වසංගතය නිසා බිඳවැටෙන ගුවන් සේවා | සිළුමිණ

වසංගතය නිසා බිඳවැටෙන ගුවන් සේවා

ගුවන් ගමන් ඉල්ලුම බිඳවැටීමත් සමග මතු වී ඇති ගැටලු හමුවේ කටාර් ගුවන් සමාගම සිය සේවකයින් “සැලකිය යුතු” සංඛ්‍යාවක් ඉවත් කරනු ඇති බවට අනතුරු අඟවා ඇත.

එහි ප්‍රධාන විධායක අක්බාර් අල් බේකර් මේ පිළිබඳව කාර්ය මණ්ඩලයට අනතුරු අඟවා ඇති නමුත් කොපමණ සංඛ්‍යාවකට රැකියා අහිමිවේ දැයි සඳහන් කර නොමැත.

“ව්‍යාපාරයේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා තීරණවලට එළඹිය යුතු” බව කටාර් ගුවන් සමාගම පවසයි.

ගුවන් සේවා කර්මාන්තය මෙතෙක් පැවති දුෂ්කර ම කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටින අතර බොහෝ ගුවන් සමාගම් බිඳවැටීමට ආසන්න වී තිබේ.

“සත්‍ය තත්ත්වය නම්, අපට වර්තමාන සේවක සංඛ්‍යාව පවත්වාගෙන යා නොහැකි අතර ගුවන් සේවා කාර්ය මණ්ඩලය ද ඇතුළුව සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් ඉවත් කිරීමට අවශ්‍ය වෙනවා,” යනුවෙන් අක්බාර් අල් බේකර් අභ්‍යන්තර ලිපියක සඳහන් කර තිබිණි.

කටාර් රජය සතු මෙම ගුවන් සේවයේ 45,000 කට අධික පිරිසක් සේවයේ නිරත වන අතර ගුවන් යානා 240 කට වැඩි සංඛ්‍යාවක් ඇත.

වෙනත් ගුවන් සමාගම්වල ආයෝජනය කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස කටාර් ගුවන් සමාගම මෙම වසරේ පෙබරවාරි මසදී බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ හිමිකරු අයිඒජී (IAG) හි කොටස් 25% දක්වා මිලදී ගන්නා ලදී.

Comments