ඊශ්‍රායෙලයේ චීන තානාපති මිය ගියේ කොහොමද? | Page 4 | සිළුමිණ

ඊශ්‍රායෙලයේ චීන තානාපති මිය ගියේ කොහොමද?

'ඊශ්‍රායෙලයේ චීන තානාපති ලෙස කටයුතු කළ ඩු වෙයි' පසුගියදා තම නිල නිවෙසේ දී මියගොස් සිටිනු සොයා ගැනීමත් සමග එක්වරම මුළු ලොවම කැළඹී ගියා යැයි පැවසීම නිවැරදිය. මේ වන විට චීනය සහ අ‍මෙරිකාව අතර දැඩි උණුසුම් වාතාවරණයක් පවතින අතර අමෙරිකා ජනාධිපතිගේ දරුණු වාග් ප්‍රහාර හමුවේ චීනය දැඩි ඉවසීමකින් කටයුතු කරන බවද දැක ගත හැකිය. අනික් අතට ඊශ්‍රායෙලය යනු අමෙරිකාවේ සමීපතම හිතමිතුරාය. ඊශ්‍රායෙලය පිහිටුවීමේ සිට ශක්තිමත්ව නැගී සිටීම දක්වා සියලු කරුණු සඳහා අමෙරිකා අනුග්‍රහය ලැබිණි. එවන් වූ උණුසුම් වාතාරවණයයදී, එවන් වූ ඊශ්‍රායෙලයේ සේවය කරන චීන තානාපතිවරයා ස්වකීය නිවසේදී අහඹු ලෙස මියගොස් සිටීම ලෝක දේශපාලනය ගැන යමක් කමක් දන්නා සියල්ලන්ගේ සැකයට හේතු වීම වැළැක්විය නොහැකිය.

චීන තානාපතිවරයාගේ නිල නිවස ටෙල් අවිව් නුවරට දකුණෙන් ඇති මහල් නිවාසයක පිහිටා ඇති අතර රාත්‍රි නින්දේදී තානාපතිවරයා මියගොස් ඇති බව එරට පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබේ. දැනට මාධ්‍ය වෙත නිකුත් කර ඇති වාර්තා අනුව තානාපතිවරයා මිය ගොස් ඇත්තේ ස්වභාවික හේතු මතය. එහෙත් පර්යේෂණ දිගටම ක්‍රියාත්මක කරන බවත්, මේ දක්වා සැක කටයුතු කිසිවක් සොයා ගැනීමට නොලැබුනු බවත් ඊශ්‍රායෙල් පොලීසිය මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

අන්තර්ජාතික දේශපාලනයේදී ඉතාම දුර දක්නා නුවණකින් යුතුව ක්‍රියා කරන චීනය මේ දක්වා ඩූ වෙයි තානාපතිවරයාගේ මරණය සම්බන්ධව නිල නිවේදනයක් ප්‍රකාශයට පත් කර නැත. චීනයේ කල් මැරීමද එතරම් සුභදායී නොවන්නේ තානාපතිවරයාගේ මරණය සාමාන්‍ය බවටද ඔවුන් නිවේදනය කර නොමැති බැවිනි.

කොවිඩ් වසංගතය පැතිරීමට පෙර චීනය සමග වෙළෙඳ යුද්ධයක පැටලී සිටි අමෙරිකාව මේ වන විට කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින වාතාවරණයක් තුළ දිගින් දිගටම චීනයට චෝදනා එල්ල කරමින් සිටී. එවන් අවස්ථාවක අමෙරිකාවේ හිතවත්ම මිතුරා අසල සිටින චීන නියෝජිතයා මරණයට පත්වීම යනු නිසැකයෙන්ම සැකයට තුඩු දෙන කරුණකි. අ‍නික් අතට ඊශ්‍රායෙල් දේශපාලනය සහ මොසාඩ් ඔත්තු සේවයේ වැඩ ගැන දන්නා පිරිස නිදි ඇදේදී සාමාන්‍ය හේතූන් මත සිදුවූ මරණයක් යන්න උපහාසාත්මක සිනාවකින් පිළිගන්නවා ඇත.

කෙසේ වුවද ඊශ්‍රායෙලය පසුගිය වසරක පමණ කාලයක සිට චීනය සමග ශක්තිමත් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට කටයුතු කර තිබේ. වරක් ඊශ්‍රායෙල් අගමැති නෙතන්යාහු අමෙරිකාවේදීම අමෙරිකාව දරුණු ලෙස විවේචනය කරමින් තමන් මධ්‍යස්ථ රටක් බවට පෙන්වීමට දැඩි උත්සාහයක් දැරීය. එහෙත් මේ කිසිවකින් කැලේ මාරු වූයේවත් කොටියන්ගේ පුල්ලි මාරු වූයේ වත් නැති බව අන්තර්ජාතික දේශපාලනය දන්නා අයට අමුතුවෙන් කියාදිය යුතු නොවන්නේය. ලෝක නායකත්වය කරා හෙමින් සීරුවේ ගමන් කරමින් සිටින ‍චීනය මේ කිසිවකින් කලබල නොවන බව නම් සහතිකය. එමෙන්ම කිසිවකින් චීනය යුද්ධයක් කරා ඈදා ගැනීමටද අමෙරිකාවට අපහසු වනු ඇත. කෙසේවුවද තම තානාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් චීනය ඉදිරියේදී ගනු ලබන පියවර දෙස මුලු මහත් ලෝකයම බලා සිටින බවනම් නිසැකය.

 

Comments