුරු වන්නේ යුරෝපයට සහ ආසියාවට සාපේක්ෂව මද කලකට පසුවය. ලෝක සෞඛ්‍ය සංවිධානය අමෙරිකාවේ චෝදනාවලට පිළිතුරු සපයමින් පවසා සිටි අන්දමට ඔවුන් අනතුරු ඇඟවූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක වූයේ නම්, වයිරසය සම්බන්ධව ප්‍රමාණවත් අවධානයක් යොමු කරමින් කටයුතු කර සිටිෙය් නම් තම රටේ ජනතාව බේරා ගැනීමටත්, වයිසරයේ ව්‍යප්තිය පාලනය කර ගැනීමටත් සෑම රටකටම ප්‍රමාණවත් කාලයක් විය. එම අවස්ථාව අහිමි වූයේ චීනයට පමණි.

එහෙත් අමෙරිකාව, යුරෝපය මෙන්ම බ්‍රසීලයද කොවිඩ් බරපතල ලෙස නොසැලකීය. එහිදී බ්‍රසීලය නොව බොල්සෙනාරෝ කොවිඩ් බරපතල ලෙස නොසැලකීය යනුවෙන් නිවැරැදි විය යුතුය. මන්ද යත් මේ වන විට බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වී සිටින අතර බොල්සෙනාරෝ පත් කළ තුන්වැනියාද තම ජනාධිපතිවරයා කියන විදිහට වැඩ කිරීමේ ඇති අපහසුතා සම්බන්ධව නහයෙන් අඬමින් සිටින බවට ලැබෙන වාර්තා හේතුවෙනි. බොල්සෙනාරෝගේ දේශපාලන ආගමනය සැලකීමේදී ඔහු සතුව අමෙරිකානු බළල් අතක් පවතින බවට සාක්ෂි බොහෝය. දකුණු ඇමරිකාවේ බොහෝ රටවල පාලනයට තම හිතවාදීන් පත් කර ගැනීමට අමෙරිකාව දරන සුවිශේෂ වෑයම් සම්බන්ධ ඉතිහාසය චිලීහි සැල්වදෝර් අයියන්දේ බලයෙන් පහ කිරීමේ සිට වෙනිසියුලාවේ හියුගෝ චාවේස්ට පිළිකාවක් වැළඳීම දක්වා ඈතට විහිදෙන්නේය. මීට පෙර බ්‍රසීලයේ ලූලාද සිල්වා සහ ඩිල්මා රුසොෆ්ද අමෙරිකාව සමග ජාම බේරා ගනිමින්, නැගීගෙන ආ දකුණු ඇමරිකානු වාමාංශික බලවේග සමගද කටයුතු කිරීමට සමත් වූහ. එහෙත් බොල්සෙනාරෝ පැහැදිලිවම අන්ත දක්ෂිණාංශිකයකු විය.

අමෙරිකාව මෙන්ම කොවිඩ් ගණන් නොගෙන සිටීමට බ්‍රසීලය කටයුතු කළ අඩි පාරවල් මේ ඔස්සේ පැහැදිලිව දැකගත හැකිය. අමෙරිකාවේ මේ වන විට ආසාදිතයන් ලක්ෂ 17කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා අැත. මේ ආසන්නයේම පැමිණෙන ට්‍රම්ප්ගෙ ගෝලයා බොල්සෙනාරෝ බ්‍රසීලය ඉතා සාර්ථක ලෙස අමෙරිකාව ආසන්නයටම ගෙන ඒමට සමත් වූයේය. බ්‍රසීල ජනතාවගේ කිසියම් වාසනා ගුණයක් වේ නම් ආසාදිතයන් සංඛ්‍යාව කෙසේ වුවද මරණ සංඛ්‍යාව පාලනය කර ගැනීමට බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇත.

මේ අතර සමස්ත ලෝකයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 5.6 ඉක්මවූ අතර මරණ සංඛ්‍යාවද ලක්ෂ තුන ඉක්මවීය. එහෙත් තවමත් ලොව පුරා රටවලින් ආසාදිතයන් දිනෙන් දින වාර්තා වෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. මේ අතර ලොව බහුතරයක් රටවල් ආර්ථික සාධකය මත පදනම්ව රටවල් විවෘත කිරීමට කටයුතු කරමින් සිටින අතර එයම වයිරසයේ පැතිරීමට තවදුරටත් බලපෑම් කරන බව නිසැකය.

කෙසේ වුවද මේ ගත වී යන්නේ කොවිඩ් සහ මිනිස් වර්ගයා අතර සටනේ උච්චතම අවස්ථාව බව නම් සඳහන් කළ යුතුමය.

Comments