
මා ඔයේ ජල මට්ටම, ගිරිඋල්ල ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මේ හේතුවෙන් ගිරිඋල්ල මරදගොල්ල ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
තවදුරටත් වැසි පැවතියහොත් ගිරිඋල්ල – කුරුණෑගල මාර්ගය, ගිරිඋල්ල පොලීසීය ආසන්නයෙන් ජලයෙන් යටවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඊට අමතරව, කැලණි ගඟ හොලොම්බුව ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමක් දක්වා ළඟා වී ඇති අතර, ග්ලෙන්කෝස් ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට පැමිණ තිබේ.
අත්තනගලු ඔය ද දූනමලේ ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසී ය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අවට පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බවයි.
මේ අතර දිවයිනට බලපා ඇති මහ වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගමනාගමනයට ද බාධා මතුව ඇති බවයි.